"තමන්ගේ මතය"
කුඩා කදුවැටියක් උඩ පිහිටි ගරාවැටුණු බිත්ති හතරකින් වටවුණු නිවස දැලිකුණු තැවරීමෙන් හා කාලයක් පටන් අලුත්වැඩියා නොකළ, සායම් නොගෑ නිවසක් බව පෙනේ. සැමියා මළ ස්ත්‍රියක වන යසෝමා හා ඇගේ එකම දරුවා වන අපේක්ෂා දියණිය ජීවිතය ගෙනයන්නේ ඉතාමත් අසීරුවෙනි. පියාගේ මරණයෙන් පසු යසෝමා තම දියණියගේ අඩුලුහුඩුකම් සපයන්නේ පොහොසත් නිවසක මෙහෙකාරකම් කරමින්ය.
ලොකුනෝනා යනු එම සමාජයේම ජීවත්වන පොපියන සංස්කෘතිය දැඩිව අනුගමනය කරන ධනපති පංතියේ පවුලක අයෙකි. ඇයගේ සැමියා ලොකුහාමු වන අතර ඔවුන්ටද අපේක්ෂාගේ වයසේම පුතෙකු වේ. රජයේ කාර්යාලයක සේවය කරන ලොකුහාමු ඔහුගේ භාර්යාව තරම් දැඩිව සංස්කෘතිය අනුගමනය කරන්නෙක්වත් තම පංතිය වර්ණනා කරන්නෙක්වත් නොවේ. සමාජයේ ජීවත්වන විවිධ පුද්ගලයන් විවිධාකාරයේ ගති පැවතුම්වලින් යුක්ත වූවන්ය. මෙවැනි අය යසෝමා වැනි වැන්දඔුවන්ට නොසලකන්නේ ඇගේ ජිවිතාදර්ශය නිසාවෙනි.
යසෝමා තම දියණිය රැකගැනීමට ලොකුනෝනාගේ නිවසෙහි වැඩ කළ නමුත් ඇයට නින්දා අපහාස යනාදිය කොතෙකුත් අසන්නට ලැබෙයි. මව සමඟ යන අපේක්ෂා දියණිය ද බොහෝ අය අප්‍රසන්නව හෙළා දකින්නට පුරුද්දක් කරගෙන ඇත.
“කී සැරයක් කිව්වද? එළියේ දඟලන්න එපා කියලා, මිදුලේ දුවිලිත් පිරිලා හැමතැනම. ඇගත් රස්නෙයි වගේ.......”
“මට අමාරුවක් නෑ අම්මේ....”
මිදුලේ සෙල්ලම් කරමින් සිටින පුංචි බේබි හා අපේක්ෂා දැක ලොකුනෝනා ඉදිරියට ආවේ තරහින් කෑ ගසමින්ය.
පුංචි බේබිගේ නළලට අත තබා බැලු ලොකුනෝනා තම පුතාව ඇදගෙන ගෙට ගියේය. ඇයගේ කෑගැසීමට බියට පත් අපේක්ෂා දුවගොස් කුස්සියේ උයමින් සිටි යසෝමාගේ දැලි තැවරුණු සායේ එල්ලුනේ දැසේ කදුළු පුරවා ගනිමින්ය.
“ඇයි දුවේ මේ අඬන්නේ.....”
කියමින් මව තම දුවව වැළදගත්තේ ය.
“ඇයි අම්මේ ලොකු නෝනා අපි සෙල්ලං කරනවට අකමැති ”
“එහෙම තමයි දුව අපියි එයාලයි කවදාවත් එකට ජීවත්වෙන්න පුළුවන් අය නෙමෙයි. අපි ගෙදර ගිහින් සෙල්ලං කරමු. ”
කිසිවක් තේරුම් ගැනීමට නොහැකි වූ අපේක්ෂා නිශ්ශබ්දව කුස්සියේ බංකුවක හිද ගත්තේය. එහෙත් සාලයේ මේසෙක වාඩි වී පාඩම් කරන පුංචි බේබිව දැක හෙමින් එතැනට ඇදී ගියේ නයෙකු ඇදෙන්නාක් මෙනි. අධ්‍යාපනය ලැබිමට වත්කමක් නොතිබුණත් ඇය ඉගෙන ගැනීමට ඉතාමත් කැමැත්තෙන් සිටි නමුත් ලබාගන්නා සොචිචම් මුදලින් සාගින්න පියවා ගන්නවා මිසක අනෙක් අඩුලුහුඩුකම් පියවා ගැනීමට නොහැකි විය.
“පුංචි බේබි..... මොකද කරන්නේ..”
