Monday, 1 April 2019

නොසුදුුසු සංවර්ධන යෝජනා නිසාවෙන් වවුල්පන රක්ෂිතය හා හුණුගල් ගුහාවේ සොබා සෞන්දර්්‍යයට බලපෑම්......

නොසුදුුසු සංවර්ධන යෝජනා නිසාවෙන් වවුල්පන රක්ෂිතය හා හුණුගල්
ගුහාවේ සොබා සෞන්දර්්‍යයට බලපෑම්.....

            සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඹුරුගමුව ග්‍රාමසේවා වසමෙහි වවුල්පන නම් ග්‍රාමයේ පිහිටි සොබා සුන්දරත්වය අතින් අතිරමණීය පෙදෙසක් ලෙස වවුල්පන රක්ෂිතය හා හුණුගල් ගුහාව හඳුනාගත හැකිය.මුහුදු මට්ටමේ සිට අඩි 912 ක උසකින් පිහිටා ඇති වවුල්පන ගම්මානය රක්වාන කදුවැටියට යාව පිහිටි උසින් අඩි 1400 ක් පමණ වන බුළුතොට කඳුවැටියට අයත්ව පිහිටා ඇත. වවුල්පන හුණුගල් ගුහාවේ සිට 300m ක පමණ දුරකින් ඇඹිලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මායිමෙන්ද සීමා මායිම් වී ඇති මෙම වවුල්පන රක්ෂිතය හා හුණුගල් ගුහාව සබරගමු වරුණ විදහාපාන සුවිශේෂි සොබා සුන්දරත්වයකින් හෙබි පාරිසරික ස්ථානයකි.

           දකුණු ආසියාවේ පිහිටි පැරණි හා විශාලතම හුණුගල් ගුහාව වන වවුල්පන හුණුගල් ගුහාවට ප්‍රවේශ වීමට පහසුම හා කෙටිම මාර්ගය වන්නේ පල්ලෙබැද්ද තුංතොට මංසන්ධියෙන් දකුණු දෙසට ඇති බුළුතොට මාර්ගයේ 12km ක් පමණ දුරක් පැමිණ එතැන් සිට වවුල්පන සංවර්ධන මාවතට පිවිස 03km ක් පමණ දුරක් පැමිණි පසු හුණුගල් ගුහාව පිහිටා ඇත.

          වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වවුල්පන රක්ෂිත වනය තුළ පිහිටා ඇති මෙම හුණුගල් ගුහාව දකුණු ආසියාවේ පිහිටි පැරණිතම හා විශාලතම හුණුගල් ගුහාව ලෙස හඳුනාගත ඇත. දකුණු ආසියාවට ඇති අනෙක් විශාලතම හුණුගල් ගුහාව වන්නේ මැලේසියාවේ අග නගරය වන ක්වාලාලාම්පූර් නුවර සිට 13km ක් දුරින් පිහිටි “බතූ” ගුහා සංකීර්ණයයි. කෙසේ වෙතත් එම ගුහා සංකීර්ණය හින්දු භක්තිකයන්ගේ අණසකට යටත් වූ හෙයින් එහි ස්වභාවික ලක්ෂණ විනාශ වී ඇත. වවුල්පන හුණුගල් ගුහාව මැලේසියාවේ “බතූ” හුණුගල් ගුහා සංකීර්ණයට වඩා වැදගත්කමක් දරන්නේ එහි ජෛව සංකීර්ණතාවය අතින් තවමත් නොඉඳුල් සොබාදහමේ මහගු දායාදයක් නිසාවෙනි. වවුලන්ගේ වාසස්ථානයක් ලෙසින් ප්‍රචලිත වී ඇති වවුල්පන හුණුගල් ගුහාව පාරිසරික, භූගෝලිය හා ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් කමකින් යුතු ස්ථානයකි. 1942 දී ශ්‍රි ලංකාවේ ජාතික සිතියම සකස් කිරිමේ දී වවුල්පන ගුහාව ඇතුලත් වන පරිදි අක්කර 29 ක කැලෑ ප්‍රදේශයක් රක්ෂිත වනාන්තරයක් ලෙස වෙන්කර ප්‍රකාශයට පත්කර ඇත.

