තුන්දෙනෙක් සිනමා කෘතියේ තුන් ඇදුතු අධ්‍යක්ෂ මණ්ඩලය හා ඔවුන්ගේ නිර්මාණ භාවිතය පිළිබඳ කෙටි හැඳින්වීමක්.
ප්‍රසන්න විතානගේ
ලාංකීය සිනමා ක්ෂේත්‍රයේ සිටින ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවෙකු ලෙස ප්‍රසන්න විතානගේ හඳුනාගත හැකිය. ලාංකීය දේශපාලනය, සංස්කෘතිය, සමාජය අභියෝගයට ලක් කරමින් සමාජයේ පවතින විෂමතාවයන් තම සිනමා නිර්මාණයන් තුළින් සමාජයට ගෙන ඒමට කටයුතු කරන අපූරු අධ්‍යක්ෂවරයෙක්, රචකයෙක්, ලේඛකයෙක් හා දේශකයෙකි. ප්‍රසන්න විතානගේ නම් සිනමාකරුවාගේ නිර්මාණ භාවිතයෙන් ප්‍රකට වන සුවිශේෂි ලක්ෂණයක් නම් ඔහු රුසියානු වාමාංශික සාහිත්‍යයේ ආභාෂය ලබා ඇති බවයි. ප්‍රසන්න විතානගේ යනු පීඩිත දමිළ ජනතාවගේ හඬට පක්ෂව කටයුතු කරන වාමාංශික අදහස් වලින් හෙබිව සිටින විප්ලවවාදී සිනමාකරුවෙකි. දිගින් දිගටම ලංකාවේ ජනවාර්ගික ගැටලුව තම චිත්‍රපට ඔස්සේ විවේචනය කරමින් සිටින කලාකරුවෙකි.
ඔහුගේ නිර්මාණ අතර සිසිල ගිනි ගනී (1992), අනන්ත රාතිය (1996), පුරහඳ කලුවර (1997), පවුරු වළලු (1999), ඉර මැදියම (2003), ආකාස කුසුම් (2008), ඔබ නැතුව ඔබ එක්ක (2012), උසාවිය නිහඬයි (2015) කිහිපයකි.
සිසිල ගිනි ගනී සිනමා කෘතියෙන් ඇරඹි ඔහුගේ සිනමා නිර්මාණ අතර සුවිශේෂී නිර්මාණයන් දෙකක් වූයේ ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටිය හා උසාවිය නිහඬයි වාර්තා චිත්‍රපටියයි. නිර්මාණකරුවාගේ පරිණතභාවය හොඳින් ම නිරූපණය කරන සිනමා කෘතියක් ලෙස ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටිය පෙන්වා දිය හැකිය. මොහුගේ නිර්මාණයන් වල කාන්තා චරිතයට ලබාදෙන අවසානය තරමක වෙනස් ස්වභාවයක් ගනී. සමාජයේ අසරණභාවයක් ඉස්මතු කරයි. රාවය පුවත්පත, නොනිමි අරගලය පොත වැනි වෙනත් මාධ්‍යයන් තුළ සෑහෙන කාලයකට පෙර හෙළිදරව් කරන ලද එහෙත් එම හෙළිදරව් කිරීම් වලින් පසුවත් අගතියට පත් පාර්ශවයන්ට යුක්තිය ඉටු කරනවා වෙනුවට උසාවිය මුණිවත රැකීම පිළිබඳ විස්තර කෙරෙන චිත්‍රපටයක් ලෙස සිනමාවට නැගෙන උසාවිය නිහඬයි චිත්‍රපටිය ප්‍රසන්නගේ සුවිශේෂී නිර්මාණයක් බවට පත් වන්නේ එය වත්මන් අධිකරණ පද්ධතියේ පවතින අක්‍රමිකතා හෙළිදරව් කරන නිසාවෙනි. මෙය වාරණය කරමින් අතුරු තහනම් නියෝගයක් ඉදිරිපත් වුවද 2016 දී එය ඉවත් විය.
තවමත් පූර්ව නිෂ්පාදන අවධියේ පවතින children
of the sun චිත්‍රපටයද ප්‍රසන්න විතානගේ සිනමාකරුවාගේ සුවිශේෂි සිනමා කෘතියක් ලෙස නුදුරු කාලයේදී ප්‍රේක්ෂකයා අතරට පැමිණීමට නියමිතය.
විමුක්ති ජයසුන්දර
මාධ්‍ය වේදියෙකු, චිත්‍රපට විචාරකයෙකු, අධ්්‍යක්ෂවරයෙකු, ලේඛකයෙකු හා රචකයෙකු වන විමුක්ති ජයසුන්දර ඉන්දියාවේ පූනේ හි සිනමා හා රූපවාහිනි ආයතනයට සම්බන්ධව කටයුතු කළ අයෙකි. තිස් වසරක් පැවති සිවිල් යුද්ධයේ කුරිරු පැතිකඩක් අනාවරණය වන පරිදි කළු සුදු පැහැති රචනාවක විස්තර කෙරෙන “නිහඬ දේශය” සිනමා කෘතියෙන් සිනමාකරණයට පිවිසෙන විමුක්ති ජයසුන්දර ලාංකීය සිනමාවේ රැඩිකල් සිනමාවේදීන් අතර සුවිශේෂි චරිතයකි.
