Monday, 15 July 2019

දේශපාලන ප්‍රචාරණය.....

     
දේශපාලන අපේක්ෂාව හෝ බලය සදහා ජනතාව වෙත තොරතුරු සන්නිවේදනය කිරීමේ උපක්‍රමයක් ලෙස දේශපාලන ප්‍රචාරණය හදුනාගත හැකිය. කිසියම් සිදුවීමක් හෝ කරුණක් තත්ත්වයක් පිළිබඳව ජනතාවට තොරතුරු සැපයීම, මිනිසුන් සිතන ආකාරය වෙනස් කිරීම, සමාජය තුළ මතවාදයක් ඇති කිරීම හා පවත්වාගෙන යාම සදහා ප්‍රචාරණය යොදා ගනි. එය දේශපාලන අරමුණක්, අපේක්ෂාවක් මත පදනම්ව ක්‍රියා කිරීම දේශපාලන ප්‍රචාරණයේ විශේෂිත ලක්ෂණයකි.

Marbury. B. ogle ගේ අර්ථ දැක්වීමට අනූව “දේශපාලන ප්‍රචාරණය යනු දේශපාලන අදහස් මතවාද හෝ ආකල්ප වෙනස් කිරීම සදහා ගන්නා ඕනෑම උත්සාහයකි” ප්‍රචාරණය තුළින් දේශපාලනමය වශයෙන් ඕනෑම අයෙකුගේ මතවාද, ආකල්ප වෙනස් කිරීමට කටයුතු කරන බව ඔහු පෙන්වා දෙයි. 

හැරල්ඞ් ඩී. ලැස්වෙල් විසින් 1927 දී ප්‍රචාරණය යන්න අර්ථ දක්වා ඇත්තේ “සැලකිය යුතු සංකේත මගින් මත පාලනය කිරීම කෙරෙහි දැවැන්ත ප්‍රචාරය යොමු කෙරේ. එසේ නැතහොත් වඩාත් පැහැදිලි ලෙස හා නිරවද්‍යතාවයකින් යුතුව කියන්නේ නම්, කතාන්දර, ඕපාදුප, වාර්තා, පිංතුර සහ වෙනත් සමාජයීය සන්නිවේදන ක්‍රම මගින් මත පාලනය කිරීමයි” යනුවෙනි. 

propaganda යන වචනය පළමු ලෝක යුද්දයත් සමග ව්‍යවහාරයට එක් වු අතර එය සිංහල බසින් ප්‍රචාරය, ප්‍රචාරණය හා දැවැන්ත ප්‍රචාරණය ලෙස ප්‍රසිද්ධ වී ඇත. මෙය මුල් කාලීනව ආගමික මත ප්‍රචාරය කිරීම සදහා භාවිත වී ඇති අතර පළමු ලෝක යුද්දයෙන් ජර්මනිය පරාජයට පත්වීමත් සමග දේශපාලන වශයෙන් ප්‍රචාරණය පිළිබඳ අවධානය යොමුවන්නට විය. ඒ අනුව 1933 ජර්මනියේ බලයට පත්  පාලකයා වූ හිට්ලර් යටතේ දේශපාලන ප්‍රචාරණය යන්න විධිමත්  ක්‍රමවේද ඔස්සේ ගොඩනැගෙන්නට විය. හිට්ලර්ගේ දේශපාලන ප්‍රචාරණ ව්‍යාපාරය සදහා ආචාර්ය ජෝශප් ගොබෙල්ස් යටතේ මහජන අවබෝධය සහ ප්‍රචාරය පිළිබද අමාත්‍යංශයක් පවා පිහිටුවා ඇත. ඉතිහාසයේ දැවැන්තම ප්‍රචාරණ ක්‍රියාවලිය වන හිට්ලර්ගේ ප්‍රචාරණ ක්‍රියාවලිය ආකර්ශණීය වූවක් මෙන්ම පුවත්පත්, සංගීත, වේදිකා නාට්‍ය, චිත්‍රපට, සාහිත්‍ය, ගුවන්විදුලිය ඇතුළු සියළු මාධ්‍ය කලාවන් පාලනයට නතුකර ගත්තක් විය.

හිට්ලර්ගේ දැවැන්ත ප්‍රචාරණ ක්‍රියාවලිය ඔස්සේ කාලයත් සමග විකාශනය වන දේශපාලන ප්‍රචාරණ වර්තමානය වන විට විශාල වශයෙන් වර්ධනය වී ඇති අතර එය දේශපාලන සන්නිවේදනයේ අත්‍යවශය අංගයක් බවට පත්ව ඇත. මාධ්‍ය ක්ෂේත්‍රයේ හා තාක්ෂණික දියුණුවත් සමග දේශපාලන සන්නිවේදනයේ දී යොදා ගන්නා ආකර්ශණිය ක්‍රමවේදයක් ලෙස දේශපාලන ප්‍රචාරණය විවිධ ස්වරූපයෙන් ක්‍රියාත්මක වන අයුරු හදුනාගත හැකිය. ඒ අනුව ලැස්වෙල් විසින් දේශපාලන ප්‍රචාරණයේදී භාවිතා කරන ප්‍රධාන උපක්‍රම හතරක් පිළිබඳව දක්වා ඇත. එනම්, 

1. සතුරාට එරෙහිව වෛරය පැතිරවීම.
2. මිත්‍ර පාර්ශවයන්ගේ මිත්‍රත්වය ආරක්ෂා කිරීම.
3. මධ්‍යස්ථ පාර්ශව දිනා ගැනිම.
4. සතුරා අධෛර්යමත් කිරීම, වශයෙනි.

     දේශපාලන ප්‍රචාරණයේදී තමන්ගේ සතුරාට, ප්‍රතිවාදියාට එරෙහිව අන් අය අතර එනම් ජනතාව තුළ වෛරය පැතිරවීම ප්‍රධාන උපක්‍රමයක් ලෙස භාවිතයට ගැනේ. ප්‍රතිවාදියන්ගේ දුර්වලතා, දූෂණ, වංචා, සමාජ විරෝධි ක්‍රියාවන් ආදිය පිළිබඳ පෙන්වා දෙමින් ජනතාව තුළ වෛරය ඇති කරමින් තමා වෙත ජනතා ප්‍රසාදය දිනා ගැනීම ප්‍රධාන ප්‍රචාරණ උපක්‍රමයකි.

විවිධ වූ උපහාසාත්මක ප්‍රකාශන තුළින්, එකිනෙකාගේ චරිත වලට මඩ ගැසිම තුළින්, අසත්‍ය ප්‍රකාශ ව්‍යාප්ත කරමින් ප්‍රතිවාදීන් අධෛර්යමත් කරවීම තුළින් තම ජයග්‍රහණය සදහා දේශපාලන සන්නිවේදනය හැසිරවීම ද ප්‍රධාන දේශපාලන ප්‍රචාරණ උපක්‍රමයක් ලෙස ලැස්වෙල් පෙන්වා දී ඇත.

