දුලි තැවරුණු
අඳුරු මතකයට
සීතල පෙඟුණු ස්වරයෙන්
අවසරයි දකින්නට
විනිවිද..........
ආගන්තුක සිනහවක් විදිහටම
ගැඹුරු පතුලක
කිමිදී
අවසරයි දකින්නට
විනිවිද..........
මුසු වන
සෑම සීතල මතකයක්ම
හීනයක කිමිදෙන්නට
දෑල විහිදුනු තටු මෙන්
අවසරයි දකින්නට
විනිවිද..........
Monday, 17 June 2019
Tuesday, 11 June 2019
"තමන්ගේ මතය" කෙටිකතාව
"තමන්ගේ මතය"
කුඩා කදුවැටියක් උඩ පිහිටි ගරාවැටුණු බිත්ති හතරකින් වටවුණු නිවස දැලිකුණු තැවරීමෙන් හා කාලයක් පටන් අලුත්වැඩියා නොකළ, සායම් නොගෑ නිවසක් බව පෙනේ. සැමියා මළ ස්ත්‍රියක වන යසෝමා හා ඇගේ එකම දරුවා වන අපේක්ෂා දියණිය ජීවිතය ගෙනයන්නේ ඉතාමත් අසීරුවෙනි. පියාගේ මරණයෙන් පසු යසෝමා තම දියණියගේ අඩුලුහුඩුකම් සපයන්නේ පොහොසත් නිවසක මෙහෙකාරකම් කරමින්ය.
ලොකුනෝනා යනු එම සමාජයේම ජීවත්වන පොපියන සංස්කෘතිය දැඩිව අනුගමනය කරන ධනපති පංතියේ පවුලක අයෙකි. ඇයගේ සැමියා ලොකුහාමු වන අතර ඔවුන්ටද අපේක්ෂාගේ වයසේම පුතෙකු වේ. රජයේ කාර්යාලයක සේවය කරන ලොකුහාමු ඔහුගේ භාර්යාව තරම් දැඩිව සංස්කෘතිය අනුගමනය කරන්නෙක්වත් තම පංතිය වර්ණනා කරන්නෙක්වත් නොවේ. සමාජයේ ජීවත්වන විවිධ පුද්ගලයන් විවිධාකාරයේ ගති පැවතුම්වලින් යුක්ත වූවන්ය. මෙවැනි අය යසෝමා වැනි වැන්දඔුවන්ට නොසලකන්නේ ඇගේ ජිවිතාදර්ශය නිසාවෙනි.
යසෝමා තම දියණිය රැකගැනීමට ලොකුනෝනාගේ නිවසෙහි වැඩ කළ නමුත් ඇයට නින්දා අපහාස යනාදිය කොතෙකුත් අසන්නට ලැබෙයි. මව සමඟ යන අපේක්ෂා දියණිය ද බොහෝ අය අප්‍රසන්නව හෙළා දකින්නට පුරුද්දක් කරගෙන ඇත.
“කී සැරයක් කිව්වද? එළියේ දඟලන්න එපා කියලා, මිදුලේ දුවිලිත් පිරිලා හැමතැනම. ඇගත් රස්නෙයි වගේ.......”
“මට අමාරුවක් නෑ අම්මේ....”
මිදුලේ සෙල්ලම් කරමින් සිටින පුංචි බේබි හා අපේක්ෂා දැක ලොකුනෝනා ඉදිරියට ආවේ තරහින් කෑ ගසමින්ය.
පුංචි බේබිගේ නළලට අත තබා බැලු ලොකුනෝනා තම පුතාව ඇදගෙන ගෙට ගියේය. ඇයගේ කෑගැසීමට බියට පත් අපේක්ෂා දුවගොස් කුස්සියේ උයමින් සිටි යසෝමාගේ දැලි තැවරුණු සායේ එල්ලුනේ දැසේ කදුළු පුරවා ගනිමින්ය.
“ඇයි දුවේ මේ අඬන්නේ.....”
කියමින් මව තම දුවව වැළදගත්තේ ය.
“ඇයි අම්මේ ලොකු නෝනා අපි සෙල්ලං කරනවට අකමැති ”
“එහෙම තමයි දුව අපියි එයාලයි කවදාවත් එකට ජීවත්වෙන්න පුළුවන් අය නෙමෙයි. අපි ගෙදර ගිහින් සෙල්ලං කරමු. ”
කිසිවක් තේරුම් ගැනීමට නොහැකි වූ අපේක්ෂා නිශ්ශබ්දව කුස්සියේ බංකුවක හිද ගත්තේය. එහෙත් සාලයේ මේසෙක වාඩි වී පාඩම් කරන පුංචි බේබිව දැක හෙමින් එතැනට ඇදී ගියේ නයෙකු ඇදෙන්නාක් මෙනි. අධ්‍යාපනය ලැබිමට වත්කමක් නොතිබුණත් ඇය ඉගෙන ගැනීමට ඉතාමත් කැමැත්තෙන් සිටි නමුත් ලබාගන්නා සොචිචම් මුදලින් සාගින්න පියවා ගන්නවා මිසක අනෙක් අඩුලුහුඩුකම් පියවා ගැනීමට නොහැකි විය.
“පුංචි බේබි..... මොකද කරන්නේ..”
“මම අලුත් පොත්වල අකුරු ලියනවා”
කුස්සියේ දොරෙන් එබි බැලු යසෝමා අපේක්ෂා ළගට ගොස් අතින් ඇදගෙන විත් කුස්සියේ පුටුවෙන් වාඩි කලේ දැඩි තරහකිනි.
“කී සැරයක් කියලා තියෙනවද පුංචි බේබි එක්ක ඉන්න එපා කියලා ”
“ලොකු හාමු දැක්කනන් අපිට එළියට තමයි යන්න වෙන්නේ. මේක නිසා තමයි බඩගින්දර හරි නිවාගන්නේ... ඒකත් නැති කරන්නද හදන්නේ. ”
දැසේ කදුළු පිරුණු අපේක්ෂා කිසිවක් නොකියාම මවගේ වදන් අසා සිටින්නට විය. තරහින් පුපුරන යසෝමා, කෑම මේසෙට ගෙනයන්නට විය.
“ලොකු හාමු කෑම ලෑස්තියි.”
කෑම මේසයට පැමිණි සියලු දෙනා කෑම අනුභව කරන්නට විය. කුස්සියේ සිටි අපේක්ෂා තම මවගේ ඇගේ එල්ලී,
“අම්මේ....බඩගිනියි” කියමින් කෑ ගසන්නට වූයේය.
කිසිවක් නොඇසුනාක් මෙන් කෑම කා අවසන් කළ ඔවුන් මේසය අස්කරන්නට යැයි පැවසීය. මේසය පිළිවෙලකට අස්කළ යසෝමා තම දරුවාත් රැගෙන නිවසට ගියේ අඬමින් සිටින තම දරුවාට කිසිවක් හෝ උයා දීමේ බලාපොරොත්තුවෙන්ය. ඇතැම් අවස්ථාවල ආහාර උයා දරුවාගේ කුසගින්න පමණක් නිවා තමා කුසගින්නේ සිටින දින උදා වී නැතිව නොවේ. දුෂ්කර ජීවිතයක් ගත කරන මොවුන් මකුළුවෙකු දැල වියන්නාක් මෙන් දිනෙන් දින ජිවිකාව රැකගන්නේ සමාජයෙන් ලැබෙන නින්දා අපහාස ද විදදරා ගනිමින්ය.
තම මවට උදවු කරන අපේක්ෂා, පුංචි බේබිගේ නිවසේ වැඩවලට ද දායකත්වය සපයයි. පාසල් යන වයසේ දරුවෙකු වුවත් ඇයට පාසල් යෑමට නොහැකි වන්නේ ද සමාජයෙන් ලැබෙන ගැරහුම් හේතුවෙනි.
දිනක් පුංචි බේබි තම මවගේ ළගට විත් විමසුවේ,
“අම්මා ඇයි අපේක්ෂා ඉස්කොලේ යන්නේ නැත්තේ.”
“එයාලට ඉස්කෝලේ යන්න සල්ලි නැහැ පුතා....”
තම පරම්පරා තත්ත්වය හිස උදුම්මා ගනිමින් ලොකු නෝනා පැවසීය.
"එහෙනන් මං එයාට පාඩම් කියලා දෙන්නද." යනුවෙන් පවසද්දී රූපවාහිනියට මුහුණ ඔබාගෙන සිටි ලොකු නෝනා එක්වරම ඇස් රතු කරමින් පුංචි බේබිට රවන්නට වූහ.
