Wednesday, 13 November 2019

2020 ජනපති සොයාන පාවෙන තරුණ ඡන්ද

 2020 ජනපති සොයාන පාවෙන තරුණ ඡන්ද



රට ජනාධිපතිවරණ උණුසුමකින් පෙළෙන මේ සමයේ සියලුම අපේක්ෂකයින් ජනතාවගේ සුව දුක් විමසීමට යුහුසුළු වෙති. ඔවුන්ගේ ගෝලබාලයන් ගෙයින් ගෙට පැමිණ පුරසාරම් දොඩවති. එය සෑම මැතිවරණයකම පූර්ව සමයේ සිදුවන සාමාන්‍ය ස්වභාවයයි. ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ තීරණාත්මක එළඹුමක පූර්ව සමය ගතවන මේ කාලපරිච්ඡේදය 2020 ජනපති සොයන ප්‍රචාරක වැඩසටහන්වල වැදගත්ම සමයයි. මෙවර ජනපති අපේක්ෂකයින්ගේ වැඩි අවධානයක් යොමුව ඇත්තේ තරුණ ඡන්ද වලට ය. තරුණයන් ඉලක්ක කරගත් විවිධ දේශපාලන ප්‍රචාරණ වැඩසටහන් පවා ක්‍රියාත්මක වන්නේ තරුණ ඡන්ද බිලිබෑමේ අපේක්ෂාව මතය.


2020 ජනපති තීරණය වන්නේ පාක්ෂිකයා හෝ පක්ෂය මත නොවන බවත්, නිර්පාක්ෂික ඡන්ද සහ අලුත් තරුණ ඡන්ද ඒ සඳහා ප්‍රබල බලපෑමක් ඇති කරන බවත් මේ වන විට පැහැදිලිය. නව තරුණ ඡන්ද සහ නිර්පාක්ෂික ඡන්ද තමන් වෙත ලබා ගැනීම සඳහා සෑම අපේක්ෂකයෙකුම මෙවර වැඩි වශයෙන් උනන්දු වන්නේ එහෙයිනි. මෙවර 15,992,096 ක් ඡන්ද දායකයින් ලියාපදිංචි වී ඇත. ඒ අනුව ඡන්ද 9,47,606 ක් හෙවත් ලක්ෂ දහයකට ආසන්න පිරිසක් නව ඡන්ද දායකයින්ය.

බලයට පැමිණීමට මනුස්සකම බිල්ලට දෙන අමන දේශපාලනය තවදුරටත් ශ්‍රී ලංකාවේ ද පවතී. එලෙස දූෂිත දේශපාලන වටපිටාවක් ගොඩනැගීමට හැකි වන්නේද ජනතාවගේම තීරණයන් මතය. එහෙයින් විසිඑක්වන සියවසේ රටක පාලන බලය හිමිකර දෙන පුද්ගලයා නිකමෙක් නොවිය යුතුය. එනම් ජනතාව බුද්ධිමත්ව ඡන්දය භාවිත කළ යුතුය. එහිදී තරුණ පරපුර වෙත රටේ අනාගතය පිළිබඳ විශාල වගකීමක් පවතී. එනම් මේ පුංචි දිවයින තවදුරටත් සංවර්ධනය වෙමින් පවතින රටක් නොව සංවර්ධනය වූ රටක් බවට පත් කළ හැකි බුද්ධිමත්, ජවසම්පන්න සහ ඉදිරි දැක්මක් සහිත නායකයෙකු පත්කර ගැනීමේ තීරණය තරුණ අප සතුය.

21 වන සියවසේ පත්වන නායකයා පාරම්පරික දේශපාලනය හෝ පක්ෂ මත නොව උගත්, බුද්ධිමත් තීරණය මත පත්කරගැනීම මෙරට අනාගතයේ වැදගත් සංධිස්ථානයක් වනු ඇත. එසේ නොවුණහොත් ඉදිරි කාලයේ ද ජනතාවට වන්නේ දේශපාලඥයන්ගේ වංශය කබල්ගෑම පමණි. නායකත්වයක බලපෑම තමන්ට මෙන්ම රටටත් බලපාන බව බුද්ධිමත්ව දැකීමට වත්මන් තරුණ පිරිසට හැකියාව පැවතිය යුතුය.  එය අවබෝධ කරගත යුතුය. දේශපාලන ඉතිහාසය මතම රැඳී නොසිට රටට වැදගත්, දූෂණ අක්‍රමිකතා හෝ අකටයුතුකම්වලින් තොර නායකයෙකු පත්කර ගැනීමට තරුණයන් ඉදිරිපත් විය යුතුය.

තම ඡන්දය තුළින් වෙනසක් සිදු නොවේ යැයි සිතමින් දේශපාලනය පිළිබඳ කලකිරීමෙන් යුතු බොහෝ තරුණ පිරිස් තම වටිනා ඡන්දය භාවිත කිරීම මගහරී. එහෙත් මුලු මහත් රටේම මෙන්ම තමන්ගේ අනාගතය තීරණය කිරීමට සෑම ඡන්දයක්ම වැදගත් වන බව තරුණ පිරිස බුද්ධිමත්ව අවබෝධ කරගත යුතුය.

ජාතික ආරක්ෂාව, සුබසාධන පොරොන්දු, වංචා දූෂණ හෙළි කිරීම් වැනි අලංකරණ දැවටු වචන සහිත දේශපාලන භාෂා වි්‍යවහාරය මත තීන්දු තීරණ නොගෙන ඉදිරි දැක්මක් සහ අනාගතයක් සහිත නායකයෙකු ජනපති කරවීමට තරුණ පරපුර එක්විය යුතුය. පක්ෂග්‍රාහී මාධ්‍යයෙන් පමණක් යැපීමට කටයුතු කිරීම අද්‍යතන තරුණ පරපුර සිදුකරන වරදකි. මාධ්‍යයෙන් ගොඩනගන ජනමතයට එහා ගිය බුද්ධිමත් චින්තනයකින් 2020 ජනපති පත්කරගැනීමට තරුණයන් වශයෙන් අප හුදෙක්ම කටයුතු කළ යුතුය. මාධ්‍ය ඔස්සේ දේශපාලන ප්‍රචාරණය මගින් ගොඩනගන ව්‍යාජ ජනමතය හොඳින් අවබෝධ කරගනිමින් තම වටිනා ඡන්දය භාවිත කිරීම තුළින් රටේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා තරුණයන් ප්‍රමුඛ වී හත්වන විධායක ජනාධිපතිවරයා තෝරාගත යුතුය.

බුද්ධිමත් තරුණ පරපුර 2020 ජනපති තීරණය කළ යුත්තේ ඉදිරියේ පවතින මහමැතිවරණය පිළිබඳ ද අවබෝධයකින් යුතුවය. මෙවර ජනාධිපතිවරණය සහ ඉදිරි මහමැතිවරණය පිළිබඳ පැහැදිලි චින්තනයකින් ඡන්දය භාවිත කිරීම තරුණ ඔබගේ වගකීමයි. 2020 පත්වන ජනපති හට බලතල සීමාවීම සහ පාර්ලිමේන්තුවේ බලය වැඩිවීම මීට හේතුවයි.

තවකෙකු විසින් ගොඩනගන ජාතිවාදය මත නොව දේශප්‍රේමීත්වය මත චින්තනය හැසිරවීම මෙවර මැතිවරණයේ දී තරුණ ප්‍රජාවගේ වගකීමකි. එකිනෙකා යට කරගෙන ගොඩනැගෙන ශ්‍රී ලංකාවක් නොව සැවොම එක්ව ගොඩනගන සංවර්ධනය කරා ගමන් කරන ශ්‍රී ලංකාවක් ඇතිකිරීමට තරුණ තරුණියන් පෙරමුණ ගත යුතුය.