ඕනෑම සටනක මෙන්ම දේශපාලනයේදී ද මිත්‍ර පාර්ශවයන් හට ගැනීම ඉතා ස්භාවික කරුණකි. ඒ අනුව දේශපාලන ප්‍රචාරණයේදී තම දේශපාලන ව්‍යාපාරයට සහය අත්වන මිත්‍ර පාර්ශවයන් හදුනා ගැනීමත් ඔවුන් ආරක්ෂා කර ගැනීම තුළින් තම පිරිවර ශක්තිමත් කර ගැනීමත් වැදගත් වේ.

එමෙන්ම දේශපාලන ප්‍රචාරණයේදී මධ්‍යස්ථ පාර්ශවය දිනා ගැනීම අතිශය වැදගත් වේ. තම දේශපාලන ජයග්‍රහණය සදහා මෙන්ම තම දේශපාලන මහජන සම්බන්ධතාවය පවත්වා ගැනීම සදහා මධ්‍යස්ථ පාර්ශවයක් තමා කෙරෙහි ආකර්ශනය කර ගැනීම අතිශය වැදගත් වේ.

ඉහතින් දැක්වු ප්‍රධාන දේශපාලන ප්‍රචාරණ උපක්‍රමවලට අමතරව දේශපාලන ප්‍රචාරණයේදී යොදා ගන්නා උපක්‍රම ගණනාවක් හදුනාගත හැකිය.

නම් පට බැඳීම.
විශේෂ වැදගත් වදන් භාවිතය.
බියට ආමන්ත්‍රණය කිරීම.
චරිත සහතික දීම.
පැවරුම්.
භාෂා භාවිතය.
ඇදහිය නොහැකි සත්‍ය.
සරල කිරීම.
නොකියා කීම.
සැවොම එකතුව.
අවශ්‍ය පරිදි යොදා ගැනීම.
වක්‍රෝක්ති භාවය.

නම් පට බැදීම

කිසියම් පුද්ගලයෙකුට නරක ලේබලයක් දීම හෙවත් අපහාසාත්මක නමක් පට බැඳිම මෙයින් අදහස් කෙරේ. දේශපාලන ප්‍රචාරණ ඉතිහාසය තුළ බහුලවම භාවිතා කරන උපක්‍රමයක් ලෙස මෙය පෙන්වා දිය හැකිය. 2015 ජනාධිපතිවරණය මෙන්ම නොසිතූ මොහොතක මැතකදී සිදු වු අගමැති මාරුව තුළ ද මෙම උපක්‍රමය වැඩි වශයෙන් භාවිත විය. උදාහරණ ලෙස යහපාලන සහකරුවෝ ලෙස රනිල්, මෛත්‍රි, චන්ද්‍රිකා, චම්පික ඇතුළු පිරිස හැදින්වීම හා  චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට චෞර රැජිණ යැයි නම් පට බැඳිම පෙන්වා දිය හැකිය.

විශේෂ වදන් භාවිතය

කෙනෙකුගේ චරිත ලක්ෂණයක්, ගුණාංගයක් භාවිතා කරමින් විශේෂ වදන් භාවිතය අදහස් කෙරේ. විශේෂ වදන් භාවිතය තුළින් ජනතාව අතරට ආකර්ශණිය තම අදහස් මතවාද ව්‍යාප්ත කරලීම මෙහි අපේක්ෂාවයි. උදාහරණ ලෙස 2015 ජනාධිපතිවරණයේදි “ යහපාලනය, මෛත්‍රි යුගයක්, මෛත්‍රි පාලනයක්” වැනි විශේෂිත වදන් භාවිත කිරීම දැන්විය හැකිය. ඒ ඔස්සේ පොදු අපේක්ෂකයාගේ දේශපාලන ප්‍රචාරණය ජයග්‍රහණය දක්වා මෙහෙයවීම සදහා විශාල දායකත්වයක් හිමි විය.

බියට ආමන්ත්‍රණය කිරීම

හදිසි වෙනස්වීම් තුළින් තමන්ගේ ජිවිතයට, තත්ත්වයට, ධනයට, පවුලට, අපේක්ෂාවට හානියක් ඇති වේ යැයි සියලු දෙනා අනිසි බියක් දක්වයි. මෙම මානසික තත්ත්වය දේශපාලන ප්‍රචාරනයේදි නිර්මාණශිලිව භාවිතයට ගනු ලබයි. දෙවන ලෝක යුද්ධ සමයේ හිටිලර් විසින් මෙය ප්‍රබලව භාවියට ගෙන ඇති අතර වර්තමාන දේශපාලන ප්‍රචාරණයේදී බහුලව භාවිතයට ගනි. ජනතාව තුළ බිය උපදවන ප්‍රකාශන තුළින් තම ප්‍රතිවාදියා කෙරෙහි අප්‍රසාදය ගොඩනැන්වීම මෙහිදි සිදු කරයි.

චරිත සහතික දීම 

විශේෂඥයෙකු, සමාජයේ බලපෑම්කාරී හෝ ගරු කටයුතු අයෙක්, පුජකවරයෙක්, ආකර්ශනිය හෝ ප්‍රසිද්ධ චරිතයක් විසින් දේශපාලන ක්‍රියාවලිය පිළිබඳ හොද නරක පැවසීම, තම කැමැත්ත ප්‍රකාශ කිරීම, සහය දීම වැනි ක්‍රියාවන් ඔස්සේ ජනතාවට පණිවිඩයක් ලබා දීම මෙහිදි අදහස් කෙරේ. මෙහිදි ඡායාරූප භාවිතය, සහය ලබා දීම හා එකමුතු වීම වැනි ක්‍රමවේද භාවිත කෙරේ. නිදසුන් ලෙස මැතකදි සිදු වු අගමැති මාරුවේදී භික්ෂුන් වහන්සේලා පිරිසක් විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආශිර්වාද කිරීම පෙන්වා දිය හැකිය.

