Thursday, 15 August 2019

අලෙවිකරණය යනු කුමක්ද?


නිෂ්පාදකයා හා පාරිභෝගිකකයා යන දෙපාර්ශවයටම ලාභ අත්වන, දීර්ඝකාලීන පැවැත්ම තහවරු වන, හොඳ හිත වර්ධනය වන, අඛණ්ඩ සබඳතාවන් වර්ධනය කරගැනීමේ ක්‍රියාවලිය අලෙවිකරණය ලෙස හැඳින්විය හැක. නූතන වාණිජ ලෝකයේ අලෙවිකරණය 19 වන සියවසේ මුල් භාගයේ පටන් ඇමරිකාව තුළ සහ බටහිර කළාපයේ වර්ධනය වූ සංකල්පයක් ලෙස හැඳින්විය හැකිය. පළමු හා දෙවන ලෝක යුද්ධ වලින් පසුව යුරෝපයේ ඇති වූ සමාජ, දේශපාලනික, සහ ආර්ථික ක්‍රියාවලියෙහි ප්‍රතිඵලයක් ලෙස නූතන අලෙවිකරණය ගොඩ ගොඩනැගී ඇත. එය මානව අවශ්‍යතා හඳුනාගැනීම, එම අවශ්‍යතා විශ්ලේෂණය කිරීම, අවශ්‍යතාවන්ට විසඳුම් නිර්මාණය කිරීම, ඒවා ලාභදායී ලෙස නිෂ්පාදනය කිරීම, මිනිසුන් වෙත බෙදාහැරීම, විකිණීම සහ ඒ ඔස්සේ ලාභ අත්පත් කර ගැනීමේ සංකීර්ණ ක්‍රියාවලියකි.

                  පාරිභෝගිකයෙකු වශයෙන් සෑම අයෙකුම ව්‍යාපාරයකින් බලාපොරොත්තු වන්නේ තම අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කර ගැනීමට අවශ්‍ය ගුණාත්මක භාණ්ඩ හා සේවා සාධාරණ මිලට ලබා ගැනීමයි. මෙම අපේක්ෂිත සේවය ලබාදීමට ව්‍යාපාරයක් විසින් විවිධ කාර්යයන් සිදු කරනු ලබන අතර, එම කාර්යය අතරින් එක් කාර්යයක් ලෙස අලෙවිකරණය හඳුනාගත හැකිය. ඒ අනුව අලෙවිකරණය යනු පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා සම්පාදනය සමඟ බැඳුණු ක්‍රියාවලියකි. නිෂ්පාදිත නිර්මාණය කිරීමේ සිට ඒවා පාරිභෝගිකයන් අතට පත්වීම දක්වා මෙන්ම විකිණීමෙන් පසු සේවා සැපයීමේ කටයුතු ද අලෙවිකරණයට අයත් වේ. මේ කරුණු මත අලෙවිකරණ සංකල්පය පහත පරිදි අර්ථ ගැන්විය හැකිය.

“මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා වටිනාකමින් යුත් නිෂ්පාදිතයක් නිර්මාණය කිරීමේ හා පිළිගැන්වීමේ ක්‍රියාවලිය අලෙවිකරණයයි.”


            ව්‍යාපාරික සංකල්පයන් ගෙන බැලූ විට තවමත් නිවැරදිව හඳුනා නොගත් සංකල්පයන්ගෙන් එකක් ලෙස අලෙවිකරණය හැඳින්විය හැකිය. අතීතයේදී අලෙවිකරණය යන්න නිර්වචනය කර තිබුණේ, 

“භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ සිට පාරිභෝගිකයා වෙත ළඟාවීම දක්වා වූ විවිධාකාර කාර්යන් සමූහය අලෙවිකරණය නම් වේ.” යනුවෙනි.

            මෙම නිර්වචනය මඟින් භාණ්ඩ හා සේවා බෙදාහැරීම හා පරිවහනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඇත. කෙසේ වෙතත් වර්තමානයේ අලෙවිකරණය යන්න මින් එහා ගිය වඩාත් සංකීර්ණ වූත් වඩා වැදගත් වූත් කාර්යයන් සමූහයකින් සමන්විත ක්‍රියාවලියකි. තාක්ෂණික දියුණුව සහ ආකර්ෂණීය ක්‍රමවේද හරහා අලෙවිකරණ සංකල්පය වඩාත් පුළුල් පරාසයක් දක්වා විහිදුණු සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත්ව ඇත.
පාරිභෝගික අවශ්‍යතා අනුව පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කර වෙළඳපලට ඉදිරිපත් කිරීම වර්තමාන අලෙවිකරණයේ ප්‍රධානතම ලක්ෂණයකි. ඇතැම් ආයතන මෙම සංකල්පයෙන් ද එපිටට ගොස් සමස්ත පාරිභෝගිකයා යන සංකල්පය බැහැර කොට ලාභදායී පාරිභෝගිකයන් පමණක් ඉලක්ක කර ගැනීමට කටයුතු කර ඇත. අන්තර්ජාල අලෙවිකරණය ඊට පදනම් සාධකය වී ඇත.

පුළුල් ලෙස ගත් විට වර්තමානයේදී අලෙවිරණය යන්නට කාර්යයන් කිහිපයක් හඳුනාගත හැකිය.

1. පාරිභෝගිකයා යන්න හඳුනාගැනීම හා ඔවුන්ගේ අවශ්‍යතා මොනවාද යන්න හඳුනාගැනීම.
2. හඳුනාගත් පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා සපුරාලන පරිදි භාණ්ඩ හා සේවා සංවර්ධනය කිරීම.
3. පාරිභෝගිකයාට පරිභෝජනය සඳහා එම භාණ්ඩ හා සේවා ලබා දීම.

              අලෙවිකරණයේ පරමාර්ථය වන්නේ පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා සපුරාලමින් තම ව්‍යාපාරික ආයතනයේ ලාභ වර්ධනය කරගැනීමයි. මෙහිදී නිෂ්පාදකයින් විසින් පාරිභෝගික මනසකින් භාණ්ඩ හා සේවා දෙස බැලිය යුතු අතර වඩාත්ම වැදගත් පාර්ශ්වය පාරිභෝගිකයා බව අවධාරණය කරගත යුතුය.

           අලෙවිකරණය සඳහා විවිධ පුද්ගලයන් හා විවිධ සංවිධාන එකිනෙකට වෙනස් වූ නිර්වචන විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇති අතර එම නිර්වචනයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන්කළ හැකිය.

1. සමාජීය නිර්වචන
2. කළමනාකරණ නිර්වචන

              සමාජීය නිර්වචනයන්හීදී අලෙවිකරණය යන්න සමාජමය කාර්යයන් තුළදී කුමන ආකාරයෙන් විය යුතුද යන්න පිළිබඳව විග්‍රහ කරයි. මෙහිදී මූලික වශයෙන් අදහස් වන්නේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීම සඳහා අලෙවිකරණයේ භාවිතය පිළිබඳවය.

        'පිලිප් කොට්ලර්' විසින් අලෙවිකරණය සමාජයේ ඉටුකරන කාර්යභාරය පදනම් කරගනිමින් සමාජයීය හා කළමනාකරණ යන දෙයාංශයටම භාවිත කළ හැකි නිර්වචනයක් ඉදිරිපත් කර ඇත. ඔහුට අනුව,

“අලෙවිකරණය යනු පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩායම් විසින් ඔවුන්ගේ අවශ්‍යතා හා වුවමනා අනෙකුත් පුද්ගලයන් හා කණ්ඩායම් සමඟ හුවමාරු කර ගැනීම තුළින්, භාණ්ඩ හා සේවා නිර්මාණය කිරීම, පිරිනැමීම හා නිදහසේ හුවමාරු කර ගැනීම හා බැඳි සමාජයීය ක්‍රියාවලියකි.”

               අලෙවිකරණය සම්බන්ධයෙන් වූ කළමනාකරණ නිර්වචනයන්හී දී අවධාරණය කරනු ලබන මූලිකම කරුණක් වන්නේ “අලෙවිකරණය යනු භාණ්ඩ හා සේවා අලෙවි කිරීමේ කලාවයි” යන්නයි. කෙසේ වෙතත් අලෙවිකරණයේ වඩාත්ම වැදගත් කාර්යභාරය වන්නේ භාණ්ඩ හා සේවා අලෙවි කිරීම පමණක් නොවේ.
1985 දී ඇමෙරිකානු අලෙවිකරණ සංගමය මගින් අලෙවිකරණය පිළිබඳව වඩාත් තර්කානුකූලව ඉදිරිපත් කර ඇති කළමණනාකරණ නිර්වචනයට අනුව,

“අලෙවිකරණය යනු සංවිධාන ශ්‍රිතයක් ලෙස ගනුදෙනුකරුට වටිනාකම් ජනනය කිරීම, සන්නිවේදනය කිරීම සහ බෙදාහැරීමේ ක්‍රියාවලියක් සහ ගනුදෙනුකාර සම්බන්ධතා කළමනාකරණය කිරීම තුළින් සංවිධානය සහ එහි ව්‍යාපාරික ප්‍රජාව ප්‍රතිලාභ ලඟාකර ගැනීමයි.” 

             මේ අනුව අලෙවිකරණය යනු පුළුල් ක්‍රියාවලියක් බවත්, නිෂ්පාදිතයන් සැලසුම් කිරීමට පූර්ව අවස්ථාවේ සිට පාරිභෝගිකයා අතට පත්වීම සහ පශ්චාත් අලෙවිකරණ චර්යාවට අදාල සුවිශාල කාර්යභාරයක් අලෙවිකරණ ක්‍රියාවලියට ඇතුළත් වන බව පැහැදිලි වේ. කෙසේ වෙතත් වර්තමානය වන විට තාක්ෂණික දියුණුවත් සමග අලවිකරණයේ විවිධ ස්වරූපයන් නිර්මාණය වී ඇත. ඒ අතර අන්තර්ජාල අලෙවිකරණය, ඒකාබද්ධ අලෙවිකරණය, පෞද්ගලික අලෙවිය, අලෙවි ප්‍රවර්ධනය, සෘජු අලෙවිකරණය හා අන්තර් ක්‍රියාකාරී අලෙවිකරණය ප්‍රධාන වේ.



