Monday, 15 July 2019

දේශපාලන සන්නිවේදනය යනු ...........


         මිනිසා සහ සන්නිවේදනය අතරත්, සන්නිවේදනය සහ දේශපාලනය අතරත් දිර්ඝ සහ අවියෝජනීය සබඳතාවයක් පවතී. ඒ අනූව මිනිසා සහ දේශපාලනය සම්බන්ධ කරන බැඳීම් රැහැණ වශයෙන් සන්නිවේදනය ගොඩනැගී ඇත.මෙම සම්බන්ධතාවය හේතුවෙන් මිනිසා, දේශපාලන සහ සන්නිවේදනය යන කාරණා ත්‍රිත්වය මුල් කොටගෙන දේශපාලන සන්නිවේදනය නම් විෂය ක්ෂේත්‍රයේ නිර්මාණය වී පෝෂණය වී ඇත. වර්තමානය වන විට ලාංකීය සමාජය තුළ මෙන්ම ලොව සෑම රටකම පාහේ දේශපාලන සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රිය කතිකාව පුළුල්ව ඇත.

      දේශපාන සන්නිවේදනයේ ආරම්භය දේශපාලනය තරම්ම පැරණිය. එමෙන්ම දේශපාලන විද්‍යාව, ප්‍රායෝගික දේශපාලනය ව්‍යාපාරයන් හා සන්නිවේදන අධ්‍යයනය යන පුලුල් විෂයන් දේශපාලන සන්නිවේදනය යන විෂය ක්ෂේත්‍රයේ අන්තර්ගතය ගොඩනැගීම සදහා දායක වී ඇත. දේශපාලන සන්නිවේදනය යන වචනය ඇසු සැනින් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වන්නේ මැතිවරණ හා ඒ සදහා භාවිතා කරණ විචාරණ උපක්‍රමයන් හා  බැඳි සන්නිවේදනයක් පමණි. කෙසේ වෙතත් දේශපාලන සන්නිවේදනය යනු ඉන් ඔබ්බට විහිදුණු සුවිසාල විෂය ක්ෂේත්‍රයක් ආවරණය කරන්නකි. එනම් සමස්ථ දේශපාලන ක්‍රියාවලිය හා බැඳුණු සමස්ථ සන්නිවේදන ක්‍රියාවලියම දේශපාලන සන්නිවේදනය යනුවෙන් සරලව හඳුනාගත හැකිය. ඒ අනූව

මැතිවරණ හා දේශපාලන සන්නිවේදනය.
ජන මාධ්‍ය, නව මාධ්‍ය හා දේශපාලනය.
දේශපාලන ප්‍රතිරූපය ගොඩනැන්වීම.
ජනමතය නිර්මාණය කිරීම හා හැසිරවීම.
දේශපාලනය සමඟ මාධ්‍ය සම්බන්ධතා හා ක්‍රියාකාරීත්වය.
විරෝධතා ව්‍යාපාර.
දේශපාලන මහජන සම්බන්ධතාවය.
දේශපාලන ප්‍රචාරණය හා දැන්වීම.
දේශපාලන අලෙවිකරණය.
මාධ්‍ය හිමිකාරීත්වය හා දේශපාලන සම්බන්ධතා.
ත්‍රස්ථවාදී හා බලපෑම්කාරී කණ්ඩායම්.

               වැනි දේශපාලන ක්‍රියාවලිය තුළ සන්නිවේදනාත්මක විග්‍රහයන් ගණනාවක් දේශපාලන සන්නිවේදනය ලෙස හඳුනාගත හැකිය.

“දේශපාලන පක්ෂ, දේශපාලඥයින්, ආණ්ඩු පක්ෂ ඇමතිවරු හෝ ඔවුන් අයත්වන කැබිනට් මණ්ඩල භාවිතා කරන සියලු සන්නිවේදන විධි දේශපාලන සන්නිවේදනය ලෙස නම් කළ හැකිය”
                                                                                                                      (බෙන්ජමින් ස්ටොක්මාන්)

           බෙන්ජමින් සිටොක්මාන්ගේ ඉහත නිර්වචනයට අනූව ඔහු පෙන්වාදෙන්නේ දේශපාලන සන්නිවේදනය යනු මැතිවරණ ප්‍රචාරණය පමණක් ඉලක්ක කරගත් ක්‍රියාවලියක් නොවන බවයි. දේශපාලන අරමුණක් සහිත ඕනෑම සන්නිවේදන ක්‍රියාවක් දේශපාලන සන්නිවේදනය යටතට ගැනෙන බව ඔහුගේ අදහසයි.

“දේශපාලන සන්නිවේදනය යනු දේශපාලන පිළිබඳ අරමුණු සහගත සන්නිවේදනයයි ”
                                                                                                                        ( බ්‍රයන් මැක්නර් )

          ස්ටොක්මාන්ගේ නිර්වචනය තහවුරු කෙරෙන ආකාරයේ අදහසක් බ්‍රයන් විසින් ද දක්වා ඇත. දේශපාලන වශයෙන් සම්බන්ධ අරමුණක් පවතින ඕනෑම සන්නිවේදන ක්‍රියාවලියක් දේශපාලන සන්නිවේදනය යටතට අයත්වන බව ඔහුගේ අදහසයි.

         ඉහත නිර්වචනයන් දෙකටම සමාන ආකාරයේ අදහසක් එස් එම් ඩැෆිගේ නිර්වචනය තුළින්ද හදුනාගත හැකිය. ඔහුට අනූව,  

“දේශපාලන සන්නිවේදනය යනු දේශපාලන ක්‍රියා පද්ධතිය තුළ පවතින සන්නිවේදන භූමිකාව යන්නයි ”

      ඒ අනූව දේශපාලන සන්නිවේදනය පිළිබඳව ඉදිරිපත්ව ඇති නිර්වචන විග්‍රහ කර බැලීමේ දි පැහැදිලි වන්නේ දේශපාලනය හා සම්බන්ධ සෑම ක්‍රියාවලියටම අයත් සන්නිවේදන භූමිකාව දේශපාලන සන්නිවේදනය ලෙස හදුනාගත හැකි බවයි. සමාජයේ ක්‍රමික විකාශයක් සමග දේශපාලන සන්නිවේදනය ද ඒ ඒ යුගවල දේශපාලන අවශ්‍යතාවයන් උදෙසා විකාශය වී ඇති අයුරු හදුනාගත හැකිය. එහි වර්ධනීය අවස්ථාවක් ලෙස තාක්ෂණික දියුණුවත් සමග බිහිවන ජනමාධ්‍ය ආශ්‍රිත දේශපාලන සන්නිවේදනය හැදින්වීම නිවැරදිය. අදවන විට එහි උච්චතම අවස්ථාව වන නව මාධ්‍ය සම්බන්ධ දේශපාලන සන්නිවේදනය දක්වාම ව්‍යාප්තව පැවතීම දේශපාලන සන්නිවේදනයේ වඩාත් ආකර්ශණිය සහ න්‍යාය සහ ක්‍රියාකාරකම් අතින් පොහොසත් විෂය ක්ෂේත්‍රයක් බවට පත්වීමට හේතු වී ඇත.
      දේශපාලන සන්නිවේදනයේ වඩාත් ආකර්ෂණීය මෙන්ම වඩාත් ප්‍රායෝගික භාවිතයක් සිදුවන්නේ මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය තුළදීය දේශපාලන බලය ලබාගැනීමත් බලය ක්‍රියාත්මක කිරීම සහ ඒ බලය පවත්වාගෙන යාම සදහාත් ආකර්ෂණිය මෙන්ම නිර්මාණශීලිව සන්නිවේදනය භාවිතා කරනු ලබයි. දේශපාලන සන්නිවේදනයේ සාර්ථක අසාර්ථක භාවය මත දේශපාලන බලය අත්පත්කර ගැනීම හෝ නොගැනීම තීරණය වේ. එහෙයින් වර්තමානය වන විට දේශපාලන සන්නිවේදනය කෙරෙහි න්‍යාත්මත මෙන්ම ප්‍රායෝගික වශයෙන්ද අතිශය වැදගත් කමක් හිමිව ඇත.

ඩොරිස් ඒ. ග්‍රැබර්ගේ අදහසට අනුව සන්නිවේදන ක්‍රියාවලියක් දේශපාලන වීම සදහා අවශ්‍ය වැදගත්ම සාධකය වනුයේ සංදේශය ලැබෙන ප්‍රභවය නොව එහි අන්තර්ගතය හා අරමුණ යන කාරණා ද්විත්ව බවයි. මේ අනූව දේශපාලන සන්නිවේදනය සංදේශයක අන්තර්ගතය සැකසීමේදී වඩාත් උපක්‍රමශිලි සහ සැලසුම් සහගත වීම වැදගත් වේ. දේශපාලනය මෙන්ම සන්නිවේදනය ද වඩාත් පු`ථල්ව ඇති වර්තමානය වන විට ආකර්ෂණීය අන්තර්ගතයකින් යුත් බලපෑම්කාරී සංදේශයන් නිර්මාණය කරලීමට දේශපාලන සන්නිවේදනය අපුර්ව අයුරින් හැසිරවීම දේශපාලන ප්‍රචාරණය තුළ සුලභව හදුනාගත හැකිය.



එස්.එම්.ආර්.ජේ.නානායක්කාර
ජනසන්නිවේදන අධ්‍යන අංශය
කැලණියවිශ්වවිද්‍යාලය






සබරගමු නර්තන සම්ප්‍රදාය පෝෂණය වීමට හේතු වූ අන්තර් සංස්කෘතික ලක්ෂණ...

සබරගමු නර්තන සම්ප්‍රදාය පෝෂණය වීමට හේතු වූ අන්තර් සංස්කෘතික ලක්ෂණ...

       ශ්‍රී ලංකාව භූමි ප්‍රමාණයෙන් කුඩා රටක් වුවද දේශීය වශයෙන් ප්‍රභවය ලැබුවා වූ ඇතැම් ලක්ෂණයන් අතින් එකිනෙකට බොහෝ දුරට සමාන වන්නා වූ ද, තවත් ලක්ෂණ අතින් එකිනෙකින් ප්‍රතිවිරුද්ධ වන්නා වූ ද, මහා සම්ප්‍රදායන් ලෙස හැදින්විය හැකි දේශීය නර්තන සම්ප්‍රදායන් තුනක් සහ ප්‍රාදේශීය ව්‍යවහාරයන් කරණ කොට  ගෙන එකී මූලභූත සම්ප්‍රදායන් තුළින් උපන් චූල සම්ප්‍රදායන් කිහිපයකින් ද පෝෂණය වූ නර්තන කලාවක් හිමිව පවතී. එසේ බිහිව ඇති මහා සම්ප්‍රදායන් ත්‍රිත්වය නම්,

1. උඩරට නර්තන සම්ප්‍රදාය 
2. පහතරට නර්තන සම්ප්‍රදාය
3. සබරගමු නර්තන සම්ප්‍රදාය

       සබරගමු මහා සමන් දේවාලය මූලික කර ගනිමින් කුරුවිට කෝරලය, අට කලං කෝරලය, මැද කෝරලය සහ කොලොන්න කෝරලය ප්‍රමුඛ සබරගමුව පළාතට ආවේණිකව බිහි වී ප්‍රචලිත වූ සබරගමු නර්තන සම්ප්‍රදාය ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික නර්තන කලාවන් අතර දීර්ඝ ඉතිහාසයකට උරුමකම් ඇති නර්තන සම්ප්‍රදායකි. 
          සබරගමු නර්තන සම්ප්‍රදායේ ඉතිහාසය පිළිබඳ විමසා බැලීමේදී එය වැදි ගෝත්‍රික සමාජය දක්වා ඈත අතීතයකට උරුමකම් කියන බව සිතිය හැක. කෙසේද යත් විජය රජුට, කුවේණියට දාව උපන් ජීවහත්ත සහ දිසාලා යන දරු දෙදෙනාගෙන් පැවත එනවා යැයි සැලකෙන, සබරගමුවට අයත් සමන්තකූඨ ප්‍රදේශයේ වාසය කරන ලදැයි සැලකෙන වැදි ජනයා මුලිකව මෙම නර්තන කලාව බිහි වු බවත්, එය පසු කාලීනව දේව සංකල්පය මත සමන් දේවාලය මුල් කරගෙන සම්ප්‍රදායක් ලෙස පෝෂණය වු බවත් සිතිය හැකිය. විශේෂයෙන් “සබර” යනු වැද්දන් හැඳින්වීමට භාවිත කළ වචනයක් බවත්, වැද්දන් වාසය කළ ප්‍රදේශය “සබරගමුව” ලෙසින් ද හඳුන්වා ඇති බවත් ඉතිහාසයේ සඳහන් වන හෙයින් සබරගමු නර්තන සම්ප්‍රදායේ මූලාරම්භය වැදි ගෝත්‍රික සමාජය මුල් කරගෙන සිදු වු බව විශ්වාස කළ හැකිය. 
        ඕනෑම සංස්කෘතියක්, සම්ප්‍රදායක් බිහි වන්නේ එයටම ආවේණික වු අනන්‍ය වු ලක්ෂණ මුලික කරගනිමින් වන අතර එය කාලයත් සමග විකාශනය වී ප්‍රචලිත වීමත් සමග විවිධ වු සමාජ, දේශපාලන, ආගමික, ආර්ථික ආදී සබඳතා ඔස්සේ තවත් සංස්කෘතීන් හා සම්ප්‍රදායන් සමග එකිනෙකට මුසු වේ. මේ නිසා කිසියම් සංස්කෘතියක ඇති අංග ලක්ෂණ බොහෝ දුරට තවත් සංස්කෘතියක් නියෝජනය කිරීමක් දක්නට ලැබේ. එනම් සංස්කෘතියක, සම්ප්‍රදායක පවතින අනන්‍ය ලක්ෂණ සමග එකනෙකට මුසු වෙමින් එය පෝෂණය කරන වෙනත් සංස්කෘතීන් හා සම්ප්‍රදායන්ගෙන් ලැබුණු අන්තර් සංස්කෘතික අංග ලක්ෂණ සෑම සංස්කෘතියකම පාහේ දැකගත හැකිය. 
           සබරගමු නර්තන සම්ප්‍රදාය ද මුලික වශයෙන්ම එයට අනන්‍ය වු ලක්ෂණ සහිතව ආරම්භ වී විකාශනය වු අතර ගුරුකුල අතර පවතින සබඳතා, දේව සංකල්පය, සමාජ, ආගමික වැනි විවිධ වු සබඳතා ඔස්සේ විවිධ සංස්කෘතීන් හා සම්ප්‍රදායන්ගේ ආභාෂය ලබා ඇති බව පැහැදිලිය. එනම් වෙනත් සංස්කෘතීන් හා සම්ප්‍රදායන්ගේ සංස්කෘතික අංග ලක්ෂණ සබරගමු නර්තන සම්ප්‍රදාය තුළ නියෝජනය වීමක් දක්නට ලැබේ.
එලෙස සබරගමු නර්තන සම්ප්‍රදාය හා මුසු වු අන්තර් සංස්කෘතික අංග ලක්ෂණ මොනවාදැයි අධ්‍යනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. 

01. සබරගමු නර්තන සම්ප්‍රදායයේ මූලාරම්භය වැදි ජනතාව හා ඔවුන්ගේ සංස්කෘතිය මුලික කරගනිමින් බිහි වු බව ජනශ්‍රැතියේ එන සාධක ඔස්සේ පැහැදිලි වේ. වැදි ජනයාගේ සංස්කෘතික ලක්ෂණ සබරගමු නර්තන සම්ප්‍රදාය තුළ අන්තර්ගත වීම එය මනාව සනාථ කරනු ලබයි. 
      
       වැදි ගෝත්‍රික ජනතාවගේ ප්‍රධාන සංස්කෘතික අංගයක් වන, ඔවුන් අදටත් තම සංස්කෘතිය විදහා පෑමට යොදා ගන්නා නර්තන අංගයක් ලෙස කිරි කොරහ නැටුම හඳුන්වා දිය හැකිය. මෙම කිරි කොරහ නැටුම සබරගමු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන නර්තන අංගයක් වේ. 
        එමෙන්ම සබරගමු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ලෙස සැලකෙන දවුල වැදි ජනතාවගේ කිරි කොරහ නර්තනය සදහා යොදා ගන්නා ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ලෙසද සැලකේ. ඉතා පහසුවෙන් එළු සමක් යොදා ගෙන නිර්මාණය කළ හැකි වාද්‍ය භාණ්ඩයක් වීම නිසාවෙන් එය වැදි ජනයා භාවිතා කරන්නට ඇතැයි සිතිය හැක.
       ඒ අනුව පැහැදිලි වන්නේ වැදි ගෝත්‍රික සංස්කෘතියේ පැවති  කිරි කොරහ නැටුම සහ වාද්‍ය භාණ්ඩයක් වු දවුල සබරගමු නර්තන සම්ප්‍රදාය හා මුසු වෙමින් එහි ප්‍රධාන සංස්කෘතික ලක්ෂණයක් බවට පත්ව ඇති බවයි. 

02. සබරගමු නර්තන සම්ප්‍රදායේ එන සමහර සංස්කෘතික අංග ලක්ෂණ භාරතයේ කතකලී නර්තන සම්ප්‍රදායේ සමහර අංග ලක්ෂණ වලට සමානත්වයක් පවතී. 
     
      කතකලී නර්තන සම්ප්‍රදායේ ඇති සමහර “අංගහාර ” සබරගමු නර්තන සම්ප්‍රදායේ අංගහාර වලට සමාන වේ. නර්තන ශිල්පීන් නර්තනයේ යෙදෙන විට අත කරකවන ආකාරය, තාලය බොහෝ දුරට සම්ප්‍රදායන් දෙකෙහිම සමාන වේ.
      එසේම කතකලී නර්තන සම්ප්‍රදායේ ප්‍රදාන වාද්‍ය භාණ්ඩය ලෙස සැලකෙන “චෙණ්ඩාව” සබරගමු නර්තන සම්ප්‍රදායයේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වන දවුලට බොහෝ සෙයින් සමාන වේ. මෙම වාද්‍ය භාණ්ඩ දෙකම සෑදීමට යොදා ගන්නේ එළු සමකි. මෙම වාද්‍ය භාණ්ඩ දෙකම එක සමාන වුවද ඒවා වාදනය කරන ආකාරය වෙනස් වේ. 
   ඒ අනුව කතකලී හා  සබරගමු යන නර්තන සම්ප්‍රදායන් තුළ එකිනෙකට නියෝජනය වන අන්තර් සංස්කෘතික ලක්ෂණ හදුනා ගත හැකි වේ. 

03. දේව සංකල්පය හා බැඳුණූ අන්තර් සංස්කෘතික ලක්ෂණ සබරගමු නර්තන සම්ප්‍රදාය තුළින් හඳුනාගත හැකිය. 

     සබරගමු  නර්තන කලාව සම්ප්‍රදායක් ලෙස එයට අනන්‍ය ලක්ෂණ ඔස්සේ ගොඩ නැගී ඇත්තේ සබරගමු මහ සමන් දේවාලය මුල් කරගෙනය. විශේෂයෙන් සමන් දේවාල පෙරහැර ගමන් කරන්නේද සබරගමු නර්තන සම්ප්‍රදායේ එන,
1. මුල් මාත්‍රය
2. ගමන් මාත්‍රය
3. සින්ධූ මාත්‍රය
4. පට්ටුතාල් මාත්‍රය
5. යක්පද මාත්‍රය
                                                                යන මාත්‍රා පහ මුල් කරගෙනය. ලය අඩු වැඩි කරමින් මෙම මාත්‍රා වලට අනුව දේවාල පෙරහැර ගමන් කරයි. 
      එමෙන්ම සබරගමු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන නර්තන ඇඳුම් කට්ටලය ලෙස සමන් දෙවියන්ගේ ඇඳුම යොදාගනු ලබයි. එනම් නර්තන ශිල්පින් නර්තනයේ යෙදීමේදී ඇඳුම් ඇඳීම හා ආභරණ පැලඳීම සිදු කරන්නේ සමන් දෙවියන්ගේ ඇඳුමට සමාන වන ආකාරයෙනි. 
       මේ අනුව පැහැදිලි වන්නේ ශ්‍රි දළඳා මාලිගය හා බැදුණු සංස්කෘතිය උඩරට නර්තන සම්ප්‍රදාය හා බැඳුනේ කෙසේද, එලෙසම සමන් දේවාලය මුල් කරගත් දේව ආභාෂය හා සංස්කෘතික ලක්ෂණ සබරගමු නර්තන සම්ප්‍රදාය තුළ ද අන්තර්ගත වී අන්තර් සංස්කෘතික ලක්ෂණ විදහාපාන බවයි. 

04. උඩරට නර්තන සම්ප්‍රදාය සහ සබරගමු නර්තන සම්ප්‍රදාය අතර අන්තර් සංස්කෘතික ලක්ෂණ හදුනාගත හැකිය. 

       උඩරට නර්තන සම්ප්‍රදායේ එන “මංගලම්” සහ සබරගමු නර්තන සම්ප්‍රදායේ මුල් මාත්‍රය අතර සමානකමක් පවතී. උඩරට මංගලම් සහ සබරගමු මුල් මාත්‍රය යන දෙකම නටන්නේ පස් තිතට හෙවත් සුළු මැදුම් දෙතිතට අනුවයි. 
            මංගලම් ජය මංගලම් ජය මංගලම් ජය මංගලම්..... (උඩරට)
            සසිරි සිරිලක පෑව අණසක මංගලම්.....(සබරගමුව)

            එමෙන්ම උඩරට මංගලම් වල කස්තිරම සහ  සබරගමු මුල් මාත්‍රයේ කස්තිරමත් තාල වලින් සමාන වේ. 
උදා: තත් ජිත් තොන් නත් තා (උඩරට)
          ගත කුඳ කුඳ තා (සබරගමුව)

        උඩරට හා සබරගමු නර්තන සම්ප්‍රදායන් වල පවතින වන්නම් වල නම් සහ සමහර වන්නම් කවි එකිනෙකට සමානතාවයක් දක්වයි. 
උදා: ගජගා, ගනපති, සිංහනාඩි, මුසලඩි, මයුරා 

උඩරට හා සබරගමු නර්තන සම්ප්‍රදායන් වල පවතින “අඩව්” එකිනෙකට සමාන වේ. 
උදා: තක් දොඟ තක දොඟ - උඩරට හනුමා වන්නම
තක් දොඟ තක දොඟ - සබරගමු සිංහනාඩි වන්නම

       ඒ අනුව පැහැදිලි වන්නේ ලාංකීය නර්තන කලාවේ මහා සම්ප්‍රදායන් දෙකක් වන උඩරට හා සබරගමු නර්තන සම්ප්‍රදායන් තුළ එකිනෙකට මිශ්‍ර වූ අන්තර් සංස්කෘතික ලක්ෂණ හදුනාගත හැකි බවයි. 

05. පහතරට නර්තන සම්ප්‍රදාය හා සබරගමු නර්තන සම්ප්‍රදාය අතර එක් එක් සංස්කෘතීන් නියෝජනය වන්නා වු අන්තර් සංස්කෘතික ලක්ෂණ හදුනාගත හැකිය. 

          සබරගමු හා පහතරට නර්තන සම්ප්‍රදායන්හි පවතින පන්තේරු නැටුම එකිනෙකට  සමාන ලක්ෂණ දරයි. ජනශ්‍රැතියට අනුව පත්තිනි දේව සංකල්පය මුල් කරගෙන බිහි වූ පන්තේරු නැටුම පහතරට නර්තන සම්ප්‍රදාය තුළින් සබරගමු නර්තන සම්ප්‍රදායට එක් වු සංස්කෘතිකාංගයක් ලෙස හදුනාගත හැකිය.

       එමෙන්ම සබරගමු නර්තන සම්ප්‍රදායට පත්තිනි දේව සංකල්පය එකතු වී ඇත්තේ පහතරට නර්තන සම්ප්‍රදාය ඔස්සේ විය හැකිය. සබරගමු නර්තන සම්ප්‍රදායේ එන සන්නි යකුම් යාගය, කුමාර සමයම, මහ සොහොන් සමයම, පිළිවෙලින් පහතරට නර්තන සම්ප්‍රදායේ එන සන්නි යකුම් යාගය, රිද්දි යාගය, මහසොහොන් සමයම යන ශාන්තිකර්මයන්ට සමාන වේ. එම ශාන්තිකර්මයන්හි අරමුණු, පුද පුජා රටා, වත් පිළිවෙත් එකිනෙකට සමාන වේ. 

       ඒ අනුව පැහැදිලි වන්නේ පහතරට හා සබරගමු නර්තන සම්ප්‍රදායන් අතර ද එකිනෙකට බැඳුණු අන්තර් සංස්කෘතික ලක්ෂණ හඳුනාගත හැකි බවයි. 

06. ඌව නර්තන සම්ප්‍රදාය සහ සබරගමු නර්තන සම්ප්‍රදාය අතර අන්තර් සංස්කෘතික ලක්ෂණ හදුනාගත හැකිය. 

         චූල නර්තන සම්ප්‍රදායක් වන ඌව නර්තන සම්ප්‍රදායයේ  එන “මල් එළි ශාන්තිකර්මය” හා සබරගමු නර්තන සම්ප්‍රදායේ එන “කිරි මඩුව ශාන්තිකර්මය” අතර සමාන ලක්ෂණ පවතී. එම ශාන්තිකර්ම දෙකෙහිම අරමුණු එකිනෙකට සමාන වේ. අස්වනු වලට වන හානිය වළක්වා ගැනීම, දෙවියන්ගේ ලෙඩ ලෙස සැලකෙන වසංගත රෝගවලින් ආරක්ෂා වීම, ගව මහීෂාදීන්ට වැළඳෙන රෝග වලින් උන් ආරක්ෂා කර ගැනීම ශාන්තිකර්ම දෙකෙහිම අරමුණ වේ. එමෙන්ම ශාන්තිකර්ම දෙකෙහිම පුද පුජා රටාවත්, පුදනු ලබන දෙවිවරු (පත්තිනි, විෂ්ණූ, කතරගම, සමන් දෙවිවරු සහ කිරි අම්මාවරු) සමාන වේ. එමෙන්ම උපත් කතාද සමාන වේ. සබරගමු කිරිමඩුව ශාන්තිකර්මය ආශ්‍රිතව ඌව මල් එළිය ශාන්තිකර්මය බිහි වී ඇති බව බොහෝ අයගේ විශ්වාසය වේ. කෙසේ වෙතත් එයින් පැහැදිලි වන්නේ ලාංකීය මහා නර්තන සම්ප්‍රදායන් සහ චූල නර්තන සම්ප්‍රදායන් අතර ද අන්තර් සංස්කෘතික ලක්ෂණ හඳුනාගත හැකි බවයි. 

07. සමාජයීය වශයෙන් ග්‍රාමීය ජනයාගේ කලාවන් මුල් වු ග්‍රාමීය සංස්කෘතිය සහ සබරගමු නර්තන සම්ප්‍රදාය අතර අන්තර් සංස්කෘතික ලක්ෂණ හඳුනාගත හැකිය. 

          සිරිපා කරුණා කරන බැතිමතුන් විසින් ගායනා කරනු ලබන තුන් සරණේ කවි ගොඩ නැගී ඇති ආකාරය හා එහි තාලය සබරගමු නර්තන සම්ප්‍රදායයේ “ජින් කිට තක් තක්කිට තක්” යන ගමන් මාත්‍රයට සමාන වේ. බොහෝ දෙනාගේ මතය වන්නේ ග්‍රාමීය ජනතාවගේ ජනශ්‍රැතිය සහ ගැමි සංස්කෘතිය අනුව ගැයෙන තුන් සරණේ කවි මූලික කරගෙන සබරගමු නර්තන සම්ප්‍රදායයේ ගමන් මාත්‍රය ගොඩ නැගී ඇති බවයි. 
              ඒ අනුව පැහැදිලි වන්නේ ගැමි සමාජයීය කලාත්මක සංස්කෘතික ලක්ෂණ සබරගමු නර්තන සම්ප්‍රදාය තුළ නියෝජනය වන බවත් ඒ ඔස්සේ සබරගමු නර්තන සම්ප්‍රදායයේ අන්තර් සංස්කෘතික ලක්ෂණ ප්‍රකට වන බවත්ය. 

08. උඩරට, පහතරට, සබරගමු යන ප්‍රධාන නර්තන සම්ප්‍රදායන්හි එකිනෙකට මිශ්‍ර වූ අන්තර් සංස්කෘතික ලක්ෂණ හඳුනාගත හැකිය. 

        උඩරට, පහතරට, සබරගමු යන ප්‍රධාන නර්තන සම්ප්‍රදායන් තුනෙහිම ශාන්තිකර්ම සහ බලි වල එන උපත් කතා එකිනෙකට සමාන වේ. උපත් කතා සඳහා යොදාගෙන ඇති කුල පරම්පරාව, සමාජ තත්වය, පත්තිනි දේවිය පිළිබද කතාන්දර, රජවරු පිළිබඳ( ලිච්ඡවි, මහාසම්මත) කතා ආදිය සම්ප්‍රදායන් තුනෙහිම එකිනෙකට සමාන වේ. 

          මහා සම්ප්‍රදායන් තුනටම අයත් බලි ශාන්තිකර්ම අතර පොදු සමානතාවක් දක්නට ලැබේ. ඇතැම් චාරිත්‍ර විධි අතින්, යොදා ගනු ලබන වාදන භාණ්ඩ සහ ගායනය සඳහා යොදා ගන්නා නාද මාලා වැනි ඇතැම් සාධක මත ඒ එකිනෙකක් විසින් තම සම්ප්‍රදායට අදාල අනන්‍යතාවය පවත්වා ගනු ලැබුවද පැවැත්වීමේ අරමුණු, යෙදාගනු ලබන ගායන හා බැඳි ගීත සාහිත්‍ය, අඹනු ලබන රූප හෝ අඳිනු ලබන චිත්‍ර යනාදී මූලික ලක්ෂණ සම්ප්‍රදායන් තුනෙහිම සමාන වේ. 

        විශේෂයෙන් ඉන්දියානු බමුණු දහම ඔස්සේ විකාශය වී ඇති බලි ශාන්තිකර්මය කෝට්ටේ යුගයේදී වීදාගම මෛත්‍රී හිමියන් විසින් බුදුගුණ ගීතයන්ට මුල් තැනැක් දෙමින් බෞද්ධ මුහුණුවරක් අනුව හැඩගස්වා ඇත. ඉන් අනතුරුව මෙය නර්තන සම්ප්‍රදායන් තුනෙහිම පෝෂණය වී ඇත.

          එමෙන්ම සම්ප්‍රදායන් තුනෙහිම නර්තන ශිල්පීන්ගේ හිසෙහි බඳින “නෙත්ති මාලය” නම් රංග ආභරණය සමාන වේ. එය ලෝහ වලින් නිර්මිත ආභරණයකි. 

        එමෙන්ම සබරගමු නර්තන සම්ප්‍රදායයේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වන දවුල උඩරට, පහතරට, ඌව යනාදී සෑම සම්ප්‍රදායකම හේවිසි වාදනය සඳහා යොදා ගනු ලබයි. උඩරට සම්ප්‍රදායට අනුව තම්මැට්ටම යොදා ගත්තද, එහිද ප්‍රධාන වශයෙන් දවුල යොදා ගනු ලබයි. 

      ඒ අනුව පැහැදිලි වන්නේ ලාංකීය මහා නර්තන සම්ප්‍රදායන් ත්‍රිත්වයෙහිම එක් එක් සංස්කෘතීන් නියෝජනය කරන්නා වූ අන්තර් සංස්කෘතික ලක්ෂණ පවතින බවයි. 

         මේ අනුව ඉහත කරුණු විමර්ශනාත්මකව අධ්‍යනය කිරීමේදී පැහැදිලි වන්නේ සබරගමු නර්තන කලාවේ මූලාරම්භය වැදි ගෝත්‍රික ජනයා මුල් වී ගොඩනැගුණු බවත් එය සමන් දේවාලය මුල් කරගෙන සබරගමු නර්තන සම්ප්‍රදාය ලෙස පෝෂණය වු බවත්ය. එලෙස පෝෂණය වීමේදී විවිධ වු දේශීය විදේශිය නර්තන සම්ප්‍රදායන්, දේව සංකල්පය, ගැමි සංස්කෘතිය හා වැදි ගෝත්‍රීය සංස්කෘතිය වැනි විවිධ සංස්කෘතීන්හි ආභාෂය ලැබූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස සබරගමු නර්තන සම්ප්‍රදාය වටා ඇති සංස්කෘතිය තුළ සබරගමු නර්තන සම්ප්‍රදාය පෝෂණය වීමට ආභාෂය ලැබූ විවිධ සංස්කෘතීන් සම්ප්‍රදායන් නියෝජනය කරන අන්තර් සංස්කෘතික ලක්ෂණ බොහොමයක් හඳුනාගත හැකි බවයි.

     කෙසේ වෙතත් උඩරට, පහතරට, නර්තන සම්ප්‍රදායන්ට සාපේක්ෂව විදේශීය නර්තන කලාවන්හි, සංස්කෘතීන්හි ආභාෂය සබරගමු නර්තන සම්ප්‍රදායට බලපෑම් සහගත වීම අඩු තත්ත්වයක පවතී. එයට හේතු වන්නට ඇත්තේ රට මැද පිහිටි ප්‍රදේශයක සබරගමු නර්තන සම්ප්‍රදාය බිහි වී ප්‍රචලිත වීමයි.



මූලාශ්‍ර සාධක
1. පීරිස් ඥානසිරි, ශාන්තිකර්ම සහ අභිචාර විධි, ප්‍රථම මුද්‍රණය, 2006, වාසනා ප්‍රකාශකයෝ, දංකොටුව.

සම්මුඛ සාකච්ඡා
1. ඩී. එච්. අමිල චන්ද්‍රසේන හෙට්ටිගේ (සබරගමු නැටුම් හා පර්යේෂණ පුහුණු ආයතනයේ ඩිප්ලෝමාධාරි)
2. එස්. එම්. ඩබ්ලිව්. නානායක්කාර ( ආචාර්ය - බුත්කන්ද විද්‍යාලය)









එස්.එම්.ආර්.ජේ.නානායක්කාර.
විශේෂවේදී තෙවන වසර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය






Saturday, 6 July 2019

තුන්දෙනෙක් සිනමා කෘතියේ තුන් ඇදුතු අධ්‍යක්ෂ මණ්ඩලය හා ඔවුන්ගේ නිර්මාණ භාවිතය පිළිබඳ කෙටි හැඳින්වීමක්

තුන්දෙනෙක් සිනමා කෘතියේ තුන් ඇදුතු අධ්‍යක්ෂ මණ්ඩලය හා ඔවුන්ගේ නිර්මාණ භාවිතය පිළිබඳ කෙටි හැඳින්වීමක්.


ප්‍රසන්න විතානගේ


ලාංකීය සිනමා ක්ෂේත්‍රයේ සිටින ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවෙකු ලෙස ප්‍රසන්න විතානගේ හඳුනාගත හැකිය. ලාංකීය දේශපාලනය, සංස්කෘතිය, සමාජය අභියෝගයට ලක් කරමින් සමාජයේ පවතින විෂමතාවයන් තම සිනමා නිර්මාණයන් තුළින් සමාජයට ගෙන ඒමට කටයුතු කරන අපූරු අධ්‍යක්ෂවරයෙක්, රචකයෙක්, ලේඛකයෙක් හා දේශකයෙකි. ප්‍රසන්න විතානගේ නම් සිනමාකරුවාගේ නිර්මාණ භාවිතයෙන් ප්‍රකට වන සුවිශේෂි ලක්ෂණයක් නම් ඔහු රුසියානු වාමාංශික සාහිත්‍යයේ ආභාෂය ලබා ඇති බවයි. ප්‍රසන්න විතානගේ යනු පීඩිත දමිළ ජනතාවගේ හඬට පක්ෂව කටයුතු කරන වාමාංශික අදහස් වලින් හෙබිව සිටින විප්ලවවාදී සිනමාකරුවෙකි. දිගින් දිගටම ලංකාවේ ජනවාර්ගික ගැටලුව තම චිත්‍රපට ඔස්සේ විවේචනය කරමින් සිටින කලාකරුවෙකි.
ඔහුගේ නිර්මාණ අතර සිසිල ගිනි ගනී (1992), අනන්ත රාතිය (1996), පුරහඳ කලුවර (1997), පවුරු වළලු (1999), ඉර මැදියම (2003), ආකාස කුසුම් (2008), ඔබ නැතුව ඔබ එක්ක (2012), උසාවිය නිහඬයි (2015) කිහිපයකි. 
සිසිල ගිනි ගනී සිනමා කෘතියෙන් ඇරඹි ඔහුගේ සිනමා නිර්මාණ අතර සුවිශේෂී නිර්මාණයන් දෙකක් වූයේ ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටිය හා උසාවිය නිහඬයි වාර්තා චිත්‍රපටියයි. නිර්මාණකරුවාගේ පරිණතභාවය හොඳින් ම නිරූපණය කරන සිනමා කෘතියක් ලෙස ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටිය පෙන්වා දිය හැකිය. මොහුගේ නිර්මාණයන් වල කාන්තා චරිතයට ලබාදෙන අවසානය තරමක වෙනස් ස්වභාවයක් ගනී. සමාජයේ අසරණභාවයක් ඉස්මතු කරයි. රාවය  පුවත්පත, නොනිමි අරගලය පොත වැනි වෙනත් මාධ්‍යයන් තුළ සෑහෙන කාලයකට පෙර හෙළිදරව් කරන ලද එහෙත් එම හෙළිදරව් කිරීම් වලින් පසුවත් අගතියට පත් පාර්ශවයන්ට යුක්තිය ඉටු කරනවා වෙනුවට උසාවිය මුණිවත රැකීම පිළිබඳ විස්තර කෙරෙන චිත්‍රපටයක් ලෙස සිනමාවට නැගෙන උසාවිය නිහඬයි චිත්‍රපටිය ප්‍රසන්නගේ සුවිශේෂී නිර්මාණයක් බවට පත් වන්නේ එය වත්මන් අධිකරණ පද්ධතියේ පවතින අක්‍රමිකතා හෙළිදරව් කරන නිසාවෙනි. මෙය වාරණය කරමින් අතුරු තහනම් නියෝගයක් ඉදිරිපත් වුවද 2016 දී එය ඉවත් විය.
තවමත් පූර්ව නිෂ්පාදන අවධියේ පවතින children of the sun චිත්‍රපටයද ප්‍රසන්න විතානගේ සිනමාකරුවාගේ සුවිශේෂි සිනමා කෘතියක් ලෙස නුදුරු කාලයේදී ප්‍රේක්ෂකයා අතරට පැමිණීමට නියමිතය.

විමුක්ති ජයසුන්දර


මාධ්‍ය වේදියෙකු, චිත්‍රපට විචාරකයෙකු, අධ්්‍යක්ෂවරයෙකු, ලේඛකයෙකු හා රචකයෙකු වන විමුක්ති ජයසුන්දර ඉන්දියාවේ පූනේ හි සිනමා හා රූපවාහිනි ආයතනයට සම්බන්ධව කටයුතු කළ අයෙකි. තිස් වසරක් පැවති සිවිල් යුද්ධයේ කුරිරු පැතිකඩක් අනාවරණය වන පරිදි කළු සුදු පැහැති රචනාවක විස්තර කෙරෙන “නිහඬ දේශය” සිනමා කෘතියෙන් සිනමාකරණයට පිවිසෙන විමුක්ති ජයසුන්දර ලාංකීය සිනමාවේ රැඩිකල් සිනමාවේදීන් අතර සුවිශේෂි චරිතයකි.
ලාංකීය සිනමාවට රැඩිකල් අනේකත්වයක් ගැනත්, දාර්ශනික කතිකාවන් නිර්මාණය කිරීම සඳහාත් විශාල කලාපයක් විවර කර දුන් සිනමාවක් ලෙසට විමුක්ති ජයසුන්දරගේ සිනමාව හා නිර්මාණ භාවිතය හැඳින්වීම නිවැරදිය. ඔහුගේ නිර්මාණ භාවිතයේ තවත් සුවිශේෂි ලක්ෂණයක් වන්නේ අත්‍යවශ්‍යට පමණක් වචනය පිටකරන රූපය මුල් කරගත් නිර්මාණකරුවෙකු වීමයි.
සුළඟ එනු පිණිස, සුළඟ ගිනි අරන් වැනි චිත්‍රපට ඔහුගේ සුවිශේෂි නිර්මාණයන් අතර වේ. සුළඟ ගිනි අරන් චිත්‍රපටිය තුළින් විමුක්ති ප්‍රේක්ෂකයාට ලබාදෙන්නේ හුදෙක් කතාවකට වඩා බාධාකරණයට ලක් වු කතාවකි. සිදුවීම් කිහිපයකි. එම සිනමාපටය ආරම්භ වන්නේම ඔහුගේ ආත්මකථනයකිනි. ලාංකීය සිනමාවේ වෙනස්ම ආරක නිර්මාණ භාවිතයක් සතු සිනමාකරුවෙකු ලෙස මොහු හැඳින්වීම වඩාත් උචිත සහගත වේ.

අශෝක හඳගම


ලාංකීය සිනමා ඉතිහාසයේ රැඩිකල් සිනමා පරම්පරාවේ ප්‍රමුඛයෙකු ලෙස අශෝක හඳගම හැඳින්වීම සාධාරණය. වේදිකා නාට්‍ය නිර්මාණකරණයෙන් කලාවට පිවිසෙන ඔහු 1987 තන්ඩර් වේදිකා නාට්‍ය එළිදක්වන ලදී. අනතුරුව මාගාත වේදිකා නාට්‍ය මගින් රැඩිකල් නිර්මාණශීලීත්වයක් ප්‍රකට කරමින් රටේ පවතින අධිකරණ පද්ධතිය විවේචනය කරන අතර එම නාට්‍ය 1989 වසරේදී රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය, හොඳම අධ්‍යක්ෂණය යන සම්මාන පවා දිනාගන්නා ලදී.
ටෙලි නාට්‍ය කලාවේද සුවිශේෂී නිර්මාණ භාවිතයක් ප්‍රකට කළ හඳගමගේ ටෙලි නිර්මාණ අතර සටන් විරාමය නැමති ටෙලි නාට්‍ය විශේෂිතය.
අධියාථාර්තවාදී රූප වලින් සමන්විත සිනමාකාරී භාෂාවකින් යුතු චන්න කින්නරී (1996) සිනමා කෘතිය ඔස්සේ ලාංකීය රැඩිකල් සිනමාවට අවතීර්ණ වන හඳගමයන් විසින් සඳ දඩයම, මේ මගේ සඳයි (2000), තනි තටුවෙන් පියාඹන්න (2002), අක්ෂරය (2005), විදූ (2010), ඉනි අවන් (2012), ඇගේ ඇස අග  (2016) වැනි රැඩිකල් සිනමා කෘති රැසක් නිර්මාණය කර ඇත. 
අශෝක හඳගමගේ සිනමාව තුළින් කලාව දේශපාලනීකරණය කිරීමේ උත්සහයකින් යුතු බවක් පෙනේ. ප්‍රගතිගාමී දේශපාලනයක් එනම් සමාජයේ තිබෙන ප්‍රතිරෝධයක් නිර්මාණකරණයට ගෙන ඒමකි. ලංකාවේ සංස්කෘතිය අතින් ගත්තොත් හඳගමගේ නිර්මාණයන් දරාගත නොහැකි අශ්ශීලත්වයකින් යුතුව ඇතැයි මතයක් වේ. එහි උච්චතම අවස්ථාව අක්ෂරය චිත්‍රපටිය ඔස්සේ දක්නට ලැබේ. 
හඳගමගේ නිර්මාණ භාවිතයේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ සමාජය විච්ඡේදනය කිරීමේ උපකරණයක් ලෙස පවුල භාවිතා කිරීමයි. චන්න කින්නරී චිත්‍රපටියේ සිට ඇගේ ඇස අග චිත්‍රපටිය දක්වාම හඳගමගේ සිනමාව තුළ පවුල නිරූපිත ආකාරය කුතුහලය දනවන සුලුය. පවුල සමාජ බල ව්‍යුහයේ ප්‍රාථමිකම බලහවුල ලෙස ප්‍රාග්ධනය රාජ්‍ය කේන්ද්‍රීය ව සංවිධානය වීමේදී හා ප්‍රාග්ධනය බහු ජාතික සමාගම් කේන්ද්‍රීය සංක්‍රාන්තික ජාතිකත්වයක් අත්පත් කරගෙන සිටන සමකාලීන පවුල දක්වාම විකාශනය හඳගම විසින් නිර්මාණශීලීව සිනමාගත කර ඇත.
අශේක හඳගමගේ සිනමා කෘතිවල අවසානය සුබවාදී ලෙස දැක්වීම ද ඔහුගේ නිර්මාණ භාවිතයේ ලක්ෂණයකි. මේ මගේ සඳයි, අක්ෂරය, තනි තටුවෙන් පියාඹන්න, ඇගේ ඇස අග වැනි චිත්‍රපටි වලින් එය පැහැදිලි වේ. ඇගේ ඇස අග සිනමා කෘතියේ අවසානය පන්සලට ගෙන යන්නේ ද  සුබවාදී අවසානයක් ඇති කිරීමටය. 
කෙසේ වෙතත් අක්ෂරය චිත්‍රපටිය වාරණය කිරීමත් සමග අශෝක හඳගමගේ රැඩිකල් සිනමාව යම්කිසි පසුබෑමකට ලක් ව ඇති බව පෙනෙන්නට ඇත.


ලාංකීය සිනමාවේ රැඩිකල් සිනමා කරුවන් තිදෙනෙකු වන ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර හා අශෝක හඳගම විසින් අධ්‍යක්‍ෂණය කරන ලද නවතම සිනමා කෘතිය වන්නේ තුන්දෙනෙක් චිත්‍රපටියයි. පශ්චාත් යුද සමය පිළිබඳව කෙරෙන කතා ත්‍රිත්වයකින් මනුෂ්‍යත්වය පිළිබඳව විග්‍රහ කෙරෙන මෙම සිනමා කෘතියේ පළමු කොටස වන “ඇය” අධ්‍යක්‍ෂණය කරන්නේ ප්‍රසන්න විතානගේ විසිනි. එහි දෙවන කොටස “ඔහු” නමින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන එනු ලබන්නේ විමුක්ති ජයසුන්දර විසිනි. ඉන් අනතුරුව ඇරඹෙන්නේ අශෝක හඳගමයන් විසින් අධ්‍යක්‍ෂණය කරනු ලැබූ “අනෙකා” නමින් හැඳින්වෙන කොටසයි. ත්‍රිපුද්ගල අධ්‍යක්‍ෂණ මණ්ඩලයේ තුන්දෙනෙක් සිනමා කෘතිය ලාංකීය සිනමා කලාවේ සුවිශේෂී සංධිස්ථානයක් බවට පත් වනු ඇත.

තුන් ඇඳුතු අධ්‍යක්ෂක මණ්ඩලයේ තුන්දෙනෙක් සිනමා කෘතිය පිළිබඳව ඇති සමාජ කතිකාවත දෙසට කෙටි බැල්මක් හෙලීම


මාතෘකාව මිනිසාය. ආරම්භය කොතනකදැයි හරිහැටි දැනීමක් නොමැත. දෙවියන් වහන්සේට අනුව මැවුම්කරුවෙකු මවා ඇත. චාල්ස් ඩාවින්ට අනුව පරිණාමවාදයේ වර්ධනීය අවදිය වර්තමානයි. ඒ අනුව මුහුදේ ජිවත් වන ක්ෂුද්‍ර ජීවීන් අපගේ මුතුන්මිත්තෝය. කාලය කෙමෙන් කෙමෙන් ගත විය. වානර සමූහ ශිෂ්ටාචාරගත වන්නට විය. මිනිසා නම් සත්වයාට ජිවත් වීමට වාසස්ථාන අවශ්‍ය විය. ගල් ගුහා තෝරා ගැනුනි. ඒ පිරිස් ලෙස ජීවත් වීමටය. පිරිසට ආහාර අවශ්‍ය විය. මන්ද බඩගින්න නිවගැනීමටය. පිරිස් ලෙස ආහාර සෙවූහ. එය පිරිස අතරේම බෙදා කා ජිවත් වූහ. මෙම පිරිස වර්ධනය වූවේ අයෙක්ගේ බඩින් තවකෙකු එලියට ආ විටය. මෙහිදී ඇය නමින් හඳුන්වන්නාට එක ලිංගයකුත් ඔහු නමින් හඳුන්වන්නාට තව ලිංගයකුත් පිහිටා තිබුණි. ඇයගේ ලිංගය හා ඔහුගේ ලිංගය එකතු විය. රතට රත මුහුවිය. ලෙය හා ලෙය ගැටුණි. රතට රත  තුලින් රතු කැටියෙකු හෙවත් ලේ කැටියෙකු එලියට ආහ. එම කැටියාට ඔහුගේ මෙන් හෝ ඇයගේ මෙන් ලිංගයක් පිහිටා තිබුණි. කල් ගත විය. ඔවුනොවුන් අතර සුළු සුළු ආරවුල් මතු වන්නට විය. මෙයින් පසු කෙසේ හෝ සංස්කෘතිය වැනි කාරණාවන් ඔවුන්ගේ හිත මත පතිත වී ඇත. මෙයින් පසු හෙළුව යන්න ඔවුන් වසා ගන්නා ලද අතර පවුල නම් සංකල්පය බිහි විය. පවුල තුල අවශ්‍යතා හා වුවමනා වැඩි විය. කල් ගත වන විට මිනිස් සමාජයක් නම් දෙය බිහිවූ අතර ගම යන සංකල්පීය නාමය ගොනු කරගත් නිවාස කිහිපයක් දක්නට ලැබුණි. ඔවුනොවුන් අතර තරහකාරිත්වය, ඊර්ෂ්‍යාව, අනෙකා පරදායාම ආදී කාරණා මතු වන්නට විය. මේ අතරතුර සමාජය ඉතා දීර්ඝ ලෙස දියුණු වන්නට විය. ඔවුන්ගේ මොට්ට ආයුධ වර්ධනීය තත්ව කරා ලඟාවිය. පෙර මිනිසා පෙර අවියෙන් පහර පහෙන් තුවාලය ලං කලද පසු මිනිසා පසු අවියෙන් එක පහරින් මරු ලං කළහ. සමාජ සංස්කෘතිය හා ආගමික මතවාද යන්න මිනිසාගේ ඔලුව තුල පැලපදියම් විය. එම හේතුව මත ඔවුන් එකිනෙකාට වෙනස් විය. මෙය සරලවම මනඃකල්පිත ලෙස මෙසේ අර්ථ දැක්වීම සිදු කරමි.

මෙම ලොව තුල රාජ්‍යක් හෙවත් රටක් ඇත. එය බාගා රාජ්‍යයි. එම බාගා රාජ්‍යය තුල භුමියේ විවිධාකාර වූ ගම්මාන ඇත. නගර ඇත. මෙහි ඉල් නගරය හා ගොස්ටා නගරය සලකමු. මෙහි ඉල් නගරය තුලට  සංස්කෘතියක් රැගෙන පුද්ගලයෙකු පැමිණේ. ඔහු වෙනම දර්ශනයක් ඔවුන්ට දේශනා කරනු ලැබුහ. ඔවුන්ගේ ඇදහීම, වන්දනාමානය, විශ්වාසය ඔවුන්ගේ සංස්කෘතික කාරණාවකය. මෙය කිසිවිටෙකත් ගොස්ටා නගරය කරා ගමන් නොකරයි. මෙම ගොස්ටා නගරය තුලද මෙවැනිම දර්ශනයක් ගොඩනැගේ. ඔවුන්ට ආගමක් නම් දෙයක්ද ලැබී ඇත. ඔවුන්ගේ සංස්කෘතිය එය වටා ගොනු වී පවතී. ව්‍යුහයේ වත්පිළිවෙත්, ඇඳුම් පැළඳුම්, ආහාර රටාව පවා පෙරකී ඉල් නගරයට වඩා වෙනස්ය. කාලය ගත විය. මෙම නගර දෙකට එකිනෙක වෙනස් වූ දර්ශනයක් ඔස්සේ ඉදිරියට ඇදී යනු ලබයි. නගර දෙකට ඇත්තේ වෙනස් වූ සංස්කෘතින්ය. දිනක් මෙම ඉල් නගර වැසියන් පිරිසක් හා ගොස්ටා නගර වැසියන් පිරිසක් මුණ ගැසේ. කතා කරයි. අපේ ඉල් දහම ගොස්ටා දහමට වඩා පරම පවිත්‍ර පිවිතුරු දහමක් බව ඉල් වැසියෝ පවසයි. එසේ විය නොහැකි බවත් ගොස්ටා දර්ශනය උතුම්ම දහම බවත් ගොස්ටා වැසියෝ පවසයි. සමාජ සම්මතය වනුයේ පක්ෂ දෙකක කතාව දුර දිග යාම යනු අවසානයේ ගුටිබැට හුවමාරුවක ආරම්භය බවය. ඒ අනුවම දෙපිරිස ගුටි කෙලිය පටන් ගත්හ. රාත්‍රිය වනවිට දෙපිරිසටම මහන්සිය. පිරිස දෙපසට වූහ. මෙහිදී ඉල් වැසියන්ට බඩගින්න දැනුනි. එලෙසම ගොස්ටා වැසියන්ටද බඩගින්න දැනුනි. ඉල් වැසියන්ගේ ශරීර තුවාල වී ඇත. ගොස්ටා වැසියන්ගේද ශරීර තුවාල වී ඇත. ඉල් වැසියන් මරණයට පත්ව ඇත. ගොස්ටා වැසියන්ද මරණයට පත්ව ඇත.

ඉහත සරල උදාහරණයට අනුව දෙපිරිසටම ඇති වූයේ එකම අවශ්‍යතාවයය. දෙපසටම සිදුවුවේ එකම දේවල්ය. එනම් පිපාසය, බඩගින්න, මහන්සිය, මරණය, දුක, කඳුල, තුවාලය, වේදනාව දෙපිරිසටම පොදු වූ කාරනා වේ. ප්‍රශ්නය ඇත්තේ කොහිද යන්න දැන් පැහැදිලි වේ. ප්‍රශ්නය ඇත්තේ මිනිස් සිතෙහිය. මෙය වනුයේ ආගමක් හෝ දර්ශනයක් හෝ සංස්කෘතියක් මත සිට ගෙනය. සැමටම ඇත්තේ රතුම රතු රුධිරය වේ. සියල්ලෝම මිනිසුන්ය.

මේ ආකාරයට සියල්ලෝම මිනිසුන් යන මනසින් මෙම චිත්‍රපටයට එබෙන්නෙමි. මෙහි ත්‍රිපුද්ගල අධ්‍යක්ෂක මණ්ඩලයක් ඇති අතර චිත්‍රපටයන් 03ක් දිගහැරෙනමුත් පැවසෙනුයේ එකම කතාවය. ඒ මනුෂ්‍යත්වයි. 


මෙහි පළමු කොටස වන “ඇය” (Her) ලෙස දැක්වෙන අතර ප්‍රසන්න විතානගේ එහි අධ්‍යක්ෂකවරයා වේ. ඇයගේ කතාවෙහි කතා නායකයා කේසා වේ. කේසා යනු L.T.T.E. සංවිධානයේ මාධ්‍ය වාර්තාකරුය. දිනක් මොවුන් විසින් රජයේ සෙබළුන් 13 දෙනෙකු මරුමුවට පත් කරන ලදී. මෙහිදී ඔවුන්ගේ වටිනා බඩු බාහිරාදිය මෙම සංවිධානය විසින් ලබා ගනු ලබන අතර කේසා මෙම රජයේ සෙබලෙකුගේ මුදල් පසුම්බිය පරික්ෂා කරයි. එහිදී සෙබලා විසින් තම බිරිඳට ලියනු ලැබූ ලියුමක් ඔහු කියවූ අතර එය තුල තරුණ බිරිඳගේ ඡායාරූපය හා දුරකථන අංකය වේ. ඡායාරූපය මෙම කේසාගේ ජීවිතය වෙනස් කරනු ඇතැයි කෙදිනකවත් නොසිතන්නට ඇත. ඔහු ඇයට කතා කරයි. ඇය ඔහුව අයියේ යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට පුරුදු වේ. ඇය ඔහුගෙන් ස්වාමියා ගැන විමසු විට ඔහු නිරුපද්‍රිතව තම සංවිධානය භාරයේ පවත්නා බව කේසා පවසයි. මෙම කතාබහ හද සසල කරවන සුළුය. එම තරුණිය දැක ගැනීමට අපටද ආශාවක් ඇතිවේ. මෙහිදී තරුණයා මියගිය බව ප්‍රේක්ෂකයා දැනුවත්ය. එය ප්‍රේක්ෂක හද කම්පා කරයි. මෙලෙස දුරකථන අංක වලට කතා කර එම ගමෙහි තොරතුරු සියුම් ලෙස ලබා ගැනීම L.T.T.E. සංවිධානයේ උපක්‍රමයක් වුවද කේසා මෙම තරුණිය ඇමතීමේදී මෙහි ඇත්තේ වෙනත්ම අරමුණක් බව සාක්ෂාත් වේ. යුද්ධය අවසන් විය. පසු යුධ අවධියයි. කේසා දිවි ගලවා ගනී. රැකියාවක් නොමැතිකම පසු යුධ අවධියේ බහුල බැවින් කේසාද එම ගොන්නට අයත් වේ. දිනක් මොහුට යාපනයේ චිත්‍රපටි රූගත කරන අශෝක හඳගමයන් මුණගැසේ. මෙහිදී චිත්‍රපටි සඳහා හඳගමට උපකාර කරන මොහු පසුව හඳගමගෙන් උදවුවක් ඉල්ලයි. එනම් පෙර කී සිංහල තරුණිය වන යසෝ සොයා යාමටය. හඳගම මෙයට උපකාර කරයි. තොරතුරු ඔස්සේ තරුණිය සොයා යයි. මෙලෙස යන ගමන අතරතුර දෙදෙනා විසින් අරක්කු උගුරක රස බලයි. මෙහිදී වෑන් රියේ ඇසෙන දමිළ ගීයක් කේසා මුමුණන අතර හඳගම එහි තේරුම විමසයි. එවිට කේසා මෙවැනි කතාවක් හඳගමට පවසයි.                                    
“බාල කාලේ අපිට තිබ්බ ආශාවන් හරි ගියේ නෑ කියල තමයි කියන්නේ. හඳගම, ඇත්ත තමයි අපේ ජිවිතයේ අපි හිතුව දේවල් මුකුත් හරිගියේ නෑ. ඉස්සර කොළඹ ඇවිල්ල ඔයාගේ ෆිල්ම් බලනකොට අපිට හිතුනා අපේ කතාවත් ඒ විදියටම කරන්න ඕනි කියල. අපිට ඒක ඩ්‍රීම්ස් වුනාට. තේරුනාද? අපේ වේදනාව කාටවත් තේරෙන්නේ නෑ. අපි හිතුවා හොඳ අනාගතයක්, සන්තෝසෙන් ඉන්න ජිවිතයක්, අපේ ළමයින්ට හොඳ අනාගතයක්. මුකුත් හරිගියේ නෑ. මේ බලන්නකෝ තව අපිට කියන්න ගොඩක් තියෙනවා. අපිට කියන්නත් බැරුව ඉන්නේ. ඇහුම්කම් දෙන්නත් කවුරුත් නෑ. ඒක තමා ලොකුම ප්‍රශ්නේ. ”

මෙම බිහිසුණු යුද්ධය අවසන්ව වර්තමානයට වසර 09ක් වුවද කෙසාගේ ප්‍රකාශයෙහි වලංගුතාව අදටද විමසිය හැකිය. මෙය තුල බලවත් හරයක් ගෙන ඒමට ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂකවරයා උත්සාහ දරා ඇත. මෙම ප්‍රකාශය මෙහිදී ඉතා බලවත් වේ. මෙයින් කියවනුයේ දකුණේ එකාට තමාත් අදහස් දැක්වීම නිසි පරිදි කිරීමට හැකි වුවද උතුරේ එකාට එය කිරිමට ඉඩ විවර වනුයේ කවදාද වැනි කතාවකි. එනම් හෘද සාක්ෂිය ආමන්ත්‍රණය අප කාටත් වැළක්විය නොහැක. සියල්ලන්ගේ  හෘද සාක්ෂිය තුලට පැනයක් ඇතුළු කරනු ලබයි. එනම් සිංහල සිනමාකරුවාට හෘද සාක්ෂිය විවෘත කිරිමටත් රජයේ වීරයන් සැමරීමටත් අවස්ථාවක් ලැබුනද දමිළ ජනතාවගේ හෘද සාක්ෂියේ සිටින වීරයා සැමරීමට අවස්ථාවක් වීරයා ගැන කතා කිරීම අවස්ථාවක් වැනිය. එය සැමවිටම දකුණේ එකා උතුරේ එකා දිහා බලා උතුරේ කතාව ප්‍රකාශ කිරීමත්ය. නමුදු උතුරේ එකාගේ හෘද සාක්ෂිය තුල පවතින දෙය දකුණේ එකාගේ හෘද සාක්ෂිය තුල පවතින දෙයට වඩා සම්පුර්ණයෙන්ම වෙනස්විය හැකිය. එය නිවැරදි ලෙස දැනගැනීමටනම් අව්‍යාජ උතුරු හදවත් විවර කිරීමට ඉඩප්‍රස්ථා ලබා දිය යුතුය. 

මෙහි අවසානයට උතුරේ කේසා හා දකුණේ හඳගම එකම දියේ එබෙයි. කේසාගේ කතාව සිනමාවට ගෙනෙන ලෙස කේසා හඳගමගෙන් මෙහිදී ඉල්ලීමක් කරයි. ඉහත කතාවේ විසඳුම හඳගමගේ කටින් ගෙන ඒමට අධ්‍යක්ෂකවරයා ලෙස ප්‍රසන්න විතානගේ සමත්කම් දක්වයි. 

“ඔයාගේ කතාව film එකක් කරන්නෝනි ඔයා. නැතුව මම නෙමේ.”


මෙහි දෙවන චිත්‍රපටය “ඔහු” (Him) නමින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන එනු ලබන්නේ විමුක්ති ජයසුන්දරයන්ය. විමුක්ති යනු අත්‍යවශ්‍යයට වචනය පමණක් පිට කරන රූපය මූලික කරගත් අධ්‍යක්ෂවරයෙක් බව පැවසීම වඩා නිවැරදිය.
මෙහිදී විමුක්ති තම කතාවේ කතා නායකයා ලෙස තෝරා ගනු ලබන්නේ ශුද්ධ සිංහල බෞද්ධ පරිසරයක හැදී වැඩුණු ගුරුවරයෙක්ය. තරුණයෙකි. නමුදු සේවය කිරීමට සිදුවූයේ සිංහල දමිළ මිශ්‍ර ජන කොටස් ඇති ධීවර රැකියාව ජීවිතය කරගත් වෙරළබඩ පරිසරයකය. මොහු සිංහල ගුරුවරයෙකි. මොහු දිනක් දරුවන්ට උගන්නවමින් සිටී. එනම් සිංහල පාඩමක්ය. එකිනෙකා නැගිට සිංහල පෙළ පොත කියවයි. මෙහිදී කුඩා පිරිමි දරුවන් දෙදෙනෙකු අතර ආරවුලක් වේ. අයෙක් තවෙකුකෙගේ පොතේ වචනයක් ලියා ඇත. ගැටුම මෙය මතය. වචනය “එළාර” ය. ගුරුවරයාද එක් අන්තයකය. ගුරුවරයා පවසනුයේ,

“ළමයි එළාර කියන්නේ නරක වචනයක්. ආයේ එහෙම ඒක කියන්න එපා” 
                                                                                                          කියාය. මෙයින් ගුරුවරයාගේ සිංහල පාක්ෂික බව හොඳින්ම පැහැදිලි වේ. අප කවුරුත් දන්නා පරිදි එළාර යනු දමිළ රජ කෙනෙකි. දමිළත්වය එසේ හෙළ දැකීමට මෙම සිංහල ගුරුවරයා කටයුතු කරනුයේ ඇයිද යන්න ගැටලුව වේ. ගුරුවරයා යනු එකෙකි. නමුදු මුළු මහත් සමාජයම නිරුපණය කරන සිංහලයා මෙම ගුරුවරයා තුලින් පිළිඹිඹු වේ. වර්ගිකත්වය හා ජාතිකත්වය යන ගැටලුවට අවසානයේ ප්‍රශ්නාර්ථයක් දැමිය යුතු නොවේද යන්න විමුක්ති ජයසුන්දරයන් මෙයින් නගනු ලබන පැනය වේ. 
ඉන් අනතුරුව මෙම කතාව තවත් වර්ධනීය කරමින් දිගහැරේ. එනම් මෙම ගුරුවරයා තුලට පැනයක් ගෙන එන සිංහල මතාවක්ය. ගැටලුව පුනරුප්පත්තියයි. කුඩා දරුවෙකු කතාව කියයි. ඉපදී ඇත්තේ මියගිය කොටි නායකයෙකු බව පැවසේ. මේ මගේ අම්ම නොවේ, මගේ සහෝදරයා නොවේ යයි පවසයි. මම හැංගිලා හිටියේ මෙහෙම, මම වේඩි තිබ්බේ මෙහෙම, මට වේඩි වැදුනේ මෙහෙම යයි එම කුඩා දරුවා පවසයි.දරුවා සිංහල පවුලකය. මවද සිංහලය. මෙවැනි උච්චතම අවස්ථාවකදී මෙම සිංහල ගුරුතුමාගෙන් පාසලේ විදුහල්පතිවරයා පැනයක් නගයි. 

“පුනරුප්පත්තිය ඇත්ත කියමු. ඒත් L.T.T.E. කාරයෙක් උපදින්න පුලුවන්ද සිංහල පවුලක...?”

                                         නගන ප්‍රශ්නයේ හැටියට මොහු විදුහල්පතිවරයෙක්ද යන පැනය නැවත අපගෙන්ම ඇසීමට සිතේ. මෙය තුල විමුක්ති ජයසුන්දරයන් පැවසීමට උත්සහ දරා ඇත්තේ පුනරුප්පත්තිය පිලිබඳ පැනයක් නොවේ. එයින් එහාට ගිය ආගමික මතවාද, ජාතිකත්වය හා සහයෝගිතාව පිලිබඳ ගැටලුවක්ය. පෙර කී මනඃකල්පිත උදාහරණය මෙයට මනා ලෙස ගලපා ගත හැකිය. මවකට දරුවෙකු උපදී. එම මව හා පියා සිංහල වුවහොත් දරුවා කවරෙක්ද? නමුදු එම මව හා පියා දමිළ වුවහොත්? මුස්ලිම් වුවහොත්? කරුණු තත්ව කෙසේ වුවද සැමටම ඇත්තේ එකම රතු රුධිරය බව ව්‍යංගාර්ථයෙන් පැවසීමට විමුක්ති ජයසුන්දරයන් සමත් වේ.

විමුක්ති ජයසුන්දරයන් තම සිනමාපටය ඔස්සේ ඉතා සාර්ථක ලෙස පුනරුප්පත්තියක් හරහා සමාජය තුල  ඇති ජාතිවාදී මතිමතාන්තර හා අන්තවාදී යයි පවසන මුස්ලිම් ජනයා පිලිබඳවද ප්‍රශ්න කිරීම සිදුකරනු ලබයි. සිංහලයා දෙයක් මුහුණටම කියා ඇසීමට ඇති බියජනකභාවය ද දක්වයි. එලෙසම එය බියජනකභාවය මෙන්ම මනුෂ්‍යත්වය ලෙසද සැලකීමට කරුණු ඇත්තේ එසේ කිරීම තුලින් අනෙකාගේ සිත් රිදවීමට අකමැති වීම යන කරුණ ද තවකෙකුට ගම්‍ය කරගත හැකි බැවිනි. මෙම චිත්‍රපටය තුල ගුරුවරයා රවටා ඡායාරූපයන් රැගෙන යන මාධ්‍යකරුවා තුලින් වර්තමාන සමාජයේ මාධ්‍ය අවභාවිතය පිලිබඳ ඉතා දීර්ඝ විග්‍රහයක් කරයි. සරලවම කිවහොත් මාධ්‍ය තුලින් අනවශ්‍ය කුණු සෙවීම යනුවෙන් නම් කල හැක වේ. එමෙන්ම මෙහිදී ගුරුවරයා රා බෝතලය හා වීදුරුව අතින් ගෙන සිටින රූපරාමුවෙන් පසු රූපය වනුයේ බූරුවෙක් කෑ ගසන රූපරාමුවක් හා ඌරු කොටුවක දර්ශනයකි. මෙය තුලින් වර්තමානයේ පවත්නා ජාතින් අතර අසමගිකත්වය හා මාධ්‍ය භාවිතය ඌරු කොටුවකට සමානකර පෙන්වනු ලබයි.