තරුණ අසහනය, ජාතිවාදය, ප්‍රචණ්ඩත්වය වැනි කුහක වෛරී දේශපාලන ව්‍යාපාරයට නැවතීමේ තිත තැබිය හැකි නායකයෙකු පත්කර ගැනීමට තරුණයන් වශයෙන් පෙරට ආ යුතුය. එමෙන්ම පත්කරගන්නා 2020 ජනපතිට බලපෑම් කිරීමේ හැකියාව හා ඉල්ලීම් දිනාගැනීමේ අයිතිය පිළිබඳව ද තරුණ තරුණියන් මදක් සිතිය යුතුය.





එස්. එම්. රිෂිත ජනිත් නානායක්කාර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

Thursday, 15 August 2019

අලෙවිකරණය යනු කුමක්ද?


නිෂ්පාදකයා හා පාරිභෝගිකකයා යන දෙපාර්ශවයටම ලාභ අත්වන, දීර්ඝකාලීන පැවැත්ම තහවරු වන, හොඳ හිත වර්ධනය වන, අඛණ්ඩ සබඳතාවන් වර්ධනය කරගැනීමේ ක්‍රියාවලිය අලෙවිකරණය ලෙස හැඳින්විය හැක. නූතන වාණිජ ලෝකයේ අලෙවිකරණය 19 වන සියවසේ මුල් භාගයේ පටන් ඇමරිකාව තුළ සහ බටහිර කළාපයේ වර්ධනය වූ සංකල්පයක් ලෙස හැඳින්විය හැකිය. පළමු හා දෙවන ලෝක යුද්ධ වලින් පසුව යුරෝපයේ ඇති වූ සමාජ, දේශපාලනික, සහ ආර්ථික ක්‍රියාවලියෙහි ප්‍රතිඵලයක් ලෙස නූතන අලෙවිකරණය ගොඩ ගොඩනැගී ඇත. එය මානව අවශ්‍යතා හඳුනාගැනීම, එම අවශ්‍යතා විශ්ලේෂණය කිරීම, අවශ්‍යතාවන්ට විසඳුම් නිර්මාණය කිරීම, ඒවා ලාභදායී ලෙස නිෂ්පාදනය කිරීම, මිනිසුන් වෙත බෙදාහැරීම, විකිණීම සහ ඒ ඔස්සේ ලාභ අත්පත් කර ගැනීමේ සංකීර්ණ ක්‍රියාවලියකි.

                  පාරිභෝගිකයෙකු වශයෙන් සෑම අයෙකුම ව්‍යාපාරයකින් බලාපොරොත්තු වන්නේ තම අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කර ගැනීමට අවශ්‍ය ගුණාත්මක භාණ්ඩ හා සේවා සාධාරණ මිලට ලබා ගැනීමයි. මෙම අපේක්ෂිත සේවය ලබාදීමට ව්‍යාපාරයක් විසින් විවිධ කාර්යයන් සිදු කරනු ලබන අතර, එම කාර්යය අතරින් එක් කාර්යයක් ලෙස අලෙවිකරණය හඳුනාගත හැකිය. ඒ අනුව අලෙවිකරණය යනු පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා සම්පාදනය සමඟ බැඳුණු ක්‍රියාවලියකි. නිෂ්පාදිත නිර්මාණය කිරීමේ සිට ඒවා පාරිභෝගිකයන් අතට පත්වීම දක්වා මෙන්ම විකිණීමෙන් පසු සේවා සැපයීමේ කටයුතු ද අලෙවිකරණයට අයත් වේ. මේ කරුණු මත අලෙවිකරණ සංකල්පය පහත පරිදි අර්ථ ගැන්විය හැකිය.

“මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා වටිනාකමින් යුත් නිෂ්පාදිතයක් නිර්මාණය කිරීමේ හා පිළිගැන්වීමේ ක්‍රියාවලිය අලෙවිකරණයයි.”


            ව්‍යාපාරික සංකල්පයන් ගෙන බැලූ විට තවමත් නිවැරදිව හඳුනා නොගත් සංකල්පයන්ගෙන් එකක් ලෙස අලෙවිකරණය හැඳින්විය හැකිය. අතීතයේදී අලෙවිකරණය යන්න නිර්වචනය කර තිබුණේ, 

“භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ සිට පාරිභෝගිකයා වෙත ළඟාවීම දක්වා වූ විවිධාකාර කාර්යන් සමූහය අලෙවිකරණය නම් වේ.” යනුවෙනි.

            මෙම නිර්වචනය මඟින් භාණ්ඩ හා සේවා බෙදාහැරීම හා පරිවහනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඇත. කෙසේ වෙතත් වර්තමානයේ අලෙවිකරණය යන්න මින් එහා ගිය වඩාත් සංකීර්ණ වූත් වඩා වැදගත් වූත් කාර්යයන් සමූහයකින් සමන්විත ක්‍රියාවලියකි. තාක්ෂණික දියුණුව සහ ආකර්ෂණීය ක්‍රමවේද හරහා අලෙවිකරණ සංකල්පය වඩාත් පුළුල් පරාසයක් දක්වා විහිදුණු සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත්ව ඇත.
පාරිභෝගික අවශ්‍යතා අනුව පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කර වෙළඳපලට ඉදිරිපත් කිරීම වර්තමාන අලෙවිකරණයේ ප්‍රධානතම ලක්ෂණයකි. ඇතැම් ආයතන මෙම සංකල්පයෙන් ද එපිටට ගොස් සමස්ත පාරිභෝගිකයා යන සංකල්පය බැහැර කොට ලාභදායී පාරිභෝගිකයන් පමණක් ඉලක්ක කර ගැනීමට කටයුතු කර ඇත. අන්තර්ජාල අලෙවිකරණය ඊට පදනම් සාධකය වී ඇත.

පුළුල් ලෙස ගත් විට වර්තමානයේදී අලෙවිරණය යන්නට කාර්යයන් කිහිපයක් හඳුනාගත හැකිය.

1. පාරිභෝගිකයා යන්න හඳුනාගැනීම හා ඔවුන්ගේ අවශ්‍යතා මොනවාද යන්න හඳුනාගැනීම.
2. හඳුනාගත් පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා සපුරාලන පරිදි භාණ්ඩ හා සේවා සංවර්ධනය කිරීම.
3. පාරිභෝගිකයාට පරිභෝජනය සඳහා එම භාණ්ඩ හා සේවා ලබා දීම.

              අලෙවිකරණයේ පරමාර්ථය වන්නේ පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා සපුරාලමින් තම ව්‍යාපාරික ආයතනයේ ලාභ වර්ධනය කරගැනීමයි. මෙහිදී නිෂ්පාදකයින් විසින් පාරිභෝගික මනසකින් භාණ්ඩ හා සේවා දෙස බැලිය යුතු අතර වඩාත්ම වැදගත් පාර්ශ්වය පාරිභෝගිකයා බව අවධාරණය කරගත යුතුය.

           අලෙවිකරණය සඳහා විවිධ පුද්ගලයන් හා විවිධ සංවිධාන එකිනෙකට වෙනස් වූ නිර්වචන විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇති අතර එම නිර්වචනයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන්කළ හැකිය.

1. සමාජීය නිර්වචන
2. කළමනාකරණ නිර්වචන

              සමාජීය නිර්වචනයන්හීදී අලෙවිකරණය යන්න සමාජමය කාර්යයන් තුළදී කුමන ආකාරයෙන් විය යුතුද යන්න පිළිබඳව විග්‍රහ කරයි. මෙහිදී මූලික වශයෙන් අදහස් වන්නේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීම සඳහා අලෙවිකරණයේ භාවිතය පිළිබඳවය.

        'පිලිප් කොට්ලර්' විසින් අලෙවිකරණය සමාජයේ ඉටුකරන කාර්යභාරය පදනම් කරගනිමින් සමාජයීය හා කළමනාකරණ යන දෙයාංශයටම භාවිත කළ හැකි නිර්වචනයක් ඉදිරිපත් කර ඇත. ඔහුට අනුව,

“අලෙවිකරණය යනු පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩායම් විසින් ඔවුන්ගේ අවශ්‍යතා හා වුවමනා අනෙකුත් පුද්ගලයන් හා කණ්ඩායම් සමඟ හුවමාරු කර ගැනීම තුළින්, භාණ්ඩ හා සේවා නිර්මාණය කිරීම, පිරිනැමීම හා නිදහසේ හුවමාරු කර ගැනීම හා බැඳි සමාජයීය ක්‍රියාවලියකි.”