          කෙසේ වෙතත් වවුල්පන හුණූගල් ගුහාව පිළිබඳව විද්වතුන්ගේ  වැඩි අවධානයක් යොමු වූයේ 1977 අවධියේ පටන්ය. 1963 දි ප්‍රංශ ජාතික විද්‍යාඥයෙකු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශය සමඟ ඒකාබද්ධව මෙහි භූ විද්‍යාත්මක පසුබිම පිළිබඳව දීර්ඝ අධ්‍යනයක් සිදුකර මෙම හුණුගල් ගුහාව වසර මිලියන 500 ක් පමණ පැරණි බවට තහවුරු කොට ඇත. 1972 දි  "Ceylon traveler" ග්‍රන්ථයට ලිපියක් සපයමින් ආතර් සී. ක්ලාක් මහතා ද එම කාල නිර්ණය සනාථ කර ඇත. මුල් කාල සීමාව තුළ දී වවුල්පන හුණු ගල් ගුහාව හා එහි ඇති පොසිල පිළිබඳ වැඩි වශයෙන් අධ්‍යයනය කර ඇත්තේ ආතර් සී. ක්ලාක් මහතා විසිනි. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විවිධ පුද්ගලයින් එතැන් සිට මේ දක්වා පරීක්ෂණ සිදු කෙරුණු අතර ඒ සියල්ලන්ගේ ප්‍රතිඵලයක් ලෙස රක්ෂිතය අක්කර 50 ක් දක්වා වැඩි කොට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයට නතුකොටගෙන ඇත.

          වවුල්පන රක්ෂිතය සුවිශේෂී වැදගත්කමකින් යුක්ත වීමට හේතු බොහෝමයකි. ඒ අතර ලොව විශාලතම හා පැරණිතම හුණුගල් ගුහාව පිහිටීම, ලොව දෙවෙනි උසම අභ්‍යන්තර කිවුල් දියඇල්ල පිහිටීම, හල්විනි ඔය ගලා බැසීම, කිවුල් දිය උල්පත පිහිටීම ආදී ස්භාවික පාරිසරික සාධක පෙන්වාදිය හැකිය.
ඉතා දැවැන්ත වෘක්ෂ සහ වන ග්‍රහණයක් වට කරගත් වවුල්පන හුණුගල් ගුහාව මුළුමනින්ම ලියලා වැඩෙන හිරිගල් වලින් සෑදී ඇත. ඉහලින් එල්ලී ඇති හිරිලඹ සහ පහලින් ඉහලට නෙරාගිය හිරිටැඹ වලින් සැදුම්ලත් මෙම හුණුගල් ගුහාවේ පිවිසීමේ දොරටු විවරය ආසන්න වශයෙන් අඩි 18 X 15 ක ප්‍රමාණයේ වූ අතර ප්‍රධාන ගුහා විවර දෙකකින් සමන්විත වේ. මෙම ගුහාව 450m ක පමණ දිගකින් යුක්ත වේ.

           මුළුමනින්ම අදුරු වූ ගුහාවේ අභ්‍යන්තරය තුළ රජවරුන් වී ඇත්තේ වවුලන්ය. වවුල්පන හුණුගල් ගුහාවේ රත් දුඔුරු ඵල වවුලා, ලොකු පත්‍ර නාස් වවුලා, දිවි වර්ණ පත්‍ර නාස් වවුලා, ස්නයි වර්ගේ පත්‍ර නාස් වවුලා, රත් දුඔුරු අස්වලාඩන් වවුලා, දිගු පියාපත් වවුලා යන වවුල් විශේෂ 06ට අයත් වවුලන් ලක්ෂ පහක් පමණ ඇතැයි සැලකේ. එසේම මෙහි සිදු කළ අධ්‍යයන වලින් හෙලි වී ඇත්තේ කිවුල් දිය ඇල්ල වැටෙන ආසන්නයේ පිහිටි “මල්වතු කාමරය” ලෙස ව්‍යවහාර කරන ගුහාව වවුලන්ගේ තිඹිරිගෙය බවත්, වැල්ලවාය ප්‍රදේශයේ ජීවත්වන වවුලන් ද පැටව් බිහි කිරීම සඳහා වවුල්පන ගුහාවට පැමිණෙන බවත්ය. වවුලන්ගේ පාරාදීසයක් වු මෙම ගුහාව වවුල් වසුරු තට්ටු වලින් පිරී ඇත.