“මං හැමදාම කියනවා උන් ගැන කතා කරන්න එපා කියලා ”
පුංචි බේබි කිසිවක් නොඅසා තම කාමරයේ ඇදට දුවගොස් අඬන්නට පටන් ගත්තේය. ලොකු නෝනා ද එය නොඇසෙන්නාක් මෙන් යළිත් රූපවාහිනිය නරඔන්නට වූහ.
“පුතා ඇයි අඬන්නේ. ”
කාර්යාලයේ වැඩ නිම වී නිවසට පැමිණි ලොකුහාමු තම දරුවා දෙඅතින් තුරුළු කරන් අසන්නට විය.
“ඔයාගේ හුරතලේ නිසා තමයි දරුවව හදාගන්න බැරි.”
කියමින් ලොකු නෝනා කාමරයට ඇදී ගියේ රූපවාහිනියද නිවා දමමිනි. සාලේ මේසය කොනක තිබූ රිමෝඩය බිම ඇද වැටුණේ විශාල ශබ්දයක් නගමිනි. ලොකුහාමුගේ තුරුලේ සිටි පුංචි බේබි එයට තිගැස්සී කාමරයට දිවගොස් ඇදට වැටුණේය.
නිවාඩු දිනයක් වු එදින යසෝමා හා ඇගේ දරුවා වැඩ කිරීමට ලොකුහාමුගේ නිවසට පැමිණියේ ය. පැමිණීමට මදක් ප්‍රමාද වු බැවින් ලොකු නෝනා කේන්තියෙන් ඒ මෙ අත බලමින් ඇවිදින්නට විය.
“දුවට සනීප මදි ලොකු නෝනා ඒකයි පරක්කු වුනේ ” කියමින් යසෝමා ගෞරවයෙන් පැවසීය.
“ඇයි බෙහෙත් ගත්තෙ නැද්ද..? පුංචි බේබි බඩගින්නේ ඉන්නේ ඉක්මනට උයන්න”
අපේක්ෂාගේ නළලට අත තබා බැලූ යසෝමා කෑම පිළියෙල කිරිමට සැරසුණේ ය.
හාන්සි පුටුවක හිද තම දරුවාට පාඩම් වැඩ කියා දෙමින් සිටි ලොකු නෝනා එක්වරම කුස්සිය දෙසට කන් යොමු කළේ ය. මිදුලේ පොල් ගසක වියළි පොල් ඉත්තක් බිම ඇද වැටිමත් සමඟ එහි ශබ්දය මුළු ගේ පුරාම පැතිරි ගියේ ය. එයත් සමඟම මවගේ ග්‍රහණයෙන් මිදී පුංචි බේබි ඉවතට පැන දිව්වේය.
“යසෝමා කවුද බෙරිහන් දෙන්නේ.....”
“අම්මෝ....රිදෙනවා”
කුස්සිය දෙසින් ආ කෑ ගෑසීම තව තවත් වැඩිවත්ම කේන්තියට පත් ලොකු නෝනා එක්වරම පුටුවෙන් නැගිටින්නට විය. හාන්සි පුටුවේ සෙලවිල්ලට බියට පත් කුරුල්ලන්ද ඒ මේ අත ඉගිලෙන්නට වුහ.
“අපේක්ෂට බඩෙි කැක්කුමයි කියනවා ලොකු නෝනා.”
“ඔය තරමට බෙරිහන් දෙන්නේ නැතිව ඉන්න කියනවා ගමේ උන් හිනාවෙන්න බලන්නේ ඉන්නේ. ”
කාර්යාලයේ වැඩක නියැලි සිටි ලොකුහාමු ශබ්දය ඇසී සාලයට ආවේය.
“බලන් ඉදලා හරියනවද දොස්තර කෙනෙක් ළගටවත් අරන් ගියානන් හරිනේ...” ලොකුහාමු යෝජනා කලේය.
“ඕන නැ ලොකුහාමු ”
“ඕක දොස්තරවරු හොයාගෙන යන්න ඕනි එකක්ය. ඔය මොනවාහරි හදලා දුන්නම ඇතිනේ.” කියමින් ලොකු නෝනා කීය.
“කමක් නැ ලොකු හාමු තව ටිකකින් ඇරිලා යයි.”
වේදනාව ඉවසාගත නොහැකිව අපේක්ෂා විලාප තබන්නට විය. ලොකුහාමුද කිසිවක් නොකියාම හාන්සි පුටුවට ඇල වි කල්පනා කරන්නට විය.
“අනේ මන්දා ළමයා ළතෝනි දෙනකොට බලන් ඉන්නේ කොහොම ද?”
යසෝමාට ද කිසිවක් කරකියා ගැනීමට නොහැකිව අපේක්ෂාගේ හිත සැනසවිමට කතා පවසන්නටවත්ම හාන්සි පුටුවේ වුන් හාමු පුටුවෙන් නැගිට,
“යසෝමා...,ලෑස්ති වෙයන් ඉස්පිරිතාලෙට යන්න.”
යනුවෙන් කියු හාමු කාමරය වෙතට ගොස් කමිසයක් දමාගෙන දරුවා ද රැගෙන රෝහලට ගියේ ය.
නිකටේ අතක් තබාගත් ලොකු නෝනා “වෙන දෙයක් බලනව ඇරෙන්න මොනවා කරන්න ද?” යනුවෙන් පැවසිය.
යසෝමාගේ තත්ත්වය හෙළා දකිමින් තම සංස්කෘතිය හා පරම්පරාවෙන් හිස උදුම්මවා ගෙන ජිවත්වනවා මිසක කිසිවිටෙකත් ලොකු නෝනා ඔවුන්ගේ සියලූ දේ කර දෙන්නේ යසෝමා බව නොදැනෙන්නේ මන් ද? ඒ හණ මිටි සංස්කෘතික බැදීම් වලින් හිස පුරවාගත් නිසාද?
ස්තුතිය- නිසංසලා නිරෝෂනි
රිෂිත ජනිත් නානායක්කාර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
"සිංහල අකුරු" කෙටිකතාව
සිංහල අකුරු
ළා හිරු රැස් තුරු අතරින් එබී බලමින් වටපිටාවේ මනරම් රටා මවද්දී දමයන්ති නිදිමත හැර දමා නැගී සිටියාය. තමා අවදි වීමටත් පෙර කිරි තේ කෝප්පයක් සාදා ඇඳ අසල ඇති ටීපෝව මත ගෙනත් තැබීමට අද බිංදුමති නොසිටියාය. ඒ වෙනදා මෙන් ඇගේ තනියට නොසිට බිංදුමති අත්‍යවශ්‍ය වැඩක් ඇතැයි පවසමින් ඇගේ නිවසට ගිය නිසාවෙනි.
තම එකම පුතු හංසක අකීකරු කමට විවාහයක් කරගත් දා සිට, දමයන්තිගේම වචනයෙන් කියනවා නම් නොගැළපෙන තැනකට පෑහුණු දා සිට ඔහුට මහගෙදර තහනම් විය. එදා සිට දමයන්තිගේ තනි නොතනියට සිටියේ අසල්වැසි ද්‍රවිඩ කාන්තාවක් වු බිංදුමතිය.
තුරු ලතා වල පවා වෙනදා නොමැති සුන්දරත්වයක් ඇතැයි දමයන්තිට සිතිනි. අද ඇයට සුවිශේෂි දිනයක් විය. ඒ තම එකම මුණුපුරාට අකුරු කියවන දිනය අද වූ බැවිනි. ඇගේ සිත දෙවනත් කරමින් ලැගුම්ගෙන තිබූ අමනාපය මේ වන විට කාලයාගේ වැලි තලාවෙන් තරමක් දුරට හෝ වැසීයමින් තිබුණි. මුණුපුරාගේ අකුරු කියවීමේ මංගල්‍යයටද දමයන්ති යාමට සැරසුනේ ඒ බව මනාවට පසක් කරමිනි. කල්වේලා ඇතිව ගෙන්වා ගත් මුණුපුරාගේ කේන්ද්‍රපත්‍රය බලවා නැකත් සෑදවුයේ ද දමයන්තිගේ වුවමනාවටය. හංසකගේ බිරිඳ වූ චාතුර්්‍යා එයට සමච්චලයට සිනාසුනේ “ග්‍රහයෝ දන්නා අකුරු” කියමිනි. ක්‍රිස්තු භක්තික කාන්තාවක් වු ඇය නිතරම තම සැමියාගේ මව හෙළාදකිමින් කතා කිරීමට පුරුදුව සිටියාය.