“මම අලුත් පොත්වල අකුරු ලියනවා”
කුස්සියේ දොරෙන් එබි බැලු යසෝමා අපේක්ෂා ළගට ගොස් අතින් ඇදගෙන විත් කුස්සියේ පුටුවෙන් වාඩි කලේ දැඩි තරහකිනි.
“කී සැරයක් කියලා තියෙනවද පුංචි බේබි එක්ක ඉන්න එපා කියලා ”
“ලොකු හාමු දැක්කනන් අපිට එළියට තමයි යන්න වෙන්නේ. මේක නිසා තමයි බඩගින්දර හරි නිවාගන්නේ... ඒකත් නැති කරන්නද හදන්නේ. ”
දැසේ කදුළු පිරුණු අපේක්ෂා කිසිවක් නොකියාම මවගේ වදන් අසා සිටින්නට විය. තරහින් පුපුරන යසෝමා, කෑම මේසෙට ගෙනයන්නට විය.
“ලොකු හාමු කෑම ලෑස්තියි.”
කෑම මේසයට පැමිණි සියලු දෙනා කෑම අනුභව කරන්නට විය. කුස්සියේ සිටි අපේක්ෂා තම මවගේ ඇගේ එල්ලී,
“අම්මේ....බඩගිනියි” කියමින් කෑ ගසන්නට වූයේය.
කිසිවක් නොඇසුනාක් මෙන් කෑම කා අවසන් කළ ඔවුන් මේසය අස්කරන්නට යැයි පැවසීය. මේසය පිළිවෙලකට අස්කළ යසෝමා තම දරුවාත් රැගෙන නිවසට ගියේ අඬමින් සිටින තම දරුවාට කිසිවක් හෝ උයා දීමේ බලාපොරොත්තුවෙන්ය. ඇතැම් අවස්ථාවල ආහාර උයා දරුවාගේ කුසගින්න පමණක් නිවා තමා කුසගින්නේ සිටින දින උදා වී නැතිව නොවේ. දුෂ්කර ජීවිතයක් ගත කරන මොවුන් මකුළුවෙකු දැල වියන්නාක් මෙන් දිනෙන් දින ජිවිකාව රැකගන්නේ සමාජයෙන් ලැබෙන නින්දා අපහාස ද විදදරා ගනිමින්ය.
තම මවට උදවු කරන අපේක්ෂා, පුංචි බේබිගේ නිවසේ වැඩවලට ද දායකත්වය සපයයි. පාසල් යන වයසේ දරුවෙකු වුවත් ඇයට පාසල් යෑමට නොහැකි වන්නේ ද සමාජයෙන් ලැබෙන ගැරහුම් හේතුවෙනි.
දිනක් පුංචි බේබි තම මවගේ ළගට විත් විමසුවේ,
“අම්මා ඇයි අපේක්ෂා ඉස්කොලේ යන්නේ නැත්තේ.”
“එයාලට ඉස්කෝලේ යන්න සල්ලි නැහැ පුතා....”
තම පරම්පරා තත්ත්වය හිස උදුම්මා ගනිමින් ලොකු නෝනා පැවසීය.
"එහෙනන් මං එයාට පාඩම් කියලා දෙන්නද." යනුවෙන් පවසද්දී රූපවාහිනියට මුහුණ ඔබාගෙන සිටි ලොකු නෝනා එක්වරම ඇස් රතු කරමින් පුංචි බේබිට රවන්නට වූහ.
“මං හැමදාම කියනවා උන් ගැන කතා කරන්න එපා කියලා ”
පුංචි බේබි කිසිවක් නොඅසා තම කාමරයේ ඇදට දුවගොස් අඬන්නට පටන් ගත්තේය. ලොකු නෝනා ද එය නොඇසෙන්නාක් මෙන් යළිත් රූපවාහිනිය නරඔන්නට වූහ.
“පුතා ඇයි අඬන්නේ. ”
කාර්යාලයේ වැඩ නිම වී නිවසට පැමිණි ලොකුහාමු තම දරුවා දෙඅතින් තුරුළු කරන් අසන්නට විය.
“ඔයාගේ හුරතලේ නිසා තමයි දරුවව හදාගන්න බැරි.”
කියමින් ලොකු නෝනා කාමරයට ඇදී ගියේ රූපවාහිනියද නිවා දමමිනි. සාලේ මේසය කොනක තිබූ රිමෝඩය බිම ඇද වැටුණේ විශාල ශබ්දයක් නගමිනි. ලොකුහාමුගේ තුරුලේ සිටි පුංචි බේබි එයට තිගැස්සී කාමරයට දිවගොස් ඇදට වැටුණේය.