           වවුල්පන ගුහාවේ මධ්‍යයට වන්නට සුවිශේෂි දිය ඇල්ලක් දැකගත හැකිය. අඩි 60ක් පමණ උසකින් යුතු මෙම දිය ඇල්ල ලංකාවේ උසම අභ්‍යන්තර දිය ඇල්ල වන අතර ලෝකයේම දෙවෙනි උසම අභ්‍යන්තර කිවුල් දිය ඇල්ල ලෙස හදුන්වයි. මෙහි සුවිශේෂි හා විශ්මය ජනක ලක්ෂණය වන්නේ මෙම අභ්‍යන්තර දිය ඇල්ල වසර පුරා ඒකාකාරව පැවතීමයි. දියඇල්ලේ ජල ධාරිතාවේ අඩු වැඩි වීමක් සිදු නොවන අතර එයට ගුහාව පිහිටි වවුල්පන ප්‍රදේශයේ පවතින දේශගුණය බලපෑමක් නොකරන බව ගම්වාසීන්ගේ අදහසයි.
වවුල්පන හුණුගල් ගුහාවේ අභ්‍යයන්තරය සැබැවින්ම ස්වාභාවික මූර්ති නිර්මාණයන්ගෙන් සැදුම්ලත් කලාගාරයක් වැනිය. ගුහාව ආසන්නයට පෙණපිඬු නගමින් ඇඳ හැලෙන අභ්‍යන්තර දියඇල්ලෙන් විසිරෙන සිහින් දිය බිඳිති, ගුහාවේ දොරටුවෙන් ඇතුල් වී අභ්‍යන්තරයෙන් ගලා යන හල්වින්න ඔය, අදුරු හුණුගල් ගුහාව තුළ නැගෙන වවුලන්ගෙන් ශබ්දය හා විශාල ගුප්ත ඡායාවන්, වවුල් වසුරැ හා ශාක සත්ව පොසිල තැවරුණු හිරිගල් ආදිය සිතට ගුප්ත බවක් ගෙන දුන්නද එය චමත්කාර ජනක හා ආශ්වාද ජනක බවින් පිරි ඇත.

           ගුහාව මාධ්‍යයයෙන් ඇද හැලෙන දිය ඇල්ල පසු කල පසු කරවටක් ගැඔුරු වවුල් වසුරු මුසු ගුහාව අභ්‍යන්තරයෙන් ගලා බසින හල්විනි ඔයෙහි ගිලෙමින් ගුහාවේ පිටවිමේ අන්තය වෙත යා යුතු වේ. අඩි 20 ක් පමණ උසකින් යුතු පිටවීමේ දොරටුව අසල ද හුණුගල් බිත්තිවල වසර මිලියන ගණනක් පැරණි ශාක හා සත්ත්ව පොසිල කොටස් සහ අවසාධිත පාෂාණ වර්ග ද දැකගත හැකිය.

           හුණුගල් ගුහාවට ඉහලින් මඳ දුරක් ගමන් කිරිමේදී ගුහාව තුළ අභ්‍යන්තර දිය ඇල්ලක් නිර්මාණය කළ කිවුල් දිය දහරාව හමුවේ. මෙම කිවුල් දිය දහරාව ගුහාව තුළට ඇතුළු වන ස්ථානය ගැමියන් විසින් හදුන්වන්නේ ආඞාරය නමිනි. කිවුල් දිය දහරාවේ ප්‍රභවය ආඞාරයට අඩි සියයක පමණ දුරින් පිහිටා ඇත. මෙම කිවුල් දිය උල්පතෙහි ජලය කෙතරම් වැස්සත්, කෙතරම් පෑව්වත් එකම වේගයකින් හා පරිමාවකින් ගලා යාම විශේෂත්වයකි. ගැමියන්ගේ විශ්වාසය වන්නේ මෙම උල්පත ඉතා දුර බැහැර ප්‍රදේශයක සිට ගැඹුරු පොළවේ සිට මතුවන බවයි.