එස්.එම්.ආර්.ජේ.නානායක්කාර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය




Tuesday, 30 July 2019

“ආදරණීය කතාවක්” සිනමා කෘතියේ චරිත නිරූපණය තුළ අන්තර්ගත ජනප්‍රිය සංස්කෘතික ලක්ෂණ පිළිබඳ විමසුමක්....

ප්‍රියන්ත කොළඹගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද ආදරණීය කතාවක් සිනමා කෘතිය 2010 ජූනි 10 වන දින සිනමා දොරට වැඩුණු නිර්මාණශීලී සිනමා පටයකි. චමින්ද ගමගේ හා ප්‍රියන්ත කොළඹගේ සම නිෂ්පාදනයක් වූ මෙම සිනමා පටය රුවන් කොස්තාගේ කැමරා අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය වී ඇත. හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය, බිමල් ජයකොඩි හා අරුණි රාජපක්ෂ යන ජනප්‍රිය රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ප්‍රධාන චරිතයන් නිරූපණය කරන මෙම සිනමාපටය උවනි චාමිකා හා ප්‍රියන්ත කොළඹගේ සම තිර රචනයක් තුළින් බිහිවී ඇත.

       චිත්‍රපටය නිකුත් කිරීමෙන් අනතුරුවව රැඟුම් පාලක මණ්ඩලය විසින් මෙහි අධික ලෙස දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිත කරන බව පවසා නඩු ගොනු කර ඇත. පසුව අධ්‍යක්ෂකවරයා විසින් මෙහි තරුණ පරපුරට මත්ද්‍රව්‍යයෙහි ඇති ආදීනව පෙන්වා දෙන බව හැඟවීමක් සිදුකරන බව සනාථ කරමින් නඩුවෙන් නිදහස් වී ඇත. කෙසේ වෙතත් මෙම සිනමාපටය ආදායම් වාර්තා බිඳහෙළමින් තිරගත විය. මෙය ශ්‍රී ලංකාවේ සතියකින් වැඩිම ආදායමක් උපයන ලද චිත්‍රපටය බවට වාර්තාගත වේ. ආදරණීය කතාවක් සිනමා කෘතිය තරු සංකල්පය මූලික කරගත් ගීත ගායන තරඟ වැඩසටහනක් කතා වස්තුව ලෙස තෝරාගෙන ඒ වටා ගෙතුණු සිද්ධි දාමයකින් අන්තර්ගත වේ. එහි චරිත නිරූපණය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී චිත්‍රපටයේ කතාව පිළිබඳ දළ අවබෝධයක් ලබා ගැනීම වැදගත් වේ. 

          අභිමාන (හේමාල් රණසිංහ) නිහතමානී ගති පැවතුම්වලින් යුත් අලුත් පරපුරට නිබඳවම අත හිත දෙන යොවුන් කලාකරුවකු ලෙස ප්‍රකටව සිටියි. එක්තරා ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක සුපිරි තරු ගායන ප්‍රසංගයක විනිසුරුවරයෙක් ලෙස සහභාගි වන්නට අභිමානට ඇරැයුම් ලැබේ. මුලින් එය ප්‍රතික්ෂේප කළ ද අවසානයේ ඔහු ඊට සහභාගිවන්නට තීරණය කරනුයේ එම වැඩසටහන මෙහෙයවන දෙව්ලිගේ (අරුණි රාජපක්ෂ) පෙරැත්තය නිසාවෙනි. දෙව්ලි කලක් අභිමානගේ පෙම්වතියව සිටි බව ප්‍රේක්ෂකයාට හැඟවෙන්නේ සිනමාපටය අතරතුරය.

         දහස් ගණන් තරගකරුවන් අතරින් මෙම රියැලිටි ප්‍රසංගයේ ඉදරියට පියමං කරන පියවි හංසිකාගේ (උදාරි වර්ණකුලසූරිය) ගායන හැකියාවන් පිළිබඳ අභිමාන තම අදහස් ප්‍රකාශ කරන්නේ අවංක හැඟීමකිනි. ඇය ඉතා දක්ෂ ගායිකාවක් බවත් ඉදිරි වටයට යාම සඳහා ඇය අනිවාර්යයෙන්ම සුදුසුකම් ලැබිය යුතු බවත් අභිමාන පවසන්නේ තිරසාර ලෙසය. අභිමාන පියවි පිළිබඳ කළ එකී වර්ණනාව දෙව්ලිගේ සිත් ගත්තේ නැතග. එය ඊර්ෂ්‍යාව මත පදනම් වූ සිතිවිල්ලක් බව ඇගේ හැසිරීම් රටාවෙන් ප්‍රේක්ෂකයාට පිළිබිඹු වේ. ඇඳුම් අලෙවි සැළක සේවිකාවක් ලෙස කටයුතු කරන පියවි දුප්පත් ගැමි තරුණියකි. ඇයගේ එකම අරමුණ කෙසේ හෝ එම තරගය ජයග්‍රහණය කර ඉන් ලැබෙන මුදලින් රෝගීව ඔත්පලව සිටින සිය පියා සුවපත් කර ගැනීමය. ඇගේ එම අවිහිංසක ප්‍රාර්ථනාව මල්ඵල ගැන්වෙනු ඇතැයි සියලු දෙනා විශ්වාස කරන්නේ පියවි සැබෑ දක්ෂ ගායිකාවක් නිසාවෙනි. නමුත් කිසිවකු නොසිතූ නොපැතූ ආකාරයට ඊළඟ වටයේදී ඇයට එම තරගවාලියෙන් ඉවත් වන්නට සිදු වේ. එම සිදුවීමෙන් දැඩි කම්පනයට පත් වෙන පියවිට සිය රැකියාව පවා අහිමි වන්නේ නොසිතූ අයුරිනි.

         පියවි වැනි දක්ෂ යුවතියක් තරගයෙන් ඉවත් කිරීම පිළිබඳ අභිමාන පසු වන්නේ දැඩි කෝපයෙන් යුතුවය. ඒ පිළිබඳ ඔහු දෙව්ලිගෙන් කරුණු විමසා ඇයට දොස් පවරන්නේ පියවි පිළිබඳ උපන් අනුකම්පා සහගත හැඟීමෙනි. එතැන් පටන් එම රියැලිටි ප්‍රසංගයට සහභාගි වීම ඔහු නවතා දමන්නේ සිතේ හටගත් බලවත් කළකිරීම නිසාය. තමාව අහේතුක ලෙස තරගාවලියෙන් ඉවත් කර දැමුවේ අභිමාන යැයි වරදවා වටහා ගෙන සිටින පියවි පසුවන්නේ ඔහු පිළිබඳ දැඩි කෝපයෙන් යුතුවය.

          සියල්ල පිළිබඳ කළකිරී පියවි යළි සිය ගම් පියස වෙත පා නගන්නේ හැඬූ කඳුළින් යුතුවය. කෙසේ හෝ තම පවුලේ බර යළි කරට ගන්නා පියවි එක්තරා අවන්හලක මුළුතැන්ගෙයි සේවිකාවක ලෙස සේවයට බැඳේ. දිනක් පියවි මුළුතැන්ගෙයි සේවය කරමින් සිටින අතරතුරේ අභිමාන එම අවන්හල වෙත පැමිණෙන්නේ සිය කළමනාකරු ලෙස සේවය කරන උවිඳු (බිමල් ජයකොඩි) සමඟිනි. ඒ අහම්බය තුළ එක් නිමේෂයකදී පියවි හා අභිමාන යළි මුණ ගැසේ. අභිමානට අවශ්‍යව තිබුණේ පියවිට සිදු වූ අසාධාරණය නිවැරදි කොට ඇය ගායන ලොවේ අභිෂේක කිරීමට තම සහාය ලබා දීමටය. නමුත් තමාට සියල්ල අහිමි කළේ අභිමාන යැයි සිතා සිටින ඇය ඒ සියලු වේදනාවන් පිට කර ගන්නේ අභිමාන වෙත වැරෙන් කම්මුල් පහරක් එල්ල කරමිනි.

         එම අනපේක්ෂිත සිදුවීමෙන් අභිමාන කම්පනයටත් කෝපයටත් පත් වේ. පුවත්පත්වල පවා එම සිදුවීමට ලබා දෙන්නේ විශාල ප්‍රසිද්ධියකි. අභිමානට ඇති විශාලම ගැටලුව වන්නේ පියවි තමාට එසේ පහර දුන්නේ ඇයි ද යන්න පිළිබඳවය. අභිමාන හා උවිඳු පියවි සොයා ගෙන ඇය වෙසෙන දුෂ්කර ගම්මානය වෙත යන්නේ ඊට පිළිතුරක් සොයමිනි.

          ඒ අතර පියවිගේ පියා මිය යයි. එයින් දැඩි සේ දුකට හා කම්පාවට පත්ව සිටින පියවි තම නිවසට පැමිණි අභිමානට යළි යළිත් දොස් පවරන්නේ කඳුළු පිරි දෑසින් යුතුවය. ඒ සියල්ලටම හේතුව පියවි තුළ තමා පිළිබඳ තිබෙන වැරැදි වැටහීම බව තේරුම් ගන්නට අභිමානට අපහසු වන්නේ නැත. කරුණු පැහැදිලි කිරීමෙන් පසු අභිමාන සහ උවිඳු යළි කොළඹ බලා පිටත්ව යන්නේ පියවිට අභිමානගේ නිවසට පැමිණෙන ලෙස ආරාධනා කරමිනි. ඒ අනුව පියවි, අභිමාන හමු වී සමාව අයදිමින් ඉල්ලා සිටින්නේ කෙසේ හෝ අහිමිව ගිය රැකියාව නැවත තමාට ලබා දෙන ලෙසය. එහිදී අභිමාන පියවිගේ ගායන හැකියාවන් පිළිබඳ ඇයට පැහැදිලි කරමින් තමාගේ ඊළඟ ප්‍රසංගයේ සහාය ගායිකාව ලෙස කටයුතු කරන්නට ඇයට ඇරයුම් කරයි.