නිවාඩු දිනයක් වු එදින යසෝමා හා ඇගේ දරුවා වැඩ කිරීමට ලොකුහාමුගේ නිවසට පැමිණියේ ය. පැමිණීමට මදක් ප්‍රමාද වු බැවින් ලොකු නෝනා කේන්තියෙන් ඒ මෙ අත බලමින් ඇවිදින්නට විය.
“දුවට සනීප මදි ලොකු නෝනා ඒකයි පරක්කු වුනේ ” කියමින් යසෝමා ගෞරවයෙන් පැවසීය.
“ඇයි බෙහෙත් ගත්තෙ නැද්ද..? පුංචි බේබි බඩගින්නේ ඉන්නේ ඉක්මනට උයන්න”
අපේක්ෂාගේ නළලට අත තබා බැලූ යසෝමා කෑම පිළියෙල කිරිමට සැරසුණේ ය.
හාන්සි පුටුවක හිද තම දරුවාට පාඩම් වැඩ කියා දෙමින් සිටි ලොකු නෝනා එක්වරම කුස්සිය දෙසට කන් යොමු කළේ ය. මිදුලේ පොල් ගසක වියළි පොල් ඉත්තක් බිම ඇද වැටිමත් සමඟ එහි ශබ්දය මුළු ගේ පුරාම පැතිරි ගියේ ය. එයත් සමඟම මවගේ ග්‍රහණයෙන් මිදී පුංචි බේබි ඉවතට පැන දිව්වේය.
“යසෝමා කවුද බෙරිහන් දෙන්නේ.....”
“අම්මෝ....රිදෙනවා”
කුස්සිය දෙසින් ආ කෑ ගෑසීම තව තවත් වැඩිවත්ම කේන්තියට පත් ලොකු නෝනා එක්වරම පුටුවෙන් නැගිටින්නට විය. හාන්සි පුටුවේ සෙලවිල්ලට බියට පත් කුරුල්ලන්ද ඒ මේ අත ඉගිලෙන්නට වුහ.
“අපේක්ෂට බඩෙි කැක්කුමයි කියනවා ලොකු නෝනා.”
“ඔය තරමට බෙරිහන් දෙන්නේ නැතිව ඉන්න කියනවා ගමේ උන් හිනාවෙන්න බලන්නේ ඉන්නේ. ”
කාර්යාලයේ වැඩක නියැලි සිටි ලොකුහාමු ශබ්දය ඇසී සාලයට ආවේය.
“බලන් ඉදලා හරියනවද දොස්තර කෙනෙක් ළගටවත් අරන් ගියානන් හරිනේ...” ලොකුහාමු යෝජනා කලේය.
“ඕන නැ ලොකුහාමු ”
“ඕක දොස්තරවරු හොයාගෙන යන්න ඕනි එකක්ය. ඔය මොනවාහරි හදලා දුන්නම ඇතිනේ.” කියමින් ලොකු නෝනා කීය.
“කමක් නැ ලොකු හාමු තව ටිකකින් ඇරිලා යයි.”
වේදනාව ඉවසාගත නොහැකිව අපේක්ෂා විලාප තබන්නට විය. ලොකුහාමුද කිසිවක් නොකියාම හාන්සි පුටුවට ඇල වි කල්පනා කරන්නට විය.
“අනේ මන්දා ළමයා ළතෝනි දෙනකොට බලන් ඉන්නේ කොහොම ද?”
යසෝමාට ද කිසිවක් කරකියා ගැනීමට නොහැකිව අපේක්ෂාගේ හිත සැනසවිමට කතා පවසන්නටවත්ම හාන්සි පුටුවේ වුන් හාමු පුටුවෙන් නැගිට,
“යසෝමා...,ලෑස්ති වෙයන් ඉස්පිරිතාලෙට යන්න.”
යනුවෙන් කියු හාමු කාමරය වෙතට ගොස් කමිසයක් දමාගෙන දරුවා ද රැගෙන රෝහලට ගියේ ය.
නිකටේ අතක් තබාගත් ලොකු නෝනා “වෙන දෙයක් බලනව ඇරෙන්න මොනවා කරන්න ද?” යනුවෙන් පැවසිය.
යසෝමාගේ තත්ත්වය හෙළා දකිමින් තම සංස්කෘතිය හා පරම්පරාවෙන් හිස උදුම්මවා ගෙන ජිවත්වනවා මිසක කිසිවිටෙකත් ලොකු නෝනා ඔවුන්ගේ සියලූ දේ කර දෙන්නේ යසෝමා බව නොදැනෙන්නේ මන් ද? ඒ හණ මිටි සංස්කෘතික බැදීම් වලින් හිස පුරවාගත් නිසාද?
ස්තුතිය- නිසංසලා නිරෝෂනි
රිෂිත ජනිත් නානායක්කාර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය