2020 ජනපති සොයාන පාවෙන තරුණ ඡන්ද
රට ජනාධිපතිවරණ උණුසුමකින් පෙළෙන මේ සමයේ සියලුම අපේක්ෂකයින් ජනතාවගේ සුව දුක් විමසීමට යුහුසුළු වෙති. ඔවුන්ගේ ගෝලබාලයන් ගෙයින් ගෙට පැමිණ පුරසාරම් දොඩවති. එය සෑම මැතිවරණයකම පූර්ව සමයේ සිදුවන සාමාන්‍ය ස්වභාවයයි. ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ තීරණාත්මක එළඹුමක පූර්ව සමය ගතවන මේ කාලපරිච්ඡේදය 2020 ජනපති සොයන ප්රචාරක වැඩසටහන්වල වැදගත්ම සමයයි. මෙවර ජනපති අපේක්ෂකයින්ගේ වැඩි අවධානයක් යොමුව ඇත්තේ තරුණ ඡන්ද වලට ය. තරුණයන් ඉලක්ක කරගත් විවිධ දේශපාලන ප්‍රචාරණ වැඩසටහන් පවා ක්‍රියාත්මක වන්නේ තරුණ ඡන්ද බිලිබෑමේ අපේක්ෂාව මතය.
2020 ජනපති තීරණය වන්නේ පාක්ෂිකයා හෝ පක්ෂය මත නොවන බවත්, නිර්පාක්ෂික ඡන්ද සහ අලුත් තරුණ ඡන්ද ඒ සඳහා ප්‍රබල බලපෑමක් ඇති කරන බවත් මේ වන විට පැහැදිලිය. නව තරුණ ඡන්ද සහ නිර්පාක්ෂික ඡන්ද තමන් වෙත ලබා ගැනීම සඳහා සෑම අපේක්ෂකයෙකුම මෙවර වැඩි වශයෙන් උනන්දු වන්නේ එහෙයිනි. මෙවර 15,992,096 ක් ඡන්ද දායකයින් ලියාපදිංචි වී ඇත. ඒ අනුව ඡන්ද 9,47,606 ක් හෙවත් ලක්ෂ දහයකට ආසන්න පිරිසක් නව ඡන්ද දායකයින්ය.
බලයට පැමිණීමට මනුස්සකම බිල්ලට දෙන අමන දේශපාලනය තවදුරටත් ශ්‍රී ලංකාවේ ද පවතී. එලෙස දූෂිත දේශපාලන වටපිටාවක් ගොඩනැගීමට හැකි වන්නේද ජනතාවගේම තීරණයන් මතය. එහෙයින් විසිඑක්වන සියවසේ රටක පාලන බලය හිමිකර දෙන පුද්ගලයා නිකමෙක් නොවිය යුතුය. එනම් ජනතාව බුද්ධිමත්ව ඡන්දය භාවිත කළ යුතුය. එහිදී තරුණ පරපුර වෙත රටේ අනාගතය පිළිබඳ විශාල වගකීමක් පවතී. එනම් මේ පුංචි දිවයින තවදුරටත් සංවර්ධනය වෙමින් පවතින රටක් නොව සංවර්ධනය වූ රටක් බවට පත් කළ හැකි බුද්ධිමත්, ජවසම්පන්න සහ ඉදිරි දැක්මක් සහිත නායකයෙකු පත්කර ගැනීමේ තීරණය තරුණ අප සතුය.
21 වන සියවසේ පත්වන නායකයා පාරම්පරික දේශපාලනය හෝ පක්ෂ මත නොව උගත්, බුද්ධිමත් තීරණය මත පත්කරගැනීම මෙරට අනාගතයේ වැදගත් සංධිස්ථානයක් වනු ඇත. එසේ නොවුණහොත් ඉදිරි කාලයේ ද ජනතාවට වන්නේ දේශපාලඥයන්ගේ වංශය කබල්ගෑම පමණි. නායකත්වයක බලපෑම තමන්ට මෙන්ම රටටත් බලපාන බව බුද්ධිමත්ව දැකීමට වත්මන් තරුණ පිරිසට හැකියාව පැවතිය යුතුය. එය අවබෝධ කරගත යුතුය. දේශපාලන ඉතිහාසය මතම රැඳී නොසිට රටට වැදගත්, දූෂණ අක්‍රමිකතා හෝ අකටයුතුකම්වලින් තොර නායකයෙකු පත්කර ගැනීමට තරුණයන් ඉදිරිපත් විය යුතුය.