විශ්‍රාමික සිංහල ගුරුවරියක වූ දමයන්ති ඔසරිය ගත දවටා ගත්තේ වසර කිහිපයකට පසුව වූ නිසා තරමක නුහුරු බවක් ඇයට දැනෙන්නට විය. නමුත් මෙම ඔසරිය තම ගුරු දිවියේ අභිමානය ගොලු බසින් මුමුණන්නාක් මෙන් යැයි ඇයට සිතිණි.
“නෝනා අද උදෙන්ම ලේස්ති වේලා වගේ”
ඇගේ සිතුවිළි දැහන බිඳ වැටුනේ බිංදුමතිගේ හඬින්ය.
“ආ....ඔව්, නැකත් වේලාවට කලින් යන්න ඕනනේ.......”
“බිංදු කොයි වෙලේද ආවේ...”
“දැන් නෝනා, මං මේ ඊයේ මුරුක්කු ටිකක් හැදුවා නෝනට දෙන්න ඕනේ කියලා..”
ඇය විශේෂ වැඩක් ඇති බව පවසා ඇගේ නිවසට ගිය කාරණය දමයන්තිට වැටහුනේ එවිටය.
“ආ.... ඒක හොඳයි මං ගෙනියන්නම්.”
ඇය පැවසුවේ තමා ගෙනියන කැවුම් කොකිස් වලට තවත් කැවිලි වර්ගයක් එකතු වූ බව සිතමිනි. දින දෙකක් පුරාවට මහන්සි වී සෑදු කැවිලි හා වෙනත් අඩුම කුඩුම අතරේ බුදු රුවක් හා ගණදෙවි පිළිමයක් මෙන්ම සිංහල හෝඩිපොතද අසුරා ගැනීමට ඈ අමතක නොකලේ හෙළ චාරිත්‍ර අනුකූලව මුණුපුරාට අකුරු කියවීමේ අරමුණ සිතැතිවය.
“මං උඹලගෙ ගෙවල් වල පස් පාගන්නෙ නෑ.....” කියූ දමයන්ති මෙලෙස සිය පුතු බැලීමට යාම විටෙක ඇයටම පුදුමයට කරුණක් විය. නමුත් ඒ තම එකම මුණුපුරාගේ සිනහවක් හෝ තමන් මිය යාමට පෙර දැක ගැනිමට ඇය තුළ ඇති වූ ආශාව නිසා මිස තම ලේලියට සමාව දුන් නිසා නොවන බව ඈ තම සිතටම පවසා ගත්තේ හෘද සාක්ෂිය හදවතට අනිනා සියුම් කටුතුඩක් සේ ඇයට වරින් වර රිදුම් දුන් නිසාවෙනි. තම පුතු වෙනත් ආගමක කාන්තාවක් විවාහා කර නොගත්තා නම් අද තමා කෙතරම් සතුටින් දැයි ඇය තව දුරටත් සිතුවාය.
දමයන්ති උදෑසනම තම නිවසින් පිටවූයේ නැකත් වේලාවට කලින් තම පුතුගේ නිවසට යෑමේ අපේක්ෂාවෙනි. තමා අතින්ම මුණුපුරාට අකුරු කියවීමට දමයන්තිට අවශ්‍යව තිබිණි. නමුත් චාතුර්්‍යාට අවශ්‍ය වී තිබුණේ තම පුතුට ඉංග්‍රිසි භාෂාව පමණක් ඉගැන්වීමට ය. දමයන්ති වෘත්තියෙන් සිංහල ගුරුවරියක් වී සිටීමත්, තදින් කා වැදී තිබුණු පාරම්පරික අදහස් නිසාත් තම මුණුපුරාට අකුරු කියවීම තමා අතින්ම සිදු විය යුතුයැයි සිතුවාය. නමුත් චාතුර්්‍යාට නම් එය තවත් එක් සරදමක් පමණක් විය.
“පුතාට කොකොමත් ෑබටකසිය ඵැාසමප නේ අපි උගන්වන්නේ. සිංහල අකුරු කියාදීලා වැඩක් නෑ.”
චාතුර්්‍යා නිතර කියු වදනක් විය. මේ සියල්ලෙන්ම හංසකගේ හදවත රිදුම් කෑවේය. එක් පසෙක තම මව වූ අතර අනෙක් පස වූයේ තම පවුල් ජීවිතයයි. පියාගේ වියෝවෙන් පසු ඔහුද නොමැතිව තමාව උගතෙකු කිරීමට දමයන්ති නොගත් උත්සාහයක් නොමැති බව හංසක දැන සිටියේය. කලකට පසු තම මව නිවසට පැමිණීම හංසකට මහත් සතුටට කරුණක් වූයේ එහෙයිනි. නමුත් තම බිරිඳ අමනාපයක් නොපෙන්නුවද ඒ හැටි මනාපයක් ද නැතිබව හංසක හොඳින්ම දැන සිටියේය.
මව රැගෙන ඒමට හංසක බස් නැවතුම් පොළට ගියේ චාතුර්්‍යාටත් නොදන්වාමය. බසයෙන් බැස ආ දමයන්ති තරමක් සිනාවී මෝටර් රථයේ පසුපස අසුනට බර වුවද නිවසට යන තෙක්ම නිහඬතාවය මකා දැමීමට තරම් ආත්ම ශක්තියක් හංසකට නොමැති වූයේ කුඩා කළ සිටම මවට දැක්වූ අසීමිත ගෞරවය නිසා හා තමා වරදක් කලා යැයි ඇති වූ හැඟීම නිසාය.
මනාව සකස් කරන ලද කැවිලි පිරුණු මේසය සිංහල අවුරුදු කෑම මේසය සිහිකරවන්නක් විය. බුදුරුව අබියස දැල්වූ පහන්සිල සාලයට අමුතු සිරියාවක් ගෙන එන්නේ යැයි හංසකට සිතිණි. නාස්පුඩු සිපගනිමින් එන කැවුම් කොකිස් සුවඳ හංසකගේ මතකය අතීතයට ගෙන යාමට සමත් විය. තමාට අකුරු කිය වූ දිනයේ මතකයන්, බොඳ වූ රූප පෙළක් සේ ඔහු අබියස පෙනී නොපෙනී යන්නට විය.
බුදුරුව හා ගණදෙවි රූපය අසල ගාථා කියමින් වැඳ ආශිර්වාද කල දමයන්ති සිංහල හෝඩිපොත පෙරළා සිඟිති පුතු ඇකයේ හිඳවා ගත්තේ මහත් සොම්නසිනි. නැකත් වේලාව එන තෙක් බලා සිටි ඇය පුතුට සිංහල අකුරු කියා දීමට සැරසුන ද, පුතුට ඉංග්‍රිසි අධ්‍යාපනය පමණක් ලබා දීමට බලා සිටි චාතුර්්‍යාට නම් එය තවදුරටත් ඉවසන්නට හැකිවූයේ නැත.
“එන්න පුතා, අපි ඉංග්‍රිසි අකුරු කියවමු. ඕවා ඕනේ නැ..”
ඉංග්‍රිසි බසින්ම කෙරුණු විධානය හමුවේ පුතු චාතුර්්‍යාට වෙනදා මෙන් අවනත වන බවක් පෙනෙන්නට නොතිබිණි.
“නෑ, අම්මි මං ආච්චි අම්මාගෙන් සිංහල අකුරු ඉගෙන ගන්නවා. එන්න අම්මත් ආච්චිගෙන් සිංහල අකුරු අහගමු.”
සුරතල් බසින් එසේ පැවසූ පුතු චාතුර්්‍යාව මේසය අසලට රැගෙන ඒමට සැරසුනද ඇය කලේ කෝපයෙන් හඬා වැටීම පමණි. ඒ දුකට නොව ඇගේ අරමුණ ඉටුනොවූ කේන්තියට බව හංසක හොඳින්ම දැන සිටියේය. ගැහැණියකගේ කඳුලු පිරිමියෙකුගේ කේන්තිය අවුලුවාලන ඉන්ධන වුවද මව් සෙනෙහස මේ සියල්ල නිවා සනහන සිසිල් පැන් පොදක් බඳු වූ හෙයින්, කැවුමක රස බලමින්, සිංහල හෝඩිපොතේ පිටු පෙරළන තම පුතු දෙස හංසක නිහඬවම බලා සිටියේය.