ලාංකීය සිනමාවට රැඩිකල් අනේකත්වයක් ගැනත්, දාර්ශනික කතිකාවන් නිර්මාණය කිරීම සඳහාත් විශාල කලාපයක් විවර කර දුන් සිනමාවක් ලෙසට විමුක්ති ජයසුන්දරගේ සිනමාව හා නිර්මාණ භාවිතය හැඳින්වීම නිවැරදිය. ඔහුගේ නිර්මාණ භාවිතයේ තවත් සුවිශේෂි ලක්ෂණයක් වන්නේ අත්‍යවශ්‍යට පමණක් වචනය පිටකරන රූපය මුල් කරගත් නිර්මාණකරුවෙකු වීමයි.
සුළඟ එනු පිණිස, සුළඟ ගිනි අරන් වැනි චිත්‍රපට ඔහුගේ සුවිශේෂි නිර්මාණයන් අතර වේ. සුළඟ ගිනි අරන් චිත්‍රපටිය තුළින් විමුක්ති ප්‍රේක්ෂකයාට ලබාදෙන්නේ හුදෙක් කතාවකට වඩා බාධාකරණයට ලක් වු කතාවකි. සිදුවීම් කිහිපයකි. එම සිනමාපටය ආරම්භ වන්නේම ඔහුගේ ආත්මකථනයකිනි. ලාංකීය සිනමාවේ වෙනස්ම ආරක නිර්මාණ භාවිතයක් සතු සිනමාකරුවෙකු ලෙස මොහු හැඳින්වීම වඩාත් උචිත සහගත වේ.
අශෝක හඳගම
ලාංකීය සිනමා ඉතිහාසයේ රැඩිකල් සිනමා පරම්පරාවේ ප්‍රමුඛයෙකු ලෙස අශෝක හඳගම හැඳින්වීම සාධාරණය. වේදිකා නාට්‍ය නිර්මාණකරණයෙන් කලාවට පිවිසෙන ඔහු 1987 තන්ඩර් වේදිකා නාට්‍ය එළිදක්වන ලදී. අනතුරුව මාගාත වේදිකා නාට්‍ය මගින් රැඩිකල් නිර්මාණශීලීත්වයක් ප්‍රකට කරමින් රටේ පවතින අධිකරණ පද්ධතිය විවේචනය කරන අතර එම නාට්‍ය 1989 වසරේදී රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය, හොඳම අධ්‍යක්ෂණය යන සම්මාන පවා දිනාගන්නා ලදී.
ටෙලි නාට්‍ය කලාවේද සුවිශේෂී නිර්මාණ භාවිතයක් ප්‍රකට කළ හඳගමගේ ටෙලි නිර්මාණ අතර සටන් විරාමය නැමති ටෙලි නාට්‍ය විශේෂිතය.
අධියාථාර්තවාදී රූප වලින් සමන්විත සිනමාකාරී භාෂාවකින් යුතු චන්න කින්නරී (1996) සිනමා කෘතිය ඔස්සේ ලාංකීය රැඩිකල් සිනමාවට අවතීර්ණ වන හඳගමයන් විසින් සඳ දඩයම, මේ මගේ සඳයි (2000), තනි තටුවෙන් පියාඹන්න (2002), අක්ෂරය (2005), විදූ (2010), ඉනි අවන් (2012), ඇගේ ඇස අග (2016) වැනි රැඩිකල් සිනමා කෘති රැසක් නිර්මාණය කර ඇත.
අශෝක හඳගමගේ සිනමාව තුළින් කලාව දේශපාලනීකරණය කිරීමේ උත්සහයකින් යුතු බවක් පෙනේ. ප්‍රගතිගාමී දේශපාලනයක් එනම් සමාජයේ තිබෙන ප්‍රතිරෝධයක් නිර්මාණකරණයට ගෙන ඒමකි. ලංකාවේ සංස්කෘතිය අතින් ගත්තොත් හඳගමගේ නිර්මාණයන් දරාගත නොහැකි අශ්ශීලත්වයකින් යුතුව ඇතැයි මතයක් වේ. එහි උච්චතම අවස්ථාව අක්ෂරය චිත්‍රපටිය ඔස්සේ දක්නට ලැබේ.
හඳගමගේ නිර්මාණ භාවිතයේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ සමාජය විච්ඡේදනය කිරීමේ උපකරණයක් ලෙස පවුල භාවිතා කිරීමයි. චන්න කින්නරී චිත්‍රපටියේ සිට ඇගේ ඇස අග චිත්‍රපටිය දක්වාම හඳගමගේ සිනමාව තුළ පවුල නිරූපිත ආකාරය කුතුහලය දනවන සුලුය. පවුල සමාජ බල ව්‍යුහයේ ප්‍රාථමිකම බලහවුල ලෙස ප්‍රාග්ධනය රාජ්‍ය කේන්ද්‍රීය ව සංවිධානය වීමේදී හා ප්‍රාග්ධනය බහු ජාතික සමාගම් කේන්ද්‍රීය සංක්‍රාන්තික ජාතිකත්වයක් අත්පත් කරගෙන සිටන සමකාලීන පවුල දක්වාම විකාශනය හඳගම විසින් නිර්මාණශීලීව සිනමාගත කර ඇත.
අශේක හඳගමගේ සිනමා කෘතිවල අවසානය සුබවාදී ලෙස දැක්වීම ද ඔහුගේ නිර්මාණ භාවිතයේ ලක්ෂණයකි. මේ මගේ සඳයි, අක්ෂරය, තනි තටුවෙන් පියාඹන්න, ඇගේ ඇස අග වැනි චිත්‍රපටි වලින් එය පැහැදිලි වේ. ඇගේ ඇස අග සිනමා කෘතියේ අවසානය පන්සලට ගෙන යන්නේ ද සුබවාදී අවසානයක් ඇති කිරීමටය.
කෙසේ වෙතත් අක්ෂරය චිත්‍රපටිය වාරණය කිරීමත් සමග අශෝක හඳගමගේ රැඩිකල් සිනමාව යම්කිසි පසුබෑමකට ලක් ව ඇති බව පෙනෙන්නට ඇත.
ලාංකීය සිනමාවේ රැඩිකල් සිනමා කරුවන් තිදෙනෙකු වන ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර හා අශෝක හඳගම විසින් අධ්‍යක්‍ෂණය කරන ලද නවතම සිනමා කෘතිය වන්නේ තුන්දෙනෙක් චිත්‍රපටියයි. පශ්චාත් යුද සමය පිළිබඳව කෙරෙන කතා ත්‍රිත්වයකින් මනුෂ්‍යත්වය පිළිබඳව විග්‍රහ කෙරෙන මෙම සිනමා කෘතියේ පළමු කොටස වන “ඇය” අධ්‍යක්‍ෂණය කරන්නේ ප්‍රසන්න විතානගේ විසිනි. එහි දෙවන කොටස “ඔහු” නමින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන එනු ලබන්නේ විමුක්ති ජයසුන්දර විසිනි. ඉන් අනතුරුව ඇරඹෙන්නේ අශෝක හඳගමයන් විසින් අධ්‍යක්‍ෂණය කරනු ලැබූ “අනෙකා” නමින් හැඳින්වෙන කොටසයි. ත්‍රිපුද්ගල අධ්‍යක්‍ෂණ මණ්ඩලයේ තුන්දෙනෙක් සිනමා කෘතිය ලාංකීය සිනමා කලාවේ සුවිශේෂී සංධිස්ථානයක් බවට පත් වනු ඇත.
තුන් ඇඳුතු අධ්‍යක්ෂක මණ්ඩලයේ තුන්දෙනෙක් සිනමා කෘතිය පිළිබඳව ඇති සමාජ කතිකාවත දෙසට කෙටි බැල්මක් හෙලීම
මාතෘකාව මිනිසාය. ආරම්භය කොතනකදැයි හරිහැටි දැනීමක් නොමැත. දෙවියන් වහන්සේට අනුව මැවුම්කරුවෙකු මවා ඇත. චාල්ස් ඩාවින්ට අනුව පරිණාමවාදයේ වර්ධනීය අවදිය වර්තමානයි. ඒ අනුව මුහුදේ ජිවත් වන ක්ෂුද්‍ර ජීවීන් අපගේ මුතුන්මිත්තෝය. කාලය කෙමෙන් කෙමෙන් ගත විය. වානර සමූහ ශිෂ්ටාචාරගත වන්නට විය. මිනිසා නම් සත්වයාට ජිවත් වීමට වාසස්ථාන අවශ්‍ය විය. ගල් ගුහා තෝරා ගැනුනි. ඒ පිරිස් ලෙස ජීවත් වීමටය. පිරිසට ආහාර අවශ්‍ය විය. මන්ද බඩගින්න නිවගැනීමටය. පිරිස් ලෙස ආහාර සෙවූහ. එය පිරිස අතරේම බෙදා කා ජිවත් වූහ. මෙම පිරිස වර්ධනය වූවේ අයෙක්ගේ බඩින් තවකෙකු එලියට ආ විටය. මෙහිදී ඇය නමින් හඳුන්වන්නාට එක ලිංගයකුත් ඔහු නමින් හඳුන්වන්නාට තව ලිංගයකුත් පිහිටා තිබුණි. ඇයගේ ලිංගය හා ඔහුගේ ලිංගය එකතු විය. රතට රත මුහුවිය. ලෙය හා ලෙය ගැටුණි. රතට රත තුලින් රතු කැටියෙකු හෙවත් ලේ කැටියෙකු එලියට ආහ. එම කැටියාට ඔහුගේ මෙන් හෝ ඇයගේ මෙන් ලිංගයක් පිහිටා තිබුණි. කල් ගත විය. ඔවුනොවුන් අතර සුළු සුළු ආරවුල් මතු වන්නට විය. මෙයින් පසු කෙසේ හෝ සංස්කෘතිය වැනි කාරණාවන් ඔවුන්ගේ හිත මත පතිත වී ඇත. මෙයින් පසු හෙළුව යන්න ඔවුන් වසා ගන්නා ලද අතර පවුල නම් සංකල්පය බිහි විය. පවුල තුල අවශ්‍යතා හා වුවමනා වැඩි විය. කල් ගත වන විට මිනිස් සමාජයක් නම් දෙය බිහිවූ අතර ගම යන සංකල්පීය නාමය ගොනු කරගත් නිවාස කිහිපයක් දක්නට ලැබුණි. ඔවුනොවුන් අතර තරහකාරිත්වය, ඊර්ෂ්‍යාව, අනෙකා පරදායාම ආදී කාරණා මතු වන්නට විය. මේ අතරතුර සමාජය ඉතා දීර්ඝ ලෙස දියුණු වන්නට විය. ඔවුන්ගේ මොට්ට ආයුධ වර්ධනීය තත්ව කරා ලඟාවිය. පෙර මිනිසා පෙර අවියෙන් පහර පහෙන් තුවාලය ලං කලද පසු මිනිසා පසු අවියෙන් එක පහරින් මරු ලං කළහ. සමාජ සංස්කෘතිය හා ආගමික මතවාද යන්න මිනිසාගේ ඔලුව තුල පැලපදියම් විය. එම හේතුව මත ඔවුන් එකිනෙකාට වෙනස් විය. මෙය සරලවම මනඃකල්පිත ලෙස මෙසේ අර්ථ දැක්වීම සිදු කරමි.