      අනතුරුව අභිමානගේ හා උවිඳුගේ සහාය ඇතිව පියවි දක්ෂ ගායිකාවක් බවට පත්වන අතර ඇගේ දක්ෂතාවය මත රට සංචාරයක් පවා ඇයට හිමිවේ. ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද සංගීත කලාව තුළ තරුවක් බවට පියවි පත් පත්කිරීමට අභිමාන විසින් සියලු උත්සාහයන් සහ මග පෙන්වීම් කරනු ලැබේ. එහිදී අභිමාන සහ පියවි අතර ආදර සම්බන්ධතාවයක් ඇතිවන අතර අභිමානගේ සහකාරිය ලෙස පියවි තෝරාගනී. ඒ සඳහා උවිඳුගේ හා දෙව්ලිගේ විරෝධතාවය එල්ල වුවද අභිමාන සිය කැමැත්ත මත පියවි තම සහකාරිය කර ගනී. කෙසේ වෙතත් අභිමාන දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානය කිරීම නිසාවෙන් ඔහුට සුව කළ නොහැකි පිළිකා රෝගයක් වැළඳෙන අතර එය පියවිගෙන් සඟවා පියවි ජාත්‍යන්තර තරුවක් දක්වා යන ගමන උවිඳුගේ සහාය ඇතිව සිදු කරනු ලබයි. චිත්‍රපටය අවසානයේ අභිමාන මියයන අතර ඔහුගේ අවසන් බලාපොරොත්තුව වූයේ පියවි ගායන ක්ෂේත්‍රයේ තරුවක් වීම හා ජාත්‍යන්තර සම්මානය දිනා ගැනීමයි.
සිනමා කෘතියේ චරිත නිරූපණය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකි චරිත කිහිපයක් පෙන්වා දිය හැකිය. ඒ ඒ චරිත ඔස්සේ ප්‍රේක්ෂක ආකර්ෂණය සඳහා සිනමා කෘතිය තුළ ජනප්‍රිය සංස්කෘතිකාංග අන්තර්ගත වී ඇති ආකාරය විමසා බැලීම වැදගත් වේ. 

අභිමාන ජයවර්ධන - හේමාල් රණසිංහ
පියවි හංසිකා - උදාරි වර්ණකුලසූරිය
උවිඳු - බිමල් ජයකොඩි
දෙව්ලි - අරුණි රාජපක්ෂ
පියවිගේ මව - මොරීන් චාරුනී
වැඩසටහන් ඉදිරිපත් කරන්නා -  සාරංග දිසාසේකර

අභිමාන ජයවර්ධනගේ චරිතය

මෙම චරිතය සඳහා රංගනයෙන් දායක වන්නේ ජනප්‍රිය නළු හේමාල් රණසිංහයග සිනමා කෘතිය පුරාවට ඇති ජනප්‍රිය සංස්කෘතික අංග ලක්ෂණයක් ලෙස සැලකෙන තරු සංකල්පය නියෝජනය කරන ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත් සුපිරි ගායන තරුවකගේ චරිතයක් ලෙස අභිමානගේ චරිතය පෙන්වාදිය හැකිය. විශේෂයෙන් ඔහුගේ ඇඳුම් විලාසිතා, කරාබුවක් පැලඳීම වැනි විලාසිතාකරණය ජනප්‍රිය සංස්කෘතිය සිනමා කෘතිය තුළ අන්තර්ගත වන අවස්ථාවක් ලෙස හඳුන්වාදිය හැකිය. එමෙන්ම තරු සංකල්පය තුළ ජනප්‍රියත්වය මත ගොඩනැගෙන ප්‍රතිරූපය මනාව නිරූපණය කිරීමට මෙම චරිතය තුළින් උත්සාහ ගෙන ඇත. එහිදී ස්ත්‍රී සාධකය තරු සංකල්පය ජනප්‍රියත්වය සඳහා ප්‍රධාන සාධකයකි. එනම් අභිමානගේ ජනප්‍රියත්වය තුළ තරුණියන් ඔහුට ආකර්ෂණය වීම ජනප්‍රිය සංස්කෘතික සාධකයක් ලෙස පෙන්වා දිය හැකිය. අභිමානව හමුවුණා නම් බදාගන්නවා යැයි පියවිගේ යෙහෙළියන් වරෙක පවසා සිටින්නේ එය මනාව ඉස්මතු කරමිනි.

         එමෙන්ම ජනප්‍රිය සංස්කෘතිය තුළ ප්‍රධාන අංගයක් ලෙස මත්පැන් හා දුම්වැටි පානය  කිරීම පෙන්වා දිය හැකිය. මත්පැන් හා දුම්වැටි පානය සඳහා යොමු වූ අභිමානගේ චරිතය තුළින් හොඳින් එය නිරූපණය කිරීමට සමත්ව ඇත. ජනප්‍රිය සංස්කෘතිය  තුල ඉංග්‍රීසි භාෂාව මිශ්‍ර වූ දේශීය භාෂා රටාවක් භාවිතා වීම සුලබ දෙයක් වන අතර අභිමානගේ චරිතය ඔස්සේ ද ඔහුගේ භාෂා විලාසය මගින් ද එය හොඳින් නිරූපණය කර ඇත්තේ ගායන ක්ෂේත්‍රයට අදාල බොහොමයක් වචන ඔහු ඉංග්‍රීසි බස මිශ්‍රව භාවිත කිරීම තුළිනි.

        එමෙන්ම සාම්ප්‍රදායික සංස්කෘතික ලක්ෂණ බොහෝවිට ජනප්‍රිය සංස්කෘතිය තුළ අභියෝගයට ලක්වෙයි. එය මනාව නිරූපණය කරන අවස්ථාවක් ලෙස පියවි විසින් වරෙක අභිමානට ස්තුති කර වැඳීමට යන අවස්ථාවේ ලැජ්ජා කරන්න එපා යැයි පැවසීම හා ප්‍රතිචාර දැක්වීම පෙන්වාදිය හැකිය. ඒ අනුව අභිමානගේ චරිතය තුළින් සාම්ප්‍රදායික සංස්කෘතික ලක්ෂණ පිළිබඳව ජනප්‍රිය සංස්කෘතිය ඇති ලැජ්ජාශීලී භාවය හා තැකීමක් නොකරන ආකාරය නිරූපණය කර ඇත.

        කෙසේ වෙතත් ජනප්‍රිය සංස්කෘතිය තරු සංකල්පය හොඳින් නිරූපණය කරන චරිතයක් ලෙස අභිමානගේ චරිතය පෝෂණය වී පැවතිය ද ඔහු තුළ ඇති සාධාරණත්වය, අවංකබව, නිහතමානී ගති පැවතුම්වලින් යුක්ත වීම, අලුත් පරපුරට නිබඳව අතහිත දෙන යොවුන් තරුවක් ලෙස නිරූපණය කර තිබීම විශේෂ කාරණයකි. ඒ  තුළින් නිර්මාණශීලීව ප්‍රේක්ෂකයා සිනමා කෘතිය සඳහා ආකර්ෂණය කරගෙන ඇති අතර සමාජයට සංදේශයක් ද ඉදිරිපත් කර ඇත. ජනප්‍රිය සංස්කෘතිය යනු මහා සංස්කෘතියේම ප්‍රගමනය ලැබූ කොටසක් බවත් එය පුද්ගලයා හා ඔහුගේ ක්‍රියාකලාපය අනුව තීරණය වන සාධකයක් බවත් හදුනාගත හැකිය.  

පියවි හංසිකාගේ චරිතය

උදාරි වර්ණකුලසූරිය විසින් පණ පොවන පියවි නම් චරිතය චිත්‍රපටය තුළ ප්‍රධාන චරිතය ලෙස ජනප්‍රිය සංස්කෘතිය මෙන්ම සාම්ප්‍රදායික ගැමි සංස්කෘතිය ද මනාව නිරූපණය කරන්නකි. විශේෂිතම කාරණාව වන්නේ මේ චරිතය තුළින් ජනප්‍රිය සංස්කෘතිය හා සාම්ප්‍රදායික ගැමි සංස්කෘතිය අතර පවතින ඝට්ටනය නිර්මාණශීලීව විදහාපානු ලබයි. ජනප්‍රිය සංස්කෘතිය තුළ ජීවත්වන බොහෝ පිරිස් ගැමි සංස්කෘතිය ලැජ්ජාශීලී පහත් එකක් යැයි සලකනු ලබයි. එමෙන්ම ජනප්‍රිය සංස්කෘතිය නියෝජනය කරන බොහොමයක් පිරිස් සාම්ප්‍රදායික සංස්කෘතිය නියෝජනය කරන පිරිස පීඩාවට ගැරහුමට ලක් කරන බව පියවිගේ චරිතය හරහා හොඳින් නිරූපණය වෙයි.

       එමෙන්ම සාම්ප්‍රදායික සංස්කෘතිය තුළින් ජනප්‍රිය සංස්කෘතියට අවතීර්ණ වීමේදී ඇතිවන වෙනස්කම් මනාව නිරූපණය කිරීමට මේ චරිතය හරහා හැකි වී ඇත. විශේෂයෙන්ම ග්‍රාමීය පරිසරයක ජීවත්වන පියවිගේ සරල ඇඳුම් පැලඳුම්, ග්‍රාමීය භාෂා රටාව, චර්යා විධි ආදී සියලු සංස්කෘතිකාංග තරු සංකල්පයත් සමග ජනප්‍රිය අංග ලක්ෂණ බවට පරිවර්තනය වේ. තරු සංකල්පයට ගැලපෙන නව විලාසිතා රටාවන්ගේ ඇඳුම්, කැප් පැලඳීම, ඉංග්‍රීසි මිශ්‍ර වූ භාෂා රටාවක් භාවිත කිරීම ආදිය තුළින් ග්‍රාමීය සංස්කෘතික ලක්ෂණ වලින් ජනප්‍රිය අංග ලක්ෂණ වලට මාරුවන අයුරු පැහැදිලි වේ. ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන තරු සංකල්පය තුළ ග්‍රාමීය ප්‍රදේශවලින් පැමිණෙන තරුණ තරුණියන් විලාසිතාකරණය තුළින් ජනප්‍රිය සංස්කෘතියට පරිවර්තනය වන බව පියවිගේ චරිතය ඔස්සේ හොඳින් නිරූපණය කර ඇත. මාධ්‍ය විසින් එය මෙහෙයවන බව ද හොඳින් ප්‍රත්‍යක්ෂ කර ඇති අතර තරු සංකල්පය සමාජය තුළ ජනප්‍රිය අංගයක් ලෙස ඇති කරනුයේද මාධ්‍යයි. ඒ අනුව ජනප්‍රිය සංස්කෘතිය ප්‍රවර්ධනය කරන්නේ මාධ්‍ය මඟින් බව හොඳින්ම පසක් වේ.