               අලෙවිකරණය සම්බන්ධයෙන් වූ කළමනාකරණ නිර්වචනයන්හී දී අවධාරණය කරනු ලබන මූලිකම කරුණක් වන්නේ “අලෙවිකරණය යනු භාණ්ඩ හා සේවා අලෙවි කිරීමේ කලාවයි” යන්නයි. කෙසේ වෙතත් අලෙවිකරණයේ වඩාත්ම වැදගත් කාර්යභාරය වන්නේ භාණ්ඩ හා සේවා අලෙවි කිරීම පමණක් නොවේ.
1985 දී ඇමෙරිකානු අලෙවිකරණ සංගමය මගින් අලෙවිකරණය පිළිබඳව වඩාත් තර්කානුකූලව ඉදිරිපත් කර ඇති කළමණනාකරණ නිර්වචනයට අනුව,

“අලෙවිකරණය යනු සංවිධාන ශ්‍රිතයක් ලෙස ගනුදෙනුකරුට වටිනාකම් ජනනය කිරීම, සන්නිවේදනය කිරීම සහ බෙදාහැරීමේ ක්‍රියාවලියක් සහ ගනුදෙනුකාර සම්බන්ධතා කළමනාකරණය කිරීම තුළින් සංවිධානය සහ එහි ව්‍යාපාරික ප්‍රජාව ප්‍රතිලාභ ලඟාකර ගැනීමයි.” 

             මේ අනුව අලෙවිකරණය යනු පුළුල් ක්‍රියාවලියක් බවත්, නිෂ්පාදිතයන් සැලසුම් කිරීමට පූර්ව අවස්ථාවේ සිට පාරිභෝගිකයා අතට පත්වීම සහ පශ්චාත් අලෙවිකරණ චර්යාවට අදාල සුවිශාල කාර්යභාරයක් අලෙවිකරණ ක්‍රියාවලියට ඇතුළත් වන බව පැහැදිලි වේ. කෙසේ වෙතත් වර්තමානය වන විට තාක්ෂණික දියුණුවත් සමග අලවිකරණයේ විවිධ ස්වරූපයන් නිර්මාණය වී ඇත. ඒ අතර අන්තර්ජාල අලෙවිකරණය, ඒකාබද්ධ අලෙවිකරණය, පෞද්ගලික අලෙවිය, අලෙවි ප්‍රවර්ධනය, සෘජු අලෙවිකරණය හා අන්තර් ක්‍රියාකාරී අලෙවිකරණය ප්‍රධාන වේ.



එස්.එම්.ආර්.ජේ.නානායක්කාර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය




Tuesday, 30 July 2019

“ආදරණීය කතාවක්” සිනමා කෘතියේ චරිත නිරූපණය තුළ අන්තර්ගත ජනප්‍රිය සංස්කෘතික ලක්ෂණ පිළිබඳ විමසුමක්....

ප්‍රියන්ත කොළඹගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද ආදරණීය කතාවක් සිනමා කෘතිය 2010 ජූනි 10 වන දින සිනමා දොරට වැඩුණු නිර්මාණශීලී සිනමා පටයකි. චමින්ද ගමගේ හා ප්‍රියන්ත කොළඹගේ සම නිෂ්පාදනයක් වූ මෙම සිනමා පටය රුවන් කොස්තාගේ කැමරා අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය වී ඇත. හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය, බිමල් ජයකොඩි හා අරුණි රාජපක්ෂ යන ජනප්‍රිය රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ප්‍රධාන චරිතයන් නිරූපණය කරන මෙම සිනමාපටය උවනි චාමිකා හා ප්‍රියන්ත කොළඹගේ සම තිර රචනයක් තුළින් බිහිවී ඇත.

       චිත්‍රපටය නිකුත් කිරීමෙන් අනතුරුවව රැඟුම් පාලක මණ්ඩලය විසින් මෙහි අධික ලෙස දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිත කරන බව පවසා නඩු ගොනු කර ඇත. පසුව අධ්‍යක්ෂකවරයා විසින් මෙහි තරුණ පරපුරට මත්ද්‍රව්‍යයෙහි ඇති ආදීනව පෙන්වා දෙන බව හැඟවීමක් සිදුකරන බව සනාථ කරමින් නඩුවෙන් නිදහස් වී ඇත. කෙසේ වෙතත් මෙම සිනමාපටය ආදායම් වාර්තා බිඳහෙළමින් තිරගත විය. මෙය ශ්‍රී ලංකාවේ සතියකින් වැඩිම ආදායමක් උපයන ලද චිත්‍රපටය බවට වාර්තාගත වේ. ආදරණීය කතාවක් සිනමා කෘතිය තරු සංකල්පය මූලික කරගත් ගීත ගායන තරඟ වැඩසටහනක් කතා වස්තුව ලෙස තෝරාගෙන ඒ වටා ගෙතුණු සිද්ධි දාමයකින් අන්තර්ගත වේ. එහි චරිත නිරූපණය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී චිත්‍රපටයේ කතාව පිළිබඳ දළ අවබෝධයක් ලබා ගැනීම වැදගත් වේ. 

          අභිමාන (හේමාල් රණසිංහ) නිහතමානී ගති පැවතුම්වලින් යුත් අලුත් පරපුරට නිබඳවම අත හිත දෙන යොවුන් කලාකරුවකු ලෙස ප්‍රකටව සිටියි. එක්තරා ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක සුපිරි තරු ගායන ප්‍රසංගයක විනිසුරුවරයෙක් ලෙස සහභාගි වන්නට අභිමානට ඇරැයුම් ලැබේ. මුලින් එය ප්‍රතික්ෂේප කළ ද අවසානයේ ඔහු ඊට සහභාගිවන්නට තීරණය කරනුයේ එම වැඩසටහන මෙහෙයවන දෙව්ලිගේ (අරුණි රාජපක්ෂ) පෙරැත්තය නිසාවෙනි. දෙව්ලි කලක් අභිමානගේ පෙම්වතියව සිටි බව ප්‍රේක්ෂකයාට හැඟවෙන්නේ සිනමාපටය අතරතුරය.

         දහස් ගණන් තරගකරුවන් අතරින් මෙම රියැලිටි ප්‍රසංගයේ ඉදරියට පියමං කරන පියවි හංසිකාගේ (උදාරි වර්ණකුලසූරිය) ගායන හැකියාවන් පිළිබඳ අභිමාන තම අදහස් ප්‍රකාශ කරන්නේ අවංක හැඟීමකිනි. ඇය ඉතා දක්ෂ ගායිකාවක් බවත් ඉදිරි වටයට යාම සඳහා ඇය අනිවාර්යයෙන්ම සුදුසුකම් ලැබිය යුතු බවත් අභිමාන පවසන්නේ තිරසාර ලෙසය. අභිමාන පියවි පිළිබඳ කළ එකී වර්ණනාව දෙව්ලිගේ සිත් ගත්තේ නැතග. එය ඊර්ෂ්‍යාව මත පදනම් වූ සිතිවිල්ලක් බව ඇගේ හැසිරීම් රටාවෙන් ප්‍රේක්ෂකයාට පිළිබිඹු වේ. ඇඳුම් අලෙවි සැළක සේවිකාවක් ලෙස කටයුතු කරන පියවි දුප්පත් ගැමි තරුණියකි. ඇයගේ එකම අරමුණ කෙසේ හෝ එම තරගය ජයග්‍රහණය කර ඉන් ලැබෙන මුදලින් රෝගීව ඔත්පලව සිටින සිය පියා සුවපත් කර ගැනීමය. ඇගේ එම අවිහිංසක ප්‍රාර්ථනාව මල්ඵල ගැන්වෙනු ඇතැයි සියලු දෙනා විශ්වාස කරන්නේ පියවි සැබෑ දක්ෂ ගායිකාවක් නිසාවෙනි. නමුත් කිසිවකු නොසිතූ නොපැතූ ආකාරයට ඊළඟ වටයේදී ඇයට එම තරගවාලියෙන් ඉවත් වන්නට සිදු වේ. එම සිදුවීමෙන් දැඩි කම්පනයට පත් වෙන පියවිට සිය රැකියාව පවා අහිමි වන්නේ නොසිතූ අයුරිනි.