තම ඡන්දය තුළින් වෙනසක් සිදු නොවේ යැයි සිතමින් දේශපාලනය පිළිබඳ කලකිරීමෙන් යුතු බොහෝ තරුණ පිරිස් තම වටිනා ඡන්දය භාවිත කිරීම මගහරී. එහෙත් මුලු මහත් රටේම මෙන්ම තමන්ගේ අනාගතය තීරණය කිරීමට සෑම ඡන්දයක්ම වැදගත් වන බව තරුණ පිරිස බුද්ධිමත්ව අවබෝධ කරගත යුතුය.
ජාතික ආරක්ෂාව, සුබසාධන පොරොන්දු, වංචා දූෂණ හෙළි කිරීම් වැනි අලංකරණ දැවටු වචන සහිත දේශපාලන භාෂා වි්යවහාරය මත තීන්දු තීරණ නොගෙන ඉදිරි දැක්මක් සහ අනාගතයක් සහිත නායකයෙකු ජනපති කරවීමට තරුණ පරපුර එක්විය යුතුය. පක්ෂග්රාහී මාධ්‍යයෙන් පමණක් යැපීමට කටයුතු කිරීම අද්‍යතන තරුණ පරපුර සිදුකරන වරදකි. මාධ්‍යයෙන් ගොඩනගන ජනමතයට එහා ගිය බුද්ධිමත් චින්තනයකින් 2020 ජනපති පත්කරගැනීමට තරුණයන් වශයෙන් අප හුදෙක්ම කටයුතු කළ යුතුය. මාධ්‍ය ඔස්සේ දේශපාලන ප්‍රචාරණය මගින් ගොඩනගන ව්‍යාජ ජනමතය හොඳින් අවබෝධ කරගනිමින් තම වටිනා ඡන්දය භාවිත කිරීම තුළින් රටේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා තරුණයන් ප්රමුඛ වී හත්වන විධායක ජනාධිපතිවරයා තෝරාගත යුතුය.
බුද්ධිමත් තරුණ පරපුර 2020 ජනපති තීරණය කළ යුත්තේ ඉදිරියේ පවතින මහමැතිවරණය පිළිබඳ ද අවබෝධයකින් යුතුවය. මෙවර ජනාධිපතිවරණය සහ ඉදිරි මහමැතිවරණය පිළිබඳ පැහැදිලි චින්තනයකින් ඡන්දය භාවිත කිරීම තරුණ ඔබගේ වගකීමයි. 2020 පත්වන ජනපති හට බලතල සීමාවීම සහ පාර්ලිමේන්තුවේ බලය වැඩිවීම මීට හේතුවයි.
තවකෙකු විසින් ගොඩනගන ජාතිවාදය මත නොව දේශප්‍රේමීත්වය මත චින්තනය හැසිරවීම මෙවර මැතිවරණයේ දී තරුණ ප්‍රජාවගේ වගකීමකි. එකිනෙකා යට කරගෙන ගොඩනැගෙන ශ්‍රී ලංකාවක් නොව සැවොම එක්ව ගොඩනගන සංවර්ධනය කරා ගමන් කරන ශ්‍රී ලංකාවක් ඇතිකිරීමට තරුණ තරුණියන් පෙරමුණ ගත යුතුය.
තරුණ අසහනය, ජාතිවාදය, ප්රචණ්ඩත්වය වැනි කුහක වෛරී දේශපාලන ව්‍යාපාරයට නැවතීමේ තිත තැබිය හැකි නායකයෙකු පත්කර ගැනීමට තරුණයන් වශයෙන් පෙරට ආ යුතුය. එමෙන්ම පත්කරගන්නා 2020 ජනපතිට බලපෑම් කිරීමේ හැකියාව හා ඉල්ලීම් දිනාගැනීමේ අයිතිය පිළිබඳව ද තරුණ තරුණියන් මදක් සිතිය යුතුය.
එස්. එම්. රිෂිත ජනිත් නානායක්කාර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
මරු ආ....දිගටම ලියන්න..
ReplyDeleteMaru..👍
ReplyDelete