මෙලෙස දිගහැරෙන සෞන්දර්යාත්මක රූපරාමු අවසානයේ විදුහල්පතිවරයා සාහිත්‍ය ගුරුවරයාට අපූරු කතාවක් පවසයි.

“කාලය, දීපය, දේශය, කුලය, මව. මේවා බලලා ඉපදෙන්නෙ බුදු හාමුදුරුවෝ විතරයි සර්. අපි මොක්කු වෙලා ඉපදෙයිද කියල කවුද දන්නේ.”

           කෙසේ වෙතත් මෙම සහජීවන ගැටලුව තුල එකඟත්වයට ලක්විය නොහැකි සමාජ භේද ගෙනහැර පාමින් මෙම විමුක්තිගේ සෞන්දර්යාත්මක නිමාව අවසාන වේ.



ඉන් අනතුරුව ඇරඹෙනුයේ අශෝක හඳගමයන් අධ්‍යක්ෂණය කරනු ලැබූ “අනෙකා” (The Other) යන චිත්‍රපටයි. ක්‍රමිකව පෙර චිත්‍රපටවලින් කතා කරගෙන ආ ජාතිවාදිත්වය, සහජීවනය ආදී වූ කරුණු වල උච්චතම තත්වයට ගෙනයනු ලබන්නේ හඳගමයන්ය. මෙහි කතා සාරාංශය පහත පරිදිය. කොළඹ උද්ඝෝෂණයක් පැවැත්වේ. මෙය පවත්වනුයේ L.T.T.E. සංවිධානයේ සාමාජිකයන්ගේ පවුල්වල අය විසිනි. ඒ තම පුතා, සැමියා, සහෝදරයා ඉල්ලමින්ය. මෙහිදී යාපනයේ සිට අම්මා කෙනෙකු තම පුතා සොයා පැමිණේ. ඒ අතරතුර කොළඹදී ඇය තම පුතාව දැක ඔහු සොයා යයි. මෙයට ත්‍රීරෝද රථ රියදුරෙකු හා උද්ඝෝෂණයට ආ දමිළ කාන්තාවක් සහය දක්වයි.

‘එකෙක් වෙනුවෙන් අනෙකා’ යන තේමාවෙන් මෙම චිත්‍රපටය දිගහැරෙයි. මෙහිදී වරක් මෙම ත්‍රීරෝද රථ රියදුරා හා දමිළ කාන්තාව මෙම දමිළ මාතාව මහමග තනිකර දමා යන්නේය. නමුදු ස්වල්ප වේලාවක් ඇතුලත දෙදෙනාටම තමා පිලිබඳ වරදකාරී සිතුවිල්ලක් ඇතිව අනෙකා වන මාතාව සොයා පැමිණෙයි. මෙම ත්‍රීරෝද රථකරු සිංහලය. ජාතියකට ජාතියක් අතර හදවතේ පවත්නා වෛරය මෙම තරුණ දමිළ කාන්තාව ඔස්සේ ඉස්මතු කර ගැනීමට අශෝක හඳගමයන් සමත් වේ. එනම් ඇයට සිංහල තේරුනද සිංහල කතා කිරීමට අකමැති බව පවසයි. එය පිළිබඳව විමසන ත්‍රීරෝද රථ රියදුරුට ලැබෙනුයේ අදහාගත නොහැකි ආකාරයේ පිලිතුරක්ය. එනම් එයින් ව්‍යංගාර්ථ වනුයේ,

“මම උඹලගේ ජාතියට වෛර කරනවා”
                                                               වැනි කරුණක්ය.

ත්‍රීරෝද රථ රියදුරාගේ සහයෙන් පොලිස් ස්ථානයකට යන මෙම කාන්තාවන් දෙදෙනාට ශ්‍රී ලංකා පොලිස් සේවයේ අකාරුණික තරබාරු හඬට සවන් දීමට සිදුවේ. මෙහිදී තරුණ දමිළ කාන්තාවගේ හැසිරීම ප්‍රශ්නාර්ථකාරීය. එය සංවිධානයන් දෙකක සටන්කාමීන් දෙදෙනෙකු මුහුණට මුහුණ මුණගැසිමක් ලෙස අර්ථ දැක්විය හැකිය. එමෙන්ම රජයේ පොලිස් නිලධාරියාගේ අකාරුණිකත්වයද මොහු විසින් මෙය තුල මනාව ගම්‍ය කර ඇති අතර ප්‍රශ්නයෙන් පිට වෙන වෙන ප්‍රශ්න වලට පිළිතුරු සොයන පොලිස්කරුවෙකු අපට මුණගැසේ. එනම් ප්‍රශ්නය වනුයේ මාතාවගේ දරුවා නැති වීමය. පිළිතුර විය යුත්තේ මාතාව හා දරුවා සොයන ආකාරයක් පිලිබඳ කතිකා කොට ගැනීමයි. නමුදු සිදුවනුයේ අනෙකකි. ඔහු මොවුන්ගේ යටගියාව විමසයි. දෙමළා යනු L.T.T.E. කාරයෙක් පමණක්ම යන කරුණ පොලිස් නිලධාරියාගේ මතය බව සමාජයට ගෙනහැර පායි. එමෙන්ම මෙම තරුණ දමිළ කාන්තාව සටන්කාමී සංවිධානයකට පක්ෂපාතිත්වය දැක්වූ පසුව ශික්ෂණය ලබාගත් කාන්තාවක්ය. ඇගේ පෙර අතීතය අවුස්සා එම සටන්කාමී ජාතිවාදී කාන්තාව මතු කිරීමට ක්‍රියා කරනුයේද නූගත් පොලිස්කාරයාගේ ක්‍රියාව බව පැහැදිලිය. එය සමස්ත ජාතියක නියෝජනයකි.

ඉන් අනතුරුව මෙම සිංහල ත්‍රීරෝද රථකරු රාත්‍රියේ මෙම දෙමල තරුණිය ආමන්ත්‍රණය කරනු ලබයි. එම ඇමතුමට ඇය පිළිතුරු ලබා දේ. ඔහු තුල ඇති සාමකාමී සහජීවනත්වය මෙය තුලින් දක්වයි. අවසානය තුල මොවුන් එක්ව එම නැතිවූ පුතා යන කෙනාගේ ගෙදරට පැමිණේ. නිවැසියන් සිංහලය. එහි සිටින තරුණයාද සිංහලය. මාතාවද සිංහලය. පුතා රජයේ සෙබළෙකි. නමුදු යුද්ධය තුලදී පාදයක් අහිමිව ඇත. දමිළ මාතාව හඬාවැටේ. තම පුත්‍රයා පිළිබඳව වූ ස්නේහය කඳුළු වල දිය කරමින් ඇය හඬයි. පුතුන් අහිමි වූ සිංහල, දමිළ, මුස්ලිම් ඕනෑම මාතාවක ඉතා අසරණ බවත් සියලු මවුවරුන්ගේ හද තුල ඇති වේදනාව එක සමාන බවත් සියුම් ලෙස ප්‍රේක්ෂකයාට ඇඟවීමට හඳගමයන් සමත්කම් දක්වා ඇත. මෙය L.T.T.E හෝ වේවා රජයේ සෙබලෙකු හෝ වේවා වෙනසක් නැත. නැතිවන්නේ අම්මා කෙනෙකුට දරුවෙකු පමණි.

“අම්මා කෙනෙකුට පුතෙක් නැතිවුනාට ඇය කවදාවත් ඉවර වෙන්නේ නැති බලාපොරොත්තුවකින් දැවෙනවා. හැම මොහොතකදීම ඇය ඒ ගින්නෙන් දැවෙනවා.”
              ආත්මාර්ථය පසෙකලා මිනිසත්කම මතු කරගත යුතු බව අපට මතක් කර දීමට මෙය සමත්කම් දක්වයි. අවසානය තුලදී මනුෂ්‍යත්වය බෙදී ඇත්තේ සංස්කෘතිය හා ජාතිකත්වය මතට පමණක් බවත් සහජීවනයට කාලය එළඹ ඇති බවත් එසේ නොවුවහොත් පැවැත්මක් නොමැති බවත් සියුම් ලෙස ප්‍රේක්ෂකයාට අඟවයි. කෙලෙස වුවත් මෙම සහජීවනත්වය උදා කරගැනීමට තවත් කාලයක් ගතවන බව සිංහල ත්‍රීරෝද රථ රියදුරාගේ ස්නේහයේ දුරකථන ඇමතුමට අවසානයේදී දමිළ තරුණිය පිළිතුරු නොදීම තුලින් අඟවනු ලබයි. මෙය දකුණෙන් උතුරට ලැබෙන ප්‍රේම ඇරයුමයි. එය උතුර ප්‍රතික්ෂේප කිරීම තුලින් ජාතීන් අතර සහජීවනත්වය තව බොහෝ ඈත බව පසක් කරවයි.




එස්.එම්.ආර්.ජේ.නානායක්කාර
ජනසන්නිවේදන අධ්‍යන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

Wednesday, 26 June 2019

දැන්වීම්කරණය මගින් සමාජයට ඇති කරන බලපෑම.

දැන්වීම්කරණය මගින් සමාජයට ඇති කරන බලපෑම.

       දැන්වීම්කරණය යනු වර්තමාන සන්නිවේදන ක්‍රියාවලිය තුළ අතිශයින් සමාජ බලපෑමක් ඇති කරන පෙළඹවීම්කාරක ක්‍රියාවලියක් ලෙස හඳුන්වාදිය හැකිය. ජනමාධ්‍ය පැවැත්ම තීරණය කරන්නා වූ ද, ආර්ථිකය හසුරුවන්නා වූ ද ප්‍රබල සාධකයක් බවට දැන්වීම්කරණය පත්ව ඇත. මානව අවශ්‍යතා නිර්මාණය කරමින් තම භාණ්ඩ හා නිෂ්පාදන සේවා අලෙවි කිරීම සඳහා පාරිභෝගිකයා පොළඹවන වෙළඳ දැන්වීම් කලාව දැන්වීම්කරණය තුළ වඩාත් සක්‍රීයව ක්‍රියාවට නැංවෙන වත්මන් අවධිය තුළ දැන්වීම්කරණයේ සමාජ බලපෑම හිතකර මෙන්ම අහිතකර තත්ත්වයන් යටතේ හඳුනාගත හැකිය.

       කාර්යබහුල ජීවිත ගත කරන පාරිභෝගික ජනතාව සෑම විටම විසිරුණු මනසකින් යුක්ත වන අතර ඔවුන්ගේ දෛනික මානව අවශ්‍යතා සපුරා ගැනීම සඳහා භාණ්ඩ හා නිෂ්පාදන සේවා පිළිබඳ දැනුවත්භාවයක් ලැබීමට හා සංසන්දනය කරමින් ප්‍රමිතියෙන් උසස් භාණ්ඩ ලබා ගැනීම සඳහා දැන්වීම්කරණය වඩාත් ප්‍රයෝජනවත් වේ. එමෙන්ම සමාජය තුළ නව මතවාද, දර්ශනයන් ඇති කරමින් නව චින්තන රටාවන් ඇති කිරීමද දැන්වීම්කරණයේ හිතකර සමාජ බලපෑමක් ලෙස හඳුනාගත හැකිය. විශේෂයෙන් සෞඛ්‍යමය ගැටලු, සංවර්ධන ව්‍යාපෘති ආදිය ජනගත කිරීමේ දී නව මතවාද හා දර්ශනයන් සමාජගත කිරීමට දැන්වීම්කරණය වඩාත් සාර්ථක ලෙස භාවිත කළ හැකිය. මහජන සේවා පණිවිඩ සන්නිවේදනය කිරීමේ දී එකවර සමස්ත සමාජයට ආමන්ත්‍රණය කරමින් බලපෑම් කිරීමට දැන්වීම්කරණයට පවතින ශක්‍යතාවය සුවිශේෂී වේ.

       දැන්වීම්කරණය පිළිබඳ බොහෝ අය දරන මතය වන්නේ ඒ ඔස්සේ වැඩි වශයෙන් සමාජ අහිතකර බලපෑම් උද්ගත වන බවයි. කෙසේ වෙතත් වෙළඳපොල තරඟකාරිත්වය මත වෙළඳ දැන්වීම් ඔස්සේ වැරදි මත සමාජයේ ස්ථාපිත කිරීම හා ව්‍යාප්ත කිරීම සමාජයීය මෙන්ම සංස්කෘතික වශයෙන් ද බලපෑම් කරන කරුණකි. විශේෂයෙන්ම කුඩා දරුවන් යොදා ගනිමින් ඉලක්ක කරගෙන වැරදි මතවාද සමාජගත කිරීම ඔස්සේ දරුවන් සමාජානුයෝජනය වීමේ දී එය ප්‍රබල ගැටලුවක් බවට පත් වේ.

     එමෙන්ම තරඟකාරී වෙළඳ දැන්වීම්කරණය තුළ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමත් ඒ ඔස්සේ පාරිභෝගිකයා මෝහනයට හා මුළාවට පත් කිරීමත් දැන්වීම්කරණය ඔස්සේ ඇතිවන අහිතකර සමාජ බලපෑමක් ලෙස පෙන්වාදිය හැකිය. දැන්වීම්කරණය මත යැපෙන පාරිභෝගික සංස්කෘතියක් ඇති කරමින් ජනප්‍රිය සංස්කෘතියට ජනතාව යොමු කරවීමට දැන්වීම්කරණය හේතු වී ඇත. විශේෂයෙන්ම වැදගත් නොවූ මානව අවශ්‍යතා එකින් එක නිර්මාණය කරමින් එම අවශ්‍යතා සඳහා ජනතාව අනවශ්‍ය ආකාරයෙන් පෙළඹවීම වෙළඳ දැන්වීම්කරණයේ ප්‍රධානතම සමාජ බලපෑමක් ලෙස හඳුන්වාදිය හැකිය.

       පවතින සමාජ සදාචාරයට හා සංස්කෘතියට එරෙහිවන නව ජීවන රටාවන් හා සමාජ චර්යාවන් ඇති කරවීමට වෙළඳ දැන්වීම්කරණය බලපෑම් කරයි. ක්ෂණික ආහාර රටාවන් ඇති කිරීම, ජනප්‍රිය සංස්කෘතියට හැඩගැස්වීම, විරෝධාකල්ප චින්තනයන් ඇති කිරීම වැනි චර්යාත්මක වෙනස්වීම් එම බලපෑම් අතර වේ.

         දැන්වීම්කරණයේ සමාජ බලපෑම් වැඩි වශයෙන් දරුවන් හා තරුණ පිරිස් ඉලක්ක කර ගනී. ලිංගිකත්වය, බිය, ආරක්ෂාව, ආදරය, රාගය වැනි මනෝ විද්‍යාත්මක සාධක ඔස්සේ හැඟීම් වලට හදවතට ආමන්ත්‍රණය කරමින් පාරිභෝගිකයා පොළඹවා ගැනීමට දැන්වීම්කරණය ඔස්සේ කටයුතු කරයි.

         දැන්වීම්කරණයේ සමාජ බලපෑම් අඩු වැඩි වශයෙන් හිතකර මෙන්ම අහිතකර තත්ත්වයන්ගෙන් බලපෑම් කරන අතර එය යම්තාක් දුරට හෝ නියාමනය කිරීම සඳහා පියවර ගැනීම අතිශය වැදගත් වේ. විශේෂයෙන් දැන්වීම් කරණය සඳහා වූ නීතිමය රෙගුලාසි පද්ධතියක් හෝ ආචාරධර්ම පද්ධතියක් ඇති කිරීම ඊට සුදුසුම පියවරයි. වර්තමානය වන විට ද ඒ ඒ රටවලට ආවේණිකව ගොඩනගා ගත් දැන්වීම්කරණ ආචාරධර්ම හා නීතිමය ලියවිලි පැවතිය ද ඒවා ක්‍රමානුකූලව ක්‍රියාවට නැංවීම සඳහා බලගන්වා නොමැති වීම තුළ දැන්වීම්කරණයේ අහිතකර සමාජ බලපෑම් වර්ධනය වී ඇති බව පැහැදිලි වේ. කෙසේ වෙතත් සන්නිවේදන ප්‍රචාරණ ක්‍රියාවලියක් ලෙස දැන්වීම්කරණය මානව අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බවත් එය භාවිත කිරීමේ ක්‍රමවේදය තුළ හා භාවිත කරන පුද්ගලයන් අනුව එහි බලපෑම් ස්වභාවය වෙනස්වන බවත් ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකිය.



රිෂිත ජනිත් නානායක්කාර
ජනසන්නිවේදන අධ්‍යන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

දැන්වීම්කරණ මාධ්‍ය

දැන්වීම්කරණ මාධ්‍ය


        දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා යොදා ගැනෙන සියලුම වාහක දැන්වීම්කරණ මාධ්‍ය වශයෙන් හඳුනාගත හැකිය. සාම්ප්‍රදායික මාධ්‍ය, පුවත්පත්, රූපවාහිනිය, ගුවන්විදුලිය, සඟරා, අන්තර්ජාලය, දැන්වීම් පුවරු වැනි මාධ්‍ය ඒ අතර වේ. තාක්ෂණික දියුණුවත් සමඟ ක්‍රමිකව විකාශනය වෙමින් අද වන විට ජනමාධ්‍ය හා නව මාධ්‍ය මුල් කරගත් දැන්වීම්කරණ කර්මාන්තයක් බිහිවී ඇත.