         පියවි වැනි දක්ෂ යුවතියක් තරගයෙන් ඉවත් කිරීම පිළිබඳ අභිමාන පසු වන්නේ දැඩි කෝපයෙන් යුතුවය. ඒ පිළිබඳ ඔහු දෙව්ලිගෙන් කරුණු විමසා ඇයට දොස් පවරන්නේ පියවි පිළිබඳ උපන් අනුකම්පා සහගත හැඟීමෙනි. එතැන් පටන් එම රියැලිටි ප්‍රසංගයට සහභාගි වීම ඔහු නවතා දමන්නේ සිතේ හටගත් බලවත් කළකිරීම නිසාය. තමාව අහේතුක ලෙස තරගාවලියෙන් ඉවත් කර දැමුවේ අභිමාන යැයි වරදවා වටහා ගෙන සිටින පියවි පසුවන්නේ ඔහු පිළිබඳ දැඩි කෝපයෙන් යුතුවය.

          සියල්ල පිළිබඳ කළකිරී පියවි යළි සිය ගම් පියස වෙත පා නගන්නේ හැඬූ කඳුළින් යුතුවය. කෙසේ හෝ තම පවුලේ බර යළි කරට ගන්නා පියවි එක්තරා අවන්හලක මුළුතැන්ගෙයි සේවිකාවක ලෙස සේවයට බැඳේ. දිනක් පියවි මුළුතැන්ගෙයි සේවය කරමින් සිටින අතරතුරේ අභිමාන එම අවන්හල වෙත පැමිණෙන්නේ සිය කළමනාකරු ලෙස සේවය කරන උවිඳු (බිමල් ජයකොඩි) සමඟිනි. ඒ අහම්බය තුළ එක් නිමේෂයකදී පියවි හා අභිමාන යළි මුණ ගැසේ. අභිමානට අවශ්‍යව තිබුණේ පියවිට සිදු වූ අසාධාරණය නිවැරදි කොට ඇය ගායන ලොවේ අභිෂේක කිරීමට තම සහාය ලබා දීමටය. නමුත් තමාට සියල්ල අහිමි කළේ අභිමාන යැයි සිතා සිටින ඇය ඒ සියලු වේදනාවන් පිට කර ගන්නේ අභිමාන වෙත වැරෙන් කම්මුල් පහරක් එල්ල කරමිනි.

         එම අනපේක්ෂිත සිදුවීමෙන් අභිමාන කම්පනයටත් කෝපයටත් පත් වේ. පුවත්පත්වල පවා එම සිදුවීමට ලබා දෙන්නේ විශාල ප්‍රසිද්ධියකි. අභිමානට ඇති විශාලම ගැටලුව වන්නේ පියවි තමාට එසේ පහර දුන්නේ ඇයි ද යන්න පිළිබඳවය. අභිමාන හා උවිඳු පියවි සොයා ගෙන ඇය වෙසෙන දුෂ්කර ගම්මානය වෙත යන්නේ ඊට පිළිතුරක් සොයමිනි.

          ඒ අතර පියවිගේ පියා මිය යයි. එයින් දැඩි සේ දුකට හා කම්පාවට පත්ව සිටින පියවි තම නිවසට පැමිණි අභිමානට යළි යළිත් දොස් පවරන්නේ කඳුළු පිරි දෑසින් යුතුවය. ඒ සියල්ලටම හේතුව පියවි තුළ තමා පිළිබඳ තිබෙන වැරැදි වැටහීම බව තේරුම් ගන්නට අභිමානට අපහසු වන්නේ නැත. කරුණු පැහැදිලි කිරීමෙන් පසු අභිමාන සහ උවිඳු යළි කොළඹ බලා පිටත්ව යන්නේ පියවිට අභිමානගේ නිවසට පැමිණෙන ලෙස ආරාධනා කරමිනි. ඒ අනුව පියවි, අභිමාන හමු වී සමාව අයදිමින් ඉල්ලා සිටින්නේ කෙසේ හෝ අහිමිව ගිය රැකියාව නැවත තමාට ලබා දෙන ලෙසය. එහිදී අභිමාන පියවිගේ ගායන හැකියාවන් පිළිබඳ ඇයට පැහැදිලි කරමින් තමාගේ ඊළඟ ප්‍රසංගයේ සහාය ගායිකාව ලෙස කටයුතු කරන්නට ඇයට ඇරයුම් කරයි.

      අනතුරුව අභිමානගේ හා උවිඳුගේ සහාය ඇතිව පියවි දක්ෂ ගායිකාවක් බවට පත්වන අතර ඇගේ දක්ෂතාවය මත රට සංචාරයක් පවා ඇයට හිමිවේ. ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද සංගීත කලාව තුළ තරුවක් බවට පියවි පත් පත්කිරීමට අභිමාන විසින් සියලු උත්සාහයන් සහ මග පෙන්වීම් කරනු ලැබේ. එහිදී අභිමාන සහ පියවි අතර ආදර සම්බන්ධතාවයක් ඇතිවන අතර අභිමානගේ සහකාරිය ලෙස පියවි තෝරාගනී. ඒ සඳහා උවිඳුගේ හා දෙව්ලිගේ විරෝධතාවය එල්ල වුවද අභිමාන සිය කැමැත්ත මත පියවි තම සහකාරිය කර ගනී. කෙසේ වෙතත් අභිමාන දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානය කිරීම නිසාවෙන් ඔහුට සුව කළ නොහැකි පිළිකා රෝගයක් වැළඳෙන අතර එය පියවිගෙන් සඟවා පියවි ජාත්‍යන්තර තරුවක් දක්වා යන ගමන උවිඳුගේ සහාය ඇතිව සිදු කරනු ලබයි. චිත්‍රපටය අවසානයේ අභිමාන මියයන අතර ඔහුගේ අවසන් බලාපොරොත්තුව වූයේ පියවි ගායන ක්ෂේත්‍රයේ තරුවක් වීම හා ජාත්‍යන්තර සම්මානය දිනා ගැනීමයි.
සිනමා කෘතියේ චරිත නිරූපණය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකි චරිත කිහිපයක් පෙන්වා දිය හැකිය. ඒ ඒ චරිත ඔස්සේ ප්‍රේක්ෂක ආකර්ෂණය සඳහා සිනමා කෘතිය තුළ ජනප්‍රිය සංස්කෘතිකාංග අන්තර්ගත වී ඇති ආකාරය විමසා බැලීම වැදගත් වේ. 