පැවරුම්

සරලව ගතහොත් මෙයින් අදහස් කෙරෙන්නේ යම්කිසි අධිකාරියක්, ගරුත්වයක් පදනම් කරගත් ප්‍රචාරයකි. සමහර විට පැවරුම ගෞරවනීය පුදගලයෙකුගෙන් විය හැකිය. ඒ තුළින් ජනයා අතර ජනප්‍රිය වීමට මෙහිදි කටයුතු කරයි. ලාංකීය දේශපාලනයේදි කහ සිවුර, බෞද්ධ කොඩිය, බෞද්ධ සංස්කෘතිය ශ්‍රි ලාංකිකයන්ගේ නොමදව ගෞරවයට පාත්‍ර වන්නත් වන අතර දේශපාලන ප්‍රචාරණ ක්‍රියාවලියේදී බොහෝ අවස්ථාවල පැවරුම් ක්‍රියාවලිය සදහා එය යොදාගෙන ඇතිබව හදුනාගත හැකිය.


භාෂා භාවිතය

දේශපාලනයේදී භාෂා භාවිතය අවස්ථාවෝචිත ලෙස යොදාගනු ලබයි. ග්‍රාමීය ප්‍රදේශවල ජනයා තුළ විශ්වාසනීයත්වයක්, අපේකමත්, සබැදියාවන් ඇතිවන ලෙස භාෂා භාවිත කිරීම, සංවේදී භාෂා රටාවක්, උද්වේගකර හැඟීම් අවදිවන භාෂා රටාවක් භාවිත කිරීම ආදී උපක්‍රම යොදා ගැනීම මෙහිදි අදහස් කෙරේ.

ඇදහිය නොහැකි සත්‍ය

ඉලක්කගත ජනතාවට විශ්වාස කළ නොහැකි ආකාරයේ සත්‍ය කතා සන්නිවේදනය කිරීම මෙයින් අදහස් කරයි. සතුරු පාර්ශවයට අවාසිදායක සිදුවීමක් පිළිබඳ සත්‍ය හෙලිදරවු කරමින් තම ප්‍රතිවාදියා ව්‍යාකූල කිරීම මෙහිදි කටයුතු කරයි.

සරල කිරීම

සංකීර්ණ ප්‍රශ්නයකට සරල ඍජු පිළිතුරක් ලබා දිම මෙයින් අදහස් කරයි. යම් සිදුවීමක්, අදහසක්, සංකල්පයක් පිළිබඳ විවිධ ඍජු ප්‍රකාශන තුළින් ජනතාවට ඒ පිළිබඳ ඇති ගැටලුකාරී ස්වභාවය මගහරවා ස්ථිර තීරණයකට පැමිණවීමට පෙළබවීමක් මේ ඔස්සේ සිදු කරයි.

නොකියා කීම

යම් සැක සහිත, නිගමනයට පැමිණිය හැකි තොරතුරු ඉඟි කිරීම, හැඟවීම, ව්‍යංගවත් කිරිම, ගම්‍ය කිරීම මගින් ඉලක්කගත කණ්ඩායමට තමන්ගේ නිගමනයට එළබිමට සැලැස්වීම මෙහිදි සිදු වේ. මෙය අඩු වැඩි වශයෙන් දේශපාලන ප්‍රචාරණයේදී භාවිතයට ගනු ලබයි. 

දේශපාලන ප්‍රචාරණයේදි ඉහත දැක්වූ න්‍යායාත්මක උපක්‍රමයන් උපක්‍රමශිලිව ආකර්ශණියව යොදා ගන්නා අයුරු ප්‍රායෝගික දේශපාලන ක්‍රියාවලියේදී හදුනාගත හැකිය. වර්තමානයේ ජනමාධ්‍ය දියුණුවත් සමග දේශපාලන ප්‍රචාරණය ආකර්ශණිය මෙන්ම නිර්මාණශිලිත්වයකින් ද යුක්තව ඇත. එහිදි මුද්‍රිත මාධ්‍යයක් වශයෙන් ක්‍රියාත්මක වන පුවත්පත් මාධ්‍ය තුළ දේශපාලන ප්‍රචාරණය සදහා සෙසු මාධ්‍යයන්ට සාපේක්ෂව වැඩි ඉඩක් වෙන් කරනු ලබයි. ආකර්ෂණීය සිරස්තල,සංවේදී පාඨයන් මෙන්ම ඡායාරූප භාවිතය තුළින් පුවත්පත් මාධ්‍ය තුළ දේශපාලන ප්‍රචාරණය නිර්මාණශිලිව සිදුකරන අයුරු වර්තමාන පුවත්පත් මාධ්‍ය හැසිරිම තුළින් පැහැදිලි වේ. 




එස්.එම්.ආර්.ජේ.නානායක්කාර
ජනසන්නිවේදන අධ්‍යන අංශය
කැලණියවිශ්වවිද්‍යාලය


දේශපාලන සන්නිවේදනය යනු ...........


         මිනිසා සහ සන්නිවේදනය අතරත්, සන්නිවේදනය සහ දේශපාලනය අතරත් දිර්ඝ සහ අවියෝජනීය සබඳතාවයක් පවතී. ඒ අනූව මිනිසා සහ දේශපාලනය සම්බන්ධ කරන බැඳීම් රැහැණ වශයෙන් සන්නිවේදනය ගොඩනැගී ඇත.මෙම සම්බන්ධතාවය හේතුවෙන් මිනිසා, දේශපාලන සහ සන්නිවේදනය යන කාරණා ත්‍රිත්වය මුල් කොටගෙන දේශපාලන සන්නිවේදනය නම් විෂය ක්ෂේත්‍රයේ නිර්මාණය වී පෝෂණය වී ඇත. වර්තමානය වන විට ලාංකීය සමාජය තුළ මෙන්ම ලොව සෑම රටකම පාහේ දේශපාලන සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රිය කතිකාව පුළුල්ව ඇත.

      දේශපාන සන්නිවේදනයේ ආරම්භය දේශපාලනය තරම්ම පැරණිය. එමෙන්ම දේශපාලන විද්‍යාව, ප්‍රායෝගික දේශපාලනය ව්‍යාපාරයන් හා සන්නිවේදන අධ්‍යයනය යන පුලුල් විෂයන් දේශපාලන සන්නිවේදනය යන විෂය ක්ෂේත්‍රයේ අන්තර්ගතය ගොඩනැගීම සදහා දායක වී ඇත. දේශපාලන සන්නිවේදනය යන වචනය ඇසු සැනින් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වන්නේ මැතිවරණ හා ඒ සදහා භාවිතා කරණ විචාරණ උපක්‍රමයන් හා  බැඳි සන්නිවේදනයක් පමණි. කෙසේ වෙතත් දේශපාලන සන්නිවේදනය යනු ඉන් ඔබ්බට විහිදුණු සුවිසාල විෂය ක්ෂේත්‍රයක් ආවරණය කරන්නකි. එනම් සමස්ථ දේශපාලන ක්‍රියාවලිය හා බැඳුණු සමස්ථ සන්නිවේදන ක්‍රියාවලියම දේශපාලන සන්නිවේදනය යනුවෙන් සරලව හඳුනාගත හැකිය. ඒ අනූව

මැතිවරණ හා දේශපාලන සන්නිවේදනය.
ජන මාධ්‍ය, නව මාධ්‍ය හා දේශපාලනය.
දේශපාලන ප්‍රතිරූපය ගොඩනැන්වීම.
ජනමතය නිර්මාණය කිරීම හා හැසිරවීම.
දේශපාලනය සමඟ මාධ්‍ය සම්බන්ධතා හා ක්‍රියාකාරීත්වය.
විරෝධතා ව්‍යාපාර.
දේශපාලන මහජන සම්බන්ධතාවය.
දේශපාලන ප්‍රචාරණය හා දැන්වීම.
දේශපාලන අලෙවිකරණය.
මාධ්‍ය හිමිකාරීත්වය හා දේශපාලන සම්බන්ධතා.
ත්‍රස්ථවාදී හා බලපෑම්කාරී කණ්ඩායම්.