මෙම ලොව තුල රාජ්‍යක් හෙවත් රටක් ඇත. එය බාගා රාජ්‍යයි. එම බාගා රාජ්‍යය තුල භුමියේ විවිධාකාර වූ ගම්මාන ඇත. නගර ඇත. මෙහි ඉල් නගරය හා ගොස්ටා නගරය සලකමු. මෙහි ඉල් නගරය තුලට සංස්කෘතියක් රැගෙන පුද්ගලයෙකු පැමිණේ. ඔහු වෙනම දර්ශනයක් ඔවුන්ට දේශනා කරනු ලැබුහ. ඔවුන්ගේ ඇදහීම, වන්දනාමානය, විශ්වාසය ඔවුන්ගේ සංස්කෘතික කාරණාවකය. මෙය කිසිවිටෙකත් ගොස්ටා නගරය කරා ගමන් නොකරයි. මෙම ගොස්ටා නගරය තුලද මෙවැනිම දර්ශනයක් ගොඩනැගේ. ඔවුන්ට ආගමක් නම් දෙයක්ද ලැබී ඇත. ඔවුන්ගේ සංස්කෘතිය එය වටා ගොනු වී පවතී. ව්‍යුහයේ වත්පිළිවෙත්, ඇඳුම් පැළඳුම්, ආහාර රටාව පවා පෙරකී ඉල් නගරයට වඩා වෙනස්ය. කාලය ගත විය. මෙම නගර දෙකට එකිනෙක වෙනස් වූ දර්ශනයක් ඔස්සේ ඉදිරියට ඇදී යනු ලබයි. නගර දෙකට ඇත්තේ වෙනස් වූ සංස්කෘතින්ය. දිනක් මෙම ඉල් නගර වැසියන් පිරිසක් හා ගොස්ටා නගර වැසියන් පිරිසක් මුණ ගැසේ. කතා කරයි. අපේ ඉල් දහම ගොස්ටා දහමට වඩා පරම පවිත්‍ර පිවිතුරු දහමක් බව ඉල් වැසියෝ පවසයි. එසේ විය නොහැකි බවත් ගොස්ටා දර්ශනය උතුම්ම දහම බවත් ගොස්ටා වැසියෝ පවසයි. සමාජ සම්මතය වනුයේ පක්ෂ දෙකක කතාව දුර දිග යාම යනු අවසානයේ ගුටිබැට හුවමාරුවක ආරම්භය බවය. ඒ අනුවම දෙපිරිස ගුටි කෙලිය පටන් ගත්හ. රාත්‍රිය වනවිට දෙපිරිසටම මහන්සිය. පිරිස දෙපසට වූහ. මෙහිදී ඉල් වැසියන්ට බඩගින්න දැනුනි. එලෙසම ගොස්ටා වැසියන්ටද බඩගින්න දැනුනි. ඉල් වැසියන්ගේ ශරීර තුවාල වී ඇත. ගොස්ටා වැසියන්ගේද ශරීර තුවාල වී ඇත. ඉල් වැසියන් මරණයට පත්ව ඇත. ගොස්ටා වැසියන්ද මරණයට පත්ව ඇත.
ඉහත සරල උදාහරණයට අනුව දෙපිරිසටම ඇති වූයේ එකම අවශ්‍යතාවයය. දෙපසටම සිදුවුවේ එකම දේවල්ය. එනම් පිපාසය, බඩගින්න, මහන්සිය, මරණය, දුක, කඳුල, තුවාලය, වේදනාව දෙපිරිසටම පොදු වූ කාරනා වේ. ප්‍රශ්නය ඇත්තේ කොහිද යන්න දැන් පැහැදිලි වේ. ප්‍රශ්නය ඇත්තේ මිනිස් සිතෙහිය. මෙය වනුයේ ආගමක් හෝ දර්ශනයක් හෝ සංස්කෘතියක් මත සිට ගෙනය. සැමටම ඇත්තේ රතුම රතු රුධිරය වේ. සියල්ලෝම මිනිසුන්ය.
මේ ආකාරයට සියල්ලෝම මිනිසුන් යන මනසින් මෙම චිත්‍රපටයට එබෙන්නෙමි. මෙහි ත්‍රිපුද්ගල අධ්‍යක්ෂක මණ්ඩලයක් ඇති අතර චිත්‍රපටයන් 03ක් දිගහැරෙනමුත් පැවසෙනුයේ එකම කතාවය. ඒ මනුෂ්‍යත්වයි.
