Monday, 24 June 2019

දැන්වීම්කරණය

දැන්වීම්කරණය

          දැන්වීම්කරණය යන්න මෑත ඉතිහාසයේ ඉතා කේන්ද්‍රීය වැදගත්කමක්, ප්‍රචලිත බවක් හිමි වූ සාධකයකි. දැන්වීම්කරණය හා සම්බන්ධව දිගු ඉතිහාසයක් පවතී. එය මානව ඉතිහාසයේ මුූලාරම්භය දක්වා දිවයන්නකි. දැන්වීම්කරණය යනු යම් ක්‍රියාවලියක්, සිද්ධියක්, භාණ්ඩයක් ගැන බහුතරයක් පිරිස දැනුවත් කිරීම හා ඒ සඳහා පෙළඹවීමක් ඇති කිරීම සඳහා උපයෝගී කරගන්නා ප්‍රචාරණ සන්නිවේදන විධික්‍රමයක් ලෙස සංක්ෂිප්තව විග්‍රහ කළ හැකිය.

          දැන්වීම් යනු පුළුල් සංකල්පයකි. එය වෙළඳ දැන්වීම් වලට පමණක් සීමා නොවේ. ඉන් ඔබ්බට විහිදී ගිය විශාල පරාසයක් පුරා විසිරුණු ක්ෂේත්‍රයක් දැන්වීම්කරණය යනුවෙන් හඳුනාගත හැකිය. දැන්වීමක මූලික අරමුණ වන්නේ කිසියම් දෙයක්, කරුණක් පිළිබඳ ව ග්‍රාහකයා හෙවත් ඉලක්ක ප්‍රජාව දැනුවත් කිරීමයි.
           ප්‍රධාන වශයෙන් අරමුණ අනුව දැන්වීම් කොටස් දෙකක් යටතේ වර්ග කළ හැකියි.
                          1. වෙළඳ දැන්වීම්
                          2. වෙළෙඳ නොවන දැන්වීම්

     වර්තමාන මාධ්‍ය ක්ෂේත්‍රය තුළ වැඩි වශයෙන්ම දැකගත හැකි වන දැන්වීම් ලෙස වෙළද දැන්වීම් හඳුන්වාදිය හැකිය. වාණිජ අරමුණු අනුව ඉදිරිපත්වන දැන්වීම් වෙළඳ දැන්වීම් ලෙස සරලව අර්ථ දැක්විය හැකිය. වර්තමානය වන විට ආගම, ජාතිය, පුද්ගල ප්‍රතිරූපය ආදී විවිධ සාධක නිර්මාණශීලීව යොදා ගනීමින් වෙළඳ දැන්වීම්කරණය කලාවක් ලෙසින් වර්ධනය වී ඇත. තාක්ෂණික දියුණුව එහිදී කැපීපෙනෙන ලක්ෂණයක් බවට පත්ව ඇත.

       සමාජ අභිවෘද්ධිය තකා ඉදිරිපත් කරන වාණිජ අරමුණු වලින් තොර දැන්වීම් වෙළඳ නොවන දැන්වීම් ලෙස හැඳින්විය හැකිය. රජය විසින් ඉදිරිපත් කරන තොරතුරු, මැතිවරණ දැන්වීම්, ඩෙංගු, ඒඞ්ස්, වකුගඩු රෝග උවදුරු වළක්වා ගැනීම උදෙසා ඉදිරිපත්වන දැන්වීම්, සෞඛ්‍ය සායන, සමාජ සුබසාධන කාර්යය ආදිය පිළිබඳ ඉදිරිපත් කරන දැන්වීම් මේ යටතට ගැනේ.  කෙසේ වෙතත් අද වන විට  වාණිජ දැන්විම් වුවද සමාජ වගකීම් පිළිබද දැන්වීම් ස්වරූපයෙන් නිර්මාණශීලීව ඉදිරිපත් කරමින් වාණිජ අරමුණු ඉටුකකර ගනී.

          දැන්වීම්කරණය තුලින් බලාපලාපොරොත්තු වන ප්‍රධාන කාරණා කිහිපයක් හඳුනාගත හැකිය.

* නව භාණ්ඩයක් හෝ සේවාවක් පිළිබඳ ජනතාවට හඳුන්වාදීම.
* භාණ්ඩයක් හෝ සේවාවක් ප්‍රවර්ධනය කිරීම හා ප්‍රචාරණය කිරීම.
* වෙනත්  නිෂ්පාදනයන්ට වඩා තම භාණ්ඩයේ හෝ සේවාවන්ගේ ඇති විශේෂතා, වාසි සහගත බව                    පෙන්වීම.
* පාරිභෝගික අවශ්‍යතා නිර්මාණය කිරීම හා ඒ ඔස්සේ තම නිෂ්පාදනයන් අලෙවි කිරීම.
* පාරිභෝගික අවශ්‍යතා සපුරා ගැනීමට පහසු කර කරවීම.
* පාරිභෝගිකයාගේ ආකර්ෂණය දිනා ගැනීම.
* ආයතනවල ප්‍රතිරූපය වර්ධනය කරගැනීම.
* ජනතාවට තොරතුරු, සංදේශ සන්නිවේදනය කිරීම.

         අතීතයේ සරල ක්‍රමවේද ඔස්සේ ඇරඹි දැන්වීම්කරණය වර්තමානය වනවිට තාක්ෂණික දියුණුව ඔස්සේ නිර්මාණශීලී දැන්වීම් කලාවක් ලෙස වර්ධනය වී සමාජයට හිතකර මෙන් අහිතකර ආකාරයෙන්ද බලපෑම් කරමින් පවතී.

1.1 දැන්වීම්කරණයේ විකාශනය

         දැන්වීම් නිර්මාණය වීම අද ඊයේ සිදු වූවක් නොව මීට වසර දහස් ගණනකට පෙර යුගයේ මානවයාගේ විකාශනයේ ආරම්භක කාලයේ පටන් විකාශනය වෙමින් පැවත එන්නකි. මානව පරිණාමය සිදු වූ එක් එක් යුගයන් තුළ ඒ හා සම්බන්ධව දැන්වීම්කරණය ද ඒ ඒ යුගවල පැවති තාක්ෂණික දියුණුව හා මානව අවශ්‍යතා මත නිර්මාණශීලීව විකාශනය වෙමින් පැවත එන ලදී. ඒ අනුව දැන්වීම්කරණයේ විකාශනය අවධීන් හයක් යටතේ විග්‍රහ කළ හැකිය.

     1. ප්‍රාථමික අවධිය
     2. කණ්ඩායම්, සමූහ ඇතිකර ගැනීමේ අවධිය
     3. රාජ්‍ය මූලික අවධිය
     4. ජනමාධ්‍ය බිහිවීම
     5. පෞද්ගලික හා රාජ්‍ය අංශයේ නැගීම
     6. නව මාධ්‍ය බිහිවීම

ප්‍රාථමික අවධිය


        ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා තනි තනි වශයෙන් සිටි මුල් කාලයේ තම ආහාර, ඇඳුම් පැළඳුම්, ලිංගික අවශ්‍යතා ආදිය සපුරා ගැනීම සඳහා අන් අය සමඟ සන්නිවේදනය කිරීමට යොදා ගන්නා ලද්දේ සංඥා, සංකේත, ඉඟි ආදියයි. ප්‍රාථමික අවධිය තුළ සන්නිවේදනය සඳහා යොදාගත් එවැනි ක්‍රම දැන්වීම්කරණයේ මූල බීජයන් ලෙස හඳුනාගත හැකිය. ඒ අනුව මානවයාගේ ආරම්භයේ සිටම ඔහු යොදාගත් සන්නිවේදන විධි ඔස්සේ දැන්වීම්කරණයේ ආරම්භය සිදුවී ඇති බව පැහැදිලි වේ.

කණ්ඩායම්, සමූහ ඇතිකරගැනීමේ අවධිය

          මානව පරිණාමයේ සුවිශේෂී අවධියක් ලෙස සමූහයක් ලෙස ගෝත්‍ර වශයෙන් එකතු වීම දැක්විය හැකිය. “නියැන්ඩර්තාල් මානවයා“ සමූහ වශයෙන් වාසය කිරීමට පෙළඹුණ අතර ගල්ගුහාවල වාසය කරන ලදී. එහිදී ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා එකිනෙකා විවිධ ශබ්ද, සංකේත ආදිය යොදා ගන්නා ලදී. ඒ සඳහා නිදසුන් ස්පාඤ්ඤයේ අල්ටමීරා, ප්‍රංශයේ ලැස්කෝ ආදී ලෙන් වලින් හමු වී ඇත. මේ අවදිය තුළ ප්‍රධාන වශයෙන්ම චිත්‍ර මගින් හා නර්තනය, රංගනය මගින් සන්නිවේදනය කරන ලද අතර ඒ ඔස්සේ සෙසු පිරිස දැනුවත් කරන ලදී. ඒ අනුව දැන්වීම්කරණයේ මූලික අවධීන් අතර ඉතා වැදගත් අවස්ථාවක් ලෙස ගුහා තුළ චිත්‍ර ඇඳීම සහ රංගනයෙන් අදහස් පළ කිරීම දැක්විය හැකිය.
        ප්‍රාථමික අවධිය හා මානවයා සාමූහික වශයෙන් ගොඩනැඟුණු අවධිය තුළ සංඥා, සංකේත, ඉඟි, චිත්‍ර, නර්තනය ආදී සන්නිවේදන ක්‍රම සෙසු අය දැනුවත් කිරීම සඳහා යොදාගෙන ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ මානවයාගේ මුල් සන්නිවේදන ක්‍රම ඔස්සේ එනම් සාම්ප්‍රදායික ක්‍රම ඔස්සේ දැන්වීම්කරණයේ ආරම්භය සිදුව ඇති බවයි. 