               වැනි දේශපාලන ක්‍රියාවලිය තුළ සන්නිවේදනාත්මක විග්‍රහයන් ගණනාවක් දේශපාලන සන්නිවේදනය ලෙස හඳුනාගත හැකිය.

“දේශපාලන පක්ෂ, දේශපාලඥයින්, ආණ්ඩු පක්ෂ ඇමතිවරු හෝ ඔවුන් අයත්වන කැබිනට් මණ්ඩල භාවිතා කරන සියලු සන්නිවේදන විධි දේශපාලන සන්නිවේදනය ලෙස නම් කළ හැකිය”
                                                                                                                      (බෙන්ජමින් ස්ටොක්මාන්)

           බෙන්ජමින් සිටොක්මාන්ගේ ඉහත නිර්වචනයට අනූව ඔහු පෙන්වාදෙන්නේ දේශපාලන සන්නිවේදනය යනු මැතිවරණ ප්‍රචාරණය පමණක් ඉලක්ක කරගත් ක්‍රියාවලියක් නොවන බවයි. දේශපාලන අරමුණක් සහිත ඕනෑම සන්නිවේදන ක්‍රියාවක් දේශපාලන සන්නිවේදනය යටතට ගැනෙන බව ඔහුගේ අදහසයි.

“දේශපාලන සන්නිවේදනය යනු දේශපාලන පිළිබඳ අරමුණු සහගත සන්නිවේදනයයි ”
                                                                                                                        ( බ්‍රයන් මැක්නර් )

          ස්ටොක්මාන්ගේ නිර්වචනය තහවුරු කෙරෙන ආකාරයේ අදහසක් බ්‍රයන් විසින් ද දක්වා ඇත. දේශපාලන වශයෙන් සම්බන්ධ අරමුණක් පවතින ඕනෑම සන්නිවේදන ක්‍රියාවලියක් දේශපාලන සන්නිවේදනය යටතට අයත්වන බව ඔහුගේ අදහසයි.

         ඉහත නිර්වචනයන් දෙකටම සමාන ආකාරයේ අදහසක් එස් එම් ඩැෆිගේ නිර්වචනය තුළින්ද හදුනාගත හැකිය. ඔහුට අනූව,  

“දේශපාලන සන්නිවේදනය යනු දේශපාලන ක්‍රියා පද්ධතිය තුළ පවතින සන්නිවේදන භූමිකාව යන්නයි ”

      ඒ අනූව දේශපාලන සන්නිවේදනය පිළිබඳව ඉදිරිපත්ව ඇති නිර්වචන විග්‍රහ කර බැලීමේ දි පැහැදිලි වන්නේ දේශපාලනය හා සම්බන්ධ සෑම ක්‍රියාවලියටම අයත් සන්නිවේදන භූමිකාව දේශපාලන සන්නිවේදනය ලෙස හදුනාගත හැකි බවයි. සමාජයේ ක්‍රමික විකාශයක් සමග දේශපාලන සන්නිවේදනය ද ඒ ඒ යුගවල දේශපාලන අවශ්‍යතාවයන් උදෙසා විකාශය වී ඇති අයුරු හදුනාගත හැකිය. එහි වර්ධනීය අවස්ථාවක් ලෙස තාක්ෂණික දියුණුවත් සමග බිහිවන ජනමාධ්‍ය ආශ්‍රිත දේශපාලන සන්නිවේදනය හැදින්වීම නිවැරදිය. අදවන විට එහි උච්චතම අවස්ථාව වන නව මාධ්‍ය සම්බන්ධ දේශපාලන සන්නිවේදනය දක්වාම ව්‍යාප්තව පැවතීම දේශපාලන සන්නිවේදනයේ වඩාත් ආකර්ශණිය සහ න්‍යාය සහ ක්‍රියාකාරකම් අතින් පොහොසත් විෂය ක්ෂේත්‍රයක් බවට පත්වීමට හේතු වී ඇත.
      දේශපාලන සන්නිවේදනයේ වඩාත් ආකර්ෂණීය මෙන්ම වඩාත් ප්‍රායෝගික භාවිතයක් සිදුවන්නේ මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය තුළදීය දේශපාලන බලය ලබාගැනීමත් බලය ක්‍රියාත්මක කිරීම සහ ඒ බලය පවත්වාගෙන යාම සදහාත් ආකර්ෂණිය මෙන්ම නිර්මාණශීලිව සන්නිවේදනය භාවිතා කරනු ලබයි. දේශපාලන සන්නිවේදනයේ සාර්ථක අසාර්ථක භාවය මත දේශපාලන බලය අත්පත්කර ගැනීම හෝ නොගැනීම තීරණය වේ. එහෙයින් වර්තමානය වන විට දේශපාලන සන්නිවේදනය කෙරෙහි න්‍යාත්මත මෙන්ම ප්‍රායෝගික වශයෙන්ද අතිශය වැදගත් කමක් හිමිව ඇත.

ඩොරිස් ඒ. ග්‍රැබර්ගේ අදහසට අනුව සන්නිවේදන ක්‍රියාවලියක් දේශපාලන වීම සදහා අවශ්‍ය වැදගත්ම සාධකය වනුයේ සංදේශය ලැබෙන ප්‍රභවය නොව එහි අන්තර්ගතය හා අරමුණ යන කාරණා ද්විත්ව බවයි. මේ අනූව දේශපාලන සන්නිවේදනය සංදේශයක අන්තර්ගතය සැකසීමේදී වඩාත් උපක්‍රමශිලි සහ සැලසුම් සහගත වීම වැදගත් වේ. දේශපාලනය මෙන්ම සන්නිවේදනය ද වඩාත් පු`ථල්ව ඇති වර්තමානය වන විට ආකර්ෂණීය අන්තර්ගතයකින් යුත් බලපෑම්කාරී සංදේශයන් නිර්මාණය කරලීමට දේශපාලන සන්නිවේදනය අපුර්ව අයුරින් හැසිරවීම දේශපාලන ප්‍රචාරණය තුළ සුලභව හදුනාගත හැකිය.