මෙහි පළමු කොටස වන “ඇය” (Her) ලෙස දැක්වෙන අතර ප්‍රසන්න විතානගේ එහි අධ්‍යක්ෂකවරයා වේ. ඇයගේ කතාවෙහි කතා නායකයා කේසා වේ. කේසා යනු L.T.T.E. සංවිධානයේ මාධ්‍ය වාර්තාකරුය. දිනක් මොවුන් විසින් රජයේ සෙබළුන් 13 දෙනෙකු මරුමුවට පත් කරන ලදී. මෙහිදී ඔවුන්ගේ වටිනා බඩු බාහිරාදිය මෙම සංවිධානය විසින් ලබා ගනු ලබන අතර කේසා මෙම රජයේ සෙබලෙකුගේ මුදල් පසුම්බිය පරික්ෂා කරයි. එහිදී සෙබලා විසින් තම බිරිඳට ලියනු ලැබූ ලියුමක් ඔහු කියවූ අතර එය තුල තරුණ බිරිඳගේ ඡායාරූපය හා දුරකථන අංකය වේ. ඡායාරූපය මෙම කේසාගේ ජීවිතය වෙනස් කරනු ඇතැයි කෙදිනකවත් නොසිතන්නට ඇත. ඔහු ඇයට කතා කරයි. ඇය ඔහුව අයියේ යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට පුරුදු වේ. ඇය ඔහුගෙන් ස්වාමියා ගැන විමසු විට ඔහු නිරුපද්‍රිතව තම සංවිධානය භාරයේ පවත්නා බව කේසා පවසයි. මෙම කතාබහ හද සසල කරවන සුළුය. එම තරුණිය දැක ගැනීමට අපටද ආශාවක් ඇතිවේ. මෙහිදී තරුණයා මියගිය බව ප්‍රේක්ෂකයා දැනුවත්ය. එය ප්‍රේක්ෂක හද කම්පා කරයි. මෙලෙස දුරකථන අංක වලට කතා කර එම ගමෙහි තොරතුරු සියුම් ලෙස ලබා ගැනීම L.T.T.E. සංවිධානයේ උපක්‍රමයක් වුවද කේසා මෙම තරුණිය ඇමතීමේදී මෙහි ඇත්තේ වෙනත්ම අරමුණක් බව සාක්ෂාත් වේ. යුද්ධය අවසන් විය. පසු යුධ අවධියයි. කේසා දිවි ගලවා ගනී. රැකියාවක් නොමැතිකම පසු යුධ අවධියේ බහුල බැවින් කේසාද එම ගොන්නට අයත් වේ. දිනක් මොහුට යාපනයේ චිත්‍රපටි රූගත කරන අශෝක හඳගමයන් මුණගැසේ. මෙහිදී චිත්‍රපටි සඳහා හඳගමට උපකාර කරන මොහු පසුව හඳගමගෙන් උදවුවක් ඉල්ලයි. එනම් පෙර කී සිංහල තරුණිය වන යසෝ සොයා යාමටය. හඳගම මෙයට උපකාර කරයි. තොරතුරු ඔස්සේ තරුණිය සොයා යයි. මෙලෙස යන ගමන අතරතුර දෙදෙනා විසින් අරක්කු උගුරක රස බලයි. මෙහිදී වෑන් රියේ ඇසෙන දමිළ ගීයක් කේසා මුමුණන අතර හඳගම එහි තේරුම විමසයි. එවිට කේසා මෙවැනි කතාවක් හඳගමට පවසයි.
“බාල කාලේ අපිට තිබ්බ ආශාවන් හරි ගියේ නෑ කියල තමයි කියන්නේ. හඳගම, ඇත්ත තමයි අපේ ජිවිතයේ අපි හිතුව දේවල් මුකුත් හරිගියේ නෑ. ඉස්සර කොළඹ ඇවිල්ල ඔයාගේ ෆිල්ම් බලනකොට අපිට හිතුනා අපේ කතාවත් ඒ විදියටම කරන්න ඕනි කියල. අපිට ඒක ඩ්‍රීම්ස් වුනාට. තේරුනාද? අපේ වේදනාව කාටවත් තේරෙන්නේ නෑ. අපි හිතුවා හොඳ අනාගතයක්, සන්තෝසෙන් ඉන්න ජිවිතයක්, අපේ ළමයින්ට හොඳ අනාගතයක්. මුකුත් හරිගියේ නෑ. මේ බලන්නකෝ තව අපිට කියන්න ගොඩක් තියෙනවා. අපිට කියන්නත් බැරුව ඉන්නේ. ඇහුම්කම් දෙන්නත් කවුරුත් නෑ. ඒක තමා ලොකුම ප්‍රශ්නේ. ”
මෙම බිහිසුණු යුද්ධය අවසන්ව වර්තමානයට වසර 09ක් වුවද කෙසාගේ ප්‍රකාශයෙහි වලංගුතාව අදටද විමසිය හැකිය. මෙය තුල බලවත් හරයක් ගෙන ඒමට ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂකවරයා උත්සාහ දරා ඇත. මෙම ප්‍රකාශය මෙහිදී ඉතා බලවත් වේ. මෙයින් කියවනුයේ දකුණේ එකාට තමාත් අදහස් දැක්වීම නිසි පරිදි කිරීමට හැකි වුවද උතුරේ එකාට එය කිරිමට ඉඩ විවර වනුයේ කවදාද වැනි කතාවකි. එනම් හෘද සාක්ෂිය ආමන්ත්‍රණය අප කාටත් වැළක්විය නොහැක. සියල්ලන්ගේ හෘද සාක්ෂිය තුලට පැනයක් ඇතුළු කරනු ලබයි. එනම් සිංහල සිනමාකරුවාට හෘද සාක්ෂිය විවෘත කිරිමටත් රජයේ වීරයන් සැමරීමටත් අවස්ථාවක් ලැබුනද දමිළ ජනතාවගේ හෘද සාක්ෂියේ සිටින වීරයා සැමරීමට අවස්ථාවක් වීරයා ගැන කතා කිරීම අවස්ථාවක් වැනිය. එය සැමවිටම දකුණේ එකා උතුරේ එකා දිහා බලා උතුරේ කතාව ප්‍රකාශ කිරීමත්ය. නමුදු උතුරේ එකාගේ හෘද සාක්ෂිය තුල පවතින දෙය දකුණේ එකාගේ හෘද සාක්ෂිය තුල පවතින දෙයට වඩා සම්පුර්ණයෙන්ම වෙනස්විය හැකිය. එය නිවැරදි ලෙස දැනගැනීමටනම් අව්‍යාජ උතුරු හදවත් විවර කිරීමට ඉඩප්‍රස්ථා ලබා දිය යුතුය.