          එමෙන්ම සාම්ප්‍රදායික සංස්කෘතිය තුළින් ජනප්‍රිය සංස්කෘතිය වෙත එකවර පරිවර්තනය වීමේ දී ගැටලු රැසකට මුහුණ දෙන්නට සිදු වේ. එය හොඳින්ම පියවිගේ චරිතය හරහා ඉස්මතු වෙයි. සංස්කෘතීන් දෙක අතර පවතින පරතරය මත ජනප්‍රිය සංස්කෘතිය තුළ අතරමං වීමක් පියවිගේ චරිතය හරහා ප්‍රථමයෙන් නිරූපණය වුවද ඇයගේ උත්සාහය හා ජනප්‍රිය සංස්කෘතිය තුළ රැඳෙන ප්‍රවීණ තරුවක් වන අභිමානගේ උපකාර මත ඇය ජනප්‍රිය සංස්කෘතිය තුළ තරුවක් බවට පත්ව තම අභියෝග ජය ගැනීමත් තුළින් එය පැහැදිලිව දක්වා ඇත.
“අපි හුඟාක් දුප්පත් මිනිස්සු සර්... සිංදු කියන්න ගියේ ඉර හඳ අල්ලන්න නොවේ. ජීවිතේ ගොඩනගා ගන්න. ඒත් සර්ගේ එක වචනෙන් ඒ සේරම හුළඟේ ගහගෙන ගියා. මට දුක් සර් මගෙ ගැන බොරුවට වර්ණනා කරලා හොරෙන් අහක් කරපු එක....” යන පියවිගේ දෙබස් ඛණ්ඩය තුළින් පැහැදිලි වන්නේ ඇය තරුවක් වීමට බලාපොරොත්තු වූයේ ජනප්‍රිය වීම තුළින් තම ජීවිතයේ අභියෝග ජය ගැනීමට බවයි. ඒ අනුව පැහැදිලි වන්නේ සාම්ප්‍රදායික සංස්කෘතියට සාපේක්ෂව ජනප්‍රිය සංස්කෘතිය තුළ ඉතා ඉක්මන් ක්‍රමවේද ඔස්සේ ජනප්‍රියත්වයට පත් වීමට හැකි බවත්, කෙසේ වෙතත් ඒ තුළ සංස්කෘතික ඝට්ටන ඇතිවන බවත් ය.

        ඒ අනුව සාම්ප්‍රදායික ගැමි සංස්කෘතිය තුළින් ජනප්‍රිය සංස්කෘතිය වෙත පියනගන තරුණියකගේ චරිතයක් වන පියවිගේ චරිතය තුළින් සංස්කෘතික ඝට්ටනය මෙන්ම සංස්කෘතියේ විපර්යාසාත්මක පරිවර්තනය පිළිබඳව ඉතාමත් නිර්මාණශීලීව නිරූපණය කිරීමට ආදරණීය කථාවක් චිත්‍රපටය තුල හැකි වී ඇත. ඒ සඳහා විලාසිතාකරණයේ හා භාෂාවේ වෙනස්වීම් පැහැදිලිවම සාක්ෂි දරයි.

උවිඳුගේ චරිතය

අභිමානගේ මිතුරා ලෙසත් ඔහුගේ කළමණාකරු ලෙසත් සිනමා කෘතිය තුළ උවිඳුගේ චරිතය සඳහා රංගනයෙන් දායකත්වය ලබා දෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පී බිමල් ජයකොඩි මහතාය. අභිමානගේ සියලු කටයුතු කළමනාකරණය කිරීම මෙන්ම පියවි තරුවක් ලෙස ගායන ක්ෂේත්‍රයට පැමිණීමෙන් පසුව ඇයගේ වැඩ කටයුතු කළමනාකරණය කරනු ලබන්නේ ද උවිඳු විසිනි. උවිඳුගේ චරිතය ද ජනප්‍රිය සංස්කෘතිය නියෝජනය කරන චරිතයක් ලෙස හඳුන්වාදිය හැකිය. ජනප්‍රිය සංස්කෘතිය තුළ අන්තර්ගත වන රෙස්ටුරන්ට් වෙත යාමේ සංස්කෘතිය, එකිනෙකා සමග කතා කිරීම සඳහා රෙස්ටුරන්ට් ගොස් කෝපි පානය කරන අතරතුර සතුටු සාමීචියේ යෙදීම වැනි අංග ලක්ෂණ ගණනාවක් උවිඳුගේ චරිතය තුළින් නිරූපණය කර ඇත. විශේෂයෙන් ඇඳුම් විලාසිතා හා කරාබු පැළඳීම තුළින් උවිඳුගේ චරිතය තුළ ජනප්‍රිය සංස්කෘතික අංග ලක්ෂණ නිරූපණය කර ඇත. එමෙන්ම ඔහුගේ භාෂා රටාව බෙහෙවින්ම අභිමානගේ  චරිතයට සමාන ආකාරයෙන් යොදාගෙන පැවතීම ද විශේෂිත කාරණයකි.

දෙව්ලිගේ චරිතය

අරුණි රාජපක්ෂ විසින් පණපොවන මෙම චරිතය ප්‍රධාන වශයෙන්ම චිත්‍රපටය තුළ ජනප්‍රිය සංස්කෘතිය තුළ ජීවත්වන චරිතයක් ලෙස ගොඩනැංවීමට තිර රචකයා හා අධ්‍යක්ෂවරයා කටයුතු කර ඇත. ඊට ප්‍රධානතම හේතුව වන්නේ ජනප්‍රිය සංස්කෘතිය ගොඩනැංවීමේ හා ප්‍රවර්ධනය කිරීමේදී වැදගත්ම සාධකයක් වන මාධ්‍ය ක්ෂේත්‍රයේ මාධ්‍යවේදිනියක් ලෙස එම චරිතය නිරූපණය කර තිබීමයි. ශරීරය පෙනෙන සේ ඇඳුම් ඇඳීම, කොන්ඩ විලාසිතාව, විශාල කරාබු පැළඳීම වැනි විලාසිතාකරණයට ලැදි චරිතයක් ලෙස මෙම චරිතය පෙන්වා දී ඇත.
          එමෙන්ම ජනප්‍රිය සංස්කෘතිය විසින් ගොඩනංවන ලද සංස්කෘතික අංගයක් ලෙස තත්ත්වය හා ප්‍රතිරූපය පෙන්වාදිය හැකිය. දෙව්ලිගේ චරිතය තමන්ගේ තත්ත්වය පිළිබඳ ජනප්‍රිය බවක් හා උසස් බවක් මවා ගනිමින් සිටින චරිතයකි. ජනප්‍රිය සංස්කෘතිය තුළ ප්‍රධාන ලක්ෂණයක් ලෙස හඳුනාගත හැකිය.

       ජනප්‍රිය සංස්කෘතිය තුළ කුමන හෝ ආකාරයෙන් ජනප්‍රියතාවය ලබා ගැනීමට උත්සාහ කිරීම ලක්ෂණයකි. එය හොඳින් නිරූපණය වන අවස්ථාවක් ලෙස තම මාධ්‍ය ආයතනයේ ගීත තරඟ වැඩසටහනින් ඉවත් කරන ලද පියවි ජනප්‍රිය වූ පසු නැවත එම මාධ්‍ය තුළම වැඩසටහනක ගීත ගායනය සඳහා එක්කර ගැනීමේ සිද්ධිය පෙන්වාදිය හැකිය.

         ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රධාන හා නවතම අංගයක් වන තරු සංකල්පය අවස්ථාවට ගැළපෙන ලෙස ජනප්‍රිය බව උදෙසා නිර්මාණය කරන්නක්, ගොඩනගන්නක් බව දෙව්ලිගේ චරිතය තුළින් පැහැදිලි වේ. පියවි ගීත වැඩසටහනින් ඉවත් කළ පසු අභිමාන විසින් එය දෙව්ලිගෙන් විමසීමේදී ඇය පවසා සිටින්නේ “මේවා ඍැ්කසඑහ ීයදඅත්‍ව ඒක  සාමාන්‍ය දෙයක්” යනුවෙනි. ඒ තුළින් එය වඩාත් පැහැදිලි වන අතර ජනප්‍රිය සංස්කෘතිය තුළ සියලු දේ වාසිය හා ජනප්‍රියතාවය වෙනුවෙන් සිදු කරනු ලබන බව පෙන්වා දී ඇත.

            මීට අමතරව පියවිගේ මවගේ චරිතය තුළින් සාම්ප්‍රදායික ගැමි සංස්කෘතික ලක්ෂණ ඉස්මතු වන අතර වැඩසටහන් ඉදිරිපත් කරන්නා ලෙස රංගනයෙන් දායකවන සාරංග දිසාසේකරගේ චරිතය තුළින් ජනප්‍රිය සංස්කෘතිය නියෝජනය කරන මාධ්‍යවේදියෙකුගේ ලක්ෂණ නිරූපණය කර ඇත.

            සමස්ථයක් ලෙස ආදරණීය කතාවක් සිනමා කෘතිය තුළ චරිත නිරූපණය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන්නේ ප්‍රධාන වශයෙන් ම තරුණ තරුණියන්ගේ ආකර්ෂණය දිනා ගැනීමේ අරමුණින් ජනප්‍රිය සංස්කෘතියට ගැළපෙන ලෙස චරිත හා සිද්ධි ගොඩනංවා ඇති බවයි. එහිදී ජනප්‍රිය සංස්කෘතියේ නව ප්‍රවණතාවක් ලෙස සැලකෙන තරු සංකල්පය මුල් කර ගෙන ඇත. එමෙන්ම විලාසිතාකරණය, භාෂාව, චර්යා රටා, ආකල්ප, සිතුම් පැතුම්, ආචාරධර්ම, පරිසරය වැනි සියලු සංස්කෘතික සාධක ඔස්සේ සාම්ප්‍රදායික හා ජනප්‍රිය සංස්කෘතීන් අතර පවතින ඝට්ටනය හා එම සංස්කෘතීන් අතර පවතින විෂමතාවයන් හා පරිවර්තනයට ලක්වීම් පිළිබඳව ඉතා නිර්මාණශීලීව ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කර ඇති බවයි. එහිදී ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීම උදෙසා ජනප්‍රිය සංස්කෘතියේ අංග ලක්ෂණ සඳහා වැඩි නියෝජනයක් චරිත නිරූපණය හා සිද්ධි නිරූපණය තුළ අන්තර්ගත කිරීමට අධ්‍යක්ෂවරයා හා තිර රචකයා කටයුතු කර ඇති බව පැහැදිලි වේ.