රාජ්‍ය මූලික අවධිය

        මානව පරිණාමයේ වැදගත් දියුණු යුගයක් ලෙස ජනතාව රජු වටා එක්වුණු රාජ්‍ය මූලික අවධිය හඳුන්වාදිය හැකිය. මෙම යුගයේ සියලු තීරණ රජු මූලිකව ගන්නා ලදී. මේ අවධියේ අණබෙර ගැසීම, හසුන්පත් සන්දේශ යැවීම, කට කතා, කැලෑ පත්තර ආදිය සන්නිවේදන ක්‍රම ලෙස යොදා ගන්නා ලදී. විශේෂයෙන් රාජ්‍ය නිවේදන දැනුම් දීම සඳහා අණබෙර ගැසීම සිදුකළ අතර රාජ්‍යයන් දෙකක් අතර සන්දේශ, හසුන්පත් මගින් පණිවිඩ හුවමාරු වීම ආදිය මගින් ප්‍රජාව දැනුවත් කරන දැන්වීම් ක්‍රමවේදයක් පැවතිණි. ඒ අනුව දැන්වීම්කරණයේ වර්ධනීය ලක්ෂණ ඉස්මතු වූ යුගයක් ලෙස රාජ්‍ය මූලික අවධිය හැඳින්වීම වරදක් නොවේ.

             විශේෂයෙන් මේ අවධිය තුළ රාජ්‍ය පාලන තන්ත්‍රය වටා ගෙතුනු දැන්වීම් ක්‍රමවේදයක් පැවතිණි. යුදමය අවස්ථාවල, ආගමික නිර්මාණයන් ඉදිකිරීම් හා රාජ්‍ය අනුග්‍රහයන් ලබාදීම් වලදී සිදු කරන ශිලා ලේඛන ආදිය, නම්බුනාම තනතනතුරු ප්‍රදානය කිරීම්, රාජ්‍ය අභිෂේකයන් හා උත්සව පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම් ආදී පාලන තන්ත්‍රයේ සෑම ක්‍රියාවක්ම පාහේ දැන්වීම් ඔස්සේ තම රටවැසියාට සන්නිවේදනය කරන ලදී.
ඒ අනුව රාජ්‍ය මූලික අවධිය තුළ පාලන තන්ත්‍රය දැන්වීම්කරණය සන්නිවේදන ක්‍රියාවලියක් ලෙස සාර්ථකව යොදා ගැනීමට කටයුතු කර ඇති බව හඳුනාගත හැකිය.

ජනමාධ්‍ය බිහිවීම

              කාර්මික විප්ලවයත් සමග ඇති වූ තාක්ෂණයේ දියුණුව මත දැන්වීම්කරණයේ සෘජු වර්ධනයක් ඇතිවිය. මුද්‍රණ යන්ත්‍රය සොයාගැනීමත් සමග දැන්වීම්කරණය සදහා අත්පත්‍රිකා, ලියුම් ආදිය බිහිවන්නට විය. කෙසේ වෙතත් දැන්වීම්කරණයේ විකාශනය තුළ සුවිශේෂී හැරවුම් අවධියක් ලෙස පුවත්පත්, ගුවන්විදුලිය හා රූපවාහිනිය යන ජනමාධ්‍ය බිහිවීම දැක්විය හැකිය. එතෙක් පැවති සරල සාම්ප්‍රදායික දැන්වීම්කරණයෙන් ඔබ්බට ගිය නිර්මාණශිලිී දැන්වීම් කලාවක් ජනමාධ්‍ය ඔස්සේ ඇතිවිය. ඒ ඒ මාධ්‍ය ශක්‍යතාවයන්ට අනුව එකවර වැඩි පාරිභෝගික පිරිසකට තොරතුරු සන්නිවේදනය කිරීම සඳහා ජනමාධ්‍ය ඔස්සේ දැන්වීම් ඉදිරිපත් කරන්නට හැකිවිය.

                   මධ්‍යතන යුගයේදී දැන්වීම්කකරණයේ ඇති වූ පුනර්ජීවනය සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු සාධක වූයේ ජනමාධ්‍ය බිහිවීමයි. ජනමාධ්‍ය ඔස්සේ දැන්වීම්කරණය සඳහා නව ප්‍රවේශයන් විවෘත කර දෙන ලදී. ඒ අතර වෙළඳ දැනදැන්වීම්කරණය සඳහා ප්‍රධාන තැනක් හිමි වෙයි. අද වන විට ජනමාධ්‍යයේ පැවැත්ම තීරණය කරන සාධකයක් බවට වෙළඳදැන්වීම් පත්ව තිබීම තුළින් ජනමාධ්‍ය ඔස්සේ දැන්වීම්කරණය කොතෙක් දුරට ව්‍යාප්තව ඇත්ද යන්න මනාව පසක් වේ. 

පෞද්ගලික හා රාජ්‍ය අංශයේ නැගීම


           නිෂ්පාදන හා සේවා අලෙවිකරණයද කාර්මික විප්ලවය නිසා ගොඩනැගුණු අතර ධනවාදී ආර්ථික ප්‍රතිපත්තිය තුළ පෞද්ගලික හා රාජ්‍ය යනුවෙන් නිෂ්පාදන හා සේවා අංශ දෙකක් බිහි විය. මේ නිසා වෙළඳපොල තරඟකාරිත්වයක් ඇති වූ අතර නිෂ්පාදන හා සේවා ග්‍රාහක ගත කිරීම සඳහා වාණිජ දැන්විම් ලෝකය පුරා බිහි වන්නට විය. 

         විවෘත ආර්ථික ක්‍රමය මත විදේශ සමාගම් පවා තම නිෂ්පාදන හා සේවා ප්‍රවර්ධනය කිරීම සඳහා දැන්වීම්කරණය යොදාගත් අතර භාණ්ඩ හා සේවා සමාජයට හඳුන්වාදීමේ ප්‍රවණතාවය සමග දැන්වීම්කරණයේ වැදගත්කම වැඩි වන්නට විය. නව භාණ්ඩ හා සේවා ජනතාවගේ දෛනික ජීවිතයේ කොටසක් බවට පත් කිරීමට දැන්වීම්කරණය තුලින් නිරන්තර උත්සාහයක යෙදුණි.

            විශේෂයෙන් මේ අවධිය තුළ දැන්වීම්කරණය දියුණුවීම සඳහා ජනමාධ්‍යයන්හි බලපෑම හා ජනතාවගේ සාක්ෂරතාව වර්ධනය වීම හේතු වී ඇත. පෞද්ගලික අංශය වැඩි වශයෙන් පාරිභෝගිකයා වෙත ළඟාවීම සඳහා දැන්වීම්කරණය යොදාගත් අතර එහි අවශ්‍යතාවය කොතෙක්ද යත් අද වන විට දැන්වීම් නිර්මාණය කරන ආයතන පවා බිහිවී ඇත. ජනමාධ්‍ය ඔස්සේ නව මාවතකට යොමු කළ දැන්වීම්කරණය මේ යුගය තුළ සීමා අතික්‍රමණය කරමින් පැතිර ගොස් ඇති අයුරු දැකගත හැකිය. 

නව මාධ්‍ය බිහිවීම


         ජනමාධ්‍ය ඔස්සේ සීමා අතික්‍රමණය කළ දැන්වීම්කරණයේ වර්ධනීය තත්ත්වයේ උච්චතම අවස්ථාව උදාවන්නේ නව මාධ්‍ය බිහි වීමත් සමගය. විශේෂයෙන් අන්තර්ජාලය මූලික කරගත් නව මාධ්‍ය ඔස්සේ පාරිභෝගිකයන් වෙත තම භාණ්ඩ හා සේවා පිළිබඳ තොරතුරු ගෙන යන්නට වෙළඳ දැන්වීම්කරුවෝ කටයුතු කරන ලදී. සමාජ ජාල මාධ්‍ය, ජංගම දුරකථන, කෙටි පණිවිඩ සේවා වැනි නව මාධ්‍යයන් ඔස්සේ ඉතාමත් වේගයෙන් හා කාර්යක්ෂමතාවයකින් යුතුව පාරිභෝගිකයාගේ දෛනික ජීවිතයට අවශ්‍ය කරන නිෂ්පාදන හා සේවා පිළිබඳ දැන්වීම් ඉදිරිපත් කරන්නට තරම් දියුණු තත්වයක් දක්වා වර්ධනය වී ඇත.

       විශේෂයෙන් නව මාධ්‍ය තාක්ෂණයේ දියුණුවත්, වේගවත්ව හා ඉක්මනින් තොරතුරු ගලා යාමත්, භූගෝලීය සීමා අතික්‍රමණය කිරීමත් ආදී සාධක නිසා දැන්වීම්කරණයෙදී නව මාධ්‍ය යොදා ගැනීම අතිශයින් වැදගත් අවස්ථාවක් ලෙස හඳුනාගත හැකිය.

        මේ අනුව දැන්වීම්කරණයේ විකාශනය මානව පරිණාමයේ ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් පැවත එන්නක් බව පැහැදිලි වේ. ඉපැරණි දැන්වීම්කරණ රටාවන් හා ක්‍රමවේදයන් අද තරමටම ඉතා සංකීර්ණ තත්ත්වයක විහිදී නොතිබුණද, අදත් එදත් එය උපයෝගී කරගන්නාගේ මූලික අරමුණෙහි වෙනසක් නොවීම දැන්වීම්කරණයේ ඇති සුවිශේෂී වටිනාකමකි. මන්ද අතීතයේ වුවද, වර්තමානයේ වුවද, දැන්වීම්කරණය තුළින් අරමුණු කර ගන්නේ සන්නිවේදනය, දැනුවත් කිරීම, අඅදහස් උදහස් හුවමාරුව තුළින් පුද්ගලයන්ගේ හා කණ්ඩායම් වල මතයන් වෙනස් කිරීම හෝ ස්ථිර කිරීමයි.