          හුණුගල් ගුහාව ගවේශණය කිරීමට පැමිණෙන සංචාරකයන්ට වවුල් වසුරු සෝදා ගැනීමටත්, චර්ම රෝග සුව කරගැනීමටත් සොබා දහමෙන් ලබාදුන් දායාදයක් ලෙස මෙම කිවුල් දිය දහරාව සහ හල්වින්න ඔයේ ඇති යෝධයා කැපූ වල නමින් ගම්වාසියන් හදුන්වන ද්විත්ව පොකුණත් හදුන්වා දිය හැකිය.
ඉතා සෞම්‍ය හා සුන්දර වූ වවුල්පන රක්ෂිතය තුළ හුණුගල් ගුහාව රාජමාළිගය කරගත් වවුලන්ට අමතරව කළුවඳුරා, වල් ඌරා, තිත් මුවා, ගෝනා, ඉත්තෑවා, ඕලු මුවා, දඬුලේනා, මීමින්නා වැනි සත්ත්ව විශේෂද විෂගෝර සර්ප විශේෂද ජීවත් වේ.

          එමෙන්ම පක්ෂි විශේෂ 100කට අධික ප්‍රමාණයක් ජීවත් වන අතර ආවේණික පක්ෂීන් ලෙස මොණරා, වලි කුකුළා, අලු කෑදැත්තා, හිසකළු කොණ්ඩයා, මුදුන් බොර දෙමලිච්චා, නීල කොබෙයියා, සැළලිහිණියා, ගිරා මලිත්තා, අලු ගිරවා යන පක්ෂීන් හඳුනාගෙන ඇත.

          මීට අමතරව තල් කොස්සා, බුලත් හපයා, ගල් පාඬ්යා වැනි ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ ද හල්වින්න ඔයේ දැකගත හැකිය. එමෙන්ම වවුල්පන ගුහාවේ කෘමී සතුන් බොහෝ ඇති අතර එහි අඳුරට අනුවර්තනය වූ බොහෝ කෘමීන් සුදු පැහැයෙන් යුක්ත වීම විශේෂත්වයකි.

          වවුල්පන රක්ෂිතය තුළ කළුවර, කළු මැදිරිය, බුරුත, මිල්ල, කොළොන්, වෑවරණ, හුළං හික්, කැටකෑල්ල ආදී ආවේණික ශාක විශේෂ 160ක් පමණ ඇතැයි සැළකේ. ඊට අමතරව දුර්ලභ වූ ශාක විශේෂයන් වන කහ බඹරු වැල්, වෙනිවැල් ගැට, කොතල හා පුස්වැල් වැනි ශාක විශේෂ මෙම රක්ෂිතය තුළ දී දැකගත හැකිය.

          ලොව පැරණිතම සහ විශාලතම හුණුගල් ගුහාව, ලංකාවේ උසම අභ්‍යන්තර දිය ඇල්ල, හුණුගල් ගුහාව අභ්‍යන්තරයෙන් හා රක්ෂිතය මැදින් ගලා බසින හල්වින්න ඔය, වසරේ සෑම කාලයකම ඒකාකාරීව ගලා බසින විශ්මය ජනක කිවුල් දිය උල්පත, ලංකාවට මෙන්ම වවුල්පන රක්ෂිතයට ආවේණික වූ සත්ත්ව, කෘමී, මත්ස්‍ය හා ශාක විශේෂයන්ගෙන් ආඪ්‍ය වූ හුණුගල් ගුහාව ප්‍රමුඛ වවුල්පන රක්ෂිතය සොබා සෞන්දර්්‍යය හා පරිසරයේ චමත්කාරජනක බව විදහා දක්වමින් සබරගමු වරුණ ලොවට කියාපාන තවත් එක් සුන්දර පරිසර පද්ධතියකි.