එස්.එම්.ආර්.ජේ.නානායක්කාර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය








විනිවිද


Thursday, 25 July 2019

ජයග්‍රාහී සමුගැනීමක් දෙන්න කණ්ඩායම සැරසෙයි


ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී 6 වැනි ස්ථානයේ සිට තරගාවලිය අහවර කරමින් සිය රට බලා පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක එළිපෙත්තට පැමිණ තිබේ. ඒ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟ වන එක්දින තරගාවලියටය. තරග 3 කින් සමන්විත එම එක්දින තරගාවලියේ පළමු තරගය අද (26 වැනිදා) පස්වරුවේ දිවා/රාත්‍රී තරගයක් ලෙසින් ආරම්භ වේ. තව හෝරා කීපයකින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ප්‍රේක්ෂකයින්ට පමණක් නොව ලොව පුරා සිටින ප්‍රේක්ෂකයින්ටද සුවිශේෂී තරගයක් බවට පත්වන්නේ ලෝක පූජිත පන්දු යවන්නකු ලෙසින් නම් දරා සිටින ලසිත් මාලිංග එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන තරගය බවට මේ තරගය පත්ව ඇති බැවිනි.
බංග්ලාදේශය සමඟ පෙර පැවැති තරග වලදී මෙන් නොව හෙට පැවැත්වෙන තරගය නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ගේ ඇත්තේ වෙනදාට වඩා නැති උනන්දුවකි. වසරකට ආසන්න කාලයකට පසු ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් එක්දින ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්වීම ඇතුළු කාරණා කීපයක් එකී ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩිවීම සඳහා බලපා තිබෙන නමුත් මාලිංගගේ සමුගැනීම ඒ අතරින් ප්‍රධාන වේ.
‘යෝකර් රජු’ ලෙසින් විරුදාවලිය ලත් ලසිත් මාලිංග මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් පුරාවෘත්තයකි. ක්‍රීඩා කරන සමය තුළ ඔහු දක්වන ලද දක්ෂතා ඒ සඳහා ඕනෑවටත් වඩා උදාහරණ සපයයි. ලොව වැඩිම අවස්ථා සංඛ්‍යාවකදී කඩුලු ත්‍රිත්ව වාර්තා කර ඇති මාලිංග කඩුලු ත්‍රිත්වයකට එහා ගිය එසේත් නැතිනම් පන්දු 4 කදී කඩුලු 4 ක් දවා ගත් ලොව එකම පන්දු යවන්නා වේ. අදටත් නොබිඳී පවතින එම සුවිශේෂී වාර්තාවේ හිමිකරු වන මාලිංග සිය වසර 16 ක එක්දින දිවියට සමුදෙන තරය ජයග්‍රාහී සාදයකින් අවසන් කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව බවට පත්ව තිබේ.
ඒ පිළිබඳව කරුණු අනාවරණය කර සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නය. තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කරුණාරත්න, මාලිංගගේ සමුගැනීම සඳහා බොහෝ සාද සැලසුම් කර ඇතත් ඔහුගේ සමුගැනීම වෙනුවෙන් දිය හැකි හොඳම සාදය බවට පත්ව තිබෙන්නේ එම තරගය ජයග්‍රහණයකින් සරසාලීම බවයි. ඒ පිළිබඳව දිමුත්ගේ වචනවලින්ම නම්, “ක්‍රීඩාංගණය තුළත් ඉන් පිටතත් මාලිංගගේ සමුගැනීම වෙනුවෙන් විවිධ වැඩ සටහන් සකස් කරලා තියෙනවා. ඒත් කණ්ඩායමක් විදියට අපි හිතන්නේ ඔහුට දෙන්න පුළුවන් හොඳම තෑග්ග තමයි මේ තරගය ජයග්‍රහණය කරලා එයාගේ සමුගැනීම ජයග්‍රාහීව අවසන් කරන එක. එහෙම වුණොත් හැම දෙනාටම හිනාවෙලා ඔහුට සමුදීමේ හැකියාව තියෙනවා කියලා මං හිතනවා. එය තමයි හොඳම විදිය. අනිත් දේවල්වලට වඩා ඒ දේටයි අපි සූදානම් වෙන්නේ” යනුවෙනි.
සිය සාමාජිකයාගේ සමුගැන්ම ජයග්‍රාහී සාදයකින් අවසන් කිරීමට සත්කාරකයින් බලාපොරොත්තු තබා ඇතත් එම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ලබාදීම වළක්වා ගැනීම සඳහා තමන් ඇතුළු කණ්ඩායම පෙළ ගැසී සිටින බවත් ඒ වෙනුවෙන් දැඩි උත්සාහයක් ගනු ලබන බවත් බංග්ලාදේශ නායකයාගේ අදහස වී තිබේ.
“ඔහු ක්‍රීඩාවේ විශිෂ්ඨ තානාපතිවරයෙක්. ඔහු පන්දු යවන අයුරු දිහා බලලා කුඩා දරුවන් ගොඩක් ක්‍රීඩා කිරීමට පටන් ගෙන තියෙනවා. මට තවමත් මතකයි ඔහු පැමිණි මුල් කාලයේදී බංග්ලාදේශ මිනිස්සුන්ට ඔහු වගේ පන්දු යැවීමට උවමනා වුණා. අපි ශ්‍රී ලංකාව එක්ක ක්‍රීඩා කරන විට පවා මාලිංගගේ පන්දු යවන ඉරියව්වට සමාන පන්දු යවන්නකු දැල් පුහුණුවීම් වලට හොයා ගන්න උත්සාහ කළා. ඔහුගේ පන්දු යැවීම ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවට කොයි තරම් බලපෑඹක් කරාද කියන එක ඒකෙන් පේනවා” යැයි පවසන බංග්ලාදේශ නායකයා, “ඒ කොහොම වුණත් මේ අති විශිෂ්ඨ පන්දු යවන්නාගේ අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන ජයග්‍රහණය වැළකීම සඳහා අපේ කණ්ඩායම දැඩි උත්සාහයක් ගන්නවා” යැයිද පැවැසීය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 225 ක් නියෝජනය කර ඇති මාලිංග බිඳ හෙළා කඩුලු සංඛ්‍යාව 335 කි. එක්දින තරග අංශයේදී පිට පිට පන්දු 3 කදී කඩුලු 3 ක් දවා ගැනීම හෙවත් ‘හැට්‍රික්’ අවස්ථා 3 කට හිමිකම් කියන මාලිංග ඉහතින් සඳහන් කළ ආකාරයේ පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක් බිඳ හෙළා ඇති ලොව පළමු හා එකම පන්දු යවන්නා වේ.
(###උපුටා ගැනීමකි###)



Wednesday, 24 July 2019

2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ පනත පිළිබඳ හැඳින්වීමක්


     19 වන ආණ්ඩූක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් තොරතුරු දැන ගැනීමේ අයිතිය සහතික වුවද එය යථාර්තයක් බවට පත් වූයේ තොරතුරු දැන ගැනීම පිළිබඳව නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසුවය. තොරතුරු දැන ගැනිමේ අයිතිය බලාත්මක කර ඇත්තේ සිවිල් හා දේශපාලන අයිතියක් ලෙසින්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 අ වගන්තිය යටතේ තොරතුරු සඳහා ප්‍රවේශවීමේ අයිතිය තහවුරු කර ඇති බැවින් තොරතුරු ලබා ගැනීමේ අයිතිවාසිකම බලාත්මක කිරීම මගින් පොදු අධිකාරීවල විනිවිදභාවය සහ වගකීම් පිළිබඳ සංස්කෘතියක් ඇති කිරීමත්, එමගින් ජනතාවට යහපාලනය සඳහා වැඩි වශයෙන් සහභාගී විය හැකි සාධාරණ සමාජයක් ප්‍රවර්ධනය කිරීම මෙම පනතේ අරමුණ බව එහි පූර්විකාවේ දක්වා ඇත.

පනතේ 5 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව පොදු අධිකාරියක් සන්තකයේ, භාරයේ හෝ පාලනයේ ඇති තොරතුරු ලබා ගැනිමට අයිතියක් ඇත. ඒ අනූව,

● අමාත්‍යංශ
● දෙපාර්තමේන්තු
● සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල 
● පළාත් පාලන ආයතන 
● 25% කට වඩා කොටස් රජයට හිමි සමාගම්
● මහජන කාර්යයන් පිළිබඳව රජය සමඟ ගිවිසුමකට එළඹ ඇති පෞද්ගලික ආයතන
● රාජ්‍ය නොවන සංවිධාන 

          ආදිය මගින් පුරවැසියන්ට තොරතුරු ඉල්ලුම් කිරීමට හැකියාව පවතී.

      පනතේ 43 වන වගන්තිය යටතේ තොරතුරු යනු මොනවාදැයි පැහැදිලිව දක්වා ඇත. ඒ අනූව පහත සඳහන් ඒවායේ භෞතික ස්වරූපය හෝ ස්වභාවය නොසලකා සටහන්, ලේඛන, සංදේශ, විද්‍යුත් තැපැල්, උපදේශන, මාධ්‍ය නිවේදන, චක්‍රලේඛ, ලොග් පොත්, ගිවිසුම්, වාර්තා, පොත්, පිඔුරුපත්, සිතියම්, චිත්‍ර, රූප සටහන්, ඡායාරූප, දළ සේයාපට, ශබ්ද පටිගත කිරීම්, වීඩියෝ පට, නීති කෙටුම්පත්, පරිගණක වාර්තා හා වෙනත් ලේඛනගත ද්‍රව්‍ය සහ ඒවායේ පිටපත් තොරතුරු ලෙස දක්වා ඇත.