          ප්‍රාථමික යුගයේ මානවයාගේ අවශ්‍යතා සපුරා ගැනීමට යොදාගත් සන්නිවේදන විධික්‍රම වලින් ඇරඹි දැන්වීම්කරණය රාජ්‍ය සංකල්පයත් සමග ප්‍රජාව දැනුවත් කිරීමේ සන්නිවේදන ක්‍රම දක්වා වර්ධනය වූ අතර මුද්‍රණ යන්ත්‍රය බිහිවීමත් සමග නව ආලෝකයක් එයට එක්විය. දැන්වීම්කරණය නිර්මාණශීලී දැන්වීම් කලාවක් බවට පත් වූයේ පුවත්පත, ගුවන් විදුලිය හා රූපවාහිනිය යන ජනමාධ්‍යයන්ගේ ආගමනයත් සමගය. දැන්වීම්කරණයේ නිර්මාණශීලී හැරවුම් ලක්ෂය වූයේ එයයි. තරගකාරි වෙළෙඳපොළ තුළ දැන්වීම්කරණයේ නිර්මාණශීලීත්වය තවදුරටත් වර්ධනය කරමින් අද වන විට එය සීමා අතික්‍රමණය කිරීම දක්වා වර්ධනය වී ඇත. තාක්ෂණික දියුණුව හා නව මාධ්‍යය එහි ප්‍රධානතම සාධකය වී ඇත. කෙසේ වෙතත් අද ඇමෙරිකාව කේන්ද්‍රගත කරගනිමින් එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය ජපානය, ශ්‍රී ලංකාව ආදී සෑම රටකම පාහේ ප්‍රචාරණ ව්‍යාපාරය ශීඝ්‍රයෙන් දියුණු වී විශාල කර්මාන්තයක් බවට පත්ව ඇත. ඒ අනුව අද වන විට දැන්වීම්කරණය වූ කලී ආර්ථික බලවේගයන් මෙහෙයවන බලගතුම අංශයක් බවට පත්ව ඇතැයි කීම අතිශයෝක්තියක් නොවේ. අද වන විට දැන්වීම්කරණය යනු ව්‍යාපාරයකි. වෘත්තියකි. හුදෙක්ම එය සංකීර්ණ අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා සංවිධානය වූ ව්‍යාපාරයක් ලෙස හැඳින්විය හැකිය.  

1.2 ශ්‍රී ලංකාවේ දැන්වීම්කරණය


      නවීන දැන්වීම්කරණ ක්‍රමවේදයන් ලොව පහළ වීමට පෙර එක් එක් යුගයේ ඊට ආවේණික වූ විවිධාකාරයේ ප්‍රාථමික දැන්වීම් ක්‍රමවේද භාවිත කළ බවට ඉතිහාසය පුරාවට සාක්ෂි දක්වයි. ලාංකීය දැන්වීම් ඉතිහාසය පුරාවට ද එක් එක් යුගයන්ට අදාළ විවිධාකාර දැන්වීම්කරණ ක්‍රමවේද හඳුනාගත හැකිය. ඒ අනුව ලාංකීය දැන්වීම්කරණ කලාවට අදාල ඉතිහාසය විමසීමේ දී දැන්වීම්කරණය හා බද්ධ වූ ප්‍රබල දැන්වීම් ක්‍රමයක් අපට හඳුනාගත හැකි අතර ඒ රජවාසල පණිවිඩ හා දැන්වීම් රටවැසියාට සන්නිවේදනය කළ අඬබෙරයයි. මෙම දැන්වීම් ක්‍රමය කොතෙක් දුරට සාර්ථක වීද යත්, බි්‍රතාන්‍ය පාලන කාලයේ අගක් වනතුරුම අඬබෙරකරුගේ සේවය පාලකයින් විසින් ලබාගත් අවස්ථා පැවතිණි. පැරණි ලාංකීය සමාජය තුල දැන්වීම් ක්‍රමවේදයක් වූයේ දැන්වීම් පුවරුවයි. පාලකයන් ජනතාවට තොරතුරු දැන්වීමටත්, නියෝග නිකුත් කිරීමටත්, දැන්වීම් පුවරු හා ශිලා ලිපි ආදිය භාවිත කරන ලදී. බදුලු ටැම් ලිපිය, ගල්පොත ලිපිය ආදිය නිදසුන් ලෙස දැක්විය හැක. මේ අනුව ලාංකීය ඉතිහාසයේ අද තරම් දියුණු සංකීර්ණ දැන්වීම්කරණ ක්‍රමවේද යොදා නොගත්තද, එදා යුගයට ගැළපෙන පරිදි දැන්වීම්කරණ ක්‍රමයන් යොදාගෙන ඇති බවට පැහැදිලි වේ.

         ලංකාවේ නූතන දැන්වීම්කරණයේ ආරම්භක අවස්ථාව ලෙසට හඳුනාගත හැක්කේ ලන්දේසීන් විසින් මුද්‍රණ යන්ත්‍රය ලාංකීය සමාජයට හඳුන්වා දීමයි. ඔවුන් මුලින්ම මුද්‍රණ යන්ත්‍රයේ ආධාරයෙන් ප්ලැකාර්ඞ් නම් රාජ්‍ය දැන්වීම් පත්‍රිකාව මුද්‍රණය කර ප්‍රකාශයට පත් කිරීම සිදු කරන ලදී. ලංකාව තුල දැන්වීම්කරණ ක්‍රමවේදයේ නව මං පෙතක් ඇති කිරිමට ලන්දේසීන්ගේ මුද්‍රණ යන්ත්‍රය හඳුන්වාදීම හේතු වුවද දැන්වීම් කලාවට නව පණක් නව මුහුණුවරකින් ලබාදීමට සමත් වූයේ ඉංග්‍රීසින්ගේ ආගමනයත් සමග යැයි කීම නිවැරැදිය. සංවිධානාත්මකව දැන්වීම්කරණය සඳහා මුද්‍රණය වූ ප්‍රථම පුවත්පත වූ "Colombo Journal" ප්‍රකාශයට පත් වන්නේ ඉංග්‍රීසි පාලන සමයේදීය. එහි වැවිලිකරුවන්ට අවශ්‍ය තොරතුරු හා කේෂ්ත්‍රයට අදාළ හා රජයේ දැන්වීම් පළ කෙරිණි. මුල් කාලීන ලාංකීය පුවත්පත් අන්තර්ගතය තුල දැන්වීම් සඳහා ප්‍රධාන තැනක් හා වැඩි ඉඩක් ලබා දී තිබිණි. ඒවා සෘජු දැන්වීම් විය. කෙසේ වෙතත් මෙකී සරල ආකෘතියෙන් ඇරඹී පුවත්පත් දැන්වීම් විසිවන සියවස එළඹීමත් සමග වෙළෙඳ දැන්වීම්කරණය සමග ක්‍රමිකව දියුණු විය. එහිදී මූලික ආකෘතියෙන් වෙනස් වී අන්තර්ගතයට රූපයන් පවා එකතු විය.

         තව ද මෙකල දැන්වීම්කරණ කලාවේ දියුණුවට හේතු වූ සාධකයක් ලෙස විදේශීය සමාගම් තම නිෂ්පාදන දේශීය වෙළඳපලේ අලෙවි කිරීමත් සමග අන්තර්ජාතික දැන්වීම්කරණ ආකෘතිවල ආභාෂය දේශීය දැන්වීම්කරණ ක්ෂේත්‍රයට ඇතුළු වීම දැක්විය හැකිය. 

             1951 පිහිටුවන ලද වෙළඳ සේවය සමඟ දැන්වීම්කරණය තවදුරටත් වර්ධනය වන්නට විය. මන්ද මේ තුළින් වෙළඳ දැන්වීම්කරණයට මග පෑදුණු අතර ගුවන් විදුලි මාධ්‍ය භූගෝලීය හා සාක්ෂරතා මායිම් බිඳගෙන ඉදිරියට ඒම එය වඩාත් ජනප්‍රිය වන්නට හේතුව විය. ඒ අනුව එතෙක් කල් මුද්‍රණයට පමණක් සීමා වී තිබූ දැන්වීම්කරණය ගුවන්විදුලි මාධ්‍යයට ව්‍යාප්ත විය. ලාංකීය දැන්වීම්කරණයේ විකාශනය තුළ සුවිශේෂී සංධිස්ථානයක් වන්නේ ඔස්ටේ්‍රලියානු ජාතිකයන් විසින් International Advertiser නමින් ගුවන්විදුලියේ දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් ආරම්භ කිරීමයි.

            ලාංකීය දැන්වීම්කරණ විකාශනයේ නිර්මාණශීලීම යුගය උදාවන්නේ 1979 ලාංකීය මාධ්‍ය ක්ෂේත්‍රයට රූපවාහිනිය පැමිණීමත් සමගය. අනතුරුව පෞද්ගලික මාධ්‍ය ජාල ආරම්භ වීමත් සමග තරඟකාරී සංකීර්ණ දැන්වීම් කලාවක් ලංකාව තුළ නිර්මාණය විය. විශේෂයෙන් ජනමාධ්‍ය හා අන්තර්ජාලය ප්‍රමුඛ නව මාධ්‍ය තාක්ෂණයේ දියුණුවත් සමග අද වන විට ලාංකීය දැන්වීම්කරණය නිර්මාණශීලී, සංකීර්ණ පුළුල් පරාසයක විහිදී ගිය කර්මාන්තයක් බවට පත්ව ඇත. හුදෙක්ම ලාංකීය දැන්වීම්කරණය ජනමාධ්‍ය පැවැත්ම තීරණය කරන, ආර්ථික බලවේගයන් හසුරුවන ප්‍රධාන ව්‍යාපාරයක්, වෘත්තියක් දක්වා වර්ධනය වී ඇති බව හඳුනාගත හැකිය.