නිමි.
ස්තුතිය- සදුනි නුවන්තිකා
රිෂිත ජනිත් නානායක්කාර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
Tuesday, 2 April 2019
"මාධ්‍ය දැන්වීම් සහ ජනමාධ්‍ය විසින් මාධ්‍ය දැන්වීම් යොදාගන්නා ආකාරය පිළිබඳ හැදින්වීමක්...."
මාධ්‍ය දැන්වීම් සහ ජනමාධ්‍ය විසින් මාධ්‍ය දැන්වීම් යොදාගන්නා ආකාරය පිළිබඳ හැදින්වීමක්.....
නව සියවසක අභිමුවෙහි සිටින ලොව අදවන විට විද්‍යා, තාක්ෂණ, සංස්කෘතික ආදී විවිධ වූ ඉසව් ඔස්සේ විවිධාකාර වු පෙරලියකට පත් වී ඇත. මේ තුළ ආර්ථික ක්‍රමයද වඩා පෙරලිකාර තත්ත්වයකට පත් වීම නොවැළැක්විය හැක්කකි. ඒ තුළ දී තරඟකාරී නිෂ්පාදනයන් අභිබවා යෑමටත්, තම නිෂ්පාදනයන්හි වෙළඳපොළ පිරිවැටුප වැඩිකර ගැනීමටත් විවිධ වූ ක්‍රමෝපායන් අද වනවිට සෑම නිෂ්පාදකයෙකුම භාවිතා කරනු දක්නට ලැබේ.
මෙම විවිධාකාර වූ අලෙවි උපක්‍රම අතර මාධ්‍ය දැන්වීම් කලාව ද වර්තමානයේ දී ආර්ථිකය තුළ මෙන්ම මාධ්‍ය තුළද ඉතා කේන්ද්‍රීය හා අසහාය ස්ථානයක් හිමිකොට ගෙන ඇත. අද වනවිට ජනමාධ්‍ය තුළ විවිධාකාර ස්වරූපයේ දැන්වීම් අන්තර්ගතයන් හඳුනාගත හැකිය. ප්‍රවර්ධන දැන්වීම්, දේශපාලන ප්‍රචාරණ දැන්වීම්, මහජන සේවා දැන්වීම්, රජයේ හෝ විවිධ ආයතන හා සමාගම්වල දැන්වීම්, වෙළඳ දැන්වීම් ඒ අතර වේ. සෑම ජනමාධ්‍ය දැන්වීමකම අරමුණ වන්නේ ජනතාවට තොරතුරු සැපයීම හා ඒ ඔස්සේ ජනතාව පොළඹවාලීම හෙවත් ප්‍රේරණයයි.
ජනමාධ්‍ය දැන්වීම් වර්තමාන සමාජයේ අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. විශේෂයෙන් ජනතාවගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ජනමාධ්‍ය දැන්වීම් මගින් ලැබෙන සහය අපමණය. ජනමාධ්‍ය දැන්වීම්කරණය පිළිබඳ ෆෙඞ්රික් ආර්. ගැබ්බල් මහතා විසින් සුවිශේෂි අර්ථ දැක්වීමක් සිදු කර ඇත.
“නිෂ්පාදන හා බෙදාහැරීමේ යන්ත්‍රනයේ ප්‍රධාන දෙයනම් දැන්වීමයි. යන්ත්‍ර භාවිතා කර අප භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩිකර ගනිමු. එසේම ජනමාධ්‍ය භාවිතා කර දැන්වීම් පළකිරීම අළෙවිය සීඝ්‍ර කිරීමේ විශාලතම බලවේගයයි. නිෂ්පාදන බහුල ඉහළ පරිභෝජන සහිත අර්ථ ක්‍රමයක් තුළ දී ගැනුම්කරුවන්ගේ සොයා ගැනීමේ විශාල වගකිමට උරදෙන්නේ ජනමාධ්‍ය දැන්වීම්ය.”
විශේෂයෙන් වර්තමානයේ පවතින තරඟකාරී මාධ්‍ය රටාව තුළ ජනමාධ්‍යයේ ආර්ථික තත්ත්වය මෙන්ම පැවැත්ම තීරණය කරන ප්‍රධානතම සාධකය වී ඇත්තේ වෙළඳ දැන්වීමය. මේ නිසා සෑම ජනමාධ්‍යයක්ම පාහේ දැන්වීම් අන්තර්ගතය තුළ වැඩි වශයෙන් තම අනුග්‍රාහක පාර්ශවයන්ගේ වෙළඳ දැන්වීම් විකාශය කරනු ලබයි. විශේෂයෙන් වර්තමාන ජනමාධ්‍ය දැන්ව්ම් කරණය තුළ වෙළඳ දැන්වීම් ඔස්සේ සමාජයට කරන බලපෑම අති විශාලය. එය හොඳ හෝ නරක විය හැකිය. කෙසේ වෙතත් එම බලපෑම පිළිබඳ ජනමාධ්‍ය වගකියනු නොලැබේ. අද වනවිට වෙළඳ දැන්වීම් සමාජයට කෙතරම් බලපැම් කර ඇත්දැයි යන්න,
“ලොව වෙළඳ දැන්වීමකින් තොරව මුදල් ඉපයිය හැක්කේ සල්ලි අච්චු ගසන සමාගම්වලට පමණි”යන බටහිර කියමන මගින් පැහැදිලි වේ.
වර්තමානයේ මුද්‍රිත මෙන්ම ගුවන්විදුලිය, රූපවාහිනිය වැනි විද්්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයන් තුළද දැන්වීම්කරණය බහුලවම වාණිජත්වය පදනම් කරගනී. විශේෂයෙන් බාල, මහලු, තරුණ වැනි විවිධ වයස් කණ්ඩායම්, සමාජ කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ග්‍රාහකයාගේ මනෝ විද්‍යාත්මක, සමාජයීය, සංස්කෘතික, ආර්ථීක, ආගමික, සෞන්දර්්‍යයාත්මක වැනි සාධක උපයෝගි කරගනිමින් ජනමාධ්‍ය විසින් දැන්වීම් නිර්මාණය කිරීම සිදු කරයි. දැන්වීම්කරණය කලාවක් වන අතර එය ආකර්ෂණියව ජනමාධ්‍ය තුළින් ඉදිරිපත් කරන අයුරු දැකගත හැකිය.
විශේෂයෙන් වෙළඳ දැන්වීම් තුළ ලිංගිකත්වය හා ප්‍රචණ්ඩත්වය හුවා දක්වමින් ග්‍රාහක මනෝභාවයෙන් හා හැගිම්, ආකල්ප පුබුදුවාලමින් නව අවශ්‍යතා සමාජය තුළ ඇති කිරීමටත්, ජනතාව විවිධ නිෂ්පාදන මිලදී ගැනීම සඳහා පෙළඹවීමටත්, සමාජය තුළ ජනමතයක් ගොඩනැගීමටත් වෙළඳ දැන්වීම් ඔස්සේ කටයුතු කරනු ලැබේ. උදාහරණ ලෙස lux සබන් හා black knight hair gel වෙළඳ දැන්වීම් ලිංගිකත්වය හුවා දක්වමින් නිර්මාණය වීමත්, පොඩි බඩගින්නට මන්චි සුපර් ක්‍රීම් ක්‍රැකර් යන ජනමතය සැකසීමට මන්චි ක්‍රැකර් වෙළඳ දැන්වීම ද සමත් වී තිබීම දැක්විය හැකිය.
ජනමාධ්‍ය දැන්වීම් අන්තර්ගතය තුළ වැඩි ඉඩක් හිමිවන වෙළඳ දැන්වීම් ඔස්සේ ජනප්‍රිය සංස්කෘතියේ අංග නිර්මාණය කිරීමක් සිදු කරනු ලබයි. උදාහරණ ලෙස kfc යන සංස්කෘතියක්, EGB නැතුව කෑම එපා වැනි සංස්කෘතියක් සමාජය තුළ බිහි කිරීමට ජනමාධ්‍ය වෙළඳ දැන්වීම් කටයුතු කිරීම පෙන්වාදිය හැකිය. ජනමාධ්‍ය විසින් වෙළඳ දැන්වීම් ප්‍රචාරණයේදී යොදා ගන්නා නව ප්‍රවණතාවයක් ලෙස නිවේදක නිවේදිකාවන් විසින් සජීවීව වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම දැක්විය හැකිය. උදාහරණ ලෙස හිරු fm හි DJ අරා ඇන්ඞ් පැස්බරා වැඩසටහන තුළ හා GN මහත්තයා වැඩසටහන තුළ වැඩි වශයෙන් මෙම ක්‍රමවේදය යොදා ගැනීම දැක්විය හැක.