          කෙසේ වෙතත් ශ්‍රී ලාංකික අප සැමගේ වටිනා ස්වභාවික උරුමයක් වන වවුල්පන හුණුගල් ගුහාව ප්‍රමුඛ රක්ෂිත වනාන්තරයේ සොබා සෞන්දර්්‍යය මේ වන විට විවිධ මානව ක්‍රියාකාරකම් හා නොසුදුසු සංවර්ධන යෝජනා හේතුවෙන් අභියෝගයකට ලක්වි‌ෙමින් පවතී. විශේෂයෙන් පළාත් පාලන ආයතන හා වෙනත් සංවිධාන මගින් සිදු කරන සංවර්ධන කටයුතු මෙහි ඉදිරි පැවැත්ම හා ස්වභාවිකත්වය කෙරෙහි සෘජුවම බලපා තිබේ.

          පසුගිය කාල සමයේ කොළොන්න ප්‍රාදේශීය සභාව මගින් සූර්යය ශක්තිය උපයෝගී කොට ගුහාව තුළ විදුලි බුබුළු දැල්වීමේ සංවර්ධන වැඩපිළිවෙලක් සිදු කළ අතර එහි ප්‍රතිඵලය වූයේ හුණුගල් ගුහාවේ වෙසෙන වවුලන් ඔවුන්ගේ පාරාදීසය හැර යෑම වලක්වාලිය නොහැකි වීමයි. පසුව විදුලි සැපයුම් ඉවත් කළ ද එහි අනිසි ප්‍රතිඵල අදටත් දැකගත හැකිය. ගුහාව ගවේශණය කිරිමේ පහසුව තකා මෙවැනි සංවර්ධන ක්‍රියාදාමයන් සිදු කළ ද එහි ස්වභාවිකත්වය සහ අයිතිකරුවන් විනාශ කර එය නැරඹීමේ ඵලය කිමද? එය ලංකාවේ තිරසාර සංවර්ධනය පිළිබඳ හා ස්වභාවික ස්ථාන සංරක්ෂණය පිළිබඳ වගකිව යුත්තන්ගෙන් ඇසිය යුතු පැනයකි.
එමෙන්ම හුණුගල් ගුහාවට ප්‍රවේශ වීම සඳහා කිවුල් දිය උල්පත විනාශ වන අයුරින් මාර්ගයක් නිර්මාණය කිරිමට සැලසුම් කර ඒ සඳහා පදනම දමා තිබුණද ගම්වාසීනගේ දැඩි වීරෝධය නිසාවෙන් එය අතරමැද නවතා තිබේ. ඉතා විශ්මයජනක ඒකාකාරී ජල පරිමාවකින් ගලා යන කිවුල්දිය උල්පත විනාශ වී ගියහොත් ලංකාවේ උසම අභ්‍යන්තර දියඇල්ල ද විනාශ වීම නියතය. එමෙන්ම ගුහාව තුළ ලියලා වැඩෙන හිරිලඹ සහ හිරිටැඹ නිර්මාණය වන්නේද නැත. මන්ද ඒවා සකස් වන්නේ කිවුල් ජලය නිසාවෙනි. ඒ නිසා මෙම උරුමයන් විනාශ වුවහොත් ලොව එකම ස්ථානයකින් දැකිය හැකි මෙවැනි විශ්මයජනක උරුමයන් අපට සදා අහිමිවනු ඇත.

          “ඔය හුණුගල් ගුහාවයි-මේ කැළැවයි හින්ඳා තමයි මේ පළාතේ පාරක් තොටක් වුණත් හැදෙන්නේ නැත්තේ.... එහෙම ගත්තම අපිට මේක සම්පතක් නොවේ....” මෙය වවුල්පන ගම්වාසීන් අතලොස්සකගේ ඉඳ හිට මුවින් පිටවන අදහසකි. මේ ඔවුන් විඳින දුෂ්කරතා නිසාවෙන් මුවින් පිටවන වදන් මිස සැබැවින්ම මුවින් පිටවන වදන් නොවේ. වවුල්පන ගම්වාසීන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුව වන්නේ මාර්ග හා ප්‍රවාහන පහසුකම් දුෂ්කර වීමයි. ගම්වාසීන්ගේ මෙම චෝදනා වලට වගකිව යුත්තේද පාලන අධිකාරියයි. මන්ද ස්භාවික උරුමයන් ආරක්ෂා කර ගනිමින් සුදුසු සංවර්ධන යෝජනා ඔස්සේ තිරසාර සංවර්ධනයක් ඇති කිරීමට පියවර නොගැනීමයි. විශේෂයෙන් සංචාරක ආකර්ෂණය දිනාගත් පාරිසරික පද්ධතියක් වන වවුල්පන රක්ෂිතය ආරක්ෂා කර ගැනීමට නම් තිරසාර සංවර්ධන ක්‍රියාදාමයන් ඔස්සේ සංරක්ෂණ කටයුතු සිදු කිරීම අතිශයින් වැදගත් වේ.