කෙසේ වෙතත් පනතේ 5.1 අ වගන්තියට අනූව ලබාදීම ප්‍රතික්ෂේප කළ හැකි තොරතුරු කරුණු 21ක් යටතේ සවිස්තරාත්මකව දක්වා ඇත.

● පොදු වැදගත්කමක් නොමැති අනවශ්‍ය ලෙස යම් පුද්ගලයෙකුගේ පුද්ගලිකත්වයට හානිකරන තොරතුරු
● බුද්ධිමය දේපළ පනතට ගැනෙන වාණිජ රහස් 
● රාජ්‍ය ආරක්ෂාවට හා භෞමික අඛණ්ඩතාවයට හානිවන තොරතුරු
● පුද්ගලික වෛද්‍ය වාර්තා 
● හෙළිකිරීමෙන් අපරාධ වැළැක්වීමට බාධාවක් වන තොරතුරු 
● අධිකරණයට හා පාර්ලිමේන්තුවට අපහාසවන තොරතුරු
● විභාගවලට අදාළව රහසිගතව තබාගත යුතු තොරතුරු
                                                                                      ඒ අතර කිහිපයකි.

“කෙසේ වෙතත් මහජන යහපතෙහි වැදගත්කම එම තොරතුරු හෙළිදරව් කිරීමෙන් වන හානියට වඩා වැඩිනම් එවැනි තොරතුරු සඳහා වන ඉල්ලීමක් ප්‍රතික්ෂේප නොකළ යුතු බව 5(4) වගන්තියට අනූව දක්වා ඇත.” 

සෑම පොදු අධිකාරියකම තොරුතුරු නිලධාරියෙකු හා අභියාචනා විභාග කිරීම සඳහා නිලධාරියෙකු පත් කර ඇති අතර ඔවුන් වෙතින් තොරතුරු ලබා ගත හැකිය. තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවකදී අතෘප්තිමත් වන පුරවැසියෙකුට පිළිවෙලින් අභියාචනා විභාග කිරීමේ නම් කළ නිලධාරියාට හා තොරතුරු කොමිසම වෙත අභියාචනා කළ හැකිය. එම තීරණ වලින්ද තෘප්තිමත් නොවන ඉල්ලුම්කරුවන්ට අභියාචනාධිකරණයට අභියාචනාවක් කළ හැකිවේ.

තොරතුරු දැනගැනීමේ පනතට අනුව පිහිටුවා ඇති තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ප්‍රකාශකවරුන්ගේ, කතෘවරුන්ගේ හා මාධ්‍යවේදීන්ගේ සංවිධාන, සිවිල් සමාජ සංවිධාන වලින් යෝජනාවන දේශපාලඥයින් හෝ රාජ්‍ය නිලධාරීන් නොවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත පස් දෙනෙකුගෙන් යුතු කොමිසමක් ලෙස ජනාධිපති විසින් පත් කරනු ලැබේ. තොරතුරු ඉල්ලීම් සම්බන්ධ අභියාචනා විමර්ශනය, පනත යටතේ වැරදි පිළිබඳව විමර්ශනය කිරිම හා නඩු පැවරීම හා පනත පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම ආදිය කොමිෂන් සභාවේ කාර්යයන් වේ. 


https://sinhala.dgi.gov.lk/images/pdf/2017/RTI_S_final.pdf




රිෂිත ජනිත් නානායක්කාර 
ජනසන්නිවේදන අධ්‍යයන අංශය 
කැලණිය විශ්වවිද්‍යාලය 

Monday, 15 July 2019

දේශපාලන ප්‍රචාරණය.....

     
දේශපාලන අපේක්ෂාව හෝ බලය සදහා ජනතාව වෙත තොරතුරු සන්නිවේදනය කිරීමේ උපක්‍රමයක් ලෙස දේශපාලන ප්‍රචාරණය හදුනාගත හැකිය. කිසියම් සිදුවීමක් හෝ කරුණක් තත්ත්වයක් පිළිබඳව ජනතාවට තොරතුරු සැපයීම, මිනිසුන් සිතන ආකාරය වෙනස් කිරීම, සමාජය තුළ මතවාදයක් ඇති කිරීම හා පවත්වාගෙන යාම සදහා ප්‍රචාරණය යොදා ගනි. එය දේශපාලන අරමුණක්, අපේක්ෂාවක් මත පදනම්ව ක්‍රියා කිරීම දේශපාලන ප්‍රචාරණයේ විශේෂිත ලක්ෂණයකි.

Marbury. B. ogle ගේ අර්ථ දැක්වීමට අනූව “දේශපාලන ප්‍රචාරණය යනු දේශපාලන අදහස් මතවාද හෝ ආකල්ප වෙනස් කිරීම සදහා ගන්නා ඕනෑම උත්සාහයකි” ප්‍රචාරණය තුළින් දේශපාලනමය වශයෙන් ඕනෑම අයෙකුගේ මතවාද, ආකල්ප වෙනස් කිරීමට කටයුතු කරන බව ඔහු පෙන්වා දෙයි. 

හැරල්ඞ් ඩී. ලැස්වෙල් විසින් 1927 දී ප්‍රචාරණය යන්න අර්ථ දක්වා ඇත්තේ “සැලකිය යුතු සංකේත මගින් මත පාලනය කිරීම කෙරෙහි දැවැන්ත ප්‍රචාරය යොමු කෙරේ. එසේ නැතහොත් වඩාත් පැහැදිලි ලෙස හා නිරවද්‍යතාවයකින් යුතුව කියන්නේ නම්, කතාන්දර, ඕපාදුප, වාර්තා, පිංතුර සහ වෙනත් සමාජයීය සන්නිවේදන ක්‍රම මගින් මත පාලනය කිරීමයි” යනුවෙනි. 

propaganda යන වචනය පළමු ලෝක යුද්දයත් සමග ව්‍යවහාරයට එක් වු අතර එය සිංහල බසින් ප්‍රචාරය, ප්‍රචාරණය හා දැවැන්ත ප්‍රචාරණය ලෙස ප්‍රසිද්ධ වී ඇත. මෙය මුල් කාලීනව ආගමික මත ප්‍රචාරය කිරීම සදහා භාවිත වී ඇති අතර පළමු ලෝක යුද්දයෙන් ජර්මනිය පරාජයට පත්වීමත් සමග දේශපාලන වශයෙන් ප්‍රචාරණය පිළිබඳ අවධානය යොමුවන්නට විය. ඒ අනුව 1933 ජර්මනියේ බලයට පත්  පාලකයා වූ හිට්ලර් යටතේ දේශපාලන ප්‍රචාරණය යන්න විධිමත්  ක්‍රමවේද ඔස්සේ ගොඩනැගෙන්නට විය. හිට්ලර්ගේ දේශපාලන ප්‍රචාරණ ව්‍යාපාරය සදහා ආචාර්ය ජෝශප් ගොබෙල්ස් යටතේ මහජන අවබෝධය සහ ප්‍රචාරය පිළිබද අමාත්‍යංශයක් පවා පිහිටුවා ඇත. ඉතිහාසයේ දැවැන්තම ප්‍රචාරණ ක්‍රියාවලිය වන හිට්ලර්ගේ ප්‍රචාරණ ක්‍රියාවලිය ආකර්ශණීය වූවක් මෙන්ම පුවත්පත්, සංගීත, වේදිකා නාට්‍ය, චිත්‍රපට, සාහිත්‍ය, ගුවන්විදුලිය ඇතුළු සියළු මාධ්‍ය කලාවන් පාලනයට නතුකර ගත්තක් විය.

හිට්ලර්ගේ දැවැන්ත ප්‍රචාරණ ක්‍රියාවලිය ඔස්සේ කාලයත් සමග විකාශනය වන දේශපාලන ප්‍රචාරණ වර්තමානය වන විට විශාල වශයෙන් වර්ධනය වී ඇති අතර එය දේශපාලන සන්නිවේදනයේ අත්‍යවශය අංගයක් බවට පත්ව ඇත. මාධ්‍ය ක්ෂේත්‍රයේ හා තාක්ෂණික දියුණුවත් සමග දේශපාලන සන්නිවේදනයේ දී යොදා ගන්නා ආකර්ශණිය ක්‍රමවේදයක් ලෙස දේශපාලන ප්‍රචාරණය විවිධ ස්වරූපයෙන් ක්‍රියාත්මක වන අයුරු හදුනාගත හැකිය. ඒ අනුව ලැස්වෙල් විසින් දේශපාලන ප්‍රචාරණයේදී භාවිතා කරන ප්‍රධාන උපක්‍රම හතරක් පිළිබඳව දක්වා ඇත. එනම්, 

1. සතුරාට එරෙහිව වෛරය පැතිරවීම.
2. මිත්‍ර පාර්ශවයන්ගේ මිත්‍රත්වය ආරක්ෂා කිරීම.
3. මධ්‍යස්ථ පාර්ශව දිනා ගැනිම.
4. සතුරා අධෛර්යමත් කිරීම, වශයෙනි.

     දේශපාලන ප්‍රචාරණයේදී තමන්ගේ සතුරාට, ප්‍රතිවාදියාට එරෙහිව අන් අය අතර එනම් ජනතාව තුළ වෛරය පැතිරවීම ප්‍රධාන උපක්‍රමයක් ලෙස භාවිතයට ගැනේ. ප්‍රතිවාදියන්ගේ දුර්වලතා, දූෂණ, වංචා, සමාජ විරෝධි ක්‍රියාවන් ආදිය පිළිබඳ පෙන්වා දෙමින් ජනතාව තුළ වෛරය ඇති කරමින් තමා වෙත ජනතා ප්‍රසාදය දිනා ගැනීම ප්‍රධාන ප්‍රචාරණ උපක්‍රමයකි.

විවිධ වූ උපහාසාත්මක ප්‍රකාශන තුළින්, එකිනෙකාගේ චරිත වලට මඩ ගැසිම තුළින්, අසත්‍ය ප්‍රකාශ ව්‍යාප්ත කරමින් ප්‍රතිවාදීන් අධෛර්යමත් කරවීම තුළින් තම ජයග්‍රහණය සදහා දේශපාලන සන්නිවේදනය හැසිරවීම ද ප්‍රධාන දේශපාලන ප්‍රචාරණ උපක්‍රමයක් ලෙස ලැස්වෙල් පෙන්වා දී ඇත.