එස්.එම්.ආර්.ජේ.නානායක්කාර
ජනසන්නිවේදන අධ්‍යන අංශය
කැලණියවිශ්වවිද්‍යාලය






සබරගමු නර්තන සම්ප්‍රදාය පෝෂණය වීමට හේතු වූ අන්තර් සංස්කෘතික ලක්ෂණ...

සබරගමු නර්තන සම්ප්‍රදාය පෝෂණය වීමට හේතු වූ අන්තර් සංස්කෘතික ලක්ෂණ...

       ශ්‍රී ලංකාව භූමි ප්‍රමාණයෙන් කුඩා රටක් වුවද දේශීය වශයෙන් ප්‍රභවය ලැබුවා වූ ඇතැම් ලක්ෂණයන් අතින් එකිනෙකට බොහෝ දුරට සමාන වන්නා වූ ද, තවත් ලක්ෂණ අතින් එකිනෙකින් ප්‍රතිවිරුද්ධ වන්නා වූ ද, මහා සම්ප්‍රදායන් ලෙස හැදින්විය හැකි දේශීය නර්තන සම්ප්‍රදායන් තුනක් සහ ප්‍රාදේශීය ව්‍යවහාරයන් කරණ කොට  ගෙන එකී මූලභූත සම්ප්‍රදායන් තුළින් උපන් චූල සම්ප්‍රදායන් කිහිපයකින් ද පෝෂණය වූ නර්තන කලාවක් හිමිව පවතී. එසේ බිහිව ඇති මහා සම්ප්‍රදායන් ත්‍රිත්වය නම්,

1. උඩරට නර්තන සම්ප්‍රදාය 
2. පහතරට නර්තන සම්ප්‍රදාය
3. සබරගමු නර්තන සම්ප්‍රදාය

       සබරගමු මහා සමන් දේවාලය මූලික කර ගනිමින් කුරුවිට කෝරලය, අට කලං කෝරලය, මැද කෝරලය සහ කොලොන්න කෝරලය ප්‍රමුඛ සබරගමුව පළාතට ආවේණිකව බිහි වී ප්‍රචලිත වූ සබරගමු නර්තන සම්ප්‍රදාය ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික නර්තන කලාවන් අතර දීර්ඝ ඉතිහාසයකට උරුමකම් ඇති නර්තන සම්ප්‍රදායකි. 
          සබරගමු නර්තන සම්ප්‍රදායේ ඉතිහාසය පිළිබඳ විමසා බැලීමේදී එය වැදි ගෝත්‍රික සමාජය දක්වා ඈත අතීතයකට උරුමකම් කියන බව සිතිය හැක. කෙසේද යත් විජය රජුට, කුවේණියට දාව උපන් ජීවහත්ත සහ දිසාලා යන දරු දෙදෙනාගෙන් පැවත එනවා යැයි සැලකෙන, සබරගමුවට අයත් සමන්තකූඨ ප්‍රදේශයේ වාසය කරන ලදැයි සැලකෙන වැදි ජනයා මුලිකව මෙම නර්තන කලාව බිහි වු බවත්, එය පසු කාලීනව දේව සංකල්පය මත සමන් දේවාලය මුල් කරගෙන සම්ප්‍රදායක් ලෙස පෝෂණය වු බවත් සිතිය හැකිය. විශේෂයෙන් “සබර” යනු වැද්දන් හැඳින්වීමට භාවිත කළ වචනයක් බවත්, වැද්දන් වාසය කළ ප්‍රදේශය “සබරගමුව” ලෙසින් ද හඳුන්වා ඇති බවත් ඉතිහාසයේ සඳහන් වන හෙයින් සබරගමු නර්තන සම්ප්‍රදායේ මූලාරම්භය වැදි ගෝත්‍රික සමාජය මුල් කරගෙන සිදු වු බව විශ්වාස කළ හැකිය. 
        ඕනෑම සංස්කෘතියක්, සම්ප්‍රදායක් බිහි වන්නේ එයටම ආවේණික වු අනන්‍ය වු ලක්ෂණ මුලික කරගනිමින් වන අතර එය කාලයත් සමග විකාශනය වී ප්‍රචලිත වීමත් සමග විවිධ වු සමාජ, දේශපාලන, ආගමික, ආර්ථික ආදී සබඳතා ඔස්සේ තවත් සංස්කෘතීන් හා සම්ප්‍රදායන් සමග එකිනෙකට මුසු වේ. මේ නිසා කිසියම් සංස්කෘතියක ඇති අංග ලක්ෂණ බොහෝ දුරට තවත් සංස්කෘතියක් නියෝජනය කිරීමක් දක්නට ලැබේ. එනම් සංස්කෘතියක, සම්ප්‍රදායක පවතින අනන්‍ය ලක්ෂණ සමග එකනෙකට මුසු වෙමින් එය පෝෂණය කරන වෙනත් සංස්කෘතීන් හා සම්ප්‍රදායන්ගෙන් ලැබුණු අන්තර් සංස්කෘතික අංග ලක්ෂණ සෑම සංස්කෘතියකම පාහේ දැකගත හැකිය. 
           සබරගමු නර්තන සම්ප්‍රදාය ද මුලික වශයෙන්ම එයට අනන්‍ය වු ලක්ෂණ සහිතව ආරම්භ වී විකාශනය වු අතර ගුරුකුල අතර පවතින සබඳතා, දේව සංකල්පය, සමාජ, ආගමික වැනි විවිධ වු සබඳතා ඔස්සේ විවිධ සංස්කෘතීන් හා සම්ප්‍රදායන්ගේ ආභාෂය ලබා ඇති බව පැහැදිලිය. එනම් වෙනත් සංස්කෘතීන් හා සම්ප්‍රදායන්ගේ සංස්කෘතික අංග ලක්ෂණ සබරගමු නර්තන සම්ප්‍රදාය තුළ නියෝජනය වීමක් දක්නට ලැබේ.
එලෙස සබරගමු නර්තන සම්ප්‍රදාය හා මුසු වු අන්තර් සංස්කෘතික අංග ලක්ෂණ මොනවාදැයි අධ්‍යනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. 

