ජයග්‍රාහී සමුගැනීමක් දෙන්න කණ්ඩායම සැරසෙයි
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී 6 වැනි ස්ථානයේ සිට තරගාවලිය අහවර කරමින් සිය රට බලා පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක එළිපෙත්තට පැමිණ තිබේ. ඒ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟ වන එක්දින තරගාවලියටය. තරග 3 කින් සමන්විත එම එක්දින තරගාවලියේ පළමු තරගය අද (26 වැනිදා) පස්වරුවේ දිවා/රාත්‍රී තරගයක් ලෙසින් ආරම්භ වේ. තව හෝරා කීපයකින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ප්‍රේක්ෂකයින්ට පමණක් නොව ලොව පුරා සිටින ප්‍රේක්ෂකයින්ටද සුවිශේෂී තරගයක් බවට පත්වන්නේ ලෝක පූජිත පන්දු යවන්නකු ලෙසින් නම් දරා සිටින ලසිත් මාලිංග එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන තරගය බවට මේ තරගය පත්ව ඇති බැවිනි.
බංග්ලාදේශය සමඟ පෙර පැවැති තරග වලදී මෙන් නොව හෙට පැවැත්වෙන තරගය නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ගේ ඇත්තේ වෙනදාට වඩා නැති උනන්දුවකි. වසරකට ආසන්න කාලයකට පසු ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් එක්දින ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්වීම ඇතුළු කාරණා කීපයක් එකී ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩිවීම සඳහා බලපා තිබෙන නමුත් මාලිංගගේ සමුගැනීම ඒ අතරින් ප්‍රධාන වේ.
‘යෝකර් රජු’ ලෙසින් විරුදාවලිය ලත් ලසිත් මාලිංග මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් පුරාවෘත්තයකි. ක්‍රීඩා කරන සමය තුළ ඔහු දක්වන ලද දක්ෂතා ඒ සඳහා ඕනෑවටත් වඩා උදාහරණ සපයයි. ලොව වැඩිම අවස්ථා සංඛ්‍යාවකදී කඩුලු ත්‍රිත්ව වාර්තා කර ඇති මාලිංග කඩුලු ත්‍රිත්වයකට එහා ගිය එසේත් නැතිනම් පන්දු 4 කදී කඩුලු 4 ක් දවා ගත් ලොව එකම පන්දු යවන්නා වේ. අදටත් නොබිඳී පවතින එම සුවිශේෂී වාර්තාවේ හිමිකරු වන මාලිංග සිය වසර 16 ක එක්දින දිවියට සමුදෙන තරය ජයග්‍රාහී සාදයකින් අවසන් කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව බවට පත්ව තිබේ.
ඒ පිළිබඳව කරුණු අනාවරණය කර සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නය. තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කරුණාරත්න, මාලිංගගේ සමුගැනීම සඳහා බොහෝ සාද සැලසුම් කර ඇතත් ඔහුගේ සමුගැනීම වෙනුවෙන් දිය හැකි හොඳම සාදය බවට පත්ව තිබෙන්නේ එම තරගය ජයග්‍රහණයකින් සරසාලීම බවයි. ඒ පිළිබඳව දිමුත්ගේ වචනවලින්ම නම්, “ක්‍රීඩාංගණය තුළත් ඉන් පිටතත් මාලිංගගේ සමුගැනීම වෙනුවෙන් විවිධ වැඩ සටහන් සකස් කරලා තියෙනවා. ඒත් කණ්ඩායමක් විදියට අපි හිතන්නේ ඔහුට දෙන්න පුළුවන් හොඳම තෑග්ග තමයි මේ තරගය ජයග්‍රහණය කරලා එයාගේ සමුගැනීම ජයග්‍රාහීව අවසන් කරන එක. එහෙම වුණොත් හැම දෙනාටම හිනාවෙලා ඔහුට සමුදීමේ හැකියාව තියෙනවා කියලා මං හිතනවා. එය තමයි හොඳම විදිය. අනිත් දේවල්වලට වඩා ඒ දේටයි අපි සූදානම් වෙන්නේ” යනුවෙනි.
සිය සාමාජිකයාගේ සමුගැන්ම ජයග්‍රාහී සාදයකින් අවසන් කිරීමට සත්කාරකයින් බලාපොරොත්තු තබා ඇතත් එම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ලබාදීම වළක්වා ගැනීම සඳහා තමන් ඇතුළු කණ්ඩායම පෙළ ගැසී සිටින බවත් ඒ වෙනුවෙන් දැඩි උත්සාහයක් ගනු ලබන බවත් බංග්ලාදේශ නායකයාගේ අදහස වී තිබේ.
“ඔහු ක්‍රීඩාවේ විශිෂ්ඨ තානාපතිවරයෙක්. ඔහු පන්දු යවන අයුරු දිහා බලලා කුඩා දරුවන් ගොඩක් ක්‍රීඩා කිරීමට පටන් ගෙන තියෙනවා. මට තවමත් මතකයි ඔහු පැමිණි මුල් කාලයේදී බංග්ලාදේශ මිනිස්සුන්ට ඔහු වගේ පන්දු යැවීමට උවමනා වුණා. අපි ශ්‍රී ලංකාව එක්ක ක්‍රීඩා කරන විට පවා මාලිංගගේ පන්දු යවන ඉරියව්වට සමාන පන්දු යවන්නකු දැල් පුහුණුවීම් වලට හොයා ගන්න උත්සාහ කළා. ඔහුගේ පන්දු යැවීම ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවට කොයි තරම් බලපෑඹක් කරාද කියන එක ඒකෙන් පේනවා” යැයි පවසන බංග්ලාදේශ නායකයා, “ඒ කොහොම වුණත් මේ අති විශිෂ්ඨ පන්දු යවන්නාගේ අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන ජයග්‍රහණය වැළකීම සඳහා අපේ කණ්ඩායම දැඩි උත්සාහයක් ගන්නවා” යැයිද පැවැසීය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 225 ක් නියෝජනය කර ඇති මාලිංග බිඳ හෙළා කඩුලු සංඛ්‍යාව 335 කි. එක්දින තරග අංශයේදී පිට පිට පන්දු 3 කදී කඩුලු 3 ක් දවා ගැනීම හෙවත් ‘හැට්රික්’ අවස්ථා 3 කට හිමිකම් කියන මාලිංග ඉහතින් සඳහන් කළ ආකාරයේ පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක් බිඳ හෙළා ඇති ලොව පළමු හා එකම පන්දු යවන්නා වේ.
(###උපුටා ගැනීමකි###)