Tuesday, 11 June 2019

"සිංහල අකුරු" කෙටිකතාව

සිංහල අකුරු


               ළා හිරු රැස් තුරු අතරින් එබී බලමින් වටපිටාවේ මනරම් රටා මවද්දී දමයන්ති නිදිමත හැර දමා නැගී සිටියාය. තමා අවදි වීමටත් පෙර කිරි තේ කෝප්පයක් සාදා ඇඳ අසල ඇති ටීපෝව මත ගෙනත් තැබීමට අද බිංදුමති නොසිටියාය. ඒ වෙනදා මෙන් ඇගේ තනියට නොසිට බිංදුමති අත්‍යවශ්‍ය වැඩක් ඇතැයි පවසමින් ඇගේ නිවසට ගිය නිසාවෙනි.

               තම එකම පුතු හංසක අකීකරු කමට විවාහයක් කරගත් දා සිට, දමයන්තිගේම වචනයෙන් කියනවා නම් නොගැළපෙන තැනකට පෑහුණු දා සිට ඔහුට මහගෙදර තහනම් විය. එදා සිට දමයන්තිගේ තනි නොතනියට සිටියේ අසල්වැසි ද්‍රවිඩ කාන්තාවක් වු බිංදුමතිය.

               තුරු ලතා වල පවා වෙනදා නොමැති සුන්දරත්වයක් ඇතැයි දමයන්තිට සිතිනි. අද ඇයට සුවිශේෂි දිනයක් විය. ඒ තම එකම මුණුපුරාට අකුරු කියවන දිනය අද වූ බැවිනි. ඇගේ සිත දෙවනත් කරමින් ලැගුම්ගෙන තිබූ අමනාපය මේ වන විට කාලයාගේ වැලි තලාවෙන් තරමක් දුරට හෝ  වැසීයමින් තිබුණි. මුණුපුරාගේ අකුරු කියවීමේ මංගල්‍යයටද දමයන්ති යාමට සැරසුනේ ඒ බව මනාවට පසක් කරමිනි. කල්වේලා ඇතිව ගෙන්වා ගත් මුණුපුරාගේ කේන්ද්‍රපත්‍රය බලවා නැකත් සෑදවුයේ ද දමයන්තිගේ වුවමනාවටය. හංසකගේ බිරිඳ වූ චාතුර්්‍යා එයට සමච්චලයට සිනාසුනේ “ග්‍රහයෝ දන්නා අකුරු” කියමිනි. ක්‍රිස්තු භක්තික කාන්තාවක් වු ඇය නිතරම තම සැමියාගේ මව හෙළාදකිමින් කතා කිරීමට පුරුදුව සිටියාය.

               විශ්‍රාමික සිංහල ගුරුවරියක වූ දමයන්ති ඔසරිය ගත දවටා ගත්තේ වසර කිහිපයකට පසුව වූ නිසා තරමක නුහුරු බවක් ඇයට දැනෙන්නට විය. නමුත් මෙම ඔසරිය තම ගුරු දිවියේ අභිමානය ගොලු බසින් මුමුණන්නාක් මෙන් යැයි ඇයට සිතිණි.

“නෝනා අද උදෙන්ම ලේස්ති වේලා වගේ”
 
               ඇගේ සිතුවිළි දැහන බිඳ වැටුනේ බිංදුමතිගේ හඬින්ය.

“ආ....ඔව්, නැකත් වේලාවට කලින් යන්න ඕනනේ.......”
“බිංදු කොයි වෙලේද ආවේ...”
“දැන් නෝනා, මං මේ ඊයේ මුරුක්කු ටිකක් හැදුවා නෝනට දෙන්න ඕනේ කියලා..”

               ඇය විශේෂ වැඩක් ඇති බව පවසා ඇගේ නිවසට ගිය කාරණය දමයන්තිට වැටහුනේ එවිටය.

“ආ.... ඒක හොඳයි මං ගෙනියන්නම්.”