ජනමාධ්‍ය දැන්වීම් අන්තර්ගතය තුළ වැඩි කාලයක් වෙළඳ දැන්වීම් සඳහා වෙන්කරනු ලබන අතර ඒ ඔස්සේ තම මාධ්‍ය ආයතනයේ ආර්ථිකය හා පැවැත්ම රඳවා ගැනීමට වර්තමාන ජනමාධ්‍ය කටයුතු කරනු ලබයි. හුදෙක්ම වර්තමාන ජනමාධ්‍ය වෙළඳ දැන්වීම් මත එනම් ව්‍යාපාරික ආධිපත්‍ය මත හැසිරෙන බව පෙන්වා දිය හැකිය.
ජනමාධ්‍ය දැන්වීම් අන්තර්ගතය තුළ සෑම ජනමාධ්‍යයක්ම තම මාධ්‍යයේ ප්‍රවර්ධන දැන්වීම් වලට කාලයක් වෙන් කරනු ලබයි. විශේෂයෙන් ජනතාවට සමීප වීමටත්, ජනතා ආකර්ශනය ලබා ගැනීමටත්, තම මාධ්‍යයේ වැඩසටහන් පිළිබඳව හා මධ්‍ය පිළිබඳව ප්‍රවර්ධනය කිරීම සිදු කරනු ලබයි. මේ සඳහා ගුවන්විදුලි හා රූපවාහිනී මාධ්‍ය වැඩි වශයෙන් යොමු වන අයුරු දැකගත හැකිය. තේමා පාඨයන්, තේමා ගීත ආදිය මගින් ද විවිධ වැඩසටහන් පිළිබඳ කුතුහලය ජනිත කරවන ආකර්ශනීිය කොටස් වරින් වර විකාශය කිරීම තුළින් ද ජනමාධ්‍ය තම ප්‍රවර්ධන දැන්වීම් නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කරයි. විශේෂයෙන් ගුවන්විදුලි මාධ්‍ය තුළ නිවේදක හඬින්ම ප්‍රවර්ධන දැන්වීම් ඉදිරිපත් කිරීම නව ප්‍රවණතාවක් ලෙස හඳුනාගත හැකිය.
එමෙන්ම පුවත්පත්, ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා වැනි ජනමාධ්‍ය සමූහයක් සතු මාධ්‍ය ජාලයන් තුළ තම සහෝදර නාලිකාව සහ එහි වැඩසටහන් පිළිබඳ ප්‍රවර්ධන දැන්වීම් මාධ්‍ය දැන්වීම් අන්තර්ගතයට එක් වී තිබීම වර්තමානයේ දැන්වීම් කලාවේ දැකිය හැකි සුවිශේෂි ලක්ෂණයකි. නිදසුන් ලෙස ස්වර්ණවාහිනියේ ටෙලිනාට්‍ය පිළිබඳව ප්‍රවර්ධන දැන්වීම් ශ්‍රී ත්‍ඵ හා රන් ත්‍ඵ හි ප්‍රචාරය කිරීම දැක්විය හැකිය.
ජනමාධ්‍ය දැන්වීම් අන්තර්ගතය තුළ ඇති සුවිශේෂි වැදගත් කමකින් යුතු දැන්වීම් වර්ගයක් ලෙස මහජන සේවා දැන්වීම් හඳුනාගත හැකිය. විශේෂයෙන් රජයේ නිවේදන, හදිසි නිවේදන, විවිධ සමාගම් හා ආයතන, බැංකු ආදියෙහි නිවේදන හා පණිවිඩ ආදිය ජනතාවට සමීප කරනු ලබන්නේ මහජන සේවා දැන්වීම හරහාය. උදාහරණ ලෙස මැතිවරණ සමයන් තුළ ඡන්දය ලබාදෙන අයුරු හා එහි වැදගත් කම පිළිබඳ රජයේ නිවේදන, හදිසි නිවාඩු දින ප්‍රකාශ කිරීම වැනි නිවේදන ඉදිරිපත් කරන දැන්වීම් පෙන්වා දිය හැකිය.
මීට අමතරව සමාජයේ ජනමතයක් ගොඩනැගීමේ අරමුණින් ඉදිරිපත් වන දේශපාලන ප්‍රචාරණ දැන්වීම් ජනමාධ්‍ය දැන්වීම් අන්තර්ගතය තුළ වැදගත් වේ. විශේෂයෙන් මැතිවරණ සමයන් තුළදී ජනමාධ්‍ය තුළ බහුලව ම දේශපාලන දැන්වීම් දැකගත හැකිය.
ජනමාධ්‍ය දැන්වීම්කරණය තුළ කුමන ස්වරූපයේ දැන්වීමක් වුවද ග්‍රාහකයාට සමීප වීමට ආකර්ෂණීයව නිර්මාණය කරන අතර විශේෂයෙන් වෙළඳ දැන්වීම් තුළින් ග්‍රාහකයාගේ බුද්ධියට නොව හදවතට ආමන්ත්‍රණය කර තාර්කික බුද්ධිය තුළින් නොව හැඟීම් තුළින් තීරණ ගැනීමට ග්‍රාහකයා පොළඹවනු ලබයි. ජනමාධ්‍ය දැන්වීම් අන්තර්ගතය කාලයෙන් කාලයට වෙනස් වන අතර ඒ තුළ නව ප්‍රවණතා රැසක් හඳුනාගත හැකිය. විශේෂයෙන් දෛනික සමාජයේ සිදුවන වෙනස්වීම් වලට අනුකූලව ජනමාධ්‍ය දැන්වීම් අන්තර්ගතය ද වෙනස් වේ. එමෙන්ම ඉලක්ක ග්‍රාහක කණ්ඩායම් අනුව ද දැන්වීම් අන්තර්ගතය වෙනස්වන බව හඳුනාගත හැකිය.
වර්තමානයේදී ජනමාධ්‍යයට එල්ලවන චෝදනාවක් වන්නේ දැන්වීම් බහුල වන බවත් ඒ නිසා රසවින්දනයට බාධා ඇතිවන බවත්ය. කෙසේ වෙතත් බොහෝ විද්්‍යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍යයන්ගේ වැඩසටහන්වලට සාපේක්ෂව දැන්වීම් සඳහා වෙන්කර ඇති කාලය සහ ඉඩ ප්‍රමාණය වැඩිවන බව හොඳින්ම පසක්වන සත්‍යයකි.
කෙසේ වෙතත් ජනමාධ්‍යයේ ආර්ථිකය හා පැවැත්ම තීරණය කරන ප්‍රධානතම සාධකය බවට පත් වෙමින් ජනමාධ්‍ය ක්ෂේත්‍රය හැසිරවීමට අදවන විට දැන්වීම්කරණය හෙවත් ව්‍යාපාරික ආධිපත්‍ය සමත්ව ඇත. දැන්වීම්කරණය ඔස්සේ සමාජයට විශාල බලපෑමක් සිදු වී ඇති අතර එය වැඩි වශයෙන් අයහපත් ආකාරයෙන් බලපෑම් කර ඇතැයි බොහෝ දෙනාගේ මතය වේ. කෙසේ වෙතත් ජනමාධ්‍යයට දැන්වීම්කරණයෙන් මිදිය නොහැකි නමුත් සමාජය කෙරෙහි වගකීමකින් යුතුව ආචාර ධර්ම පද්ධතියකට අනුකූලව මාධ්‍ය දැන්වීම් අන්තර්ගතය සැකසීම සෑම ජනමාධ්‍යයකම වගකීමක් විය යුතු වේ. එවිට යහපත් සමාජයක් මෙන්ම යහජන මාධ්‍ය ක්ෂේත්‍රයක් බිහි වීම නොඅනුමානය.
රිෂිත ජනිත් නානායක්කාර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
Monday, 1 April 2019
නොසුදුුසු සංවර්ධන යෝජනා නිසාවෙන් වවුල්පන රක්ෂිතය හා හුණුගල් ගුහාවේ සොබා සෞන්දර්්‍යයට බලපෑම්......