ඕනෑම සටනක මෙන්ම දේශපාලනයේදී ද මිත්‍ර පාර්ශවයන් හට ගැනීම ඉතා ස්භාවික කරුණකි. ඒ අනුව දේශපාලන ප්‍රචාරණයේදී තම දේශපාලන ව්‍යාපාරයට සහය අත්වන මිත්‍ර පාර්ශවයන් හදුනා ගැනීමත් ඔවුන් ආරක්ෂා කර ගැනීම තුළින් තම පිරිවර ශක්තිමත් කර ගැනීමත් වැදගත් වේ.

එමෙන්ම දේශපාලන ප්‍රචාරණයේදී මධ්‍යස්ථ පාර්ශවය දිනා ගැනීම අතිශය වැදගත් වේ. තම දේශපාලන ජයග්‍රහණය සදහා මෙන්ම තම දේශපාලන මහජන සම්බන්ධතාවය පවත්වා ගැනීම සදහා මධ්‍යස්ථ පාර්ශවයක් තමා කෙරෙහි ආකර්ශනය කර ගැනීම අතිශය වැදගත් වේ.

ඉහතින් දැක්වු ප්‍රධාන දේශපාලන ප්‍රචාරණ උපක්‍රමවලට අමතරව දේශපාලන ප්‍රචාරණයේදී යොදා ගන්නා උපක්‍රම ගණනාවක් හදුනාගත හැකිය.

නම් පට බැඳීම.
විශේෂ වැදගත් වදන් භාවිතය.
බියට ආමන්ත්‍රණය කිරීම.
චරිත සහතික දීම.
පැවරුම්.
භාෂා භාවිතය.
ඇදහිය නොහැකි සත්‍ය.
සරල කිරීම.
නොකියා කීම.
සැවොම එකතුව.
අවශ්‍ය පරිදි යොදා ගැනීම.
වක්‍රෝක්ති භාවය.

නම් පට බැදීම

කිසියම් පුද්ගලයෙකුට නරක ලේබලයක් දීම හෙවත් අපහාසාත්මක නමක් පට බැඳිම මෙයින් අදහස් කෙරේ. දේශපාලන ප්‍රචාරණ ඉතිහාසය තුළ බහුලවම භාවිතා කරන උපක්‍රමයක් ලෙස මෙය පෙන්වා දිය හැකිය. 2015 ජනාධිපතිවරණය මෙන්ම නොසිතූ මොහොතක මැතකදී සිදු වු අගමැති මාරුව තුළ ද මෙම උපක්‍රමය වැඩි වශයෙන් භාවිත විය. උදාහරණ ලෙස යහපාලන සහකරුවෝ ලෙස රනිල්, මෛත්‍රි, චන්ද්‍රිකා, චම්පික ඇතුළු පිරිස හැදින්වීම හා  චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට චෞර රැජිණ යැයි නම් පට බැඳිම පෙන්වා දිය හැකිය.

විශේෂ වදන් භාවිතය

කෙනෙකුගේ චරිත ලක්ෂණයක්, ගුණාංගයක් භාවිතා කරමින් විශේෂ වදන් භාවිතය අදහස් කෙරේ. විශේෂ වදන් භාවිතය තුළින් ජනතාව අතරට ආකර්ශණිය තම අදහස් මතවාද ව්‍යාප්ත කරලීම මෙහි අපේක්ෂාවයි. උදාහරණ ලෙස 2015 ජනාධිපතිවරණයේදි “ යහපාලනය, මෛත්‍රි යුගයක්, මෛත්‍රි පාලනයක්” වැනි විශේෂිත වදන් භාවිත කිරීම දැන්විය හැකිය. ඒ ඔස්සේ පොදු අපේක්ෂකයාගේ දේශපාලන ප්‍රචාරණය ජයග්‍රහණය දක්වා මෙහෙයවීම සදහා විශාල දායකත්වයක් හිමි විය.

බියට ආමන්ත්‍රණය කිරීම

හදිසි වෙනස්වීම් තුළින් තමන්ගේ ජිවිතයට, තත්ත්වයට, ධනයට, පවුලට, අපේක්ෂාවට හානියක් ඇති වේ යැයි සියලු දෙනා අනිසි බියක් දක්වයි. මෙම මානසික තත්ත්වය දේශපාලන ප්‍රචාරනයේදි නිර්මාණශිලිව භාවිතයට ගනු ලබයි. දෙවන ලෝක යුද්ධ සමයේ හිටිලර් විසින් මෙය ප්‍රබලව භාවියට ගෙන ඇති අතර වර්තමාන දේශපාලන ප්‍රචාරණයේදී බහුලව භාවිතයට ගනි. ජනතාව තුළ බිය උපදවන ප්‍රකාශන තුළින් තම ප්‍රතිවාදියා කෙරෙහි අප්‍රසාදය ගොඩනැන්වීම මෙහිදි සිදු කරයි.

චරිත සහතික දීම 

විශේෂඥයෙකු, සමාජයේ බලපෑම්කාරී හෝ ගරු කටයුතු අයෙක්, පුජකවරයෙක්, ආකර්ශනිය හෝ ප්‍රසිද්ධ චරිතයක් විසින් දේශපාලන ක්‍රියාවලිය පිළිබඳ හොද නරක පැවසීම, තම කැමැත්ත ප්‍රකාශ කිරීම, සහය දීම වැනි ක්‍රියාවන් ඔස්සේ ජනතාවට පණිවිඩයක් ලබා දීම මෙහිදි අදහස් කෙරේ. මෙහිදි ඡායාරූප භාවිතය, සහය ලබා දීම හා එකමුතු වීම වැනි ක්‍රමවේද භාවිත කෙරේ. නිදසුන් ලෙස මැතකදි සිදු වු අගමැති මාරුවේදී භික්ෂුන් වහන්සේලා පිරිසක් විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආශිර්වාද කිරීම පෙන්වා දිය හැකිය.

පැවරුම්

සරලව ගතහොත් මෙයින් අදහස් කෙරෙන්නේ යම්කිසි අධිකාරියක්, ගරුත්වයක් පදනම් කරගත් ප්‍රචාරයකි. සමහර විට පැවරුම ගෞරවනීය පුදගලයෙකුගෙන් විය හැකිය. ඒ තුළින් ජනයා අතර ජනප්‍රිය වීමට මෙහිදි කටයුතු කරයි. ලාංකීය දේශපාලනයේදි කහ සිවුර, බෞද්ධ කොඩිය, බෞද්ධ සංස්කෘතිය ශ්‍රි ලාංකිකයන්ගේ නොමදව ගෞරවයට පාත්‍ර වන්නත් වන අතර දේශපාලන ප්‍රචාරණ ක්‍රියාවලියේදී බොහෝ අවස්ථාවල පැවරුම් ක්‍රියාවලිය සදහා එය යොදාගෙන ඇතිබව හදුනාගත හැකිය.


භාෂා භාවිතය

දේශපාලනයේදී භාෂා භාවිතය අවස්ථාවෝචිත ලෙස යොදාගනු ලබයි. ග්‍රාමීය ප්‍රදේශවල ජනයා තුළ විශ්වාසනීයත්වයක්, අපේකමත්, සබැදියාවන් ඇතිවන ලෙස භාෂා භාවිත කිරීම, සංවේදී භාෂා රටාවක්, උද්වේගකර හැඟීම් අවදිවන භාෂා රටාවක් භාවිත කිරීම ආදී උපක්‍රම යොදා ගැනීම මෙහිදි අදහස් කෙරේ.

ඇදහිය නොහැකි සත්‍ය

ඉලක්කගත ජනතාවට විශ්වාස කළ නොහැකි ආකාරයේ සත්‍ය කතා සන්නිවේදනය කිරීම මෙයින් අදහස් කරයි. සතුරු පාර්ශවයට අවාසිදායක සිදුවීමක් පිළිබඳ සත්‍ය හෙලිදරවු කරමින් තම ප්‍රතිවාදියා ව්‍යාකූල කිරීම මෙහිදි කටයුතු කරයි.

සරල කිරීම

සංකීර්ණ ප්‍රශ්නයකට සරල ඍජු පිළිතුරක් ලබා දිම මෙයින් අදහස් කරයි. යම් සිදුවීමක්, අදහසක්, සංකල්පයක් පිළිබඳ විවිධ ඍජු ප්‍රකාශන තුළින් ජනතාවට ඒ පිළිබඳ ඇති ගැටලුකාරී ස්වභාවය මගහරවා ස්ථිර තීරණයකට පැමිණවීමට පෙළබවීමක් මේ ඔස්සේ සිදු කරයි.

නොකියා කීම

යම් සැක සහිත, නිගමනයට පැමිණිය හැකි තොරතුරු ඉඟි කිරීම, හැඟවීම, ව්‍යංගවත් කිරිම, ගම්‍ය කිරීම මගින් ඉලක්කගත කණ්ඩායමට තමන්ගේ නිගමනයට එළබිමට සැලැස්වීම මෙහිදි සිදු වේ. මෙය අඩු වැඩි වශයෙන් දේශපාලන ප්‍රචාරණයේදී භාවිතයට ගනු ලබයි. 

දේශපාලන ප්‍රචාරණයේදි ඉහත දැක්වූ න්‍යායාත්මක උපක්‍රමයන් උපක්‍රමශිලිව ආකර්ශණියව යොදා ගන්නා අයුරු ප්‍රායෝගික දේශපාලන ක්‍රියාවලියේදී හදුනාගත හැකිය. වර්තමානයේ ජනමාධ්‍ය දියුණුවත් සමග දේශපාලන ප්‍රචාරණය ආකර්ශණිය මෙන්ම නිර්මාණශිලිත්වයකින් ද යුක්තව ඇත. එහිදි මුද්‍රිත මාධ්‍යයක් වශයෙන් ක්‍රියාත්මක වන පුවත්පත් මාධ්‍ය තුළ දේශපාලන ප්‍රචාරණය සදහා සෙසු මාධ්‍යයන්ට සාපේක්ෂව වැඩි ඉඩක් වෙන් කරනු ලබයි. ආකර්ෂණීය සිරස්තල,සංවේදී පාඨයන් මෙන්ම ඡායාරූප භාවිතය තුළින් පුවත්පත් මාධ්‍ය තුළ දේශපාලන ප්‍රචාරණය නිර්මාණශිලිව සිදුකරන අයුරු වර්තමාන පුවත්පත් මාධ්‍ය හැසිරිම තුළින් පැහැදිලි වේ. 