               ඇය පැවසුවේ තමා ගෙනියන කැවුම් කොකිස් වලට තවත් කැවිලි වර්ගයක් එකතු වූ බව සිතමිනි. දින දෙකක් පුරාවට මහන්සි වී සෑදු කැවිලි හා වෙනත් අඩුම කුඩුම අතරේ බුදු රුවක් හා ගණදෙවි පිළිමයක් මෙන්ම සිංහල හෝඩිපොතද අසුරා ගැනීමට ඈ අමතක නොකලේ හෙළ චාරිත්‍ර අනුකූලව මුණුපුරාට අකුරු කියවීමේ අරමුණ සිතැතිවය.

               “මං උඹලගෙ ගෙවල් වල පස් පාගන්නෙ නෑ.....” කියූ දමයන්ති මෙලෙස සිය පුතු බැලීමට යාම විටෙක ඇයටම පුදුමයට කරුණක් විය. නමුත් ඒ තම එකම මුණුපුරාගේ සිනහවක් හෝ තමන් මිය යාමට පෙර දැක ගැනිමට ඇය තුළ ඇති වූ ආශාව නිසා මිස තම ලේලියට සමාව දුන් නිසා නොවන බව ඈ තම සිතටම පවසා ගත්තේ හෘද සාක්ෂිය හදවතට අනිනා සියුම් කටුතුඩක් සේ ඇයට වරින් වර රිදුම් දුන් නිසාවෙනි. තම පුතු වෙනත් ආගමක කාන්තාවක් විවාහා කර නොගත්තා නම් අද තමා කෙතරම් සතුටින් දැයි ඇය තව දුරටත් සිතුවාය.

               දමයන්ති උදෑසනම තම නිවසින් පිටවූයේ නැකත් වේලාවට කලින් තම පුතුගේ නිවසට යෑමේ අපේක්ෂාවෙනි. තමා අතින්ම මුණුපුරාට අකුරු කියවීමට දමයන්තිට අවශ්‍යව තිබිණි. නමුත් චාතුර්්‍යාට අවශ්‍ය වී තිබුණේ තම පුතුට ඉංග්‍රිසි භාෂාව පමණක් ඉගැන්වීමට ය. දමයන්ති වෘත්තියෙන් සිංහල ගුරුවරියක් වී සිටීමත්, තදින් කා වැදී තිබුණු පාරම්පරික අදහස් නිසාත් තම මුණුපුරාට අකුරු කියවීම තමා අතින්ම සිදු විය යුතුයැයි සිතුවාය. නමුත් චාතුර්්‍යාට නම් එය තවත් එක් සරදමක් පමණක් විය.

“පුතාට කොකොමත් ෑබටකසිය ඵැාසමප නේ අපි උගන්වන්නේ. සිංහල අකුරු කියාදීලා වැඩක් නෑ.”

               චාතුර්්‍යා නිතර කියු වදනක් විය. මේ සියල්ලෙන්ම හංසකගේ හදවත රිදුම් කෑවේය. එක් පසෙක තම මව වූ අතර අනෙක් පස වූයේ තම පවුල්  ජීවිතයයි. පියාගේ වියෝවෙන් පසු ඔහුද නොමැතිව තමාව උගතෙකු කිරීමට දමයන්ති නොගත් උත්සාහයක් නොමැති බව හංසක දැන සිටියේය. කලකට පසු තම මව නිවසට පැමිණීම හංසකට මහත් සතුටට කරුණක් වූයේ එහෙයිනි. නමුත් තම බිරිඳ අමනාපයක් නොපෙන්නුවද ඒ හැටි මනාපයක් ද නැතිබව හංසක හොඳින්ම දැන සිටියේය.