නොසුදුුසු සංවර්ධන යෝජනා නිසාවෙන් වවුල්පන රක්ෂිතය හා හුණුගල්
ගුහාවේ සොබා සෞන්දර්්‍යයට බලපෑම්.....
සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඹුරුගමුව ග්‍රාමසේවා වසමෙහි වවුල්පන නම් ග්‍රාමයේ පිහිටි සොබා සුන්දරත්වය අතින් අතිරමණීය පෙදෙසක් ලෙස වවුල්පන රක්ෂිතය හා හුණුගල් ගුහාව හඳුනාගත හැකිය.මුහුදු මට්ටමේ සිට අඩි 912 ක උසකින් පිහිටා ඇති වවුල්පන ගම්මානය රක්වාන කදුවැටියට යාව පිහිටි උසින් අඩි 1400 ක් පමණ වන බුළුතොට කඳුවැටියට අයත්ව පිහිටා ඇත. වවුල්පන හුණුගල් ගුහාවේ සිට 300m ක පමණ දුරකින් ඇඹිලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මායිමෙන්ද සීමා මායිම් වී ඇති මෙම වවුල්පන රක්ෂිතය හා හුණුගල් ගුහාව සබරගමු වරුණ විදහාපාන සුවිශේෂි සොබා සුන්දරත්වයකින් හෙබි පාරිසරික ස්ථානයකි.
දකුණු ආසියාවේ පිහිටි පැරණි හා විශාලතම හුණුගල් ගුහාව වන වවුල්පන හුණුගල් ගුහාවට ප්‍රවේශ වීමට පහසුම හා කෙටිම මාර්ගය වන්නේ පල්ලෙබැද්ද තුංතොට මංසන්ධියෙන් දකුණු දෙසට ඇති බුළුතොට මාර්ගයේ 12km ක් පමණ දුරක් පැමිණ එතැන් සිට වවුල්පන සංවර්ධන මාවතට පිවිස 03km ක් පමණ දුරක් පැමිණි පසු හුණුගල් ගුහාව පිහිටා ඇත.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වවුල්පන රක්ෂිත වනය තුළ පිහිටා ඇති මෙම හුණුගල් ගුහාව දකුණු ආසියාවේ පිහිටි පැරණිතම හා විශාලතම හුණුගල් ගුහාව ලෙස හඳුනාගත ඇත. දකුණු ආසියාවට ඇති අනෙක් විශාලතම හුණුගල් ගුහාව වන්නේ මැලේසියාවේ අග නගරය වන ක්වාලාලාම්පූර් නුවර සිට 13km ක් දුරින් පිහිටි “බතූ” ගුහා සංකීර්ණයයි. කෙසේ වෙතත් එම ගුහා සංකීර්ණය හින්දු භක්තිකයන්ගේ අණසකට යටත් වූ හෙයින් එහි ස්වභාවික ලක්ෂණ විනාශ වී ඇත. වවුල්පන හුණුගල් ගුහාව මැලේසියාවේ “බතූ” හුණුගල් ගුහා සංකීර්ණයට වඩා වැදගත්කමක් දරන්නේ එහි ජෛව සංකීර්ණතාවය අතින් තවමත් නොඉඳුල් සොබාදහමේ මහගු දායාදයක් නිසාවෙනි. වවුලන්ගේ වාසස්ථානයක් ලෙසින් ප්‍රචලිත වී ඇති වවුල්පන හුණුගල් ගුහාව පාරිසරික, භූගෝලිය හා ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් කමකින් යුතු ස්ථානයකි. 1942 දී ශ්‍රි ලංකාවේ ජාතික සිතියම සකස් කිරිමේ දී වවුල්පන ගුහාව ඇතුලත් වන පරිදි අක්කර 29 ක කැලෑ ප්‍රදේශයක් රක්ෂිත වනාන්තරයක් ලෙස වෙන්කර ප්‍රකාශයට පත්කර ඇත.
කෙසේ වෙතත් වවුල්පන හුණූගල් ගුහාව පිළිබඳව විද්වතුන්ගේ වැඩි අවධානයක් යොමු වූයේ 1977 අවධියේ පටන්ය. 1963 දි ප්‍රංශ ජාතික විද්‍යාඥයෙකු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශය සමඟ ඒකාබද්ධව මෙහි භූ විද්‍යාත්මක පසුබිම පිළිබඳව දීර්ඝ අධ්‍යනයක් සිදුකර මෙම හුණුගල් ගුහාව වසර මිලියන 500 ක් පමණ පැරණි බවට තහවුරු කොට ඇත. 1972 දි "Ceylon traveler" ග්‍රන්ථයට ලිපියක් සපයමින් ආතර් සී. ක්ලාක් මහතා ද එම කාල නිර්ණය සනාථ කර ඇත. මුල් කාල සීමාව තුළ දී වවුල්පන හුණු ගල් ගුහාව හා එහි ඇති පොසිල පිළිබඳ වැඩි වශයෙන් අධ්‍යයනය කර ඇත්තේ ආතර් සී. ක්ලාක් මහතා විසිනි. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විවිධ පුද්ගලයින් එතැන් සිට මේ දක්වා පරීක්ෂණ සිදු කෙරුණු අතර ඒ සියල්ලන්ගේ ප්‍රතිඵලයක් ලෙස රක්ෂිතය අක්කර 50 ක් දක්වා වැඩි කොට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයට නතුකොටගෙන ඇත.
වවුල්පන රක්ෂිතය සුවිශේෂී වැදගත්කමකින් යුක්ත වීමට හේතු බොහෝමයකි. ඒ අතර ලොව විශාලතම හා පැරණිතම හුණුගල් ගුහාව පිහිටීම, ලොව දෙවෙනි උසම අභ්‍යන්තර කිවුල් දියඇල්ල පිහිටීම, හල්විනි ඔය ගලා බැසීම, කිවුල් දිය උල්පත පිහිටීම ආදී ස්භාවික පාරිසරික සාධක පෙන්වාදිය හැකිය.
ඉතා දැවැන්ත වෘක්ෂ සහ වන ග්‍රහණයක් වට කරගත් වවුල්පන හුණුගල් ගුහාව මුළුමනින්ම ලියලා වැඩෙන හිරිගල් වලින් සෑදී ඇත. ඉහලින් එල්ලී ඇති හිරිලඹ සහ පහලින් ඉහලට නෙරාගිය හිරිටැඹ වලින් සැදුම්ලත් මෙම හුණුගල් ගුහාවේ පිවිසීමේ දොරටු විවරය ආසන්න වශයෙන් අඩි 18 X 15 ක ප්‍රමාණයේ වූ අතර ප්‍රධාන ගුහා විවර දෙකකින් සමන්විත වේ. මෙම ගුහාව 450m ක පමණ දිගකින් යුක්ත වේ.
මුළුමනින්ම අදුරු වූ ගුහාවේ අභ්‍යන්තරය තුළ රජවරුන් වී ඇත්තේ වවුලන්ය. වවුල්පන හුණුගල් ගුහාවේ රත් දුඔුරු ඵල වවුලා, ලොකු පත්‍ර නාස් වවුලා, දිවි වර්ණ පත්‍ර නාස් වවුලා, ස්නයි වර්ගේ පත්‍ර නාස් වවුලා, රත් දුඔුරු අස්වලාඩන් වවුලා, දිගු පියාපත් වවුලා යන වවුල් විශේෂ 06ට අයත් වවුලන් ලක්ෂ පහක් පමණ ඇතැයි සැලකේ. එසේම මෙහි සිදු කළ අධ්‍යයන වලින් හෙලි වී ඇත්තේ කිවුල් දිය ඇල්ල වැටෙන ආසන්නයේ පිහිටි “මල්වතු කාමරය” ලෙස ව්‍යවහාර කරන ගුහාව වවුලන්ගේ තිඹිරිගෙය බවත්, වැල්ලවාය ප්‍රදේශයේ ජීවත්වන වවුලන් ද පැටව් බිහි කිරීම සඳහා වවුල්පන ගුහාවට පැමිණෙන බවත්ය. වවුලන්ගේ පාරාදීසයක් වු මෙම ගුහාව වවුල් වසුරු තට්ටු වලින් පිරී ඇත.