1.3 දැන්වීම්කරණ ප්‍රවේශ

          පාරිභෝගිකයන් සිය අවශ්‍යතා සඳහා ආමන්ත්‍රණය කිරීමට පොළඹවන, ඔවුන්ගේ ආශාවන් සඳහා යොමු කරවන, නිෂ්පාදන හා සේවා පිළිබද ආකර්ෂණයක් ඇති කරවන ක්‍රියාමාර්ගයන් දැන්වීම්කරණ ප්‍රවේශයක් ලෙස අර්ථ දැක්විය හැකිය. මූලික වශයෙන් දැන්වීම්කරණ ප්‍රවේශ ආකාර දෙකකි.
     1. තාර්කික ප්‍රවේශය
     2. භාවාත්මක ප්‍රවේශය

     තොරතුරු මූලික ප්‍රවේශය හෙවත් තාර්කික ප්‍රවේශයේදී පාරිභෝගිකයාට එදිනෙදා ජීවිතයේ දී ප්‍රයෝජනවත් වන සාධක පිළිබඳ දැනුවත් කිරීමට අපේක්ෂා කරයි. නිෂ්පාදනයේ ඇති වාසි, සුවිශේෂී ලක්ෂණ, වෙනත් නිෂ්පාදන වලට වඩා තත්වයෙන් උසස් බව, සුව පහසුව, ගුණාත්මක බව ආදිය පිළිබඳ පාරිභෝගිකයා දැනුවත් කරමින් තාර්කිකව දැන්වීම් ඉදිරිපත් කිරීමට එහිදී කටයුතු කරයි. මෙහිදී විශේෂිත ලක්ෂණය වන්නේ දැන්වීම්කරුවා විසින් ග්‍රාහකයාගේ බුද්ධියට ආමන්ත්‍රණය කිරීමයි.

           භාවාත්මක ප්‍රවේශයේදී පාරිභෝගිකයාගේ සමාජයීය සහ මනෝවිද්‍යාත්මක අවශ්‍යතා හා සාධක අනුව ඔහුගේ හදවතට ආමන්ත්‍රණය කරමින් තම නිෂ්පාදන හා සේවා ප්‍රවර්ධනය කිරීමට දැන්වීම්කරුවා යොමුවෙයි. බොහෝ වෙළෙඳ දැන්වීම් ග්‍රාහක බුද්ධියට නොව භාවාත්මක ලක්ෂණ ඔස්සේ හදවතට ආමන්ත්‍රණය කරන ඒවා වේ. වෙළඳ දැන්වීම්කරණයේ දී යොදා ගනු ලබන්නේ භාවාත්මක ප්‍රවේශයයි. ආදරය, සංස්කෘතිය, බිය, අතීතකාමය, ආරක්ෂාව, ගරුත්වය, දුක, සතුට, ලිංගිකත්වය වැනි භාවාත්මක සාධක මෙම ප්‍රවේශය තුළ දී දැන්වීම්කරණය සඳහා බහුලව යොදා ගනු ලබයි.




රිෂිත ජනිත් නානායක්කාර
ජනසන්නිවේදන අධ්‍යන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය


Wednesday, 19 June 2019

පනාමුරේ ඇත්ගාල වටා බැදී ඇති ජනප‍්‍රවාද හා එහි වර්තමාන වතගොත සොයා


පනාමුරේ ඇත්ගාල වටා බැදී ඇති ජනප‍්‍රවාද හා එහි වර්තමාන වතගොත සොයා


    ඈත අතීතයේ සිට මෙරට අලි අතුන් ඇල්ලීමේ ක‍්‍රියාවලිය සිදු වූ  බව නිසැකය. විදේශ රටවල් සමග පැවති වෙළඳ සබඳතා ඔස්සේ අලි ඇතුන් අල්ලා වෙළදම් කිරීම රජ සමයේ පටන් පැවතිණි. කෙසේ වෙතත් ගාල්බැඳ ඒ තුළට අලි ඇතුන් එළවා කොටුකර හීලෑ අලීන්ගේ සහය ඇතිව අලි ඇතුන් අල්ලා ගැනීමේ ක‍්‍රමය මෙරටට පුරුදු  වූයේ පෘතුගීසීන් මුහදුබඩ පළාත් තමන් යටතට ගැනීමෙන් පසුවය. මන්ද ඔවුන් වසරක් පාසා මෙරට ගාල්බැඳ අල්ලන ලද අලි ඇතුන් මෝගල් අධිරාජයාට විකිණීම සිදු කිරීමත් සමගය. අනතුරුව බ්‍රිතාන්‍යන්ද මෙරට පාලන බලය හිමි කරගත් පසු රාජකාරි ක‍්‍රමය යොදා අලි ඇතුන් ගාල් බැඳීම සඳහා යොමු විය.

    කෙසේ වෙතත් එදා මෙදා තුර දිවයිනේ ඉතා ප‍්‍රසිද්ධියට පත් ඇත්ගාල බඳින ලද්දේ කොළොන්න කෝරළයේ පනාමුර ප‍්‍රදේශයේ ය. විශේෂයෙන“ පනාමුරේ ඇත් රාජා ” යන නාමය ලංකාවේ පමණක් නොව ලොව ප‍්‍රසිද්ධ වු නාමයකි. මෙම නාමය හා බැඳි පනාමුර ඇත්ගාල සුවිශේෂී ඓතිහාසික ස්ථානයකි.

සුප‍්‍රසිද්ධ “පනාමුරේ ඇත්ගාල” පිළිබඳ විස්තර කරන විට මඩුවන්වෙළ රටේ මහතාගේ නම ද නිරායාසයෙන්ම ඇදී එන බව කිව යුතුය. මඩුවන්වෙළ පරපුරේ අවසානයා වන “ විජයසුන්දර ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මුදියන්සේලාගේ ශ‍්‍රිමත් ජේමිස් විලියම් මඩුවන්වෙල” වන මොහු විසින් තම ජීවිත කාලය තුළ දී 1889 වසරේ සිට ඇත්ගාල් විස්සක් ( 20 ) බන්ඳවා ඇති අතර එහිදී අල්ලා ගන්නා ලද අලි ඇතුන්ගෙන් කිහිපදෙනෙකු ඉතිරි කරගෙන සෙසු අය විකුණා ඇති බව ද සඳහන්  වේ.

         පනාමුර යනු මඩුවන්වෙල නින්දගමට අයත් පැරණි ගමකි. කතරගම දේවාලයේ මුර භටයන් 50 ක් මුරට සිටි බැවින් “ පනහමුර ” ලෙස භාවිතා වී පසුව “ පනාමුර ” ලෙස ව්‍යවහාර වන බව ජනප‍්‍රවාදයේ සඳහන් වේ. අක්කර 7000 ක් පමණ වන මෙම නින්දගම ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් මඩුවන්වෙල මොහොට්ටාලට ලබාදුන් නින්දගමකි.

          අලි ඇතුන් අල්ලා ගැනීමේ බිහිසුණූ ක‍්‍රියාවලිය මනා ලෙස සැලසුම් සහගතව ඉටු කරන ලද්දකි. ඇත්ගාල ඉදි කිරීමට පෙර කල් තියාම සේවක සමූහයාට මාස දෙක තුනක් සඳහා අවශ්‍ය ආහාර සපයා ගැනීම ස`දහා වලව්වේ වී ගබඩා පිරවීම සි¥ කරයි. අනතුරුව ගම්වාසීන්, රටේ මහතාගේ නිවේදනයට අනුව තමන්ගේ බරට වේවැල් මිටියක් ද රැගෙන ඇත්ගාලේ වැඩට පැමිණිය යුතුය. එමෙන්ම වල් අලි බැ`දීමට දක්ෂ පුද්ගලයන්, හීලෑ අලි ඇතුන් හා ඔවුන්ගේ අයිතිකරුවන්, ගස් කපන්නන්, හෙල්ල දරන්නන්, ගිනිමැල ගසන්නන්, මන්ත‍්‍රකාරයන්, වඩුවන්, කොකියන් ආදී සෑම දෙනාටම රටේ මහතා විසින් කල් වේලා ඇතිව දැනුම් දී මෙය සිදු කරනු ලබයි.

          ජූලි මාසයේ දී නොහොත් වසරේ ග‍්‍රීෂ්ම සමය ආරම්භයත් සමග වල් අලි රංචු නිම්නයේ සිට පනාමුර අසලට සංක‍්‍රමණය වීමට පටන් ගනිති. අගෝස්තු මාසයේ පවතින දැඩි නිය`ගය නිසා ජලය හා ආහාර සොයා පනාමුර කැළයේ පිහිටි කිසිදා ජලය නොසිදෙන‍ “නලියන දිය බුබුල” වෙත අලි ඇතුන් පිවිසෙති. ජනප‍්‍රවාදයේ සඳහන් ආකාරයට මෙය පොළව තුළින් පැන නගින විශාල දිය ධාරාවක් වන අතර එහි වර්ෂා කාලයට වතුර අඩු වී නිය`ග කාලයට වතුර වැඩි වේ. ග‍්‍රීෂ්ම කාලයේ අලි ඇතුන් මෙම උල්පතෙන් වතුර බී උද්දාමයෙන් ප‍්‍රීති ඝෝෂා පවත්වන විට දිය උල්පත ද උද්දාමයට පත් වූවාක් මෙන් වැලිත් සමග දිය බුබුල  නොනැවතී උඩට විසි කරන බව සඳහන් ය. අලි ඇතුන් පමණක් නොව මිනිසුන් ද ප‍්‍රීති ඝෝෂා කරන විට ජල බුබුළු ඉහළට විසිවන බව ප‍්‍රසිද්ධය. මේ නිසා මෙය “නලියන දිය බුබුල” ලෙස ජනප‍්‍රවාදයේ සඳහන් වේ.