අභිමාන ජයවර්ධන - හේමාල් රණසිංහ
පියවි හංසිකා - උදාරි වර්ණකුලසූරිය
උවිඳු - බිමල් ජයකොඩි
දෙව්ලි - අරුණි රාජපක්ෂ
පියවිගේ මව - මොරීන් චාරුනී
වැඩසටහන් ඉදිරිපත් කරන්නා -  සාරංග දිසාසේකර

අභිමාන ජයවර්ධනගේ චරිතය

මෙම චරිතය සඳහා රංගනයෙන් දායක වන්නේ ජනප්‍රිය නළු හේමාල් රණසිංහයග සිනමා කෘතිය පුරාවට ඇති ජනප්‍රිය සංස්කෘතික අංග ලක්ෂණයක් ලෙස සැලකෙන තරු සංකල්පය නියෝජනය කරන ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත් සුපිරි ගායන තරුවකගේ චරිතයක් ලෙස අභිමානගේ චරිතය පෙන්වාදිය හැකිය. විශේෂයෙන් ඔහුගේ ඇඳුම් විලාසිතා, කරාබුවක් පැලඳීම වැනි විලාසිතාකරණය ජනප්‍රිය සංස්කෘතිය සිනමා කෘතිය තුළ අන්තර්ගත වන අවස්ථාවක් ලෙස හඳුන්වාදිය හැකිය. එමෙන්ම තරු සංකල්පය තුළ ජනප්‍රියත්වය මත ගොඩනැගෙන ප්‍රතිරූපය මනාව නිරූපණය කිරීමට මෙම චරිතය තුළින් උත්සාහ ගෙන ඇත. එහිදී ස්ත්‍රී සාධකය තරු සංකල්පය ජනප්‍රියත්වය සඳහා ප්‍රධාන සාධකයකි. එනම් අභිමානගේ ජනප්‍රියත්වය තුළ තරුණියන් ඔහුට ආකර්ෂණය වීම ජනප්‍රිය සංස්කෘතික සාධකයක් ලෙස පෙන්වා දිය හැකිය. අභිමානව හමුවුණා නම් බදාගන්නවා යැයි පියවිගේ යෙහෙළියන් වරෙක පවසා සිටින්නේ එය මනාව ඉස්මතු කරමිනි.

         එමෙන්ම ජනප්‍රිය සංස්කෘතිය තුළ ප්‍රධාන අංගයක් ලෙස මත්පැන් හා දුම්වැටි පානය  කිරීම පෙන්වා දිය හැකිය. මත්පැන් හා දුම්වැටි පානය සඳහා යොමු වූ අභිමානගේ චරිතය තුළින් හොඳින් එය නිරූපණය කිරීමට සමත්ව ඇත. ජනප්‍රිය සංස්කෘතිය  තුල ඉංග්‍රීසි භාෂාව මිශ්‍ර වූ දේශීය භාෂා රටාවක් භාවිතා වීම සුලබ දෙයක් වන අතර අභිමානගේ චරිතය ඔස්සේ ද ඔහුගේ භාෂා විලාසය මගින් ද එය හොඳින් නිරූපණය කර ඇත්තේ ගායන ක්ෂේත්‍රයට අදාල බොහොමයක් වචන ඔහු ඉංග්‍රීසි බස මිශ්‍රව භාවිත කිරීම තුළිනි.

        එමෙන්ම සාම්ප්‍රදායික සංස්කෘතික ලක්ෂණ බොහෝවිට ජනප්‍රිය සංස්කෘතිය තුළ අභියෝගයට ලක්වෙයි. එය මනාව නිරූපණය කරන අවස්ථාවක් ලෙස පියවි විසින් වරෙක අභිමානට ස්තුති කර වැඳීමට යන අවස්ථාවේ ලැජ්ජා කරන්න එපා යැයි පැවසීම හා ප්‍රතිචාර දැක්වීම පෙන්වාදිය හැකිය. ඒ අනුව අභිමානගේ චරිතය තුළින් සාම්ප්‍රදායික සංස්කෘතික ලක්ෂණ පිළිබඳව ජනප්‍රිය සංස්කෘතිය ඇති ලැජ්ජාශීලී භාවය හා තැකීමක් නොකරන ආකාරය නිරූපණය කර ඇත.

        කෙසේ වෙතත් ජනප්‍රිය සංස්කෘතිය තරු සංකල්පය හොඳින් නිරූපණය කරන චරිතයක් ලෙස අභිමානගේ චරිතය පෝෂණය වී පැවතිය ද ඔහු තුළ ඇති සාධාරණත්වය, අවංකබව, නිහතමානී ගති පැවතුම්වලින් යුක්ත වීම, අලුත් පරපුරට නිබඳව අතහිත දෙන යොවුන් තරුවක් ලෙස නිරූපණය කර තිබීම විශේෂ කාරණයකි. ඒ  තුළින් නිර්මාණශීලීව ප්‍රේක්ෂකයා සිනමා කෘතිය සඳහා ආකර්ෂණය කරගෙන ඇති අතර සමාජයට සංදේශයක් ද ඉදිරිපත් කර ඇත. ජනප්‍රිය සංස්කෘතිය යනු මහා සංස්කෘතියේම ප්‍රගමනය ලැබූ කොටසක් බවත් එය පුද්ගලයා හා ඔහුගේ ක්‍රියාකලාපය අනුව තීරණය වන සාධකයක් බවත් හදුනාගත හැකිය.  

පියවි හංසිකාගේ චරිතය

උදාරි වර්ණකුලසූරිය විසින් පණ පොවන පියවි නම් චරිතය චිත්‍රපටය තුළ ප්‍රධාන චරිතය ලෙස ජනප්‍රිය සංස්කෘතිය මෙන්ම සාම්ප්‍රදායික ගැමි සංස්කෘතිය ද මනාව නිරූපණය කරන්නකි. විශේෂිතම කාරණාව වන්නේ මේ චරිතය තුළින් ජනප්‍රිය සංස්කෘතිය හා සාම්ප්‍රදායික ගැමි සංස්කෘතිය අතර පවතින ඝට්ටනය නිර්මාණශීලීව විදහාපානු ලබයි. ජනප්‍රිය සංස්කෘතිය තුළ ජීවත්වන බොහෝ පිරිස් ගැමි සංස්කෘතිය ලැජ්ජාශීලී පහත් එකක් යැයි සලකනු ලබයි. එමෙන්ම ජනප්‍රිය සංස්කෘතිය නියෝජනය කරන බොහොමයක් පිරිස් සාම්ප්‍රදායික සංස්කෘතිය නියෝජනය කරන පිරිස පීඩාවට ගැරහුමට ලක් කරන බව පියවිගේ චරිතය හරහා හොඳින් නිරූපණය වෙයි.

       එමෙන්ම සාම්ප්‍රදායික සංස්කෘතිය තුළින් ජනප්‍රිය සංස්කෘතියට අවතීර්ණ වීමේදී ඇතිවන වෙනස්කම් මනාව නිරූපණය කිරීමට මේ චරිතය හරහා හැකි වී ඇත. විශේෂයෙන්ම ග්‍රාමීය පරිසරයක ජීවත්වන පියවිගේ සරල ඇඳුම් පැලඳුම්, ග්‍රාමීය භාෂා රටාව, චර්යා විධි ආදී සියලු සංස්කෘතිකාංග තරු සංකල්පයත් සමග ජනප්‍රිය අංග ලක්ෂණ බවට පරිවර්තනය වේ. තරු සංකල්පයට ගැලපෙන නව විලාසිතා රටාවන්ගේ ඇඳුම්, කැප් පැලඳීම, ඉංග්‍රීසි මිශ්‍ර වූ භාෂා රටාවක් භාවිත කිරීම ආදිය තුළින් ග්‍රාමීය සංස්කෘතික ලක්ෂණ වලින් ජනප්‍රිය අංග ලක්ෂණ වලට මාරුවන අයුරු පැහැදිලි වේ. ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන තරු සංකල්පය තුළ ග්‍රාමීය ප්‍රදේශවලින් පැමිණෙන තරුණ තරුණියන් විලාසිතාකරණය තුළින් ජනප්‍රිය සංස්කෘතියට පරිවර්තනය වන බව පියවිගේ චරිතය ඔස්සේ හොඳින් නිරූපණය කර ඇත. මාධ්‍ය විසින් එය මෙහෙයවන බව ද හොඳින් ප්‍රත්‍යක්ෂ කර ඇති අතර තරු සංකල්පය සමාජය තුළ ජනප්‍රිය අංගයක් ලෙස ඇති කරනුයේද මාධ්‍යයි. ඒ අනුව ජනප්‍රිය සංස්කෘතිය ප්‍රවර්ධනය කරන්නේ මාධ්‍ය මඟින් බව හොඳින්ම පසක් වේ.