දැන්වීම් ප්‍රචාරයට පත්වන මාධ්‍ය අනුව ප්‍රධාන වශයෙන් ප්‍රභේද දෙකක් යටතේ දැන්වීම් වර්ග කළ හැකියි.

1.  මුද්‍රිත මාධ්‍ය දැන්වීම්
2.  විද්්‍යුත් මාධ්‍ය දැන්වීම්

         මුද්‍රිත මාධ්‍ය දැන්වීම් යටතේ පුවත්පත් දැන්වීම්, සඟරා දැන්වීම්, වෙළඳ නාම පුවරු, අත්පත්‍රිකා, පෝස්ටර්, දැන්වීම් පුවරු ආදිය හඳුනාගත හැකිය.

        විද්්‍යුත් මාධ්‍ය දැන්වීම්කරණ යටතේ ගුවන් විදුලි දැන්වීම්, රූපවාහිනී දැන්වීම්, නව මාධ්‍ය දැන්වීම් ආදිය හඳුනාගත හැකිය.

මුද්‍රිත මාධ්‍ය දැන්වීම්

        දැන්වීම්කරණයේ දී භාවිත කරනු ලබන මාධ්‍යයන් අතර ප්‍රධාන මාධ්‍යයක් ලෙස මුද්‍රිත මාධ්‍ය හඳුනාගත හැකිය. මුද්‍රිත මාධ්‍ය ලෙස දැන්වීම්කරණයේදී සැලකෙන්නේ වාණිජ වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙන දැන්වීම් සඳහා සිය මාධ්‍ය තුළ ඉඩ අලෙවිකරණ, මුද්‍රණයෙන් එළි දකින මාධ්‍යයකි. ඒ අනුව මුද්‍රිත මාධ්‍ය ආශ්‍රයෙන් ඉදිරිපත් වන දැන්වීම් මුද්‍රිත මාධ්‍ය දැන්වීම් ලෙස හැඳින්වීමට හැකිය. පුවත්පත් දැන්වීම්, සඟරා දැන්වීම්, අත් පත්‍රිකා, පෝස්ටර්, බැනර් ආදිය මුද්‍රිත මාධ්‍ය දැන්වීම් අතර කිහිපයකි.

      මුද්‍රිත මාධ්‍ය දැන්වීම්කරණයේදී ප්‍රධාන වශයෙන් ම ඉඩ පිළිබඳ සලකා බැලිය යුතුය. එය මුද්‍රිත මාධ්‍ය දැන්වීම්කරණය තුළ වැදගත්ම සාධකය ලෙස හඳුනාගත හැකිය. ඊට අමතරව ව යොදා ගන්නා භාෂා රටාව, තේමාව, වර්ණ, රූප ආදිය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ.

        පුවත්පත් හා සඟරා දැන්වීම් ඉදිරිපත් කිරීමේදී එම දැන්වීම් පුවත්පත හෝ සගරාව තුළ ස්ථානගත කරන ස්ථානය, තේමාවට අදාළ රූප යොදා ගැනීම, අදහස් ඉස්මතු වන ආකාරයේ වර්ණ භාවිතය, රූප සංරචනය හා අකුරු අතර ගැලපීම් වැනි සාධක කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. විශේෂයෙන් සඟරා දැන්වීම් ඉලක්ක පාඨක පිරිස කෙරෙහි යොමු වන අතර ඒ හා සම්බන්ධ දැන්වීම් අන්තර්ගත කිරීමට කටයුතු කිරීම ද වැදගත් වේ.

       අත් පත්‍රිකා, බැනර්, පෝස්ටර්, වෙළඳ නාම පුවරු වැනි දැන්වීම් ඉතා ක්ෂණිකව පාඨකයාට කියවා තේරුම් ගත හැකි පරිදි සරල භාෂාවකින් නිර්මාණය කරනු ලබයි. විසිරුණු මනසක් ඇති ග්‍රාහකයාගේ දෑස් ක්ෂණිකව දැන්වීම් වෙත ග්‍රහණය කරගත හැකි ආකර්ෂණීය අයුරින් නිර්මාණයය කිරීමට කටයුතු කල යුතුය. මුද්‍රිත මාධ්‍ය දැන්වීම්කරණයේදී යොදා ගන්නා අත්පත්‍රිකා, බැනර්, වෙළඳ නාම පුවරු අනාවෘත මාධ්‍ය දැන්වීම් ලෙස ද හඳුන්වනු ලබයි.

ගුවන්විදුලි මාධ්‍ය දැන්වීම්

       විද්‍යුත් මාධ්‍ය දැන්වීම්කරණය තුළ ගුවන්විදුලි මාධ්‍ය දැන්වීම් මූලික වශයෙන් හඬ මුල්කරගෙන නිර්මාණය වේ. ඊට අමතරව ලය, සංගීතය, ශබ්ද, නිහඬ බව ආදිය තුළින් ශ්‍රාවක මනසේ දැන්වීම් චිත්‍රණය කර වීමට එනම් පරිකල්පනය කරවීමට හැකි වන ලෙසින් ගුවන්විදුලි දැන්වීම්කරණය නිර්මාණශීලී කලාවක් බවට පත්ව ඇත.

           ඇසී නෑසී යන ක්ෂණ භංගුර මාධ්‍යයක් වන ගුවන්විදුලි මාධ්‍ය තුල දැන්වීම් ඉදිරිපත් කිරීමේදී ප්‍රධාන වශයෙන්ම ශ්‍රාවකයාට ඉක්මනින් වැටහෙන සරල භාෂාවක් යොදා ගැනීමත්, සංඛ්‍යාත්මක දත්ත ඇතුලත් කිරීමේදී පැහැදිලිව සහ අවම වශයෙන් යොදා ගැනීමටත් කටයුතු කළ යුතුය. එමෙන්ම ශ්‍රාවකයාට ගුවන්විදුලි වැඩසටහන් හා සංවාද ආදිය පැහැදිලි ලෙසම දැන්වීම් වලින් වෙන්කර හඳුනාගත හැකි පරිදි ගුවන්විදුලි දැන්වීම් ඉදිරිපත් කළ යුතුය.

         ගුවන්විදුලි මාධ්‍ය දැන්වීම්කරණය තුළ වර්තමාන නව ප්‍රවණතාවක් ලෙස නිවේදක නිවේදිකාවන් විසින්ම කටවහර යොදා ගනිමින් දැන්වීම් ඉදිරිපත් කිරීම පෙන්වා දිය හැකිය. වැඩි ශ්‍රාවක ආකර්ෂණයක් දිනා ගැනීමේ අරමුණින් වෙළඳ දැන්වීම්කරුවන් විසින් නිර්මාණශීලීව ගුවන්විදුලි දැන්වීම් යොදාගත් අවස්ථාවක් ලෙස එය හඳුනාගත හැකිය.

          ගුවන්විදුලි දැන්වීම්කරණයේදී ගුවන් කාලය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වන අතර කොපමණ කාලයක්, කොපමණ වාර ගණනක්, කුමන කාල සීමාවන් තුළ ප්‍රචාරය කරනවා ද යන්න මත දැන්වීම්කරුවගේ අරමුණ වෙත ලඟාවීමට පහසු වේ.

රූපවාහිනී මාධ්‍ය දැන්වීම්

           විද්‍යුත් මාධ්‍ය දැන්වීම්කරණයේ නිම් වළලු පුළුල් කරමින් දැන්වීම්කරණය කලාවක් හා කර්මාන්තයක් දක්වා ව්‍යාප්ත වූයේ රූපවාහිනි මාධ්‍යයේ ආගමනයත් සමගය. දෘශ්‍ය රූපය ප්‍රධාන කර ගනිමින් ප්‍රේක්ෂකයාට වඩාත් හොඳින් ග්‍රහණය වන පරිදි දැන්වීම් ඉදිරිපත් කිරීමට අවකාශය රූපවාහිනී දැන්වීම් හරහා ලැබිණි. රූපවාහිනී දැන්වීම්කරණය පිළිබඳ විග්‍රහ කිරීමේදී පිටපත් රචනය, දෘශ්‍ය රූපය, සංගීතය, භාෂාව, කැමරාකරණය, ආලෝකකරණය, සංස්කරණය, පසුතල නිර්මාණය කිරීම, වේශ නිරූපණය වැනි සාධක ගණනාවකම සාර්ථක සැලසුම් සහගත එකතුවක් ලෙස නිර්මාණය වන්නක් ලෙස හඳුනාගත හැකිය.

         විශේෂයෙන්ම රූපවාහිනී දැන්වීමක් තුළ සමාජයීය, තාක්ෂණික, නෝවිද්‍යාත්මක සාධක ගණනාවක්ම ගැබ්ව පවතී. ඒවා නිවැරදිව සංයෝජනය කර ගැනීම හා හසුරුවා ගැනීම වැදගත් වේ. පාරිභෝගිකයා ආකර්ෂණය කරගනිමින් නිෂ්පාදන හා සේවා ලබාගැනීම සඳහා පෙළඹවීමට අවශ්‍ය හැඟීම් වඩාත් උත්සුක ආකාරයෙන් අවදි කළ හැකි දැන්වීම්කරණ මාධ්‍යයක් ලෙස රූපවාහිනී මාධ්‍ය දැන්වීම් හඳුනාගත හැකිය.

නව මාධ්‍ය දැන්වීම්

         භූගෝලීය සීමා අතික්‍රමණය කරමින් දැන්වීම්කරණයේ අන්තර්ජාතික ප්‍රවේශයක් බිහිකරන ලද්දේ නව මාධ්‍ය හරහා ය. අන්තර්ජාලය ප්‍රමුඛ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ඇති වූ ප්‍රවණතාවයක් ලෙස අන්තර් ක්‍රියාකාරී මාධ්‍ය යටතේ දැන්වීම්කරණය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත විය. මේ ඔස්සේ වෙන් වෙන් වශයෙන් ඉලක්ක ග්‍රහකයන් ඇමතීමේ ස්වභාවය වර්ධනය වී තිබේ. නව මාධ්‍ය දැන්වීම්කරණය සාම්ප්‍රදායික මාධ්‍ය දැන්වීම්කරණය මෙන් නොව පුද්ගල අවශ්‍යතා හඳුනාගනිමින්, නිශ්චිත ග්‍රාහක පිරිස හඳුනා ගනිමින් ඔවුන් වෙනුවෙන් සකස් කරන ලද දැන්වීම් ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසීම අතිශය වැදගත් සාධකයකි. ඉතා ඉක්මනින් පාරිභෝගිකයා වෙත සමීප වීමට හා ඔහුගේ අවශ්‍යතා හඳුනාගැනීමට නව මාධ්‍ය දැන්වීම්කරණය හරහා අවස්ථාව උදාවේ.

      ජනමාධ්‍ය ඔස්සේ දැන්වීම් ඵළ කිරීමට සාපේක්ෂව අඩු පිරිවැයකින් යුතුව නව මාධ්‍ය දැන්වීම් ඉදිරිපත් කරන්නට හා නිර්මාණය කරන්නට හැකි වීම ද නව මාධ්‍ය දැන්වීම්කරණයේ සුවිශේෂී ලක්ෂණයක් ලෙස හඳුන්වාදිය හැකිය.

       මෙවැනි ප්‍රධාන ක්‍රමවේදයන්ට අමතරව තවත් මාධ්‍ය ගණනාවක් යොදාගනිමින් දැන්වීම්කරණය සිදුවේ. සංංගීත රූප රචනා තුළ දැන්වීම් ඇතුලත් කිරීම නව ප්‍රවණතාවයක් වී ඇත. එසේම සිනමා ශාලා තුළ චිත්‍රපට ප්‍රදර්ශනයට පෙර හා ඒ අතරවාරයේදී දැන්වීම් පළ කිරීම ආදිය මෙන්ම දුරකථන ඇමතුම්, කෙටි පණිවිඩ හරහා දැන්වීම් වලට සවන් දීමට හා නැරඹීමට ඉඩ ලැබීම නිදර්ශන ලෙස පෙන්වා දිය හැකිය.



රිෂිත ජනිත් නානායක්කාර
ජනසන්නිවේදන අධ්‍යන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

වෙළඳ දැන්වීම් කලාව

වෙළඳ දැන්වීම් කලාව


          වෙළඳ දැන්වීම් කලාව යනු කිසියම් වෙළෙඳ නාමයක් යටතේ ඉදිරිපත් කෙරෙන නිෂ්පාදනයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීමට හෝ මිලදී ගැනීම්ට පාරිභෝගිකයන් පෙළඹවීම සඳහා කෙරෙන සන්නිවේදන මාදිලියකි. දැන්වීම්කරණය පිළිබඳ වඩාත් හොඳ අර්ථකථනයක් ඒ පිළිබඳ ඉදිරිපත්ව ඇති නිර්වචන ඔස්සේ ලබාගත හැකිය.

“වෙළඳ දැන්වීම්කරණය යනු අදහස්, භාණ්ඩ හෝ සේවා පිළිබඳ පණිවිඩයක් මාධ්‍ය තුළින් බෙදාහැරීමේ ක්‍රියාවලියයි.එම ක්‍රියාවලිය සඳහා හඳුනාගත් කිසියම් අනුග්‍රාහකයෙකු මුදල් ගෙවයි.“ 

       මේ අනුව වෙළඳ දැන්වීම්කින් මූලික වශයෙන් බලාපොරොත්තු වන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා පාරිභෝගික ආකර්ෂණය දිනා ගැනීමයි. ඩොන් ස්ලේටර් නම් විචාරකයා පෙන්වා දෙන්නේ පාරිභෝගික භාණ්ඩ පිළිබඳ සංස්කෘතික ප්‍රතිනිර්වචනයක් දැන්වීම්කරණයෙන් ලැබෙන බවයි. එම භාණ්ඩ බෙදාහැරීමේ මෙන්ම ඒවායේ මිල තීරණය කිරීමේ බලය දැන්වීම්කරණය සතු බව හෙතෙම පෙන්වා දෙයි.

      වෙළඳ දැන්වීම්කරණය ස්වභාවයෙන්ම පෙළඹුම්කාරී වේ. මේ සඳහා මුදල් ගෙවන නිශ්චිත අනුග්‍රාහකයෙකු ඇති අතර විවිධ මාධ්‍ය හරහා පාරිභෝගික ගත කරයි. වෙළඳනාම ප්‍රතිරූපය හෝ වෙළඳ නාමය කෙරෙහි පාරිභෝගිකයාගේ ඇති බැඳීම, විශ්වසනීයත්වය ඇතිකිරීම හා ව්‍යාප්ත කිරීම තුළින් පරිභෝජනය ඉහළ නැංවීම සඳහා අවශ්‍යතාවයන් නිර්මාණය කිරීම හා ඒ සඳහා පාරිභෝගිකයා පෙළඹවීම වෙළඳ දැන්වීම් කලාවේ මුඛ්‍ය අරමුණයි.

          වර්තමානය වන විට මාධ්‍ය තාක්ෂණයේ දියුණුවත් සමඟ වෙළඳ දැන්වීම්කරණය නිර්මාණශීලී කලාවක් මෙන්ම කර්මාන්තයක් බවට පත්ව ඇත. වර්තමානයේ විවිධ නිෂ්පාදන සමාගම්, සංවිධාන හා ආයතන වෙනුවෙන් දැන්වීම් නිර්මාණය කිරීම හා ප්‍රචාරය කිරීම සඳහා දැන්වීම් නිර්මාණය කරන ආයතන පවතී.  හුදෙක්ම අද වන විට වෙළඳ දැන්වීම් කලාව යන්න ආර්ථිකය හසුරුවන සංකීර්ණ ව්‍යාපාරයක් බවට පත්ව ඇත.

වෙළඳ දැන්වීම් ආකාර

        වෙළඳ දැන්වීම් ආකාර ප්‍රධාන වශයෙන් ත්‍රිත්වයක් හඳුනාගත හැකිය.

1.  නිෂ්පාදන දැන්වීම්කරණය
2.  නිෂ්පාදන නොවන දැන්වීම්කරණය
3.  නිර්වාණිජ දැන්වීම්කරණ

නිෂ්පාදන දැන්වීම්කරණය

        භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනය කිරීම සඳහා යොදා ගැනෙන දැන්වීම් නිෂ්පාදන දැන්වීම් ලෙස හඳුනාගත හැකිය. කිසියම් ආයතනයක් සමාගක් විසින් සපයන භාණ්ඩ හා සේවා පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කිරීම සඳහා යොදා ගන්නා දැන්වීම් මේ ගණයට අයත් වේ. මෙම දැන්වීම්කරණය වාණිජ පරමාර්ථ පදනම් කරගෙන නිර්මාණය කරයි. බොහෝ විට භාවාත්මක ප්‍රවේශයකින් ඉදිරිපත් වෙයි. භාණ්ඩ හා සේවා නිෂ්පාදන වල තොරතුරු දක්වමින්, සෙසු නිෂ්පාදන හා සංසන්දනයට ලක් කරමින් ආදී ක්‍රම ඔස්සේ මෙම දැන්වීම් නිර්මාණය වේ. වර්තමානයේ බහුලව දැකිය හැක්කේ නිෂ්පාදන දැන්වීම්ය.