          කෙසේ වෙතත් ජලය සොයා පැමිණෙන වල් අලීන් අල්ලා ගැනීම සඳහා “ කළු කන්දාව ” කඳු පාමුල පිහිටි මෙම දිය උල්පත මැදි කොට  අක්කර 06 ක පමණ වූ භූමි භාගයක ඇත් ගාල බඳිනු ලබයි. හීලෑ ඇතුන්ගේ ද සහය ඇතිව විශාල බුරුත කොටන් සිටුවා, බුරුත කඳන් මාවර වශයෙන් බැ, වේවැල් බැමි යොදා, පිටතින් ද ආවරණ කණු යොදා ඉතා ශක්තිමත් ලෙස ඇත් ගාල බ`දිනු ලබයි. අලි ඇතුන් ගාලට ඇතුල් කිරීමට “ඉදිකඩ” නම් විශාල දොරටුවක් ද සාදා ඇත් ගාල බැ`දීම නිම කර ඇත.
         
       අනතුරුව රටේ මහතාගේ විධානයට අනුව 1800 ක පමණ පිරිසක් යොදා කැළයේ සිටින වල් අලීන් වලයාකාරව වට කර කෑ කෝ ගසා ගිනි මැල දල්වා ගාල දෙසට පලවා හරිනු ලබයි. භීතියට පත් වල් අලීන් නොදැනුවත්වම ගාල තුළට ඇතුළු වන අතර ඉන් පසුව ඇත් ගාල වටේට යාර දහයෙන් දහයට ගිනි මැල ගසා මුරකරුවන් දෙදෙනෙක් බැගින් යොදවයි. හීලෑ අලි ඇතුන් ද රැකවරණයට යොදවයි. පැය කිහිපයක් ගත වූ පසු තමන් කොටු වී ඇති බව දැනගත් අලි ඇතුන් ගාලට පහර දෙමින් පැන යාමට මහත් පෙරළියක් සිදු කරන අතර ගිනි මැල, හෙල්ල පහරවල් හා හීලෑ ඇතුන්ගේ මැදිහත් වීම මත අලි රැළ අසරණ වේ.

          ගාලට ඇතුළු වී සිටින අලීන්ගේ සංඛ්‍යාව දැනගත් පසු රටේ මහතා විසින් අලි බැඳීමට පෙර දින රාත‍්‍රියේ දී දේව පූජාවක් පවත්වනූ ලබන බව ජනප‍්‍රවාදයේ සඳහන් වේ. ඉන්පසු අලි මන්ත‍්‍රකාරයන් හා නිර්භීත අලි බඳින්නන් කැවා ශාන්තිකර්ම කර, ආරක්ෂක යන්ත‍්‍ර බන්ඳවා, පූජා කළ තැඹිලි තෙල් හිස ගා, හීලෑ අලි ඇතුන්ගේ බඩ යටින් ගොස් වල් අලින්ගේ පසු පාදවලට තොණ්ඩු දමා ඔවුන් බඳින ලද බව ජනප‍්‍රවාදයේ සඳහන් වේ.

          එමෙන්ම මඩුවන්වෙල පදිංචි බුත්කන්ද විද්‍යාලයේ හිටපු ආචාර්ය වරයෙකු වන නිශ්ශංක පැටිකිරිකෝරාළ මහතා පවසන්නේ මඩුවන්වෙළ රටේ මහතා වල් අලීන් හීලෑ කරගැනීම සහා විශේෂ මන්ත‍්‍ර ශාස්ත‍්‍රයන් හා කෙම්  ක‍්‍රම භාවිත කළ බවට ජනප‍්‍රවාද කතාවල සඳහන් බවයි. මෙහිදී අලි බැදීමට පෙර මන්ත‍්‍ර ජප කරන ලද බුලත් කොළයක කෑල්ලක් කඩා හපමින් ඉතුරු කෑල්ල ඉනේ ගසාගෙන පසුව ඇතුන් සමීපයට යන බවත්, අලි ඇතුන් රටේ මහතාට හීලෑ වන බවත් ජනප‍්‍රවාද කතා අතර පවතින බව පැටිකිරිකෝරාළ මහතා පවසන ලදි.

          මෙලෙස හීලෑ අලි ඇතුන්ගේ, මුරකරුවන්ගේ, අලි බඳින්නන්ගේ හා මන්ත‍්‍ර ජප කරන්නන්ගේ ආදී සියල්ලන්ගේ සහය ඇතිව අලි ඇතුන් බැඳ අවසන් කිරීමෙන් පසුව ඇත්ගාලේ අවසන් පියවර වන්නේ අලි ඇතුන් කිහිප දෙනෙකු හැර ඉතිරි අලි ඇතුන් වෙන්දේසියේ විකිණීමයි. මෙම ඇත්ගාල බඳින කාලය තුළ විදේශීය නරඹන්නන් පැමිණෙන අතර ඔවුන්ට පහසුකම් සැලසීම සඳහා “පත්තිරිප්පුව ” නම් උස් වේදිකාවක් ඇත් ගාලට සැතපුම් කාලක් පමණ දුරින් ඉදි කෙරෙන අතර ප‍්‍රභූන්ට වෙන වෙනම මහල් සහිත නිවාස ඉදි කරයි. මෙම නරඹන්නන් සියළු දෙනාට රටේ මහතා විසින් සංග‍්‍රහයන් සම්පාදනය කරදෙන ලදි.

           මෙම පනාමුර ඇත්ගාල පිළිබඳ ඇති තවත් සුවිශේෂී කරුණක් නම් එකල අලි ඇතුන්ගේ අයිතිය රජුට හෝ ආණ්ඩුවට පමණක් හිමි වුවද බලපත‍්‍ර හෝ කිිසිදු අවසර ගැනීමකින් තොරව මෙම ඇත්ගාල බැදීම තුළින් පැහැදිලි වන්නේ එකල මඩුවන්වෙළ රටේ මහතා පූර්ණ බලතල ඇති ස්වතන්ත‍්‍ර ප‍්‍රාදේශීය රජෙකු ලෙස ක‍්‍රියා කර ඇති බවයි.

            1930 සැප්තැම්බර් මස අභාවප‍්‍රාප්ත වු රටේ මහතාගෙන් පසු ඔහුගේ බූදලය හිමි වූයේ ව්‍යවස්ථාදායක මන්ත‍්‍රණ සභාවේ හා පාර්ලිමේන්තුවේ ප‍්‍රථම කථානායක ව සිටි ශ්‍රිමත් ප‍්‍රැන්සිස් මොලමුරේ මහතාටය. ඔහු විසින් ඇත් ගාල් දෙකක් බැන්ඳ වූ බව සඳහන් ය. 1950 දී ඔහු විසින් බඳින ලද දෙවන ඇත් ගාල පනාමුරේ ඇත් රාජා හා සම්බන්ධ මෙරට අවසාන ඇත් ගාලයි. මෙම ඇත්ගාල සඳහා කොටු වූ පනාමුර ඇත් රාජා ලෙස හ`දුන්වන ( ඇත්තටම මෙම සතා ඇතෙකු නොව අලියෙකි) අඩි 09 ක් පමණ උස දැවැන්ත හස්තිරාජයා මෙල්ල කර ගැනීමට කිසිිවෙකුට නොහැකි වී තිබේ. මහත් පෙරළියක් කරමින් තම රැලේ සගයන් බේරා ගැනීමට සටන් කළ මෙම ඇත් රාජා 1950 අගෝස්තු 05 වන දින රාත‍්‍රියේ දී නාවික හමුදා තුවක්කු කරුවෙකු ව“ සෑම් කදිරගාමර්” නැමැත්තා විසින් මොලමුරේ මහතාගේ විධානයට අනුව වෙඩි තබා මරා දමා තිබේ.

             මේ සමගම රටේ සියළුම ජන මාධ්‍යය මෙය ප‍්‍රචාරය කිරීමත් සමග රට තුළ දැඩි විරෝධයක් පැන නැගී ඇති අතර ඉන්පසු මෙරට ඇත්ගාල් තහනම් කිරීමට පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදි. මෙලෙස මෙරට අලි ඇතුන්ගේ සුරක්ෂිත භාවය තහවුරු කරන නීති සම්පාදනය වීමට පනාමුරේ හස්තියාගේ මරණය හේතු සාධක වූ අතර ඒ සමග ම මෙම හස්තියා වීරයෙකු ලෙසින් “පනාමුරේ ඇත් රාජා” ලෙස ලෝක ප‍්‍රසිද්ධ විය.

             මෙම දැවැන්ත හස්තිරාජයා මරා දැමීමත් සමග කිසිදාක නොසිදෙන කළුකන්දාව කඳු පාමුල ඇති නලියන දිය බුබුල හිඳීගිය බවත්, එහි වතුර අඩු වූ බවත්, එහි පෙර මෙන් උද්දාමයට පත්ව ජලය විසි කිරීමක් සිදු නොවූ බවත් ආදී ඇතැමුන්ගේ විවිධ මත ජනප‍්‍රවාදයේ සඳහන් වේ. එමෙන්ම හස්තිරාජයාගේ මරණයත් සමග ප‍්‍රැන්සිස් මොලමුරේ මහතා නිතර බියට පත්ව රෝගාතුර වූ බව ද මඩුවන්වෙල ගම්වැසියන් අතර පවතින ජනප‍්‍රවාදයකි. ඇතාගේ මරණයෙන් පසු මොලමුරේ මහතා විශාල වශයෙන් දාන මාන කටයුතු වල නියැලෙනු ලැබූ බව ද සදහන් වේ. එමෙන්ම පනාමුර ප‍්‍රදේශයේ කෙත්වතු සියල්ල නිසරු වී ගිය බවද ජනප‍්‍රවාද කථා අතර පවතී.