01. සබරගමු නර්තන සම්ප්‍රදායයේ මූලාරම්භය වැදි ජනතාව හා ඔවුන්ගේ සංස්කෘතිය මුලික කරගනිමින් බිහි වු බව ජනශ්‍රැතියේ එන සාධක ඔස්සේ පැහැදිලි වේ. වැදි ජනයාගේ සංස්කෘතික ලක්ෂණ සබරගමු නර්තන සම්ප්‍රදාය තුළ අන්තර්ගත වීම එය මනාව සනාථ කරනු ලබයි. 
      
       වැදි ගෝත්‍රික ජනතාවගේ ප්‍රධාන සංස්කෘතික අංගයක් වන, ඔවුන් අදටත් තම සංස්කෘතිය විදහා පෑමට යොදා ගන්නා නර්තන අංගයක් ලෙස කිරි කොරහ නැටුම හඳුන්වා දිය හැකිය. මෙම කිරි කොරහ නැටුම සබරගමු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන නර්තන අංගයක් වේ. 
        එමෙන්ම සබරගමු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ලෙස සැලකෙන දවුල වැදි ජනතාවගේ කිරි කොරහ නර්තනය සදහා යොදා ගන්නා ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ලෙසද සැලකේ. ඉතා පහසුවෙන් එළු සමක් යොදා ගෙන නිර්මාණය කළ හැකි වාද්‍ය භාණ්ඩයක් වීම නිසාවෙන් එය වැදි ජනයා භාවිතා කරන්නට ඇතැයි සිතිය හැක.
       ඒ අනුව පැහැදිලි වන්නේ වැදි ගෝත්‍රික සංස්කෘතියේ පැවති  කිරි කොරහ නැටුම සහ වාද්‍ය භාණ්ඩයක් වු දවුල සබරගමු නර්තන සම්ප්‍රදාය හා මුසු වෙමින් එහි ප්‍රධාන සංස්කෘතික ලක්ෂණයක් බවට පත්ව ඇති බවයි. 

02. සබරගමු නර්තන සම්ප්‍රදායේ එන සමහර සංස්කෘතික අංග ලක්ෂණ භාරතයේ කතකලී නර්තන සම්ප්‍රදායේ සමහර අංග ලක්ෂණ වලට සමානත්වයක් පවතී. 
     
      කතකලී නර්තන සම්ප්‍රදායේ ඇති සමහර “අංගහාර ” සබරගමු නර්තන සම්ප්‍රදායේ අංගහාර වලට සමාන වේ. නර්තන ශිල්පීන් නර්තනයේ යෙදෙන විට අත කරකවන ආකාරය, තාලය බොහෝ දුරට සම්ප්‍රදායන් දෙකෙහිම සමාන වේ.
      එසේම කතකලී නර්තන සම්ප්‍රදායේ ප්‍රදාන වාද්‍ය භාණ්ඩය ලෙස සැලකෙන “චෙණ්ඩාව” සබරගමු නර්තන සම්ප්‍රදායයේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වන දවුලට බොහෝ සෙයින් සමාන වේ. මෙම වාද්‍ය භාණ්ඩ දෙකම සෑදීමට යොදා ගන්නේ එළු සමකි. මෙම වාද්‍ය භාණ්ඩ දෙකම එක සමාන වුවද ඒවා වාදනය කරන ආකාරය වෙනස් වේ. 
   ඒ අනුව කතකලී හා  සබරගමු යන නර්තන සම්ප්‍රදායන් තුළ එකිනෙකට නියෝජනය වන අන්තර් සංස්කෘතික ලක්ෂණ හදුනා ගත හැකි වේ. 

03. දේව සංකල්පය හා බැඳුණූ අන්තර් සංස්කෘතික ලක්ෂණ සබරගමු නර්තන සම්ප්‍රදාය තුළින් හඳුනාගත හැකිය. 

     සබරගමු  නර්තන කලාව සම්ප්‍රදායක් ලෙස එයට අනන්‍ය ලක්ෂණ ඔස්සේ ගොඩ නැගී ඇත්තේ සබරගමු මහ සමන් දේවාලය මුල් කරගෙනය. විශේෂයෙන් සමන් දේවාල පෙරහැර ගමන් කරන්නේද සබරගමු නර්තන සම්ප්‍රදායේ එන,
1. මුල් මාත්‍රය
2. ගමන් මාත්‍රය
3. සින්ධූ මාත්‍රය
4. පට්ටුතාල් මාත්‍රය
5. යක්පද මාත්‍රය
                                                                යන මාත්‍රා පහ මුල් කරගෙනය. ලය අඩු වැඩි කරමින් මෙම මාත්‍රා වලට අනුව දේවාල පෙරහැර ගමන් කරයි. 
      එමෙන්ම සබරගමු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන නර්තන ඇඳුම් කට්ටලය ලෙස සමන් දෙවියන්ගේ ඇඳුම යොදාගනු ලබයි. එනම් නර්තන ශිල්පින් නර්තනයේ යෙදීමේදී ඇඳුම් ඇඳීම හා ආභරණ පැලඳීම සිදු කරන්නේ සමන් දෙවියන්ගේ ඇඳුමට සමාන වන ආකාරයෙනි. 
       මේ අනුව පැහැදිලි වන්නේ ශ්‍රි දළඳා මාලිගය හා බැදුණු සංස්කෘතිය උඩරට නර්තන සම්ප්‍රදාය හා බැඳුනේ කෙසේද, එලෙසම සමන් දේවාලය මුල් කරගත් දේව ආභාෂය හා සංස්කෘතික ලක්ෂණ සබරගමු නර්තන සම්ප්‍රදාය තුළ ද අන්තර්ගත වී අන්තර් සංස්කෘතික ලක්ෂණ විදහාපාන බවයි. 

04. උඩරට නර්තන සම්ප්‍රදාය සහ සබරගමු නර්තන සම්ප්‍රදාය අතර අන්තර් සංස්කෘතික ලක්ෂණ හදුනාගත හැකිය. 