නිෂ්පාදන නොවන දැන්වීම්කරණය

      මෙහිදී අපේක්ෂා කෙරෙන්නේ භාණ්ඩ හෝ සේවා පිළිබඳ ප්‍රචාරයක් නොව අදහස් හෝ දර්ශනයක් සමාජගත කිරීමයි. බොහෝ ආයතන, සමාගම් තම ප්‍රතිරූපය නගා සිටුවීමට, අනන්‍යතාවයක් ඇති කර ගැනීමට, තම නාමය පාරිභෝගිකයා තුළ ස්ථාපිත කරවීමට විවිධ දර්ශනයන් හා මතවාද සමාජය තුළ ඇති කරන අතර ඒ සඳහා මෙම දැන්වීම් ආකාරය යොදා ගනී. උදාහරණ ලෙස ලංකාබෙල්, commercial creddit වැනි සමාගම් අපේ කම, ග්‍රාමීය සංස්කෘතිය යන සාධක සමාජගත කිරීම ආදිය දැක්විය හැකිය.

නිර්වාණිජ දැන්වීම්කරණය

        වාණිජ පරමාර්ථයෙන් තොරව ඉදිරිපත් කරන දැන්වීම් මේ ඝනයට අයත් වේ. බොහෝ විට රජය, ලාභ නොලබන සංවිධාන, පුණ්‍යායතන, ආගමික හෝ දේශපාලන සංවිධාන වැනි ආයතන මගින් නිර්වාණිජ දැන්වීම් සඳහා අනුග්‍රාහකත්වය සැපයේ. ග්‍රාහකයන්ගේ චර්යාවන් වෙනස් කිරීම, දේශපාලන මතවාද සමාජගත කිරීම, සම්පත් සුරැකීම, සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ සමාජය දැනුවත් කිරීම ආදිය සඳහා නිර්වාණිජ දැන්වීම් යොදා ගනු ලබයි.

මීට අමතරව වර්තමාන වෙළෙඳ දැන්වීම්කරණය තුළ හඳුනාගත හැකි දැන්වීම් ප්‍රභේද කිහිපයක් ද පවතී.
සන්නාම ප්‍රවර්ධන දැන්වීම්
සේවා ප්‍රවර්ධන දැන්වීම්
මහජන සේවා දැන්වීම්
සමාජ වගකීම පිළිබඳ දැන්වීම්
උපදේශනාත්මක දැන්වීම්
ආවෘත වෙළඳ දැන්වීම්
                                                  ඒ අතර කිහිපයකි.







රිෂිත ජනිත් නානායක්කාර
ජනසන්නිවේදන අධ්‍යන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

Monday, 24 June 2019

දැන්වීම්කරණය

දැන්වීම්කරණය

          දැන්වීම්කරණය යන්න මෑත ඉතිහාසයේ ඉතා කේන්ද්‍රීය වැදගත්කමක්, ප්‍රචලිත බවක් හිමි වූ සාධකයකි. දැන්වීම්කරණය හා සම්බන්ධව දිගු ඉතිහාසයක් පවතී. එය මානව ඉතිහාසයේ මුූලාරම්භය දක්වා දිවයන්නකි. දැන්වීම්කරණය යනු යම් ක්‍රියාවලියක්, සිද්ධියක්, භාණ්ඩයක් ගැන බහුතරයක් පිරිස දැනුවත් කිරීම හා ඒ සඳහා පෙළඹවීමක් ඇති කිරීම සඳහා උපයෝගී කරගන්නා ප්‍රචාරණ සන්නිවේදන විධික්‍රමයක් ලෙස සංක්ෂිප්තව විග්‍රහ කළ හැකිය.

          දැන්වීම් යනු පුළුල් සංකල්පයකි. එය වෙළඳ දැන්වීම් වලට පමණක් සීමා නොවේ. ඉන් ඔබ්බට විහිදී ගිය විශාල පරාසයක් පුරා විසිරුණු ක්ෂේත්‍රයක් දැන්වීම්කරණය යනුවෙන් හඳුනාගත හැකිය. දැන්වීමක මූලික අරමුණ වන්නේ කිසියම් දෙයක්, කරුණක් පිළිබඳ ව ග්‍රාහකයා හෙවත් ඉලක්ක ප්‍රජාව දැනුවත් කිරීමයි.
           ප්‍රධාන වශයෙන් අරමුණ අනුව දැන්වීම් කොටස් දෙකක් යටතේ වර්ග කළ හැකියි.
                          1. වෙළඳ දැන්වීම්
                          2. වෙළෙඳ නොවන දැන්වීම්

     වර්තමාන මාධ්‍ය ක්ෂේත්‍රය තුළ වැඩි වශයෙන්ම දැකගත හැකි වන දැන්වීම් ලෙස වෙළද දැන්වීම් හඳුන්වාදිය හැකිය. වාණිජ අරමුණු අනුව ඉදිරිපත්වන දැන්වීම් වෙළඳ දැන්වීම් ලෙස සරලව අර්ථ දැක්විය හැකිය. වර්තමානය වන විට ආගම, ජාතිය, පුද්ගල ප්‍රතිරූපය ආදී විවිධ සාධක නිර්මාණශීලීව යොදා ගනීමින් වෙළඳ දැන්වීම්කරණය කලාවක් ලෙසින් වර්ධනය වී ඇත. තාක්ෂණික දියුණුව එහිදී කැපීපෙනෙන ලක්ෂණයක් බවට පත්ව ඇත.

       සමාජ අභිවෘද්ධිය තකා ඉදිරිපත් කරන වාණිජ අරමුණු වලින් තොර දැන්වීම් වෙළඳ නොවන දැන්වීම් ලෙස හැඳින්විය හැකිය. රජය විසින් ඉදිරිපත් කරන තොරතුරු, මැතිවරණ දැන්වීම්, ඩෙංගු, ඒඞ්ස්, වකුගඩු රෝග උවදුරු වළක්වා ගැනීම උදෙසා ඉදිරිපත්වන දැන්වීම්, සෞඛ්‍ය සායන, සමාජ සුබසාධන කාර්යය ආදිය පිළිබඳ ඉදිරිපත් කරන දැන්වීම් මේ යටතට ගැනේ.  කෙසේ වෙතත් අද වන විට  වාණිජ දැන්විම් වුවද සමාජ වගකීම් පිළිබද දැන්වීම් ස්වරූපයෙන් නිර්මාණශීලීව ඉදිරිපත් කරමින් වාණිජ අරමුණු ඉටුකකර ගනී.

          දැන්වීම්කරණය තුලින් බලාපලාපොරොත්තු වන ප්‍රධාන කාරණා කිහිපයක් හඳුනාගත හැකිය.

* නව භාණ්ඩයක් හෝ සේවාවක් පිළිබඳ ජනතාවට හඳුන්වාදීම.
* භාණ්ඩයක් හෝ සේවාවක් ප්‍රවර්ධනය කිරීම හා ප්‍රචාරණය කිරීම.
* වෙනත්  නිෂ්පාදනයන්ට වඩා තම භාණ්ඩයේ හෝ සේවාවන්ගේ ඇති විශේෂතා, වාසි සහගත බව                    පෙන්වීම.
* පාරිභෝගික අවශ්‍යතා නිර්මාණය කිරීම හා ඒ ඔස්සේ තම නිෂ්පාදනයන් අලෙවි කිරීම.
* පාරිභෝගික අවශ්‍යතා සපුරා ගැනීමට පහසු කර කරවීම.
* පාරිභෝගිකයාගේ ආකර්ෂණය දිනා ගැනීම.
* ආයතනවල ප්‍රතිරූපය වර්ධනය කරගැනීම.
* ජනතාවට තොරතුරු, සංදේශ සන්නිවේදනය කිරීම.

         අතීතයේ සරල ක්‍රමවේද ඔස්සේ ඇරඹි දැන්වීම්කරණය වර්තමානය වනවිට තාක්ෂණික දියුණුව ඔස්සේ නිර්මාණශීලී දැන්වීම් කලාවක් ලෙස වර්ධනය වී සමාජයට හිතකර මෙන් අහිතකර ආකාරයෙන්ද බලපෑම් කරමින් පවතී.

1.1 දැන්වීම්කරණයේ විකාශනය

         දැන්වීම් නිර්මාණය වීම අද ඊයේ සිදු වූවක් නොව මීට වසර දහස් ගණනකට පෙර යුගයේ මානවයාගේ විකාශනයේ ආරම්භක කාලයේ පටන් විකාශනය වෙමින් පැවත එන්නකි. මානව පරිණාමය සිදු වූ එක් එක් යුගයන් තුළ ඒ හා සම්බන්ධව දැන්වීම්කරණය ද ඒ ඒ යුගවල පැවති තාක්ෂණික දියුණුව හා මානව අවශ්‍යතා මත නිර්මාණශීලීව විකාශනය වෙමින් පැවත එන ලදී. ඒ අනුව දැන්වීම්කරණයේ විකාශනය අවධීන් හයක් යටතේ විග්‍රහ කළ හැකිය.

     1. ප්‍රාථමික අවධිය
     2. කණ්ඩායම්, සමූහ ඇතිකර ගැනීමේ අවධිය
     3. රාජ්‍ය මූලික අවධිය
     4. ජනමාධ්‍ය බිහිවීම
     5. පෞද්ගලික හා රාජ්‍ය අංශයේ නැගීම
     6. නව මාධ්‍ය බිහිවීම

ප්‍රාථමික අවධිය


        ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා තනි තනි වශයෙන් සිටි මුල් කාලයේ තම ආහාර, ඇඳුම් පැළඳුම්, ලිංගික අවශ්‍යතා ආදිය සපුරා ගැනීම සඳහා අන් අය සමඟ සන්නිවේදනය කිරීමට යොදා ගන්නා ලද්දේ සංඥා, සංකේත, ඉඟි ආදියයි. ප්‍රාථමික අවධිය තුළ සන්නිවේදනය සඳහා යොදාගත් එවැනි ක්‍රම දැන්වීම්කරණයේ මූල බීජයන් ලෙස හඳුනාගත හැකිය. ඒ අනුව මානවයාගේ ආරම්භයේ සිටම ඔහු යොදාගත් සන්නිවේදන විධි ඔස්සේ දැන්වීම්කරණයේ ආරම්භය සිදුවී ඇති බව පැහැදිලි වේ.

කණ්ඩායම්, සමූහ ඇතිකරගැනීමේ අවධිය

          මානව පරිණාමයේ සුවිශේෂී අවධියක් ලෙස සමූහයක් ලෙස ගෝත්‍ර වශයෙන් එකතු වීම දැක්විය හැකිය. “නියැන්ඩර්තාල් මානවයා“ සමූහ වශයෙන් වාසය කිරීමට පෙළඹුණ අතර ගල්ගුහාවල වාසය කරන ලදී. එහිදී ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා එකිනෙකා විවිධ ශබ්ද, සංකේත ආදිය යොදා ගන්නා ලදී. ඒ සඳහා නිදසුන් ස්පාඤ්ඤයේ අල්ටමීරා, ප්‍රංශයේ ලැස්කෝ ආදී ලෙන් වලින් හමු වී ඇත. මේ අවදිය තුළ ප්‍රධාන වශයෙන්ම චිත්‍ර මගින් හා නර්තනය, රංගනය මගින් සන්නිවේදනය කරන ලද අතර ඒ ඔස්සේ සෙසු පිරිස දැනුවත් කරන ලදී. ඒ අනුව දැන්වීම්කරණයේ මූලික අවධීන් අතර ඉතා වැදගත් අවස්ථාවක් ලෙස ගුහා තුළ චිත්‍ර ඇඳීම සහ රංගනයෙන් අදහස් පළ කිරීම දැක්විය හැකිය.
        ප්‍රාථමික අවධිය හා මානවයා සාමූහික වශයෙන් ගොඩනැඟුණු අවධිය තුළ සංඥා, සංකේත, ඉඟි, චිත්‍ර, නර්තනය ආදී සන්නිවේදන ක්‍රම සෙසු අය දැනුවත් කිරීම සඳහා යොදාගෙන ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ මානවයාගේ මුල් සන්නිවේදන ක්‍රම ඔස්සේ එනම් සාම්ප්‍රදායික ක්‍රම ඔස්සේ දැන්වීම්කරණයේ ආරම්භය සිදුව ඇති බවයි. 

රාජ්‍ය මූලික අවධිය

        මානව පරිණාමයේ වැදගත් දියුණු යුගයක් ලෙස ජනතාව රජු වටා එක්වුණු රාජ්‍ය මූලික අවධිය හඳුන්වාදිය හැකිය. මෙම යුගයේ සියලු තීරණ රජු මූලිකව ගන්නා ලදී. මේ අවධියේ අණබෙර ගැසීම, හසුන්පත් සන්දේශ යැවීම, කට කතා, කැලෑ පත්තර ආදිය සන්නිවේදන ක්‍රම ලෙස යොදා ගන්නා ලදී. විශේෂයෙන් රාජ්‍ය නිවේදන දැනුම් දීම සඳහා අණබෙර ගැසීම සිදුකළ අතර රාජ්‍යයන් දෙකක් අතර සන්දේශ, හසුන්පත් මගින් පණිවිඩ හුවමාරු වීම ආදිය මගින් ප්‍රජාව දැනුවත් කරන දැන්වීම් ක්‍රමවේදයක් පැවතිණි. ඒ අනුව දැන්වීම්කරණයේ වර්ධනීය ලක්ෂණ ඉස්මතු වූ යුගයක් ලෙස රාජ්‍ය මූලික අවධිය හැඳින්වීම වරදක් නොවේ.

             විශේෂයෙන් මේ අවධිය තුළ රාජ්‍ය පාලන තන්ත්‍රය වටා ගෙතුනු දැන්වීම් ක්‍රමවේදයක් පැවතිණි. යුදමය අවස්ථාවල, ආගමික නිර්මාණයන් ඉදිකිරීම් හා රාජ්‍ය අනුග්‍රහයන් ලබාදීම් වලදී සිදු කරන ශිලා ලේඛන ආදිය, නම්බුනාම තනතනතුරු ප්‍රදානය කිරීම්, රාජ්‍ය අභිෂේකයන් හා උත්සව පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම් ආදී පාලන තන්ත්‍රයේ සෑම ක්‍රියාවක්ම පාහේ දැන්වීම් ඔස්සේ තම රටවැසියාට සන්නිවේදනය කරන ලදී.
ඒ අනුව රාජ්‍ය මූලික අවධිය තුළ පාලන තන්ත්‍රය දැන්වීම්කරණය සන්නිවේදන ක්‍රියාවලියක් ලෙස සාර්ථකව යොදා ගැනීමට කටයුතු කර ඇති බව හඳුනාගත හැකිය.

ජනමාධ්‍ය බිහිවීම

              කාර්මික විප්ලවයත් සමග ඇති වූ තාක්ෂණයේ දියුණුව මත දැන්වීම්කරණයේ සෘජු වර්ධනයක් ඇතිවිය. මුද්‍රණ යන්ත්‍රය සොයාගැනීමත් සමග දැන්වීම්කරණය සදහා අත්පත්‍රිකා, ලියුම් ආදිය බිහිවන්නට විය. කෙසේ වෙතත් දැන්වීම්කරණයේ විකාශනය තුළ සුවිශේෂී හැරවුම් අවධියක් ලෙස පුවත්පත්, ගුවන්විදුලිය හා රූපවාහිනිය යන ජනමාධ්‍ය බිහිවීම දැක්විය හැකිය. එතෙක් පැවති සරල සාම්ප්‍රදායික දැන්වීම්කරණයෙන් ඔබ්බට ගිය නිර්මාණශිලිී දැන්වීම් කලාවක් ජනමාධ්‍ය ඔස්සේ ඇතිවිය. ඒ ඒ මාධ්‍ය ශක්‍යතාවයන්ට අනුව එකවර වැඩි පාරිභෝගික පිරිසකට තොරතුරු සන්නිවේදනය කිරීම සඳහා ජනමාධ්‍ය ඔස්සේ දැන්වීම් ඉදිරිපත් කරන්නට හැකිවිය.

                   මධ්‍යතන යුගයේදී දැන්වීම්කකරණයේ ඇති වූ පුනර්ජීවනය සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු සාධක වූයේ ජනමාධ්‍ය බිහිවීමයි. ජනමාධ්‍ය ඔස්සේ දැන්වීම්කරණය සඳහා නව ප්‍රවේශයන් විවෘත කර දෙන ලදී. ඒ අතර වෙළඳ දැනදැන්වීම්කරණය සඳහා ප්‍රධාන තැනක් හිමි වෙයි. අද වන විට ජනමාධ්‍යයේ පැවැත්ම තීරණය කරන සාධකයක් බවට වෙළඳදැන්වීම් පත්ව තිබීම තුළින් ජනමාධ්‍ය ඔස්සේ දැන්වීම්කරණය කොතෙක් දුරට ව්‍යාප්තව ඇත්ද යන්න මනාව පසක් වේ. 

පෞද්ගලික හා රාජ්‍ය අංශයේ නැගීම


           නිෂ්පාදන හා සේවා අලෙවිකරණයද කාර්මික විප්ලවය නිසා ගොඩනැගුණු අතර ධනවාදී ආර්ථික ප්‍රතිපත්තිය තුළ පෞද්ගලික හා රාජ්‍ය යනුවෙන් නිෂ්පාදන හා සේවා අංශ දෙකක් බිහි විය. මේ නිසා වෙළඳපොල තරඟකාරිත්වයක් ඇති වූ අතර නිෂ්පාදන හා සේවා ග්‍රාහක ගත කිරීම සඳහා වාණිජ දැන්විම් ලෝකය පුරා බිහි වන්නට විය. 

         විවෘත ආර්ථික ක්‍රමය මත විදේශ සමාගම් පවා තම නිෂ්පාදන හා සේවා ප්‍රවර්ධනය කිරීම සඳහා දැන්වීම්කරණය යොදාගත් අතර භාණ්ඩ හා සේවා සමාජයට හඳුන්වාදීමේ ප්‍රවණතාවය සමග දැන්වීම්කරණයේ වැදගත්කම වැඩි වන්නට විය. නව භාණ්ඩ හා සේවා ජනතාවගේ දෛනික ජීවිතයේ කොටසක් බවට පත් කිරීමට දැන්වීම්කරණය තුලින් නිරන්තර උත්සාහයක යෙදුණි.

            විශේෂයෙන් මේ අවධිය තුළ දැන්වීම්කරණය දියුණුවීම සඳහා ජනමාධ්‍යයන්හි බලපෑම හා ජනතාවගේ සාක්ෂරතාව වර්ධනය වීම හේතු වී ඇත. පෞද්ගලික අංශය වැඩි වශයෙන් පාරිභෝගිකයා වෙත ළඟාවීම සඳහා දැන්වීම්කරණය යොදාගත් අතර එහි අවශ්‍යතාවය කොතෙක්ද යත් අද වන විට දැන්වීම් නිර්මාණය කරන ආයතන පවා බිහිවී ඇත. ජනමාධ්‍ය ඔස්සේ නව මාවතකට යොමු කළ දැන්වීම්කරණය මේ යුගය තුළ සීමා අතික්‍රමණය කරමින් පැතිර ගොස් ඇති අයුරු දැකගත හැකිය. 

නව මාධ්‍ය බිහිවීම


         ජනමාධ්‍ය ඔස්සේ සීමා අතික්‍රමණය කළ දැන්වීම්කරණයේ වර්ධනීය තත්ත්වයේ උච්චතම අවස්ථාව උදාවන්නේ නව මාධ්‍ය බිහි වීමත් සමගය. විශේෂයෙන් අන්තර්ජාලය මූලික කරගත් නව මාධ්‍ය ඔස්සේ පාරිභෝගිකයන් වෙත තම භාණ්ඩ හා සේවා පිළිබඳ තොරතුරු ගෙන යන්නට වෙළඳ දැන්වීම්කරුවෝ කටයුතු කරන ලදී. සමාජ ජාල මාධ්‍ය, ජංගම දුරකථන, කෙටි පණිවිඩ සේවා වැනි නව මාධ්‍යයන් ඔස්සේ ඉතාමත් වේගයෙන් හා කාර්යක්ෂමතාවයකින් යුතුව පාරිභෝගිකයාගේ දෛනික ජීවිතයට අවශ්‍ය කරන නිෂ්පාදන හා සේවා පිළිබඳ දැන්වීම් ඉදිරිපත් කරන්නට තරම් දියුණු තත්වයක් දක්වා වර්ධනය වී ඇත.

       විශේෂයෙන් නව මාධ්‍ය තාක්ෂණයේ දියුණුවත්, වේගවත්ව හා ඉක්මනින් තොරතුරු ගලා යාමත්, භූගෝලීය සීමා අතික්‍රමණය කිරීමත් ආදී සාධක නිසා දැන්වීම්කරණයෙදී නව මාධ්‍ය යොදා ගැනීම අතිශයින් වැදගත් අවස්ථාවක් ලෙස හඳුනාගත හැකිය.

        මේ අනුව දැන්වීම්කරණයේ විකාශනය මානව පරිණාමයේ ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් පැවත එන්නක් බව පැහැදිලි වේ. ඉපැරණි දැන්වීම්කරණ රටාවන් හා ක්‍රමවේදයන් අද තරමටම ඉතා සංකීර්ණ තත්ත්වයක විහිදී නොතිබුණද, අදත් එදත් එය උපයෝගී කරගන්නාගේ මූලික අරමුණෙහි වෙනසක් නොවීම දැන්වීම්කරණයේ ඇති සුවිශේෂී වටිනාකමකි. මන්ද අතීතයේ වුවද, වර්තමානයේ වුවද, දැන්වීම්කරණය තුළින් අරමුණු කර ගන්නේ සන්නිවේදනය, දැනුවත් කිරීම, අඅදහස් උදහස් හුවමාරුව තුළින් පුද්ගලයන්ගේ හා කණ්ඩායම් වල මතයන් වෙනස් කිරීම හෝ ස්ථිර කිරීමයි.

          ප්‍රාථමික යුගයේ මානවයාගේ අවශ්‍යතා සපුරා ගැනීමට යොදාගත් සන්නිවේදන විධික්‍රම වලින් ඇරඹි දැන්වීම්කරණය රාජ්‍ය සංකල්පයත් සමග ප්‍රජාව දැනුවත් කිරීමේ සන්නිවේදන ක්‍රම දක්වා වර්ධනය වූ අතර මුද්‍රණ යන්ත්‍රය බිහිවීමත් සමග නව ආලෝකයක් එයට එක්විය. දැන්වීම්කරණය නිර්මාණශීලී දැන්වීම් කලාවක් බවට පත් වූයේ පුවත්පත, ගුවන් විදුලිය හා රූපවාහිනිය යන ජනමාධ්‍යයන්ගේ ආගමනයත් සමගය. දැන්වීම්කරණයේ නිර්මාණශීලී හැරවුම් ලක්ෂය වූයේ එයයි. තරගකාරි වෙළෙඳපොළ තුළ දැන්වීම්කරණයේ නිර්මාණශීලීත්වය තවදුරටත් වර්ධනය කරමින් අද වන විට එය සීමා අතික්‍රමණය කිරීම දක්වා වර්ධනය වී ඇත. තාක්ෂණික දියුණුව හා නව මාධ්‍යය එහි ප්‍රධානතම සාධකය වී ඇත. කෙසේ වෙතත් අද ඇමෙරිකාව කේන්ද්‍රගත කරගනිමින් එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය ජපානය, ශ්‍රී ලංකාව ආදී සෑම රටකම පාහේ ප්‍රචාරණ ව්‍යාපාරය ශීඝ්‍රයෙන් දියුණු වී විශාල කර්මාන්තයක් බවට පත්ව ඇත. ඒ අනුව අද වන විට දැන්වීම්කරණය වූ කලී ආර්ථික බලවේගයන් මෙහෙයවන බලගතුම අංශයක් බවට පත්ව ඇතැයි කීම අතිශයෝක්තියක් නොවේ. අද වන විට දැන්වීම්කරණය යනු ව්‍යාපාරයකි. වෘත්තියකි. හුදෙක්ම එය සංකීර්ණ අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා සංවිධානය වූ ව්‍යාපාරයක් ලෙස හැඳින්විය හැකිය.  

1.2 ශ්‍රී ලංකාවේ දැන්වීම්කරණය


      නවීන දැන්වීම්කරණ ක්‍රමවේදයන් ලොව පහළ වීමට පෙර එක් එක් යුගයේ ඊට ආවේණික වූ විවිධාකාරයේ ප්‍රාථමික දැන්වීම් ක්‍රමවේද භාවිත කළ බවට ඉතිහාසය පුරාවට සාක්ෂි දක්වයි. ලාංකීය දැන්වීම් ඉතිහාසය පුරාවට ද එක් එක් යුගයන්ට අදාළ විවිධාකාර දැන්වීම්කරණ ක්‍රමවේද හඳුනාගත හැකිය. ඒ අනුව ලාංකීය දැන්වීම්කරණ කලාවට අදාල ඉතිහාසය විමසීමේ දී දැන්වීම්කරණය හා බද්ධ වූ ප්‍රබල දැන්වීම් ක්‍රමයක් අපට හඳුනාගත හැකි අතර ඒ රජවාසල පණිවිඩ හා දැන්වීම් රටවැසියාට සන්නිවේදනය කළ අඬබෙරයයි. මෙම දැන්වීම් ක්‍රමය කොතෙක් දුරට සාර්ථක වීද යත්, බි්‍රතාන්‍ය පාලන කාලයේ අගක් වනතුරුම අඬබෙරකරුගේ සේවය පාලකයින් විසින් ලබාගත් අවස්ථා පැවතිණි. පැරණි ලාංකීය සමාජය තුල දැන්වීම් ක්‍රමවේදයක් වූයේ දැන්වීම් පුවරුවයි. පාලකයන් ජනතාවට තොරතුරු දැන්වීමටත්, නියෝග නිකුත් කිරීමටත්, දැන්වීම් පුවරු හා ශිලා ලිපි ආදිය භාවිත කරන ලදී. බදුලු ටැම් ලිපිය, ගල්පොත ලිපිය ආදිය නිදසුන් ලෙස දැක්විය හැක. මේ අනුව ලාංකීය ඉතිහාසයේ අද තරම් දියුණු සංකීර්ණ දැන්වීම්කරණ ක්‍රමවේද යොදා නොගත්තද, එදා යුගයට ගැළපෙන පරිදි දැන්වීම්කරණ ක්‍රමයන් යොදාගෙන ඇති බවට පැහැදිලි වේ.

         ලංකාවේ නූතන දැන්වීම්කරණයේ ආරම්භක අවස්ථාව ලෙසට හඳුනාගත හැක්කේ ලන්දේසීන් විසින් මුද්‍රණ යන්ත්‍රය ලාංකීය සමාජයට හඳුන්වා දීමයි. ඔවුන් මුලින්ම මුද්‍රණ යන්ත්‍රයේ ආධාරයෙන් ප්ලැකාර්ඞ් නම් රාජ්‍ය දැන්වීම් පත්‍රිකාව මුද්‍රණය කර ප්‍රකාශයට පත් කිරීම සිදු කරන ලදී. ලංකාව තුල දැන්වීම්කරණ ක්‍රමවේදයේ නව මං පෙතක් ඇති කිරිමට ලන්දේසීන්ගේ මුද්‍රණ යන්ත්‍රය හඳුන්වාදීම හේතු වුවද දැන්වීම් කලාවට නව පණක් නව මුහුණුවරකින් ලබාදීමට සමත් වූයේ ඉංග්‍රීසින්ගේ ආගමනයත් සමග යැයි කීම නිවැරැදිය. සංවිධානාත්මකව දැන්වීම්කරණය සඳහා මුද්‍රණය වූ ප්‍රථම පුවත්පත වූ "Colombo Journal" ප්‍රකාශයට පත් වන්නේ ඉංග්‍රීසි පාලන සමයේදීය. එහි වැවිලිකරුවන්ට අවශ්‍ය තොරතුරු හා කේෂ්ත්‍රයට අදාළ හා රජයේ දැන්වීම් පළ කෙරිණි. මුල් කාලීන ලාංකීය පුවත්පත් අන්තර්ගතය තුල දැන්වීම් සඳහා ප්‍රධාන තැනක් හා වැඩි ඉඩක් ලබා දී තිබිණි. ඒවා සෘජු දැන්වීම් විය. කෙසේ වෙතත් මෙකී සරල ආකෘතියෙන් ඇරඹී පුවත්පත් දැන්වීම් විසිවන සියවස එළඹීමත් සමග වෙළෙඳ දැන්වීම්කරණය සමග ක්‍රමිකව දියුණු විය. එහිදී මූලික ආකෘතියෙන් වෙනස් වී අන්තර්ගතයට රූපයන් පවා එකතු විය.

         තව ද මෙකල දැන්වීම්කරණ කලාවේ දියුණුවට හේතු වූ සාධකයක් ලෙස විදේශීය සමාගම් තම නිෂ්පාදන දේශීය වෙළඳපලේ අලෙවි කිරීමත් සමග අන්තර්ජාතික දැන්වීම්කරණ ආකෘතිවල ආභාෂය දේශීය දැන්වීම්කරණ ක්ෂේත්‍රයට ඇතුළු වීම දැක්විය හැකිය. 

             1951 පිහිටුවන ලද වෙළඳ සේවය සමඟ දැන්වීම්කරණය තවදුරටත් වර්ධනය වන්නට විය. මන්ද මේ තුළින් වෙළඳ දැන්වීම්කරණයට මග පෑදුණු අතර ගුවන් විදුලි මාධ්‍ය භූගෝලීය හා සාක්ෂරතා මායිම් බිඳගෙන ඉදිරියට ඒම එය වඩාත් ජනප්‍රිය වන්නට හේතුව විය. ඒ අනුව එතෙක් කල් මුද්‍රණයට පමණක් සීමා වී තිබූ දැන්වීම්කරණය ගුවන්විදුලි මාධ්‍යයට ව්‍යාප්ත විය. ලාංකීය දැන්වීම්කරණයේ විකාශනය තුළ සුවිශේෂී සංධිස්ථානයක් වන්නේ ඔස්ටේ්‍රලියානු ජාතිකයන් විසින් International Advertiser නමින් ගුවන්විදුලියේ දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් ආරම්භ කිරීමයි.

            ලාංකීය දැන්වීම්කරණ විකාශනයේ නිර්මාණශීලීම යුගය උදාවන්නේ 1979 ලාංකීය මාධ්‍ය ක්ෂේත්‍රයට රූපවාහිනිය පැමිණීමත් සමගය. අනතුරුව පෞද්ගලික මාධ්‍ය ජාල ආරම්භ වීමත් සමග තරඟකාරී සංකීර්ණ දැන්වීම් කලාවක් ලංකාව තුළ නිර්මාණය විය. විශේෂයෙන් ජනමාධ්‍ය හා අන්තර්ජාලය ප්‍රමුඛ නව මාධ්‍ය තාක්ෂණයේ දියුණුවත් සමග අද වන විට ලාංකීය දැන්වීම්කරණය නිර්මාණශීලී, සංකීර්ණ පුළුල් පරාසයක විහිදී ගිය කර්මාන්තයක් බවට පත්ව ඇත. හුදෙක්ම ලාංකීය දැන්වීම්කරණය ජනමාධ්‍ය පැවැත්ම තීරණය කරන, ආර්ථික බලවේගයන් හසුරුවන ප්‍රධාන ව්‍යාපාරයක්, වෘත්තියක් දක්වා වර්ධනය වී ඇති බව හඳුනාගත හැකිය.

1.3 දැන්වීම්කරණ ප්‍රවේශ

          පාරිභෝගිකයන් සිය අවශ්‍යතා සඳහා ආමන්ත්‍රණය කිරීමට පොළඹවන, ඔවුන්ගේ ආශාවන් සඳහා යොමු කරවන, නිෂ්පාදන හා සේවා පිළිබද ආකර්ෂණයක් ඇති කරවන ක්‍රියාමාර්ගයන් දැන්වීම්කරණ ප්‍රවේශයක් ලෙස අර්ථ දැක්විය හැකිය. මූලික වශයෙන් දැන්වීම්කරණ ප්‍රවේශ ආකාර දෙකකි.
     1. තාර්කික ප්‍රවේශය
     2. භාවාත්මක ප්‍රවේශය

     තොරතුරු මූලික ප්‍රවේශය හෙවත් තාර්කික ප්‍රවේශයේදී පාරිභෝගිකයාට එදිනෙදා ජීවිතයේ දී ප්‍රයෝජනවත් වන සාධක පිළිබඳ දැනුවත් කිරීමට අපේක්ෂා කරයි. නිෂ්පාදනයේ ඇති වාසි, සුවිශේෂී ලක්ෂණ, වෙනත් නිෂ්පාදන වලට වඩා තත්වයෙන් උසස් බව, සුව පහසුව, ගුණාත්මක බව ආදිය පිළිබඳ පාරිභෝගිකයා දැනුවත් කරමින් තාර්කිකව දැන්වීම් ඉදිරිපත් කිරීමට එහිදී කටයුතු කරයි. මෙහිදී විශේෂිත ලක්ෂණය වන්නේ දැන්වීම්කරුවා විසින් ග්‍රාහකයාගේ බුද්ධියට ආමන්ත්‍රණය කිරීමයි.

           භාවාත්මක ප්‍රවේශයේදී පාරිභෝගිකයාගේ සමාජයීය සහ මනෝවිද්‍යාත්මක අවශ්‍යතා හා සාධක අනුව ඔහුගේ හදවතට ආමන්ත්‍රණය කරමින් තම නිෂ්පාදන හා සේවා ප්‍රවර්ධනය කිරීමට දැන්වීම්කරුවා යොමුවෙයි. බොහෝ වෙළෙඳ දැන්වීම් ග්‍රාහක බුද්ධියට නොව භාවාත්මක ලක්ෂණ ඔස්සේ හදවතට ආමන්ත්‍රණය කරන ඒවා වේ. වෙළඳ දැන්වීම්කරණයේ දී යොදා ගනු ලබන්නේ භාවාත්මක ප්‍රවේශයයි. ආදරය, සංස්කෘතිය, බිය, අතීතකාමය, ආරක්ෂාව, ගරුත්වය, දුක, සතුට, ලිංගිකත්වය වැනි භාවාත්මක සාධක මෙම ප්‍රවේශය තුළ දී දැන්වීම්කරණය සඳහා බහුලව යොදා ගනු ලබයි.




රිෂිත ජනිත් නානායක්කාර
ජනසන්නිවේදන අධ්‍යන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය


2020 ජනපති සොයාන පාවෙන තරුණ ඡන්ද

  2020 ජනපති සොයාන පාවෙන තරුණ ඡන්ද රට ජනාධිපතිවරණ උණුසුමකින් පෙළෙන මේ සමයේ සියලුම අපේක්ෂකයින් ජනතාවගේ සුව දුක් විමසීමට යුහුසුළු වෙති. ඔ...