             ලංකාවේ අවසාන ඇත්ගාල වන පනාමුර ඇත්ගාල පිහිටි ප‍්‍රදේශයට වර්තමානයේ ළඟා විය හැකි පහසුම මාර්ගය වන්නේ ඇඹිලිපිටිය උඩගම හංදියෙන් හැරී කොළොන්න හරහා සූරියකන්ද දක්වා වන මාර්ගයේ කි. මි. 10ක් පමණ ගමන් කිරීමෙන් පසු පනාමුර හංදියට පැමිණ පනාමුර හංදියේ ඇති සල්ගස ළගින් දකුණට හැරී කි.මි. 03 ක් පමණ ඇතුළට දිවෙන මාර්ගයයි.

            ලංකාවේ අවසන් ඇත්ගාල වන පනාමුරේ ඇත්ගාලෙහි වර්තමානයේ දී අපට ශේෂව දකින්නට ඇත්තේ පුරාවිද්‍යා පුවරුවක්, ඇත්ගාලට පාදක වූ දිය උල්පත හා ප‍්‍රදේශවාසීන් විසින් නැවත සකස් කර සිටුවන ලද ඇත්ගාල බැඳීමට ගත් එක් ලී කොටයක් පමණි. කෙසේ වෙතත් පසුගිය රජය සහ පනාමුර පොලීසිය එක්ව ඇත්ගාලෙහි අනුරුවක් සහ පනාමුර ඇත් රාජා සිහිවීම සඳහා ඇත්රාජාගේ අනුරුවක් ඉදිකර තිබෙනු දක්නට ලැබේ. එමෙන්ම පසුගිය රජය සමයේ දී කෞතුකාගාරයක් ඉදි කරනුු ලැබුවද එය අද වන විටත් විවෘත නොවී පැවතීම කණගාටුවට කරුණකි. වර්තමානයේ පනාමුර පොලිසිය හා එක්ව කොලොන්න ප‍්‍රදේශයේ පදිංචි එකල ඇත් ගාල බැ`දීමට සම්බන්ධ වූ පුද්ගලයෙකු වන  “පැන්ටිස් සිංඤ්ඤෝ” මහතා ප්‍රමුඛ පනාමුර ගම්වැසියන් විසින් ඇත්ගාල පිහිටි ඓතිහාසික භූමිය ආරක්ෂා සහිතව පවත්වාගෙන යනු ලබයි.

           අතීතයේ ඇත්ගාලට පාදක වු භූමියෙන් කොටසක් අද වන විට කෙත්වතු බවට පත්ව ඇති අතර කොටසක් වල් වැදී ඇත. විශේෂයෙන්ම එදා පැවති දිය උල්පත අදටත් පනාමුර වැසියන්ගේ කෙත්වතු සරු කරමින් ඇත්රාජා සිහි කරමින් ගලා බසී. හස්තියාගේ මරණයත් සමග මෙම උල්පතෙහි ජලය අඩු වී ඇති බවත් ඇත් රාජාගේ පින් බලයෙන් එය තාමත් නොසිදී ඇති බවත් ගම්මුන් අතර පවතින ජනප‍්‍රවාද කතාවකි. කෙසේ වෙතත් වර්තමානය වන විට අනවසරයෙන් මෙම දිය උල්පතෙන් නල මාර්ග ඔස්සේ ජලය ලබා ගැනීමට කටයුතු කිරීමත් අවට පෝෂක ප්‍රදේශයේ වන ලැහැබ එළි පෙහෙළි කිරීමත් නිසා දිය උල්පත තර්ජනයට ලක්ව ඇත.

            මේ අනුව කොළොන්න කෝරළයේ පිහිටි ඓතිහාසික ස්ථානයක් වන ලංකාවේ අවසාන ඇත්ගාල වන පනාමුරේ ඇත්ගාලෙහි දැනට ශේෂව ඇති දිය උල්පත හා අනෙකුත් සියළුම ඓතිහාසික සාධක ආරක්ෂා කර ගැනීම උදෙසා පුරාවිද්‍යා සංරකෂණ දෙපාර්තමේන්තුවේ දැඩි අවධානය යොමු කිරීම ඉතා වැදගත් වන අතර එය අප සැමගේම වගකීමකි.






රිෂිත ජනිත් නානායක්කාර 
ජනසන්නිවේදන අධ්‍යන අංශය 
කැළණිය විශ්වවිද්‍යාලය 

ශ්‍රී ලංකාවට රූපවාහිනිය පැමිණීම

ශ්‍රී ලංකාවට රූපවාහිනිය පැමිණීම
ශ්‍රී ලංකාවට ගුවන්විදුලි මාධ්‍ය සාම්ප්‍රාප්තිය වී බොහෝ කලක් යන තුරුම රූපවාහිනී මාධ්‍යයේ ආගමනය සිදු වූයේ නැත.නමුත් 1850 දශකයේ පමණ සිට විවිධ පුද්ගලයින් මෙරට රූපවාහිනී නාලිකාවක් ඇරඹීමට අවසර ඉල්ලා තිබේ.ශ්‍රී ලංකාවට රූපවාහිනිය හඳුන්වා දීමට ගත් ප්‍රයන්තය හා එහි ඉතිහාසය ප්‍රධාන ධාරවන් 3ක් යටතේ හඳුනාගත හැකිය.

   1.රූපවාහිනී මාධ්‍ය ඇරඹීම සඳහා වූ ඉල්ලීම්.
   2.රූපවාහිනිය පිළිබඳ වූ අත්හදා බැලීම් සහ අත්දැකීම්.
   3.ප්‍රතිපත්ති,සාකච්ඡා හා සංවාද.

ශ්‍රී ලංකාවට රූපවාහිනිය හඳුන්වා දීමට ගත් පළමු උත්සාහය වනුයේ 1859 දී RCA සමාගම විසින් කරන ලද ඉල්ලීමයි.ඉන් අනතුරුව 1960 දශකයේ මුල් කාලයේ දී ජර්මන් ෆෙඩරල් ජනරජයද, 1864 හා 1865 කාලවල දී මාර්කෝනි සහ ෆයි යන විදේශීය සමාගම්වල මෙරට නියෝජිතවරයා වූ එස්මන් වික්‍රමසිංහ මහතා විසින් ද ජර්මනියේ bosch සමාගම ද මෙරට රජයෙන් ඉල්ලීම් කළ ද ඒවා සාර්ථක වූයේ නැත.1866 දී නැවත වරක් ජර්මන් රජය මෙරට රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීමට තාක්ෂණික පහසුකම් ලබා දීමට එකඟ වුවද එවකට අගමැති ඩඞ්ලි සේනානායක සහ ගුවන් විදුලි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශ මත එම යොජනාව ද ප්‍රතික්ෂේප විය.
කෙසේ වෙතත් 1977 බලයට පත් ජේ.ආර්.ජයවර්ධන අගමැතිවරයාගෙන් තෙවන වරටත් ශාන් වික්‍රමසිංහ විසින් රූපවාහිනී සේවයක් ආරම්භ කිරීමට ඉල්ලීම් කරන ලද අතර ඒ වන විටත් අගමැතිවරයා සහ ජපන් රජය අතර පැවති සුහදත්වය මත මෙරට රූපවාහිනී සේවයක් ආරම්භ කිරීමට ජපන් රජයේ ආධාර ලබා දීමට කටයුතු සලසා තිබිණි.
මෙරට රූපවාහනි සේවයක් ආරම්භ කිරීම සඳහා සිදුකළ අත්හදා බැලීම් සහ අත්දැකීම් කිහිපයක් ද හඳුනාගත හැකිය.ඒ අනූව 1950 ගුවන් විදුලියේ සේවය කළ කාර්මික ශිල්පියෙකු වූ ටියුචර් පෙරේරා විසින් කාන්තාවන්ගේ රූපයක් ඈතින් පිහිටි තිරයක් මතට සම්ප්‍රේෂණය කර ඇති අතර එය මුල්ම අත්හදා බැලීම විය.ඊට අමතරව H.A.J. Hulugalla පෙන්වා දෙන්නේ දකුණු ඉන්දීය රූපවාහිනී නාලිකා මගින් යාපනයේ වැසියන්ට රූපවාහිනිය නැරඹීමේ හැකියාව ඇති බවයි.එමෙන්ම ඉන්දියානු SITE වැඩසටහන යටතේ චන්දාිකා තරංග ලබාගත හැකි උපකරණ පද්ධතියක් නිර්මාණය කිරීමට ආතර්.සී .ක්ලාක් මහතා සමත් වූ අතර ඔහු පවසන්නේ ලංකාවේ රූපවාහිනී හිමිකරුවා ඔහු බවයි.මීට අමතරව 1976 දී නොබැදි ජාතීන්ගේ සමුළුවට සමගාමීව මෙරට රූපවාහිනී සේවයක් පවත්වාගෙන ගොස් ඇත.
මේ අතර ශ්‍රී ලංකාවට රූපවාහිනී සේවා හඳුන්වා දීමට ගත් ප්‍රතිපත්තිමය සාකච්ඡා යටතේ මුල්ම අවස්ථාව වූයේ යටත් විජිත සමයේ සිදු කරන ලද්දකි.එමෙන්ම 1941 “කන්දයියා වෛද්‍යනාදන්” කොමිසම ද මුල්වරට රූපවාහිනී සේවයක් ආරම්භ කිරීම පිළිබඳ විමසන ලදී. එමෙන්ම 1865 දී හුළුගල්ල කොමිසම මගින් නිර්දේශ කරන ලද්දේ ඉදිරියට වැඩ කිරීමේ අරමුණින් සුළු වශයෙන් හෝ රූපවාහිනී සේවයක් ආරම්භකර පවත්වාගෙන යා යුතු බවයි.
මේ ආකාරයට මෙරට රූපවාහිනී සේවා ආරම්භ වීම සඳහා ඉහත සියලු සාධක බලපාන ලද අතර 1970 පමණ වන විට ඇෆ්ගනිස්ථානය , බුරුමය , ශ්‍රී ලංකාව හැරුණු විට දකුණු ආසියාවේ සෑම රටකම රූපවාහිනී සේවා ආරම්භ වී තිබිණි.
මෙම සියලු කාරණා පදනම්ව 1978 ජුනි 5 වන දින ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පනත යටතේ රූපවාහිනී සේවාවක් පවත්වාගෙන යාම සඳහා අයදුමත් කැඳවන ලදි.මේ අනූව ශාන් වික්‍රමසිංහ සහ අනිල් විජේවර්ධනගේ මුලිකත්වයෙන් යුතු “සංගීතා” සමාගමට බලපත්‍රය ලබා දුන් අතර ඒ අනූව 1979 අප්‍රේල් 14 වන දින ITN නාලිකාව හෙවත් ස්වාධීන රූපවාහිනිය විකාශන කටයුතු ආරම්භ කරන ලද්දේ මෙරට පළමු රූපවාහිනී නාලිකාව ලෙසිනි.මුල් කාලය තුළ විදේශීය නාලිකා වලින් ලබාගත් වීඩියෝ දර්ශන විකාශය කරන ලදි.පෞද්ගලික නාලිකාවක් ලෙස ආරම්භ වූ මෙම නාලිකාව විදුලිය විසන්ධි වීම හේතුවෙන් පැය 24 ක කාලයක් විකාශය නොවීම හේතු සාධක ලෙස දක්වා ආරම්භ වී ඉතා කෙටි කාලයක් තුළ රජයට පවරා ගන්නා ලදි.
1982 අංක 06 දරණ පනත යටතේ ජාතික රූපවාහිනී සේවය පිහිටි වූ අතර එය මෙරටට ලබාදීමේ අරමුණු 03 ක් ජපන් රජය පෙන්වාදෙන ලදී.අධ්‍යාපනික සංවර්ධනය ඇති කිරීම,කෘෂිකාර්මික සංවර්ධනය කිරීම හා ජේ.ආර් ජයවර්ධනයන්ගේ ජයග්‍රහණයට තෑග්ගක් වශයෙන් ලබා දීම එම අරමුණු වේ.මේ අනූව 1982 පෙබරවාරි 15 වන දින ජාතික රූපවාහිනිය නිළ විකාශන කටයුතු ආරම්භ කල අතර මුල් කාලයේ සංඥා තීරය,භාරත ගී වින්දනය,සුබාරතී වැනි වැඩසටහන් විකාශය කරන ලදි.මුල්ම ලාංකීය ටෙලිනාට්‍ය ලෙස “දිමුතු මුතු” ටෙලි නාට්‍ය විකාශය වන්නේ ද මේ කාලයේදී ය.
1990 දශකය පමණ වන විට ලාංකීය රූපවාහිනී මාධ්‍යයේ ස්වරූපයේ වෙනසක් ඇති කරමින් පැවති රාජ්‍ය ඒකාධිකාරිය අහෝසි කරමින් පෞද්ගලික නාලිකා බිහිවිය. ඒ අනූව TNL (1991), MTV (1993), ස්වර්ණවාහිනිය (1997), සිරස TV (1998) වැනි නාලිකා ආරම්භ විය.අනතුරුව 2000 දශකයේ දී දෙරණ TV, හිරු TV, සියත TV සහ TV 1 වැනි නාලිකා බිහි විය.
වර්තමානය වන විට ලාංකීය රූපවාහිනි නාලිකා රැසක් බිහි වී ඇති අතර නව ප්‍රවණතා ඔස්සේ සංවර්ධනය වෙමින් දැඩි මාධ්‍ය තරඟකාරී ස්වභාවයකින් යුතුව මාධ්‍ය භාවිතයේ යෙදෙමින් සිටින බව හඳුනාගත හැකිය.