           මීට අමතරව නිති විරෝධි මැණික් ගැරීම රක්ෂිතය පුරාම දැකගත හැකිය. මේ නිසාවෙන් දීර්ඝ කාලයක් පුරා පැවැති හුණුගල් විනාශ වීමට ලක්වේ. එමෙන්ම දැව ජවාරම් කරුවන් විසින් රක්ෂිතයේ ඇති වටිනා ශාක විශේෂ කපා විනාශ කරන අතර මේ නිසා රක්ෂිතයේ ඇති දුර්ලභ ශාක විශේෂ පවා විනාශ වී යාමට පටන්ගෙන ඇත. මේ නිසා රක්ෂිතය දැව ජාවාරම්කරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වැඩි අවධානයක් යොමු වීම වැදගත් වේ.

          වවුල්පන හුණුගල් ගුහාව ප්‍රමුඛ රක්ෂිතය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ විවිධ ක්‍රියාවන් නිසාවෙන් එහි ස්වභාවිකත්වයට හානි පමුණුවයි. විශේෂයෙන් ඔවුන් රැගෙන එන මත්පැන් බෝතල් ,ටින්, පොලිතින් මලු ආදිය හල්වින්න ඔයට දැමීම, ගුහාව තුළ දමා යාම හා රක්ෂිතයේ තැන තැන දමා යාම තුළින් එහි ඇති පරිසර සුන්දරත්වය විනාශ වෙමින් පවතී.

          තිරසාර සංවර්ධන වැඩපිළිවෙලක් නොමැති වීම හේතුවෙන් එක් එක් අයගේ උවමනා එපාකම් නිසාවෙන් සිදුකරන නොසුදුසු සංවර්ධන සැළසුම් නිසාත්, මැණික් ගරන්නන්ගේ හා දැව ජාවාරම්කරුවන්ගේ ක්‍රියා නිසාත්, සංචාරකයන්ගේ නොසැළකිලිමත් බව නිසාත් සිදුකරන අනිසි ක්‍රියාවන් හේතුවෙන් වවුල්පන හුණුගල් ගුහාව ප්‍රමුඛ වන රක්ෂිතයේ සොබා සෞන්දර්්‍යය දැඩි අවධානම් තත්ත්වයකට මුහුණපා තිබීම ප්‍රබල පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇත.

          සොබාදහම මාතාව විසින් ශ්‍රී ලාංකික අප සැමට දායාද කර දුන් ස්වභාවික උරුමයක් හා සම්පතක් වන වවුල්පන හුණුගල් ගුහාව ප්‍රමුඛ රක්ෂිතය ආරක්ෂා කර ගැනීමට නම් වැඩි අවධානයක් ඒ පිළිබඳ යොමු කර එහි සංරක්ෂණ තත්ත්වය ඉහළ මට්ටමකට ගෙන ආ යුතුය. එය කඩිනම් විය යුතුය. නැතහොත් අප සතු ජාතික ස්වභාවික උරුමයක් මුළු මහත් ලෝකයේම අනාගත පරපුරට අහිමි වී යනු නියතය.



රිෂිත ජනිත් නානායක්කාර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

2020 ජනපති සොයාන පාවෙන තරුණ ඡන්ද

  2020 ජනපති සොයාන පාවෙන තරුණ ඡන්ද රට ජනාධිපතිවරණ උණුසුමකින් පෙළෙන මේ සමයේ සියලුම අපේක්ෂකයින් ජනතාවගේ සුව දුක් විමසීමට යුහුසුළු වෙති. ඔ...