          එමෙන්ම සාම්ප්‍රදායික සංස්කෘතිය තුළින් ජනප්‍රිය සංස්කෘතිය වෙත එකවර පරිවර්තනය වීමේ දී ගැටලු රැසකට මුහුණ දෙන්නට සිදු වේ. එය හොඳින්ම පියවිගේ චරිතය හරහා ඉස්මතු වෙයි. සංස්කෘතීන් දෙක අතර පවතින පරතරය මත ජනප්‍රිය සංස්කෘතිය තුළ අතරමං වීමක් පියවිගේ චරිතය හරහා ප්‍රථමයෙන් නිරූපණය වුවද ඇයගේ උත්සාහය හා ජනප්‍රිය සංස්කෘතිය තුළ රැඳෙන ප්‍රවීණ තරුවක් වන අභිමානගේ උපකාර මත ඇය ජනප්‍රිය සංස්කෘතිය තුළ තරුවක් බවට පත්ව තම අභියෝග ජය ගැනීමත් තුළින් එය පැහැදිලිව දක්වා ඇත.
“අපි හුඟාක් දුප්පත් මිනිස්සු සර්... සිංදු කියන්න ගියේ ඉර හඳ අල්ලන්න නොවේ. ජීවිතේ ගොඩනගා ගන්න. ඒත් සර්ගේ එක වචනෙන් ඒ සේරම හුළඟේ ගහගෙන ගියා. මට දුක් සර් මගෙ ගැන බොරුවට වර්ණනා කරලා හොරෙන් අහක් කරපු එක....” යන පියවිගේ දෙබස් ඛණ්ඩය තුළින් පැහැදිලි වන්නේ ඇය තරුවක් වීමට බලාපොරොත්තු වූයේ ජනප්‍රිය වීම තුළින් තම ජීවිතයේ අභියෝග ජය ගැනීමට බවයි. ඒ අනුව පැහැදිලි වන්නේ සාම්ප්‍රදායික සංස්කෘතියට සාපේක්ෂව ජනප්‍රිය සංස්කෘතිය තුළ ඉතා ඉක්මන් ක්‍රමවේද ඔස්සේ ජනප්‍රියත්වයට පත් වීමට හැකි බවත්, කෙසේ වෙතත් ඒ තුළ සංස්කෘතික ඝට්ටන ඇතිවන බවත් ය.

        ඒ අනුව සාම්ප්‍රදායික ගැමි සංස්කෘතිය තුළින් ජනප්‍රිය සංස්කෘතිය වෙත පියනගන තරුණියකගේ චරිතයක් වන පියවිගේ චරිතය තුළින් සංස්කෘතික ඝට්ටනය මෙන්ම සංස්කෘතියේ විපර්යාසාත්මක පරිවර්තනය පිළිබඳව ඉතාමත් නිර්මාණශීලීව නිරූපණය කිරීමට ආදරණීය කථාවක් චිත්‍රපටය තුල හැකි වී ඇත. ඒ සඳහා විලාසිතාකරණයේ හා භාෂාවේ වෙනස්වීම් පැහැදිලිවම සාක්ෂි දරයි.

උවිඳුගේ චරිතය

අභිමානගේ මිතුරා ලෙසත් ඔහුගේ කළමණාකරු ලෙසත් සිනමා කෘතිය තුළ උවිඳුගේ චරිතය සඳහා රංගනයෙන් දායකත්වය ලබා දෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පී බිමල් ජයකොඩි මහතාය. අභිමානගේ සියලු කටයුතු කළමනාකරණය කිරීම මෙන්ම පියවි තරුවක් ලෙස ගායන ක්ෂේත්‍රයට පැමිණීමෙන් පසුව ඇයගේ වැඩ කටයුතු කළමනාකරණය කරනු ලබන්නේ ද උවිඳු විසිනි. උවිඳුගේ චරිතය ද ජනප්‍රිය සංස්කෘතිය නියෝජනය කරන චරිතයක් ලෙස හඳුන්වාදිය හැකිය. ජනප්‍රිය සංස්කෘතිය තුළ අන්තර්ගත වන රෙස්ටුරන්ට් වෙත යාමේ සංස්කෘතිය, එකිනෙකා සමග කතා කිරීම සඳහා රෙස්ටුරන්ට් ගොස් කෝපි පානය කරන අතරතුර සතුටු සාමීචියේ යෙදීම වැනි අංග ලක්ෂණ ගණනාවක් උවිඳුගේ චරිතය තුළින් නිරූපණය කර ඇත. විශේෂයෙන් ඇඳුම් විලාසිතා හා කරාබු පැළඳීම තුළින් උවිඳුගේ චරිතය තුළ ජනප්‍රිය සංස්කෘතික අංග ලක්ෂණ නිරූපණය කර ඇත. එමෙන්ම ඔහුගේ භාෂා රටාව බෙහෙවින්ම අභිමානගේ  චරිතයට සමාන ආකාරයෙන් යොදාගෙන පැවතීම ද විශේෂිත කාරණයකි.

දෙව්ලිගේ චරිතය

අරුණි රාජපක්ෂ විසින් පණපොවන මෙම චරිතය ප්‍රධාන වශයෙන්ම චිත්‍රපටය තුළ ජනප්‍රිය සංස්කෘතිය තුළ ජීවත්වන චරිතයක් ලෙස ගොඩනැංවීමට තිර රචකයා හා අධ්‍යක්ෂවරයා කටයුතු කර ඇත. ඊට ප්‍රධානතම හේතුව වන්නේ ජනප්‍රිය සංස්කෘතිය ගොඩනැංවීමේ හා ප්‍රවර්ධනය කිරීමේදී වැදගත්ම සාධකයක් වන මාධ්‍ය ක්ෂේත්‍රයේ මාධ්‍යවේදිනියක් ලෙස එම චරිතය නිරූපණය කර තිබීමයි. ශරීරය පෙනෙන සේ ඇඳුම් ඇඳීම, කොන්ඩ විලාසිතාව, විශාල කරාබු පැළඳීම වැනි විලාසිතාකරණයට ලැදි චරිතයක් ලෙස මෙම චරිතය පෙන්වා දී ඇත.
          එමෙන්ම ජනප්‍රිය සංස්කෘතිය විසින් ගොඩනංවන ලද සංස්කෘතික අංගයක් ලෙස තත්ත්වය හා ප්‍රතිරූපය පෙන්වාදිය හැකිය. දෙව්ලිගේ චරිතය තමන්ගේ තත්ත්වය පිළිබඳ ජනප්‍රිය බවක් හා උසස් බවක් මවා ගනිමින් සිටින චරිතයකි. ජනප්‍රිය සංස්කෘතිය තුළ ප්‍රධාන ලක්ෂණයක් ලෙස හඳුනාගත හැකිය.

       ජනප්‍රිය සංස්කෘතිය තුළ කුමන හෝ ආකාරයෙන් ජනප්‍රියතාවය ලබා ගැනීමට උත්සාහ කිරීම ලක්ෂණයකි. එය හොඳින් නිරූපණය වන අවස්ථාවක් ලෙස තම මාධ්‍ය ආයතනයේ ගීත තරඟ වැඩසටහනින් ඉවත් කරන ලද පියවි ජනප්‍රිය වූ පසු නැවත එම මාධ්‍ය තුළම වැඩසටහනක ගීත ගායනය සඳහා එක්කර ගැනීමේ සිද්ධිය පෙන්වාදිය හැකිය.

         ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රධාන හා නවතම අංගයක් වන තරු සංකල්පය අවස්ථාවට ගැළපෙන ලෙස ජනප්‍රිය බව උදෙසා නිර්මාණය කරන්නක්, ගොඩනගන්නක් බව දෙව්ලිගේ චරිතය තුළින් පැහැදිලි වේ. පියවි ගීත වැඩසටහනින් ඉවත් කළ පසු අභිමාන විසින් එය දෙව්ලිගෙන් විමසීමේදී ඇය පවසා සිටින්නේ “මේවා ඍැ්කසඑහ ීයදඅත්‍ව ඒක  සාමාන්‍ය දෙයක්” යනුවෙනි. ඒ තුළින් එය වඩාත් පැහැදිලි වන අතර ජනප්‍රිය සංස්කෘතිය තුළ සියලු දේ වාසිය හා ජනප්‍රියතාවය වෙනුවෙන් සිදු කරනු ලබන බව පෙන්වා දී ඇත.