       උඩරට නර්තන සම්ප්‍රදායේ එන “මංගලම්” සහ සබරගමු නර්තන සම්ප්‍රදායේ මුල් මාත්‍රය අතර සමානකමක් පවතී. උඩරට මංගලම් සහ සබරගමු මුල් මාත්‍රය යන දෙකම නටන්නේ පස් තිතට හෙවත් සුළු මැදුම් දෙතිතට අනුවයි. 
            මංගලම් ජය මංගලම් ජය මංගලම් ජය මංගලම්..... (උඩරට)
            සසිරි සිරිලක පෑව අණසක මංගලම්.....(සබරගමුව)

            එමෙන්ම උඩරට මංගලම් වල කස්තිරම සහ  සබරගමු මුල් මාත්‍රයේ කස්තිරමත් තාල වලින් සමාන වේ. 
උදා: තත් ජිත් තොන් නත් තා (උඩරට)
          ගත කුඳ කුඳ තා (සබරගමුව)

        උඩරට හා සබරගමු නර්තන සම්ප්‍රදායන් වල පවතින වන්නම් වල නම් සහ සමහර වන්නම් කවි එකිනෙකට සමානතාවයක් දක්වයි. 
උදා: ගජගා, ගනපති, සිංහනාඩි, මුසලඩි, මයුරා 

උඩරට හා සබරගමු නර්තන සම්ප්‍රදායන් වල පවතින “අඩව්” එකිනෙකට සමාන වේ. 
උදා: තක් දොඟ තක දොඟ - උඩරට හනුමා වන්නම
තක් දොඟ තක දොඟ - සබරගමු සිංහනාඩි වන්නම

       ඒ අනුව පැහැදිලි වන්නේ ලාංකීය නර්තන කලාවේ මහා සම්ප්‍රදායන් දෙකක් වන උඩරට හා සබරගමු නර්තන සම්ප්‍රදායන් තුළ එකිනෙකට මිශ්‍ර වූ අන්තර් සංස්කෘතික ලක්ෂණ හදුනාගත හැකි බවයි. 

05. පහතරට නර්තන සම්ප්‍රදාය හා සබරගමු නර්තන සම්ප්‍රදාය අතර එක් එක් සංස්කෘතීන් නියෝජනය වන්නා වු අන්තර් සංස්කෘතික ලක්ෂණ හදුනාගත හැකිය. 

          සබරගමු හා පහතරට නර්තන සම්ප්‍රදායන්හි පවතින පන්තේරු නැටුම එකිනෙකට  සමාන ලක්ෂණ දරයි. ජනශ්‍රැතියට අනුව පත්තිනි දේව සංකල්පය මුල් කරගෙන බිහි වූ පන්තේරු නැටුම පහතරට නර්තන සම්ප්‍රදාය තුළින් සබරගමු නර්තන සම්ප්‍රදායට එක් වු සංස්කෘතිකාංගයක් ලෙස හදුනාගත හැකිය.

       එමෙන්ම සබරගමු නර්තන සම්ප්‍රදායට පත්තිනි දේව සංකල්පය එකතු වී ඇත්තේ පහතරට නර්තන සම්ප්‍රදාය ඔස්සේ විය හැකිය. සබරගමු නර්තන සම්ප්‍රදායේ එන සන්නි යකුම් යාගය, කුමාර සමයම, මහ සොහොන් සමයම, පිළිවෙලින් පහතරට නර්තන සම්ප්‍රදායේ එන සන්නි යකුම් යාගය, රිද්දි යාගය, මහසොහොන් සමයම යන ශාන්තිකර්මයන්ට සමාන වේ. එම ශාන්තිකර්මයන්හි අරමුණු, පුද පුජා රටා, වත් පිළිවෙත් එකිනෙකට සමාන වේ. 

       ඒ අනුව පැහැදිලි වන්නේ පහතරට හා සබරගමු නර්තන සම්ප්‍රදායන් අතර ද එකිනෙකට බැඳුණු අන්තර් සංස්කෘතික ලක්ෂණ හඳුනාගත හැකි බවයි. 

06. ඌව නර්තන සම්ප්‍රදාය සහ සබරගමු නර්තන සම්ප්‍රදාය අතර අන්තර් සංස්කෘතික ලක්ෂණ හදුනාගත හැකිය. 

         චූල නර්තන සම්ප්‍රදායක් වන ඌව නර්තන සම්ප්‍රදායයේ  එන “මල් එළි ශාන්තිකර්මය” හා සබරගමු නර්තන සම්ප්‍රදායේ එන “කිරි මඩුව ශාන්තිකර්මය” අතර සමාන ලක්ෂණ පවතී. එම ශාන්තිකර්ම දෙකෙහිම අරමුණු එකිනෙකට සමාන වේ. අස්වනු වලට වන හානිය වළක්වා ගැනීම, දෙවියන්ගේ ලෙඩ ලෙස සැලකෙන වසංගත රෝගවලින් ආරක්ෂා වීම, ගව මහීෂාදීන්ට වැළඳෙන රෝග වලින් උන් ආරක්ෂා කර ගැනීම ශාන්තිකර්ම දෙකෙහිම අරමුණ වේ. එමෙන්ම ශාන්තිකර්ම දෙකෙහිම පුද පුජා රටාවත්, පුදනු ලබන දෙවිවරු (පත්තිනි, විෂ්ණූ, කතරගම, සමන් දෙවිවරු සහ කිරි අම්මාවරු) සමාන වේ. එමෙන්ම උපත් කතාද සමාන වේ. සබරගමු කිරිමඩුව ශාන්තිකර්මය ආශ්‍රිතව ඌව මල් එළිය ශාන්තිකර්මය බිහි වී ඇති බව බොහෝ අයගේ විශ්වාසය වේ. කෙසේ වෙතත් එයින් පැහැදිලි වන්නේ ලාංකීය මහා නර්තන සම්ප්‍රදායන් සහ චූල නර්තන සම්ප්‍රදායන් අතර ද අන්තර් සංස්කෘතික ලක්ෂණ හඳුනාගත හැකි බවයි. 

07. සමාජයීය වශයෙන් ග්‍රාමීය ජනයාගේ කලාවන් මුල් වු ග්‍රාමීය සංස්කෘතිය සහ සබරගමු නර්තන සම්ප්‍රදාය අතර අන්තර් සංස්කෘතික ලක්ෂණ හඳුනාගත හැකිය. 

          සිරිපා කරුණා කරන බැතිමතුන් විසින් ගායනා කරනු ලබන තුන් සරණේ කවි ගොඩ නැගී ඇති ආකාරය හා එහි තාලය සබරගමු නර්තන සම්ප්‍රදායයේ “ජින් කිට තක් තක්කිට තක්” යන ගමන් මාත්‍රයට සමාන වේ. බොහෝ දෙනාගේ මතය වන්නේ ග්‍රාමීය ජනතාවගේ ජනශ්‍රැතිය සහ ගැමි සංස්කෘතිය අනුව ගැයෙන තුන් සරණේ කවි මූලික කරගෙන සබරගමු නර්තන සම්ප්‍රදායයේ ගමන් මාත්‍රය ගොඩ නැගී ඇති බවයි. 
              ඒ අනුව පැහැදිලි වන්නේ ගැමි සමාජයීය කලාත්මක සංස්කෘතික ලක්ෂණ සබරගමු නර්තන සම්ප්‍රදාය තුළ නියෝජනය වන බවත් ඒ ඔස්සේ සබරගමු නර්තන සම්ප්‍රදායයේ අන්තර් සංස්කෘතික ලක්ෂණ ප්‍රකට වන බවත්ය. 