වවුල්පන ගුහාවේ මධ්‍යයට වන්නට සුවිශේෂි දිය ඇල්ලක් දැකගත හැකිය. අඩි 60ක් පමණ උසකින් යුතු මෙම දිය ඇල්ල ලංකාවේ උසම අභ්‍යන්තර දිය ඇල්ල වන අතර ලෝකයේම දෙවෙනි උසම අභ්‍යන්තර කිවුල් දිය ඇල්ල ලෙස හදුන්වයි. මෙහි සුවිශේෂි හා විශ්මය ජනක ලක්ෂණය වන්නේ මෙම අභ්‍යන්තර දිය ඇල්ල වසර පුරා ඒකාකාරව පැවතීමයි. දියඇල්ලේ ජල ධාරිතාවේ අඩු වැඩි වීමක් සිදු නොවන අතර එයට ගුහාව පිහිටි වවුල්පන ප්‍රදේශයේ පවතින දේශගුණය බලපෑමක් නොකරන බව ගම්වාසීන්ගේ අදහසයි.
වවුල්පන හුණුගල් ගුහාවේ අභ්‍යයන්තරය සැබැවින්ම ස්වාභාවික මූර්ති නිර්මාණයන්ගෙන් සැදුම්ලත් කලාගාරයක් වැනිය. ගුහාව ආසන්නයට පෙණපිඬු නගමින් ඇඳ හැලෙන අභ්‍යන්තර දියඇල්ලෙන් විසිරෙන සිහින් දිය බිඳිති, ගුහාවේ දොරටුවෙන් ඇතුල් වී අභ්‍යන්තරයෙන් ගලා යන හල්වින්න ඔය, අදුරු හුණුගල් ගුහාව තුළ නැගෙන වවුලන්ගෙන් ශබ්දය හා විශාල ගුප්ත ඡායාවන්, වවුල් වසුරැ හා ශාක සත්ව පොසිල තැවරුණු හිරිගල් ආදිය සිතට ගුප්ත බවක් ගෙන දුන්නද එය චමත්කාර ජනක හා ආශ්වාද ජනක බවින් පිරි ඇත.
ගුහාව මාධ්‍යයයෙන් ඇද හැලෙන දිය ඇල්ල පසු කල පසු කරවටක් ගැඔුරු වවුල් වසුරු මුසු ගුහාව අභ්‍යන්තරයෙන් ගලා බසින හල්විනි ඔයෙහි ගිලෙමින් ගුහාවේ පිටවිමේ අන්තය වෙත යා යුතු වේ. අඩි 20 ක් පමණ උසකින් යුතු පිටවීමේ දොරටුව අසල ද හුණුගල් බිත්තිවල වසර මිලියන ගණනක් පැරණි ශාක හා සත්ත්ව පොසිල කොටස් සහ අවසාධිත පාෂාණ වර්ග ද දැකගත හැකිය.
හුණුගල් ගුහාවට ඉහලින් මඳ දුරක් ගමන් කිරිමේදී ගුහාව තුළ අභ්‍යන්තර දිය ඇල්ලක් නිර්මාණය කළ කිවුල් දිය දහරාව හමුවේ. මෙම කිවුල් දිය දහරාව ගුහාව තුළට ඇතුළු වන ස්ථානය ගැමියන් විසින් හදුන්වන්නේ ආඞාරය නමිනි. කිවුල් දිය දහරාවේ ප්‍රභවය ආඞාරයට අඩි සියයක පමණ දුරින් පිහිටා ඇත. මෙම කිවුල් දිය උල්පතෙහි ජලය කෙතරම් වැස්සත්, කෙතරම් පෑව්වත් එකම වේගයකින් හා පරිමාවකින් ගලා යාම විශේෂත්වයකි. ගැමියන්ගේ විශ්වාසය වන්නේ මෙම උල්පත ඉතා දුර බැහැර ප්‍රදේශයක සිට ගැඹුරු පොළවේ සිට මතුවන බවයි.
හුණුගල් ගුහාව ගවේශණය කිරීමට පැමිණෙන සංචාරකයන්ට වවුල් වසුරු සෝදා ගැනීමටත්, චර්ම රෝග සුව කරගැනීමටත් සොබා දහමෙන් ලබාදුන් දායාදයක් ලෙස මෙම කිවුල් දිය දහරාව සහ හල්වින්න ඔයේ ඇති යෝධයා කැපූ වල නමින් ගම්වාසියන් හදුන්වන ද්විත්ව පොකුණත් හදුන්වා දිය හැකිය.
ඉතා සෞම්‍ය හා සුන්දර වූ වවුල්පන රක්ෂිතය තුළ හුණුගල් ගුහාව රාජමාළිගය කරගත් වවුලන්ට අමතරව කළුවඳුරා, වල් ඌරා, තිත් මුවා, ගෝනා, ඉත්තෑවා, ඕලු මුවා, දඬුලේනා, මීමින්නා වැනි සත්ත්ව විශේෂද විෂගෝර සර්ප විශේෂද ජීවත් වේ.
එමෙන්ම පක්ෂි විශේෂ 100කට අධික ප්‍රමාණයක් ජීවත් වන අතර ආවේණික පක්ෂීන් ලෙස මොණරා, වලි කුකුළා, අලු කෑදැත්තා, හිසකළු කොණ්ඩයා, මුදුන් බොර දෙමලිච්චා, නීල කොබෙයියා, සැළලිහිණියා, ගිරා මලිත්තා, අලු ගිරවා යන පක්ෂීන් හඳුනාගෙන ඇත.
මීට අමතරව තල් කොස්සා, බුලත් හපයා, ගල් පාඬ්යා වැනි ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ ද හල්වින්න ඔයේ දැකගත හැකිය. එමෙන්ම වවුල්පන ගුහාවේ කෘමී සතුන් බොහෝ ඇති අතර එහි අඳුරට අනුවර්තනය වූ බොහෝ කෘමීන් සුදු පැහැයෙන් යුක්ත වීම විශේෂත්වයකි.
වවුල්පන රක්ෂිතය තුළ කළුවර, කළු මැදිරිය, බුරුත, මිල්ල, කොළොන්, වෑවරණ, හුළං හික්, කැටකෑල්ල ආදී ආවේණික ශාක විශේෂ 160ක් පමණ ඇතැයි සැළකේ. ඊට අමතරව දුර්ලභ වූ ශාක විශේෂයන් වන කහ බඹරු වැල්, වෙනිවැල් ගැට, කොතල හා පුස්වැල් වැනි ශාක විශේෂ මෙම රක්ෂිතය තුළ දී දැකගත හැකිය.
ලොව පැරණිතම සහ විශාලතම හුණුගල් ගුහාව, ලංකාවේ උසම අභ්‍යන්තර දිය ඇල්ල, හුණුගල් ගුහාව අභ්‍යන්තරයෙන් හා රක්ෂිතය මැදින් ගලා බසින හල්වින්න ඔය, වසරේ සෑම කාලයකම ඒකාකාරීව ගලා බසින විශ්මය ජනක කිවුල් දිය උල්පත, ලංකාවට මෙන්ම වවුල්පන රක්ෂිතයට ආවේණික වූ සත්ත්ව, කෘමී, මත්ස්‍ය හා ශාක විශේෂයන්ගෙන් ආඪ්‍ය වූ හුණුගල් ගුහාව ප්‍රමුඛ වවුල්පන රක්ෂිතය සොබා සෞන්දර්්‍යය හා පරිසරයේ චමත්කාරජනක බව විදහා දක්වමින් සබරගමු වරුණ ලොවට කියාපාන තවත් එක් සුන්දර පරිසර පද්ධතියකි.
කෙසේ වෙතත් ශ්‍රී ලාංකික අප සැමගේ වටිනා ස්වභාවික උරුමයක් වන වවුල්පන හුණුගල් ගුහාව ප්‍රමුඛ රක්ෂිත වනාන්තරයේ සොබා සෞන්දර්්‍යය මේ වන විට විවිධ මානව ක්‍රියාකාරකම් හා නොසුදුසු සංවර්ධන යෝජනා හේතුවෙන් අභියෝගයකට ලක්විෙමින් පවතී. විශේෂයෙන් පළාත් පාලන ආයතන හා වෙනත් සංවිධාන මගින් සිදු කරන සංවර්ධන කටයුතු මෙහි ඉදිරි පැවැත්ම හා ස්වභාවිකත්වය කෙරෙහි සෘජුවම බලපා තිබේ.