මෙහි අවසානයට උතුරේ කේසා හා දකුණේ හඳගම එකම දියේ එබෙයි. කේසාගේ කතාව සිනමාවට ගෙනෙන ලෙස කේසා හඳගමගෙන් මෙහිදී ඉල්ලීමක් කරයි. ඉහත කතාවේ විසඳුම හඳගමගේ කටින් ගෙන ඒමට අධ්‍යක්ෂකවරයා ලෙස ප්‍රසන්න විතානගේ සමත්කම් දක්වයි.
“ඔයාගේ කතාව film එකක් කරන්නෝනි ඔයා. නැතුව මම නෙමේ.”
මෙහි දෙවන චිත්‍රපටය “ඔහු” (Him) නමින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන එනු ලබන්නේ විමුක්ති ජයසුන්දරයන්ය. විමුක්ති යනු අත්‍යවශ්‍යයට වචනය පමණක් පිට කරන රූපය මූලික කරගත් අධ්‍යක්ෂවරයෙක් බව පැවසීම වඩා නිවැරදිය.
මෙහිදී විමුක්ති තම කතාවේ කතා නායකයා ලෙස තෝරා ගනු ලබන්නේ ශුද්ධ සිංහල බෞද්ධ පරිසරයක හැදී වැඩුණු ගුරුවරයෙක්ය. තරුණයෙකි. නමුදු සේවය කිරීමට සිදුවූයේ සිංහල දමිළ මිශ්‍ර ජන කොටස් ඇති ධීවර රැකියාව ජීවිතය කරගත් වෙරළබඩ පරිසරයකය. මොහු සිංහල ගුරුවරයෙකි. මොහු දිනක් දරුවන්ට උගන්නවමින් සිටී. එනම් සිංහල පාඩමක්ය. එකිනෙකා නැගිට සිංහල පෙළ පොත කියවයි. මෙහිදී කුඩා පිරිමි දරුවන් දෙදෙනෙකු අතර ආරවුලක් වේ. අයෙක් තවෙකුකෙගේ පොතේ වචනයක් ලියා ඇත. ගැටුම මෙය මතය. වචනය “එළාර” ය. ගුරුවරයාද එක් අන්තයකය. ගුරුවරයා පවසනුයේ,
“ළමයි එළාර කියන්නේ නරක වචනයක්. ආයේ එහෙම ඒක කියන්න එපා”
කියාය. මෙයින් ගුරුවරයාගේ සිංහල පාක්ෂික බව හොඳින්ම පැහැදිලි වේ. අප කවුරුත් දන්නා පරිදි එළාර යනු දමිළ රජ කෙනෙකි. දමිළත්වය එසේ හෙළ දැකීමට මෙම සිංහල ගුරුවරයා කටයුතු කරනුයේ ඇයිද යන්න ගැටලුව වේ. ගුරුවරයා යනු එකෙකි. නමුදු මුළු මහත් සමාජයම නිරුපණය කරන සිංහලයා මෙම ගුරුවරයා තුලින් පිළිඹිඹු වේ. වර්ගිකත්වය හා ජාතිකත්වය යන ගැටලුවට අවසානයේ ප්‍රශ්නාර්ථයක් දැමිය යුතු නොවේද යන්න විමුක්ති ජයසුන්දරයන් මෙයින් නගනු ලබන පැනය වේ.
ඉන් අනතුරුව මෙම කතාව තවත් වර්ධනීය කරමින් දිගහැරේ. එනම් මෙම ගුරුවරයා තුලට පැනයක් ගෙන එන සිංහල මතාවක්ය. ගැටලුව පුනරුප්පත්තියයි. කුඩා දරුවෙකු කතාව කියයි. ඉපදී ඇත්තේ මියගිය කොටි නායකයෙකු බව පැවසේ. මේ මගේ අම්ම නොවේ, මගේ සහෝදරයා නොවේ යයි පවසයි. මම හැංගිලා හිටියේ මෙහෙම, මම වේඩි තිබ්බේ මෙහෙම, මට වේඩි වැදුනේ මෙහෙම යයි එම කුඩා දරුවා පවසයි.දරුවා සිංහල පවුලකය. මවද සිංහලය. මෙවැනි උච්චතම අවස්ථාවකදී මෙම සිංහල ගුරුතුමාගෙන් පාසලේ විදුහල්පතිවරයා පැනයක් නගයි.
“පුනරුප්පත්තිය ඇත්ත කියමු. ඒත් L.T.T.E. කාරයෙක් උපදින්න පුලුවන්ද සිංහල පවුලක...?”
නගන ප්‍රශ්නයේ හැටියට මොහු විදුහල්පතිවරයෙක්ද යන පැනය නැවත අපගෙන්ම ඇසීමට සිතේ. මෙය තුල විමුක්ති ජයසුන්දරයන් පැවසීමට උත්සහ දරා ඇත්තේ පුනරුප්පත්තිය පිලිබඳ පැනයක් නොවේ. එයින් එහාට ගිය ආගමික මතවාද, ජාතිකත්වය හා සහයෝගිතාව පිලිබඳ ගැටලුවක්ය. පෙර කී මනඃකල්පිත උදාහරණය මෙයට මනා ලෙස ගලපා ගත හැකිය. මවකට දරුවෙකු උපදී. එම මව හා පියා සිංහල වුවහොත් දරුවා කවරෙක්ද? නමුදු එම මව හා පියා දමිළ වුවහොත්? මුස්ලිම් වුවහොත්? කරුණු තත්ව කෙසේ වුවද සැමටම ඇත්තේ එකම රතු රුධිරය බව ව්‍යංගාර්ථයෙන් පැවසීමට විමුක්ති ජයසුන්දරයන් සමත් වේ.