            මීට අමතරව පියවිගේ මවගේ චරිතය තුළින් සාම්ප්‍රදායික ගැමි සංස්කෘතික ලක්ෂණ ඉස්මතු වන අතර වැඩසටහන් ඉදිරිපත් කරන්නා ලෙස රංගනයෙන් දායකවන සාරංග දිසාසේකරගේ චරිතය තුළින් ජනප්‍රිය සංස්කෘතිය නියෝජනය කරන මාධ්‍යවේදියෙකුගේ ලක්ෂණ නිරූපණය කර ඇත.

            සමස්ථයක් ලෙස ආදරණීය කතාවක් සිනමා කෘතිය තුළ චරිත නිරූපණය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන්නේ ප්‍රධාන වශයෙන් ම තරුණ තරුණියන්ගේ ආකර්ෂණය දිනා ගැනීමේ අරමුණින් ජනප්‍රිය සංස්කෘතියට ගැළපෙන ලෙස චරිත හා සිද්ධි ගොඩනංවා ඇති බවයි. එහිදී ජනප්‍රිය සංස්කෘතියේ නව ප්‍රවණතාවක් ලෙස සැලකෙන තරු සංකල්පය මුල් කර ගෙන ඇත. එමෙන්ම විලාසිතාකරණය, භාෂාව, චර්යා රටා, ආකල්ප, සිතුම් පැතුම්, ආචාරධර්ම, පරිසරය වැනි සියලු සංස්කෘතික සාධක ඔස්සේ සාම්ප්‍රදායික හා ජනප්‍රිය සංස්කෘතීන් අතර පවතින ඝට්ටනය හා එම සංස්කෘතීන් අතර පවතින විෂමතාවයන් හා පරිවර්තනයට ලක්වීම් පිළිබඳව ඉතා නිර්මාණශීලීව ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කර ඇති බවයි. එහිදී ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීම උදෙසා ජනප්‍රිය සංස්කෘතියේ අංග ලක්ෂණ සඳහා වැඩි නියෝජනයක් චරිත නිරූපණය හා සිද්ධි නිරූපණය තුළ අන්තර්ගත කිරීමට අධ්‍යක්ෂවරයා හා තිර රචකයා කටයුතු කර ඇති බව පැහැදිලි වේ.








එස්.එම්.ආර්.ජේ.නානායක්කාර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය








විනිවිද


Thursday, 25 July 2019

ජයග්‍රාහී සමුගැනීමක් දෙන්න කණ්ඩායම සැරසෙයි


ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී 6 වැනි ස්ථානයේ සිට තරගාවලිය අහවර කරමින් සිය රට බලා පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක එළිපෙත්තට පැමිණ තිබේ. ඒ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟ වන එක්දින තරගාවලියටය. තරග 3 කින් සමන්විත එම එක්දින තරගාවලියේ පළමු තරගය අද (26 වැනිදා) පස්වරුවේ දිවා/රාත්‍රී තරගයක් ලෙසින් ආරම්භ වේ. තව හෝරා කීපයකින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ප්‍රේක්ෂකයින්ට පමණක් නොව ලොව පුරා සිටින ප්‍රේක්ෂකයින්ටද සුවිශේෂී තරගයක් බවට පත්වන්නේ ලෝක පූජිත පන්දු යවන්නකු ලෙසින් නම් දරා සිටින ලසිත් මාලිංග එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන තරගය බවට මේ තරගය පත්ව ඇති බැවිනි.
බංග්ලාදේශය සමඟ පෙර පැවැති තරග වලදී මෙන් නොව හෙට පැවැත්වෙන තරගය නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ගේ ඇත්තේ වෙනදාට වඩා නැති උනන්දුවකි. වසරකට ආසන්න කාලයකට පසු ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් එක්දින ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්වීම ඇතුළු කාරණා කීපයක් එකී ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩිවීම සඳහා බලපා තිබෙන නමුත් මාලිංගගේ සමුගැනීම ඒ අතරින් ප්‍රධාන වේ.
‘යෝකර් රජු’ ලෙසින් විරුදාවලිය ලත් ලසිත් මාලිංග මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් පුරාවෘත්තයකි. ක්‍රීඩා කරන සමය තුළ ඔහු දක්වන ලද දක්ෂතා ඒ සඳහා ඕනෑවටත් වඩා උදාහරණ සපයයි. ලොව වැඩිම අවස්ථා සංඛ්‍යාවකදී කඩුලු ත්‍රිත්ව වාර්තා කර ඇති මාලිංග කඩුලු ත්‍රිත්වයකට එහා ගිය එසේත් නැතිනම් පන්දු 4 කදී කඩුලු 4 ක් දවා ගත් ලොව එකම පන්දු යවන්නා වේ. අදටත් නොබිඳී පවතින එම සුවිශේෂී වාර්තාවේ හිමිකරු වන මාලිංග සිය වසර 16 ක එක්දින දිවියට සමුදෙන තරය ජයග්‍රාහී සාදයකින් අවසන් කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව බවට පත්ව තිබේ.
ඒ පිළිබඳව කරුණු අනාවරණය කර සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නය. තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කරුණාරත්න, මාලිංගගේ සමුගැනීම සඳහා බොහෝ සාද සැලසුම් කර ඇතත් ඔහුගේ සමුගැනීම වෙනුවෙන් දිය හැකි හොඳම සාදය බවට පත්ව තිබෙන්නේ එම තරගය ජයග්‍රහණයකින් සරසාලීම බවයි. ඒ පිළිබඳව දිමුත්ගේ වචනවලින්ම නම්, “ක්‍රීඩාංගණය තුළත් ඉන් පිටතත් මාලිංගගේ සමුගැනීම වෙනුවෙන් විවිධ වැඩ සටහන් සකස් කරලා තියෙනවා. ඒත් කණ්ඩායමක් විදියට අපි හිතන්නේ ඔහුට දෙන්න පුළුවන් හොඳම තෑග්ග තමයි මේ තරගය ජයග්‍රහණය කරලා එයාගේ සමුගැනීම ජයග්‍රාහීව අවසන් කරන එක. එහෙම වුණොත් හැම දෙනාටම හිනාවෙලා ඔහුට සමුදීමේ හැකියාව තියෙනවා කියලා මං හිතනවා. එය තමයි හොඳම විදිය. අනිත් දේවල්වලට වඩා ඒ දේටයි අපි සූදානම් වෙන්නේ” යනුවෙනි.
සිය සාමාජිකයාගේ සමුගැන්ම ජයග්‍රාහී සාදයකින් අවසන් කිරීමට සත්කාරකයින් බලාපොරොත්තු තබා ඇතත් එම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ලබාදීම වළක්වා ගැනීම සඳහා තමන් ඇතුළු කණ්ඩායම පෙළ ගැසී සිටින බවත් ඒ වෙනුවෙන් දැඩි උත්සාහයක් ගනු ලබන බවත් බංග්ලාදේශ නායකයාගේ අදහස වී තිබේ.
“ඔහු ක්‍රීඩාවේ විශිෂ්ඨ තානාපතිවරයෙක්. ඔහු පන්දු යවන අයුරු දිහා බලලා කුඩා දරුවන් ගොඩක් ක්‍රීඩා කිරීමට පටන් ගෙන තියෙනවා. මට තවමත් මතකයි ඔහු පැමිණි මුල් කාලයේදී බංග්ලාදේශ මිනිස්සුන්ට ඔහු වගේ පන්දු යැවීමට උවමනා වුණා. අපි ශ්‍රී ලංකාව එක්ක ක්‍රීඩා කරන විට පවා මාලිංගගේ පන්දු යවන ඉරියව්වට සමාන පන්දු යවන්නකු දැල් පුහුණුවීම් වලට හොයා ගන්න උත්සාහ කළා. ඔහුගේ පන්දු යැවීම ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවට කොයි තරම් බලපෑඹක් කරාද කියන එක ඒකෙන් පේනවා” යැයි පවසන බංග්ලාදේශ නායකයා, “ඒ කොහොම වුණත් මේ අති විශිෂ්ඨ පන්දු යවන්නාගේ අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන ජයග්‍රහණය වැළකීම සඳහා අපේ කණ්ඩායම දැඩි උත්සාහයක් ගන්නවා” යැයිද පැවැසීය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 225 ක් නියෝජනය කර ඇති මාලිංග බිඳ හෙළා කඩුලු සංඛ්‍යාව 335 කි. එක්දින තරග අංශයේදී පිට පිට පන්දු 3 කදී කඩුලු 3 ක් දවා ගැනීම හෙවත් ‘හැට්‍රික්’ අවස්ථා 3 කට හිමිකම් කියන මාලිංග ඉහතින් සඳහන් කළ ආකාරයේ පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක් බිඳ හෙළා ඇති ලොව පළමු හා එකම පන්දු යවන්නා වේ.
(###උපුටා ගැනීමකි###)



Wednesday, 24 July 2019

2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ පනත පිළිබඳ හැඳින්වීමක්


     19 වන ආණ්ඩූක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් තොරතුරු දැන ගැනීමේ අයිතිය සහතික වුවද එය යථාර්තයක් බවට පත් වූයේ තොරතුරු දැන ගැනීම පිළිබඳව නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසුවය. තොරතුරු දැන ගැනිමේ අයිතිය බලාත්මක කර ඇත්තේ සිවිල් හා දේශපාලන අයිතියක් ලෙසින්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 අ වගන්තිය යටතේ තොරතුරු සඳහා ප්‍රවේශවීමේ අයිතිය තහවුරු කර ඇති බැවින් තොරතුරු ලබා ගැනීමේ අයිතිවාසිකම බලාත්මක කිරීම මගින් පොදු අධිකාරීවල විනිවිදභාවය සහ වගකීම් පිළිබඳ සංස්කෘතියක් ඇති කිරීමත්, එමගින් ජනතාවට යහපාලනය සඳහා වැඩි වශයෙන් සහභාගී විය හැකි සාධාරණ සමාජයක් ප්‍රවර්ධනය කිරීම මෙම පනතේ අරමුණ බව එහි පූර්විකාවේ දක්වා ඇත.

පනතේ 5 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව පොදු අධිකාරියක් සන්තකයේ, භාරයේ හෝ පාලනයේ ඇති තොරතුරු ලබා ගැනිමට අයිතියක් ඇත. ඒ අනූව,

● අමාත්‍යංශ
● දෙපාර්තමේන්තු
● සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල 
● පළාත් පාලන ආයතන 
● 25% කට වඩා කොටස් රජයට හිමි සමාගම්
● මහජන කාර්යයන් පිළිබඳව රජය සමඟ ගිවිසුමකට එළඹ ඇති පෞද්ගලික ආයතන
● රාජ්‍ය නොවන සංවිධාන 

          ආදිය මගින් පුරවැසියන්ට තොරතුරු ඉල්ලුම් කිරීමට හැකියාව පවතී.

      පනතේ 43 වන වගන්තිය යටතේ තොරතුරු යනු මොනවාදැයි පැහැදිලිව දක්වා ඇත. ඒ අනූව පහත සඳහන් ඒවායේ භෞතික ස්වරූපය හෝ ස්වභාවය නොසලකා සටහන්, ලේඛන, සංදේශ, විද්‍යුත් තැපැල්, උපදේශන, මාධ්‍ය නිවේදන, චක්‍රලේඛ, ලොග් පොත්, ගිවිසුම්, වාර්තා, පොත්, පිඔුරුපත්, සිතියම්, චිත්‍ර, රූප සටහන්, ඡායාරූප, දළ සේයාපට, ශබ්ද පටිගත කිරීම්, වීඩියෝ පට, නීති කෙටුම්පත්, පරිගණක වාර්තා හා වෙනත් ලේඛනගත ද්‍රව්‍ය සහ ඒවායේ පිටපත් තොරතුරු ලෙස දක්වා ඇත.

කෙසේ වෙතත් පනතේ 5.1 අ වගන්තියට අනූව ලබාදීම ප්‍රතික්ෂේප කළ හැකි තොරතුරු කරුණු 21ක් යටතේ සවිස්තරාත්මකව දක්වා ඇත.

● පොදු වැදගත්කමක් නොමැති අනවශ්‍ය ලෙස යම් පුද්ගලයෙකුගේ පුද්ගලිකත්වයට හානිකරන තොරතුරු
● බුද්ධිමය දේපළ පනතට ගැනෙන වාණිජ රහස් 
● රාජ්‍ය ආරක්ෂාවට හා භෞමික අඛණ්ඩතාවයට හානිවන තොරතුරු
● පුද්ගලික වෛද්‍ය වාර්තා 
● හෙළිකිරීමෙන් අපරාධ වැළැක්වීමට බාධාවක් වන තොරතුරු 
● අධිකරණයට හා පාර්ලිමේන්තුවට අපහාසවන තොරතුරු
● විභාගවලට අදාළව රහසිගතව තබාගත යුතු තොරතුරු
                                                                                      ඒ අතර කිහිපයකි.

“කෙසේ වෙතත් මහජන යහපතෙහි වැදගත්කම එම තොරතුරු හෙළිදරව් කිරීමෙන් වන හානියට වඩා වැඩිනම් එවැනි තොරතුරු සඳහා වන ඉල්ලීමක් ප්‍රතික්ෂේප නොකළ යුතු බව 5(4) වගන්තියට අනූව දක්වා ඇත.” 

සෑම පොදු අධිකාරියකම තොරුතුරු නිලධාරියෙකු හා අභියාචනා විභාග කිරීම සඳහා නිලධාරියෙකු පත් කර ඇති අතර ඔවුන් වෙතින් තොරතුරු ලබා ගත හැකිය. තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවකදී අතෘප්තිමත් වන පුරවැසියෙකුට පිළිවෙලින් අභියාචනා විභාග කිරීමේ නම් කළ නිලධාරියාට හා තොරතුරු කොමිසම වෙත අභියාචනා කළ හැකිය. එම තීරණ වලින්ද තෘප්තිමත් නොවන ඉල්ලුම්කරුවන්ට අභියාචනාධිකරණයට අභියාචනාවක් කළ හැකිවේ.

තොරතුරු දැනගැනීමේ පනතට අනුව පිහිටුවා ඇති තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ප්‍රකාශකවරුන්ගේ, කතෘවරුන්ගේ හා මාධ්‍යවේදීන්ගේ සංවිධාන, සිවිල් සමාජ සංවිධාන වලින් යෝජනාවන දේශපාලඥයින් හෝ රාජ්‍ය නිලධාරීන් නොවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත පස් දෙනෙකුගෙන් යුතු කොමිසමක් ලෙස ජනාධිපති විසින් පත් කරනු ලැබේ. තොරතුරු ඉල්ලීම් සම්බන්ධ අභියාචනා විමර්ශනය, පනත යටතේ වැරදි පිළිබඳව විමර්ශනය කිරිම හා නඩු පැවරීම හා පනත පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම ආදිය කොමිෂන් සභාවේ කාර්යයන් වේ. 


https://sinhala.dgi.gov.lk/images/pdf/2017/RTI_S_final.pdf




රිෂිත ජනිත් නානායක්කාර 
ජනසන්නිවේදන අධ්‍යයන අංශය 
කැලණිය විශ්වවිද්‍යාලය 

2020 ජනපති සොයාන පාවෙන තරුණ ඡන්ද

  2020 ජනපති සොයාන පාවෙන තරුණ ඡන්ද රට ජනාධිපතිවරණ උණුසුමකින් පෙළෙන මේ සමයේ සියලුම අපේක්ෂකයින් ජනතාවගේ සුව දුක් විමසීමට යුහුසුළු වෙති. ඔ...