08. උඩරට, පහතරට, සබරගමු යන ප්‍රධාන නර්තන සම්ප්‍රදායන්හි එකිනෙකට මිශ්‍ර වූ අන්තර් සංස්කෘතික ලක්ෂණ හඳුනාගත හැකිය. 

        උඩරට, පහතරට, සබරගමු යන ප්‍රධාන නර්තන සම්ප්‍රදායන් තුනෙහිම ශාන්තිකර්ම සහ බලි වල එන උපත් කතා එකිනෙකට සමාන වේ. උපත් කතා සඳහා යොදාගෙන ඇති කුල පරම්පරාව, සමාජ තත්වය, පත්තිනි දේවිය පිළිබද කතාන්දර, රජවරු පිළිබඳ( ලිච්ඡවි, මහාසම්මත) කතා ආදිය සම්ප්‍රදායන් තුනෙහිම එකිනෙකට සමාන වේ. 

          මහා සම්ප්‍රදායන් තුනටම අයත් බලි ශාන්තිකර්ම අතර පොදු සමානතාවක් දක්නට ලැබේ. ඇතැම් චාරිත්‍ර විධි අතින්, යොදා ගනු ලබන වාදන භාණ්ඩ සහ ගායනය සඳහා යොදා ගන්නා නාද මාලා වැනි ඇතැම් සාධක මත ඒ එකිනෙකක් විසින් තම සම්ප්‍රදායට අදාල අනන්‍යතාවය පවත්වා ගනු ලැබුවද පැවැත්වීමේ අරමුණු, යෙදාගනු ලබන ගායන හා බැඳි ගීත සාහිත්‍ය, අඹනු ලබන රූප හෝ අඳිනු ලබන චිත්‍ර යනාදී මූලික ලක්ෂණ සම්ප්‍රදායන් තුනෙහිම සමාන වේ. 

        විශේෂයෙන් ඉන්දියානු බමුණු දහම ඔස්සේ විකාශය වී ඇති බලි ශාන්තිකර්මය කෝට්ටේ යුගයේදී වීදාගම මෛත්‍රී හිමියන් විසින් බුදුගුණ ගීතයන්ට මුල් තැනැක් දෙමින් බෞද්ධ මුහුණුවරක් අනුව හැඩගස්වා ඇත. ඉන් අනතුරුව මෙය නර්තන සම්ප්‍රදායන් තුනෙහිම පෝෂණය වී ඇත.

          එමෙන්ම සම්ප්‍රදායන් තුනෙහිම නර්තන ශිල්පීන්ගේ හිසෙහි බඳින “නෙත්ති මාලය” නම් රංග ආභරණය සමාන වේ. එය ලෝහ වලින් නිර්මිත ආභරණයකි. 

        එමෙන්ම සබරගමු නර්තන සම්ප්‍රදායයේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වන දවුල උඩරට, පහතරට, ඌව යනාදී සෑම සම්ප්‍රදායකම හේවිසි වාදනය සඳහා යොදා ගනු ලබයි. උඩරට සම්ප්‍රදායට අනුව තම්මැට්ටම යොදා ගත්තද, එහිද ප්‍රධාන වශයෙන් දවුල යොදා ගනු ලබයි. 

      ඒ අනුව පැහැදිලි වන්නේ ලාංකීය මහා නර්තන සම්ප්‍රදායන් ත්‍රිත්වයෙහිම එක් එක් සංස්කෘතීන් නියෝජනය කරන්නා වූ අන්තර් සංස්කෘතික ලක්ෂණ පවතින බවයි. 

         මේ අනුව ඉහත කරුණු විමර්ශනාත්මකව අධ්‍යනය කිරීමේදී පැහැදිලි වන්නේ සබරගමු නර්තන කලාවේ මූලාරම්භය වැදි ගෝත්‍රික ජනයා මුල් වී ගොඩනැගුණු බවත් එය සමන් දේවාලය මුල් කරගෙන සබරගමු නර්තන සම්ප්‍රදාය ලෙස පෝෂණය වු බවත්ය. එලෙස පෝෂණය වීමේදී විවිධ වු දේශීය විදේශිය නර්තන සම්ප්‍රදායන්, දේව සංකල්පය, ගැමි සංස්කෘතිය හා වැදි ගෝත්‍රීය සංස්කෘතිය වැනි විවිධ සංස්කෘතීන්හි ආභාෂය ලැබූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස සබරගමු නර්තන සම්ප්‍රදාය වටා ඇති සංස්කෘතිය තුළ සබරගමු නර්තන සම්ප්‍රදාය පෝෂණය වීමට ආභාෂය ලැබූ විවිධ සංස්කෘතීන් සම්ප්‍රදායන් නියෝජනය කරන අන්තර් සංස්කෘතික ලක්ෂණ බොහොමයක් හඳුනාගත හැකි බවයි.

     කෙසේ වෙතත් උඩරට, පහතරට, නර්තන සම්ප්‍රදායන්ට සාපේක්ෂව විදේශීය නර්තන කලාවන්හි, සංස්කෘතීන්හි ආභාෂය සබරගමු නර්තන සම්ප්‍රදායට බලපෑම් සහගත වීම අඩු තත්ත්වයක පවතී. එයට හේතු වන්නට ඇත්තේ රට මැද පිහිටි ප්‍රදේශයක සබරගමු නර්තන සම්ප්‍රදාය බිහි වී ප්‍රචලිත වීමයි.



මූලාශ්‍ර සාධක
1. පීරිස් ඥානසිරි, ශාන්තිකර්ම සහ අභිචාර විධි, ප්‍රථම මුද්‍රණය, 2006, වාසනා ප්‍රකාශකයෝ, දංකොටුව.

සම්මුඛ සාකච්ඡා
1. ඩී. එච්. අමිල චන්ද්‍රසේන හෙට්ටිගේ (සබරගමු නැටුම් හා පර්යේෂණ පුහුණු ආයතනයේ ඩිප්ලෝමාධාරි)
2. එස්. එම්. ඩබ්ලිව්. නානායක්කාර ( ආචාර්ය - බුත්කන්ද විද්‍යාලය)









එස්.එම්.ආර්.ජේ.නානායක්කාර.
විශේෂවේදී තෙවන වසර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය






2020 ජනපති සොයාන පාවෙන තරුණ ඡන්ද

  2020 ජනපති සොයාන පාවෙන තරුණ ඡන්ද රට ජනාධිපතිවරණ උණුසුමකින් පෙළෙන මේ සමයේ සියලුම අපේක්ෂකයින් ජනතාවගේ සුව දුක් විමසීමට යුහුසුළු වෙති. ඔ...