රිෂිත ජනිත් නානායක්කාර 
ජනසන්නිවේදන අධ්‍යන අංශය 
කැලණිය විශ්වවිද්‍යාලය 

රූපවාහිනී මාධ්‍යයේ ඉතිහාසය,විකාශනය සහ වර්ධනය

රූපවාහිනී මාධ්‍යයේ ඉතිහාසය,විකාශනය සහ වර්ධනය

වර්තමානය වන විට රූපවාහිනී මාධ්‍ය අනෙතකුත් ජනමාධ්‍යන් අභිභවා යමින් ප්‍රබල ජනමාධ්‍යයක් බවට පත්ව තිබේ. සැබවින්ම රූපවාහිනී මාධ්‍යයේ ප්‍රභවය මානව සන්නිවේදන අවශ්‍යතාවයන් සඳහා විද්‍යාත්මක සොයා බැලීම් මත සිදු වූවකි.ශත වර්ෂ ගණනාවක් රටවල් ගණනාවක් විසූ විවිධ ක්ෂේත්‍රවල ඉංජිනේරුවරයන් හා පර්යේෂකයන් විසින් කරන ලද විද්‍යාත්මක අත්හදා බැලීම් රූපවාහිනිය ගොඩනැගීමෙහිලා වැදගත් විය.

1880 දශකය තුළ ශ්‍රව්‍ය,දාෘශ්‍ය මාධ්‍යන් පිළිබඳ මූලික භෞතික සොයා ගැනීම් ගණනාවක් යුරෝපය තුළ සිදු විය.ක්‍රමයෙන් 1890 වන විට ඇමරිකාව,රුසියාව,ජර්මනිය වැනි රටවල් රූපවාහිනියේ මුල් අවස්ථා සම්බන්ධ සොයා ගැනීම් සිදු කරන ලදි.මුලින්ම television යන නම භාවිතා කරන ලද්දේ ප්‍රංශ ජාතික perski විසින් වන අතර 1900 දී පැරිස් නුවර පැවති සම්මන්ත්‍රණයකදී එය හඳුන්වා දෙන ලදි.

විද්‍යුත් යාන්ත්‍රික රූපවාහිනිය හා සම්බන්ධ මූලික මුලධර්ම “පෝල් නිප්කෝ” විසින් සොයා ගත් අතර 1884 දී ඔහු ස්කෑන් තැටිය සොයා ගන්නා ලදි.එමෙන්ම ඔහු විද්‍යුත් යාන්ත්‍රික රූපවාහිනී ක්‍රමයද යොජනා කරන ලදි.මීට අමතරව රූපවාහිනිය සොයා ගැනීමට පාදක වූ පරීක්ෂණ අතර 1842 විදුලි කම්බි ඔස්සේ පිංතූර සංස්කරණය කිරීම,1847 පිටපත් කළ හැකි විදුලි ක්‍රමය,ප්ලාකර් විසින් හඳුන්වා දුන් කැතෝඩ කිරණ පරීක්ෂණය ආදිය වැදගත් වේ.එමෙන්ම 20 වන සියවසේ මුල් කාලයේ දී ජෝර්ජ් සහ ෆෝනියර් විසින් නිශ්චල ප්‍රතිබිම්බවල අපැහැදිලි සේයාරූවක් අඛණ්ඩව චලනය කිරීමට සමත් වූ අතර මේ සියලු පරීක්ෂණවල එකතුවක් ලෙස scanning disc ක්‍රමවේදය තව දුරටත් වැඩි දියුණු කරමින් ස්කොට්ලන්ත ජාතික ජෝන් ලොගී බෙයාර්ඞ් විසින් 1923 දී රූපවාහිනිය සොයා ගන්නා ලදි.

ලොව මුල්ම රූපවාහිනී දර්ශනය ලෙස බෝනික්කෙකුගේ රූපයක් 1925 දී විකාශය කර ඇත.එමෙන්ම 1926-01-26 වන දින සාර්ථක රූපවාහිනී දර්ශනයක් ඉදිරිපත් කර ඇති අතර එදින මෙය නව නිර්මාණයක් ලෙස රාජකීය විද්‍යාතනය විසින් නම් කරන ලදි.මුල් කාලීනව මෙහි තොරතුරු සම්ප්‍රේෂණය සැතපුම් 200ක් දුරට විහිදුව ද පසුව එය 1440 ක් දක්වා වැඩි කරන ලදි.

බෙයාර්ඞ් සොයාගත් රූපවාහිනිය ආශ්‍රයෙන් ප්‍රථම රූපවාහිනී සේවාව ජර්මනියේ තැපැල් කාර්යයාලය මගින් විසිරුවා ඇත.ඒ අනූව පළමු බාහිර විකාශය ලෙස සිනමා නිළියකගේ නර්ථනයක් සැතපුම් 600ක් දුරට සම්ප්‍රේෂණය කර ඇත.මෙම සියලු අත්හදා බැලීම් වලින් අනතුරුව 1937 දී පමණ රූපවාහිනිය ජනතාව අතට පත්විය.

1936 දී ලොව ප්‍රථම මහජන රූපවාහිනි සේවාව උතුරු ලන්ඩනයේ පිහිටි වික්ටෝරියා ඇලෙක්සැන්ඩි්‍රයා මාලිගයේ සිට සම්ප්‍රේෂණය වූ අතර එය අද අප දකින රූපාහිනි විකාශනයේ ආරම්භයයි.විද්‍යුත් යාන්ත්‍රික රූපවාහිනියේ අද්දැකීම් සමඟ ඊළගට විද්‍යුත් රූපවාහිනිය පිළිබඳ අත්දැකීම් ගණනාවක් ඉදිරිපත් විය.