විමුක්ති ජයසුන්දරයන් තම සිනමාපටය ඔස්සේ ඉතා සාර්ථක ලෙස පුනරුප්පත්තියක් හරහා සමාජය තුල ඇති ජාතිවාදී මතිමතාන්තර හා අන්තවාදී යයි පවසන මුස්ලිම් ජනයා පිලිබඳවද ප්‍රශ්න කිරීම සිදුකරනු ලබයි. සිංහලයා දෙයක් මුහුණටම කියා ඇසීමට ඇති බියජනකභාවය ද දක්වයි. එලෙසම එය බියජනකභාවය මෙන්ම මනුෂ්‍යත්වය ලෙසද සැලකීමට කරුණු ඇත්තේ එසේ කිරීම තුලින් අනෙකාගේ සිත් රිදවීමට අකමැති වීම යන කරුණ ද තවකෙකුට ගම්‍ය කරගත හැකි බැවිනි. මෙම චිත්‍රපටය තුල ගුරුවරයා රවටා ඡායාරූපයන් රැගෙන යන මාධ්‍යකරුවා තුලින් වර්තමාන සමාජයේ මාධ්‍ය අවභාවිතය පිලිබඳ ඉතා දීර්ඝ විග්‍රහයක් කරයි. සරලවම කිවහොත් මාධ්‍ය තුලින් අනවශ්‍ය කුණු සෙවීම යනුවෙන් නම් කල හැක වේ. එමෙන්ම මෙහිදී ගුරුවරයා රා බෝතලය හා වීදුරුව අතින් ගෙන සිටින රූපරාමුවෙන් පසු රූපය වනුයේ බූරුවෙක් කෑ ගසන රූපරාමුවක් හා ඌරු කොටුවක දර්ශනයකි. මෙය තුලින් වර්තමානයේ පවත්නා ජාතින් අතර අසමගිකත්වය හා මාධ්‍ය භාවිතය ඌරු කොටුවකට සමානකර පෙන්වනු ලබයි.
මෙලෙස දිගහැරෙන සෞන්දර්යාත්මක රූපරාමු අවසානයේ විදුහල්පතිවරයා සාහිත්‍ය ගුරුවරයාට අපූරු කතාවක් පවසයි.
“කාලය, දීපය, දේශය, කුලය, මව. මේවා බලලා ඉපදෙන්නෙ බුදු හාමුදුරුවෝ විතරයි සර්. අපි මොක්කු වෙලා ඉපදෙයිද කියල කවුද දන්නේ.”
කෙසේ වෙතත් මෙම සහජීවන ගැටලුව තුල එකඟත්වයට ලක්විය නොහැකි සමාජ භේද ගෙනහැර පාමින් මෙම විමුක්තිගේ සෞන්දර්යාත්මක නිමාව අවසාන වේ.
ඉන් අනතුරුව ඇරඹෙනුයේ අශෝක හඳගමයන් අධ්‍යක්ෂණය කරනු ලැබූ “අනෙකා” (The
Other) යන චිත්‍රපටයි. ක්‍රමිකව පෙර චිත්‍රපටවලින් කතා කරගෙන ආ ජාතිවාදිත්වය, සහජීවනය ආදී වූ කරුණු වල උච්චතම තත්වයට ගෙනයනු ලබන්නේ හඳගමයන්ය. මෙහි කතා සාරාංශය පහත පරිදිය. කොළඹ උද්ඝෝෂණයක් පැවැත්වේ. මෙය පවත්වනුයේ L.T.T.E. සංවිධානයේ සාමාජිකයන්ගේ පවුල්වල අය විසිනි. ඒ තම පුතා, සැමියා, සහෝදරයා ඉල්ලමින්ය. මෙහිදී යාපනයේ සිට අම්මා කෙනෙකු තම පුතා සොයා පැමිණේ. ඒ අතරතුර කොළඹදී ඇය තම පුතාව දැක ඔහු සොයා යයි. මෙයට ත්‍රීරෝද රථ රියදුරෙකු හා උද්ඝෝෂණයට ආ දමිළ කාන්තාවක් සහය දක්වයි.
‘එකෙක් වෙනුවෙන් අනෙකා’ යන තේමාවෙන් මෙම චිත්‍රපටය දිගහැරෙයි. මෙහිදී වරක් මෙම ත්‍රීරෝද රථ රියදුරා හා දමිළ කාන්තාව මෙම දමිළ මාතාව මහමග තනිකර දමා යන්නේය. නමුදු ස්වල්ප වේලාවක් ඇතුලත දෙදෙනාටම තමා පිලිබඳ වරදකාරී සිතුවිල්ලක් ඇතිව අනෙකා වන මාතාව සොයා පැමිණෙයි. මෙම ත්‍රීරෝද රථකරු සිංහලය. ජාතියකට ජාතියක් අතර හදවතේ පවත්නා වෛරය මෙම තරුණ දමිළ කාන්තාව ඔස්සේ ඉස්මතු කර ගැනීමට අශෝක හඳගමයන් සමත් වේ. එනම් ඇයට සිංහල තේරුනද සිංහල කතා කිරීමට අකමැති බව පවසයි. එය පිළිබඳව විමසන ත්‍රීරෝද රථ රියදුරුට ලැබෙනුයේ අදහාගත නොහැකි ආකාරයේ පිලිතුරක්ය. එනම් එයින් ව්‍යංගාර්ථ වනුයේ,
“මම උඹලගේ ජාතියට වෛර කරනවා”
වැනි කරුණක්ය.