පසුගිය කාල සමයේ කොළොන්න ප්‍රාදේශීය සභාව මගින් සූර්යය ශක්තිය උපයෝගී කොට ගුහාව තුළ විදුලි බුබුළු දැල්වීමේ සංවර්ධන වැඩපිළිවෙලක් සිදු කළ අතර එහි ප්‍රතිඵලය වූයේ හුණුගල් ගුහාවේ වෙසෙන වවුලන් ඔවුන්ගේ පාරාදීසය හැර යෑම වලක්වාලිය නොහැකි වීමයි. පසුව විදුලි සැපයුම් ඉවත් කළ ද එහි අනිසි ප්‍රතිඵල අදටත් දැකගත හැකිය. ගුහාව ගවේශණය කිරිමේ පහසුව තකා මෙවැනි සංවර්ධන ක්‍රියාදාමයන් සිදු කළ ද එහි ස්වභාවිකත්වය සහ අයිතිකරුවන් විනාශ කර එය නැරඹීමේ ඵලය කිමද? එය ලංකාවේ තිරසාර සංවර්ධනය පිළිබඳ හා ස්වභාවික ස්ථාන සංරක්ෂණය පිළිබඳ වගකිව යුත්තන්ගෙන් ඇසිය යුතු පැනයකි.
එමෙන්ම හුණුගල් ගුහාවට ප්‍රවේශ වීම සඳහා කිවුල් දිය උල්පත විනාශ වන අයුරින් මාර්ගයක් නිර්මාණය කිරිමට සැලසුම් කර ඒ සඳහා පදනම දමා තිබුණද ගම්වාසීනගේ දැඩි වීරෝධය නිසාවෙන් එය අතරමැද නවතා තිබේ. ඉතා විශ්මයජනක ඒකාකාරී ජල පරිමාවකින් ගලා යන කිවුල්දිය උල්පත විනාශ වී ගියහොත් ලංකාවේ උසම අභ්‍යන්තර දියඇල්ල ද විනාශ වීම නියතය. එමෙන්ම ගුහාව තුළ ලියලා වැඩෙන හිරිලඹ සහ හිරිටැඹ නිර්මාණය වන්නේද නැත. මන්ද ඒවා සකස් වන්නේ කිවුල් ජලය නිසාවෙනි. ඒ නිසා මෙම උරුමයන් විනාශ වුවහොත් ලොව එකම ස්ථානයකින් දැකිය හැකි මෙවැනි විශ්මයජනක උරුමයන් අපට සදා අහිමිවනු ඇත.
“ඔය හුණුගල් ගුහාවයි-මේ කැළැවයි හින්ඳා තමයි මේ පළාතේ පාරක් තොටක් වුණත් හැදෙන්නේ නැත්තේ.... එහෙම ගත්තම අපිට මේක සම්පතක් නොවේ....” මෙය වවුල්පන ගම්වාසීන් අතලොස්සකගේ ඉඳ හිට මුවින් පිටවන අදහසකි. මේ ඔවුන් විඳින දුෂ්කරතා නිසාවෙන් මුවින් පිටවන වදන් මිස සැබැවින්ම මුවින් පිටවන වදන් නොවේ. වවුල්පන ගම්වාසීන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුව වන්නේ මාර්ග හා ප්‍රවාහන පහසුකම් දුෂ්කර වීමයි. ගම්වාසීන්ගේ මෙම චෝදනා වලට වගකිව යුත්තේද පාලන අධිකාරියයි. මන්ද ස්භාවික උරුමයන් ආරක්ෂා කර ගනිමින් සුදුසු සංවර්ධන යෝජනා ඔස්සේ තිරසාර සංවර්ධනයක් ඇති කිරීමට පියවර නොගැනීමයි. විශේෂයෙන් සංචාරක ආකර්ෂණය දිනාගත් පාරිසරික පද්ධතියක් වන වවුල්පන රක්ෂිතය ආරක්ෂා කර ගැනීමට නම් තිරසාර සංවර්ධන ක්‍රියාදාමයන් ඔස්සේ සංරක්ෂණ කටයුතු සිදු කිරීම අතිශයින් වැදගත් වේ.
මීට අමතරව නිති විරෝධි මැණික් ගැරීම රක්ෂිතය පුරාම දැකගත හැකිය. මේ නිසාවෙන් දීර්ඝ කාලයක් පුරා පැවැති හුණුගල් විනාශ වීමට ලක්වේ. එමෙන්ම දැව ජවාරම් කරුවන් විසින් රක්ෂිතයේ ඇති වටිනා ශාක විශේෂ කපා විනාශ කරන අතර මේ නිසා රක්ෂිතයේ ඇති දුර්ලභ ශාක විශේෂ පවා විනාශ වී යාමට පටන්ගෙන ඇත. මේ නිසා රක්ෂිතය දැව ජාවාරම්කරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වැඩි අවධානයක් යොමු වීම වැදගත් වේ.
වවුල්පන හුණුගල් ගුහාව ප්‍රමුඛ රක්ෂිතය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ විවිධ ක්‍රියාවන් නිසාවෙන් එහි ස්වභාවිකත්වයට හානි පමුණුවයි. විශේෂයෙන් ඔවුන් රැගෙන එන මත්පැන් බෝතල් ,ටින්, පොලිතින් මලු ආදිය හල්වින්න ඔයට දැමීම, ගුහාව තුළ දමා යාම හා රක්ෂිතයේ තැන තැන දමා යාම තුළින් එහි ඇති පරිසර සුන්දරත්වය විනාශ වෙමින් පවතී.
තිරසාර සංවර්ධන වැඩපිළිවෙලක් නොමැති වීම හේතුවෙන් එක් එක් අයගේ උවමනා එපාකම් නිසාවෙන් සිදුකරන නොසුදුසු සංවර්ධන සැළසුම් නිසාත්, මැණික් ගරන්නන්ගේ හා දැව ජාවාරම්කරුවන්ගේ ක්‍රියා නිසාත්, සංචාරකයන්ගේ නොසැළකිලිමත් බව නිසාත් සිදුකරන අනිසි ක්‍රියාවන් හේතුවෙන් වවුල්පන හුණුගල් ගුහාව ප්‍රමුඛ වන රක්ෂිතයේ සොබා සෞන්දර්්‍යය දැඩි අවධානම් තත්ත්වයකට මුහුණපා තිබීම ප්‍රබල පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇත.
සොබාදහම මාතාව විසින් ශ්‍රී ලාංකික අප සැමට දායාද කර දුන් ස්වභාවික උරුමයක් හා සම්පතක් වන වවුල්පන හුණුගල් ගුහාව ප්‍රමුඛ රක්ෂිතය ආරක්ෂා කර ගැනීමට නම් වැඩි අවධානයක් ඒ පිළිබඳ යොමු කර එහි සංරක්ෂණ තත්ත්වය ඉහළ මට්ටමකට ගෙන ආ යුතුය. එය කඩිනම් විය යුතුය. නැතහොත් අප සතු ජාතික ස්වභාවික උරුමයක් මුළු මහත් ලෝකයේම අනාගත පරපුරට අහිමි වී යනු නියතය.
රිෂිත ජනිත් නානායක්කාර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
Subscribe to:
Posts (Atom)
2020 ජනපති සොයාන පාවෙන තරුණ ඡන්ද
2020 ජනපති සොයාන පාවෙන තරුණ ඡන්ද රට ජනාධිපතිවරණ උණුසුමකින් පෙළෙන මේ සමයේ සියලුම අපේක්ෂකයින් ජනතාවගේ සුව දුක් විමසීමට යුහුසුළු වෙති. ඔ...
-
ශ්‍රී ලංකාවට රූපවාහිනිය පැමිණීම ශ්‍රී ලංකාවට ගුවන්විදුලි මාධ්‍ය සාම්ප්‍රාප්තිය වී බොහෝ කලක් යන තුරුම රූපවාහිනී මාධ්‍යයේ ආගමනය සිදු වූ...
-
නිෂ්පාදකයා හා පාරිභෝගිකකයා යන දෙපාර්ශවයටම ලාභ අත්වන, දීර්ඝකාලීන පැවැත්ම තහවරු වන, හොඳ හිත වර්ධනය වන, අඛණ්ඩ සබඳතාවන් වර්ධනය කරගැනීමේ ක්‍රිය...
-
රූපවාහිනී මාධ්‍යයේ ඉතිහාසය,විකාශනය සහ වර්ධනය වර්තමානය වන විට රූපවාහිනී මාධ්‍ය අනෙතකුත් ජනමාධ්‍යන් අභිභවා යමින් ප්‍රබල ජනමාධ්‍යයක් බවට ...