එස්.එම්.ආර්.ජේ.නානායක්කාර
ජනසන්නිවේදන අධ්‍යන අංශය
කැලණියවිශ්වවිද්‍යාලය


දේශපාලන සන්නිවේදනය යනු ...........


         මිනිසා සහ සන්නිවේදනය අතරත්, සන්නිවේදනය සහ දේශපාලනය අතරත් දිර්ඝ සහ අවියෝජනීය සබඳතාවයක් පවතී. ඒ අනූව මිනිසා සහ දේශපාලනය සම්බන්ධ කරන බැඳීම් රැහැණ වශයෙන් සන්නිවේදනය ගොඩනැගී ඇත.මෙම සම්බන්ධතාවය හේතුවෙන් මිනිසා, දේශපාලන සහ සන්නිවේදනය යන කාරණා ත්‍රිත්වය මුල් කොටගෙන දේශපාලන සන්නිවේදනය නම් විෂය ක්ෂේත්‍රයේ නිර්මාණය වී පෝෂණය වී ඇත. වර්තමානය වන විට ලාංකීය සමාජය තුළ මෙන්ම ලොව සෑම රටකම පාහේ දේශපාලන සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රිය කතිකාව පුළුල්ව ඇත.

      දේශපාන සන්නිවේදනයේ ආරම්භය දේශපාලනය තරම්ම පැරණිය. එමෙන්ම දේශපාලන විද්‍යාව, ප්‍රායෝගික දේශපාලනය ව්‍යාපාරයන් හා සන්නිවේදන අධ්‍යයනය යන පුලුල් විෂයන් දේශපාලන සන්නිවේදනය යන විෂය ක්ෂේත්‍රයේ අන්තර්ගතය ගොඩනැගීම සදහා දායක වී ඇත. දේශපාලන සන්නිවේදනය යන වචනය ඇසු සැනින් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වන්නේ මැතිවරණ හා ඒ සදහා භාවිතා කරණ විචාරණ උපක්‍රමයන් හා  බැඳි සන්නිවේදනයක් පමණි. කෙසේ වෙතත් දේශපාලන සන්නිවේදනය යනු ඉන් ඔබ්බට විහිදුණු සුවිසාල විෂය ක්ෂේත්‍රයක් ආවරණය කරන්නකි. එනම් සමස්ථ දේශපාලන ක්‍රියාවලිය හා බැඳුණු සමස්ථ සන්නිවේදන ක්‍රියාවලියම දේශපාලන සන්නිවේදනය යනුවෙන් සරලව හඳුනාගත හැකිය. ඒ අනූව

මැතිවරණ හා දේශපාලන සන්නිවේදනය.
ජන මාධ්‍ය, නව මාධ්‍ය හා දේශපාලනය.
දේශපාලන ප්‍රතිරූපය ගොඩනැන්වීම.
ජනමතය නිර්මාණය කිරීම හා හැසිරවීම.
දේශපාලනය සමඟ මාධ්‍ය සම්බන්ධතා හා ක්‍රියාකාරීත්වය.
විරෝධතා ව්‍යාපාර.
දේශපාලන මහජන සම්බන්ධතාවය.
දේශපාලන ප්‍රචාරණය හා දැන්වීම.
දේශපාලන අලෙවිකරණය.
මාධ්‍ය හිමිකාරීත්වය හා දේශපාලන සම්බන්ධතා.
ත්‍රස්ථවාදී හා බලපෑම්කාරී කණ්ඩායම්.

               වැනි දේශපාලන ක්‍රියාවලිය තුළ සන්නිවේදනාත්මක විග්‍රහයන් ගණනාවක් දේශපාලන සන්නිවේදනය ලෙස හඳුනාගත හැකිය.

“දේශපාලන පක්ෂ, දේශපාලඥයින්, ආණ්ඩු පක්ෂ ඇමතිවරු හෝ ඔවුන් අයත්වන කැබිනට් මණ්ඩල භාවිතා කරන සියලු සන්නිවේදන විධි දේශපාලන සන්නිවේදනය ලෙස නම් කළ හැකිය”
                                                                                                                      (බෙන්ජමින් ස්ටොක්මාන්)

           බෙන්ජමින් සිටොක්මාන්ගේ ඉහත නිර්වචනයට අනූව ඔහු පෙන්වාදෙන්නේ දේශපාලන සන්නිවේදනය යනු මැතිවරණ ප්‍රචාරණය පමණක් ඉලක්ක කරගත් ක්‍රියාවලියක් නොවන බවයි. දේශපාලන අරමුණක් සහිත ඕනෑම සන්නිවේදන ක්‍රියාවක් දේශපාලන සන්නිවේදනය යටතට ගැනෙන බව ඔහුගේ අදහසයි.

“දේශපාලන සන්නිවේදනය යනු දේශපාලන පිළිබඳ අරමුණු සහගත සන්නිවේදනයයි ”
                                                                                                                        ( බ්‍රයන් මැක්නර් )

          ස්ටොක්මාන්ගේ නිර්වචනය තහවුරු කෙරෙන ආකාරයේ අදහසක් බ්‍රයන් විසින් ද දක්වා ඇත. දේශපාලන වශයෙන් සම්බන්ධ අරමුණක් පවතින ඕනෑම සන්නිවේදන ක්‍රියාවලියක් දේශපාලන සන්නිවේදනය යටතට අයත්වන බව ඔහුගේ අදහසයි.

         ඉහත නිර්වචනයන් දෙකටම සමාන ආකාරයේ අදහසක් එස් එම් ඩැෆිගේ නිර්වචනය තුළින්ද හදුනාගත හැකිය. ඔහුට අනූව,  

“දේශපාලන සන්නිවේදනය යනු දේශපාලන ක්‍රියා පද්ධතිය තුළ පවතින සන්නිවේදන භූමිකාව යන්නයි ”

      ඒ අනූව දේශපාලන සන්නිවේදනය පිළිබඳව ඉදිරිපත්ව ඇති නිර්වචන විග්‍රහ කර බැලීමේ දි පැහැදිලි වන්නේ දේශපාලනය හා සම්බන්ධ සෑම ක්‍රියාවලියටම අයත් සන්නිවේදන භූමිකාව දේශපාලන සන්නිවේදනය ලෙස හදුනාගත හැකි බවයි. සමාජයේ ක්‍රමික විකාශයක් සමග දේශපාලන සන්නිවේදනය ද ඒ ඒ යුගවල දේශපාලන අවශ්‍යතාවයන් උදෙසා විකාශය වී ඇති අයුරු හදුනාගත හැකිය. එහි වර්ධනීය අවස්ථාවක් ලෙස තාක්ෂණික දියුණුවත් සමග බිහිවන ජනමාධ්‍ය ආශ්‍රිත දේශපාලන සන්නිවේදනය හැදින්වීම නිවැරදිය. අදවන විට එහි උච්චතම අවස්ථාව වන නව මාධ්‍ය සම්බන්ධ දේශපාලන සන්නිවේදනය දක්වාම ව්‍යාප්තව පැවතීම දේශපාලන සන්නිවේදනයේ වඩාත් ආකර්ශණිය සහ න්‍යාය සහ ක්‍රියාකාරකම් අතින් පොහොසත් විෂය ක්ෂේත්‍රයක් බවට පත්වීමට හේතු වී ඇත.
      දේශපාලන සන්නිවේදනයේ වඩාත් ආකර්ෂණීය මෙන්ම වඩාත් ප්‍රායෝගික භාවිතයක් සිදුවන්නේ මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය තුළදීය දේශපාලන බලය ලබාගැනීමත් බලය ක්‍රියාත්මක කිරීම සහ ඒ බලය පවත්වාගෙන යාම සදහාත් ආකර්ෂණිය මෙන්ම නිර්මාණශීලිව සන්නිවේදනය භාවිතා කරනු ලබයි. දේශපාලන සන්නිවේදනයේ සාර්ථක අසාර්ථක භාවය මත දේශපාලන බලය අත්පත්කර ගැනීම හෝ නොගැනීම තීරණය වේ. එහෙයින් වර්තමානය වන විට දේශපාලන සන්නිවේදනය කෙරෙහි න්‍යාත්මත මෙන්ම ප්‍රායෝගික වශයෙන්ද අතිශය වැදගත් කමක් හිමිව ඇත.

ඩොරිස් ඒ. ග්‍රැබර්ගේ අදහසට අනුව සන්නිවේදන ක්‍රියාවලියක් දේශපාලන වීම සදහා අවශ්‍ය වැදගත්ම සාධකය වනුයේ සංදේශය ලැබෙන ප්‍රභවය නොව එහි අන්තර්ගතය හා අරමුණ යන කාරණා ද්විත්ව බවයි. මේ අනූව දේශපාලන සන්නිවේදනය සංදේශයක අන්තර්ගතය සැකසීමේදී වඩාත් උපක්‍රමශිලි සහ සැලසුම් සහගත වීම වැදගත් වේ. දේශපාලනය මෙන්ම සන්නිවේදනය ද වඩාත් පු`ථල්ව ඇති වර්තමානය වන විට ආකර්ෂණීය අන්තර්ගතයකින් යුත් බලපෑම්කාරී සංදේශයන් නිර්මාණය කරලීමට දේශපාලන සන්නිවේදනය අපුර්ව අයුරින් හැසිරවීම දේශපාලන ප්‍රචාරණය තුළ සුලභව හදුනාගත හැකිය.



එස්.එම්.ආර්.ජේ.නානායක්කාර
ජනසන්නිවේදන අධ්‍යන අංශය
කැලණියවිශ්වවිද්‍යාලය






2020 ජනපති සොයාන පාවෙන තරුණ ඡන්ද

  2020 ජනපති සොයාන පාවෙන තරුණ ඡන්ද රට ජනාධිපතිවරණ උණුසුමකින් පෙළෙන මේ සමයේ සියලුම අපේක්ෂකයින් ජනතාවගේ සුව දුක් විමසීමට යුහුසුළු වෙති. ඔ...