ත්‍රීරෝද රථ රියදුරාගේ සහයෙන් පොලිස් ස්ථානයකට යන මෙම කාන්තාවන් දෙදෙනාට ශ්‍රී ලංකා පොලිස් සේවයේ අකාරුණික තරබාරු හඬට සවන් දීමට සිදුවේ. මෙහිදී තරුණ දමිළ කාන්තාවගේ හැසිරීම ප්‍රශ්නාර්ථකාරීය. එය සංවිධානයන් දෙකක සටන්කාමීන් දෙදෙනෙකු මුහුණට මුහුණ මුණගැසිමක් ලෙස අර්ථ දැක්විය හැකිය. එමෙන්ම රජයේ පොලිස් නිලධාරියාගේ අකාරුණිකත්වයද මොහු විසින් මෙය තුල මනාව ගම්‍ය කර ඇති අතර ප්‍රශ්නයෙන් පිට වෙන වෙන ප්‍රශ්න වලට පිළිතුරු සොයන පොලිස්කරුවෙකු අපට මුණගැසේ. එනම් ප්‍රශ්නය වනුයේ මාතාවගේ දරුවා නැති වීමය. පිළිතුර විය යුත්තේ මාතාව හා දරුවා සොයන ආකාරයක් පිලිබඳ කතිකා කොට ගැනීමයි. නමුදු සිදුවනුයේ අනෙකකි. ඔහු මොවුන්ගේ යටගියාව විමසයි. දෙමළා යනු L.T.T.E. කාරයෙක් පමණක්ම යන කරුණ පොලිස් නිලධාරියාගේ මතය බව සමාජයට ගෙනහැර පායි. එමෙන්ම මෙම තරුණ දමිළ කාන්තාව සටන්කාමී සංවිධානයකට පක්ෂපාතිත්වය දැක්වූ පසුව ශික්ෂණය ලබාගත් කාන්තාවක්ය. ඇගේ පෙර අතීතය අවුස්සා එම සටන්කාමී ජාතිවාදී කාන්තාව මතු කිරීමට ක්‍රියා කරනුයේද නූගත් පොලිස්කාරයාගේ ක්‍රියාව බව පැහැදිලිය. එය සමස්ත ජාතියක නියෝජනයකි.
ඉන් අනතුරුව මෙම සිංහල ත්‍රීරෝද රථකරු රාත්‍රියේ මෙම දෙමල තරුණිය ආමන්ත්‍රණය කරනු ලබයි. එම ඇමතුමට ඇය පිළිතුරු ලබා දේ. ඔහු තුල ඇති සාමකාමී සහජීවනත්වය මෙය තුලින් දක්වයි. අවසානය තුල මොවුන් එක්ව එම නැතිවූ පුතා යන කෙනාගේ ගෙදරට පැමිණේ. නිවැසියන් සිංහලය. එහි සිටින තරුණයාද සිංහලය. මාතාවද සිංහලය. පුතා රජයේ සෙබළෙකි. නමුදු යුද්ධය තුලදී පාදයක් අහිමිව ඇත. දමිළ මාතාව හඬාවැටේ. තම පුත්‍රයා පිළිබඳව වූ ස්නේහය කඳුළු වල දිය කරමින් ඇය හඬයි. පුතුන් අහිමි වූ සිංහල, දමිළ, මුස්ලිම් ඕනෑම මාතාවක ඉතා අසරණ බවත් සියලු මවුවරුන්ගේ හද තුල ඇති වේදනාව එක සමාන බවත් සියුම් ලෙස ප්‍රේක්ෂකයාට ඇඟවීමට හඳගමයන් සමත්කම් දක්වා ඇත. මෙය L.T.T.E හෝ වේවා රජයේ සෙබලෙකු හෝ වේවා වෙනසක් නැත. නැතිවන්නේ අම්මා කෙනෙකුට දරුවෙකු පමණි.
“අම්මා කෙනෙකුට පුතෙක් නැතිවුනාට ඇය කවදාවත් ඉවර වෙන්නේ නැති බලාපොරොත්තුවකින් දැවෙනවා. හැම මොහොතකදීම ඇය ඒ ගින්නෙන් දැවෙනවා.”
ආත්මාර්ථය පසෙකලා මිනිසත්කම මතු කරගත යුතු බව අපට මතක් කර දීමට මෙය සමත්කම් දක්වයි. අවසානය තුලදී මනුෂ්‍යත්වය බෙදී ඇත්තේ සංස්කෘතිය හා ජාතිකත්වය මතට පමණක් බවත් සහජීවනයට කාලය එළඹ ඇති බවත් එසේ නොවුවහොත් පැවැත්මක් නොමැති බවත් සියුම් ලෙස ප්‍රේක්ෂකයාට අඟවයි. කෙලෙස වුවත් මෙම සහජීවනත්වය උදා කරගැනීමට තවත් කාලයක් ගතවන බව සිංහල ත්‍රීරෝද රථ රියදුරාගේ ස්නේහයේ දුරකථන ඇමතුමට අවසානයේදී දමිළ තරුණිය පිළිතුරු නොදීම තුලින් අඟවනු ලබයි. මෙය දකුණෙන් උතුරට ලැබෙන ප්‍රේම ඇරයුමයි. එය උතුර ප්‍රතික්ෂේප කිරීම තුලින් ජාතීන් අතර සහජීවනත්වය තව බොහෝ ඈත බව පසක් කරවයි.
එස්.එම්.ආර්.ජේ.නානායක්කාර
ජනසන්නිවේදන අධ්‍යන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
No comments:
Post a Comment