               මව රැගෙන ඒමට හංසක බස් නැවතුම් පොළට ගියේ චාතුර්්‍යාටත් නොදන්වාමය. බසයෙන් බැස ආ දමයන්ති තරමක් සිනාවී මෝටර් රථයේ පසුපස අසුනට බර වුවද නිවසට යන තෙක්ම නිහඬතාවය මකා දැමීමට තරම් ආත්ම ශක්තියක්  හංසකට නොමැති වූයේ කුඩා කළ සිටම මවට දැක්වූ අසීමිත ගෞරවය නිසා හා තමා වරදක් කලා යැයි ඇති වූ හැඟීම නිසාය.

               මනාව සකස් කරන ලද කැවිලි පිරුණු මේසය සිංහල අවුරුදු කෑම මේසය සිහිකරවන්නක් විය. බුදුරුව අබියස දැල්වූ පහන්සිල සාලයට අමුතු සිරියාවක් ගෙන එන්නේ යැයි හංසකට සිතිණි. නාස්පුඩු සිපගනිමින් එන කැවුම් කොකිස් සුවඳ හංසකගේ මතකය අතීතයට ගෙන යාමට සමත් විය. තමාට අකුරු කිය වූ දිනයේ මතකයන්, බොඳ වූ රූප පෙළක් සේ ඔහු අබියස පෙනී නොපෙනී යන්නට විය.

               බුදුරුව හා ගණදෙවි රූපය අසල ගාථා කියමින් වැඳ ආශිර්වාද කල දමයන්ති සිංහල හෝඩිපොත පෙරළා සිඟිති පුතු ඇකයේ හිඳවා ගත්තේ මහත් සොම්නසිනි. නැකත් වේලාව එන තෙක් බලා සිටි ඇය පුතුට සිංහල අකුරු කියා දීමට සැරසුන ද, පුතුට ඉංග්‍රිසි අධ්‍යාපනය පමණක් ලබා දීමට බලා සිටි චාතුර්්‍යාට නම් එය තවදුරටත් ඉවසන්නට හැකිවූයේ නැත.

“එන්න පුතා, අපි ඉංග්‍රිසි අකුරු කියවමු. ඕවා ඕනේ නැ..”

               ඉංග්‍රිසි බසින්ම කෙරුණු විධානය හමුවේ පුතු චාතුර්්‍යාට වෙනදා මෙන් අවනත වන බවක් පෙනෙන්නට නොතිබිණි.

“නෑ, අම්මි මං ආච්චි අම්මාගෙන් සිංහල අකුරු ඉගෙන ගන්නවා. එන්න අම්මත් ආච්චිගෙන් සිංහල අකුරු අහගමු.”

               සුරතල් බසින් එසේ පැවසූ පුතු චාතුර්්‍යාව මේසය අසලට රැගෙන ඒමට සැරසුනද ඇය කලේ කෝපයෙන් හඬා වැටීම පමණි. ඒ දුකට නොව ඇගේ අරමුණ ඉටුනොවූ කේන්තියට බව හංසක හොඳින්ම දැන සිටියේය. ගැහැණියකගේ කඳුලු පිරිමියෙකුගේ කේන්තිය අවුලුවාලන ඉන්ධන වුවද මව් සෙනෙහස මේ සියල්ල නිවා සනහන සිසිල් පැන් පොදක් බඳු වූ හෙයින්, කැවුමක රස බලමින්, සිංහල හෝඩිපොතේ පිටු පෙරළන තම පුතු දෙස හංසක නිහඬවම බලා සිටියේය.


නිමි.

ස්තුතිය- සදුනි නුවන්තිකා 


රිෂිත ජනිත් නානායක්කාර 
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

No comments:

Post a Comment

2020 ජනපති සොයාන පාවෙන තරුණ ඡන්ද

  2020 ජනපති සොයාන පාවෙන තරුණ ඡන්ද රට ජනාධිපතිවරණ උණුසුමකින් පෙළෙන මේ සමයේ සියලුම අපේක්ෂකයින් ජනතාවගේ සුව දුක් විමසීමට යුහුසුළු වෙති. ඔ...