1940 දශකය අවසාන භාගය වනවිට පිලිප්ස් සමාගම විසින් iconoscop , imge dissector වැනි රූපවාහිනී උපකරණ වෙළඳපළට හඳුන්වා දී තිබේ.එමෙන්ම 1950 දශකය අවසානය වනවිට RCA සමාගම දියුණු රූපවාහිනි විකාශන යන්ත්‍රයක් ආරම්භ කළ අතර බි්‍රතාන්‍ය , ඇමරිකාව , කැනඩාව , ජර්මනිය හා ජපානය වැනි රටවල් තාක්ෂණයෙන් උසස් රූපවාහිනි නිර්මාණය කරන්නට විය.ජපානයේ NHK රූපවාහිනී සේවය මගින් හඳුන්වා දුන් IP TV,Ymax ආදී තාක්ෂණයන් 1950 දශකය තුළ රූපවාහිනිය දියුණු වීමට ප්‍රබල සාධකයක් විය.මේ කාලය තුළ මහද්වීප අතර රූපවාහිනී විකාශන තාක්ෂණය පුළුල් කරමින් සැන්ඩි ෆ්‍රැන්සිස්කෝ නුවර හා නිව්යෝර්ක් නුවර අතර ලොව දිගම රූපවාහිනී ජාලය ලෙස cbs සේවාව ආරම්භ විය.එමෙන්ම සජීවී රූපවාහිනී වැඩසටහන් සහ එසැනින් පුවත් වාර්තා කිරීම ආරම්භ වන්නේද 1950 දශකය තුළදීය.මේ නිසා රූපවාහිනී ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස 1950 දශකය හඳුනාගත හැකිය.

1970 දශකය වනවිට කේබල් හා චන්දාිකා රූපවාහිනී තාක්ෂණය ආරම්භවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස රූපවාහිනී නාලීකා ගණනාවක් බිහි විය.ඇමරිකානු Home box office ,showtime හා බි්‍රතාන්‍යයේ sky වැනි නාලීකා ඒ අතර වේ.
      1980 දශකය වන විට රූපවාහිනිය හා සම්බන්ධ විද්‍යුත් ඉලෙක්ට්‍රොනික් දුරස්ථපාලක නිර්මාණය කිරීම සහ LCD රූපවාහිනි හඳුන්වාදීමත් සමඟ තාක්ෂණික අතින් සුවිශේෂි වර්ධනයක් ඇති විය.
1990 දශකය වන විට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ රූපවාහිනිය බිහි වූ අතර වර්තමානය වන විට ඩිජිටල් නව මාධ්‍ය තාක්ෂණය යටතේ ඛෑෘ තාක්ෂණයෙන් යුතු රූපවාහිනි යන්ත්‍රයන් ද බිහි වී ඇත.

මුල් කාලීන රූපවාහිනිය ඔස්සේ තොරතුරු ලබා දීම , ප්‍රවෘත්ති ලබා දීම සිදු කළ ද 20 වන සියවස වන විට ජනමතය සකස් කිරීම එහි ප්‍රධාන අරමුණ විය.මෙහිදී මුලීක වශයෙන් දේශපාලන මත සකස් කිරීම හා ව්‍යාපාරික මත සකස් කිරීම සිදු කරන ලදි.මෙකල රූපවාහිනී වැඩසටහන් ආකෘති ලෙස,
★වෙළඳ දැන්වීම්
★සබන් නාටක
★දේශපාලන සාකච්ඡා
★විනෝදාත්මක වැඩසටහන්
ආදිය දැකිවිය හැකිය.
මෙලෙස විකාශය වූ රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රය වර්තමානය වන විට විවිධ නව ප්‍රවණතාවන් ඔස්සේ නව්‍යකරණය වෙමින් ඉහළ තාක්ෂණයක් සහිතව තරඟකාරී මාධ්‍ය භාවිතයක නියැලෙමින් සිටී.

















Monday, 17 June 2019

විනිවිද

දුලි තැවරුණු
අඳුරු මතකයට
සීතල පෙඟුණු ස්වරයෙන්
අවසරයි දකින්නට
විනිවිද..........

ආගන්තුක සිනහවක් විදිහටම
ගැඹුරු  පතුලක
කිමිදී
අවසරයි දකින්නට
විනිවිද..........

මුසු වන
සෑම සීතල මතකයක්ම
හීනයක කිමිදෙන්නට
දෑල විහිදුනු තටු මෙන්
අවසරයි දකින්නට
විනිවිද..........





Tuesday, 11 June 2019

"තමන්ගේ මතය" කෙටිකතාව

"තමන්ගේ මතය"


             කුඩා කදුවැටියක් උඩ පිහිටි ගරාවැටුණු බිත්ති හතරකින් වටවුණු නිවස දැලිකුණු තැවරීමෙන් හා කාලයක් පටන් අලුත්වැඩියා නොකළ, සායම් නොගෑ නිවසක් බව පෙනේ. සැමියා මළ ස්ත්‍රියක වන යසෝමා හා ඇගේ එකම දරුවා වන අපේක්ෂා දියණිය ජීවිතය ගෙනයන්නේ ඉතාමත් අසීරුවෙනි. පියාගේ මරණයෙන් පසු යසෝමා තම දියණියගේ අඩුලුහුඩුකම් සපයන්නේ පොහොසත් නිවසක මෙහෙකාරකම් කරමින්ය.
               
               ලොකුනෝනා යනු එම සමාජයේම ජීවත්වන පොපියන සංස්කෘතිය දැඩිව අනුගමනය කරන ධනපති පංතියේ පවුලක අයෙකි. ඇයගේ සැමියා ලොකුහාමු වන අතර ඔවුන්ටද අපේක්ෂාගේ වයසේම පුතෙකු වේ. රජයේ කාර්යාලයක සේවය කරන ලොකුහාමු ඔහුගේ භාර්යාව තරම් දැඩිව සංස්කෘතිය අනුගමනය කරන්නෙක්වත් තම පංතිය වර්ණනා කරන්නෙක්වත් නොවේ. සමාජයේ ජීවත්වන විවිධ පුද්ගලයන් විවිධාකාරයේ ගති පැවතුම්වලින් යුක්ත වූවන්ය. මෙවැනි අය යසෝමා වැනි වැන්දඔුවන්ට නොසලකන්නේ ඇගේ ජිවිතාදර්ශය නිසාවෙනි.

                යසෝමා තම දියණිය රැකගැනීමට ලොකුනෝනාගේ නිවසෙහි වැඩ කළ නමුත් ඇයට නින්දා අපහාස යනාදිය කොතෙකුත් අසන්නට ලැබෙයි. මව සමඟ යන අපේක්ෂා දියණිය ද බොහෝ අය අප්‍රසන්නව හෙළා දකින්නට පුරුද්දක් කරගෙන ඇත. 

“කී සැරයක් කිව්වද? එළියේ දඟලන්න එපා කියලා, මිදුලේ දුවිලිත් පිරිලා හැමතැනම. ඇගත් රස්නෙයි වගේ.......”

“මට අමාරුවක් නෑ අම්මේ....”

     මිදුලේ සෙල්ලම් කරමින් සිටින පුංචි බේබි හා අපේක්ෂා දැක ලොකුනෝනා ඉදිරියට ආවේ තරහින් කෑ ගසමින්ය.

    පුංචි බේබිගේ නළලට අත තබා බැලු ලොකුනෝනා තම පුතාව ඇදගෙන ගෙට ගියේය. ඇයගේ කෑගැසීමට බියට පත් අපේක්ෂා දුවගොස් කුස්සියේ උයමින් සිටි යසෝමාගේ දැලි තැවරුණු සායේ එල්ලුනේ දැසේ කදුළු පුරවා ගනිමින්ය.

“ඇයි දුවේ මේ අඬන්නේ.....”
             කියමින් මව තම දුවව වැළදගත්තේ ය.

“ඇයි අම්මේ ලොකු නෝනා අපි සෙල්ලං කරනවට අකමැති ”

“එහෙම තමයි දුව අපියි එයාලයි කවදාවත් එකට ජීවත්වෙන්න පුළුවන් අය නෙමෙයි. අපි ගෙදර ගිහින් සෙල්ලං කරමු.  ”

                 කිසිවක් තේරුම් ගැනීමට නොහැකි වූ අපේක්ෂා නිශ්ශබ්දව කුස්සියේ බංකුවක හිද ගත්තේය. එහෙත් සාලයේ මේසෙක වාඩි වී පාඩම් කරන පුංචි බේබිව දැක හෙමින් එතැනට ඇදී ගියේ නයෙකු ඇදෙන්නාක් මෙනි. අධ්‍යාපනය ලැබිමට වත්කමක් නොතිබුණත් ඇය ඉගෙන ගැනීමට ඉතාමත් කැමැත්තෙන් සිටි නමුත් ලබාගන්නා සොචිචම් මුදලින් සාගින්න පියවා ගන්නවා මිසක අනෙක් අඩුලුහුඩුකම් පියවා ගැනීමට නොහැකි විය.

“පුංචි බේබි..... මොකද කරන්නේ..”

“මම අලුත් පොත්වල අකුරු ලියනවා”

      කුස්සියේ දොරෙන් එබි බැලු යසෝමා අපේක්ෂා ළගට ගොස් අතින් ඇදගෙන විත් කුස්සියේ පුටුවෙන් වාඩි කලේ දැඩි තරහකිනි.

“කී සැරයක් කියලා තියෙනවද පුංචි බේබි එක්ක ඉන්න එපා කියලා ”
“ලොකු හාමු දැක්කනන් අපිට එළියට තමයි යන්න වෙන්නේ. මේක නිසා තමයි බඩගින්දර හරි නිවාගන්නේ... ඒකත් නැති කරන්නද හදන්නේ. ”

    දැසේ කදුළු පිරුණු අපේක්ෂා කිසිවක් නොකියාම මවගේ වදන් අසා සිටින්නට විය. තරහින් පුපුරන යසෝමා, කෑම මේසෙට ගෙනයන්නට විය. 

“ලොකු හාමු කෑම ලෑස්තියි.”  

       කෑම මේසයට පැමිණි සියලු දෙනා කෑම අනුභව කරන්නට විය. කුස්සියේ සිටි අපේක්ෂා තම මවගේ ඇගේ එල්ලී,
                    “අම්මේ....බඩගිනියි” කියමින් කෑ ගසන්නට වූයේය.

        කිසිවක් නොඇසුනාක් මෙන් කෑම කා අවසන් කළ ඔවුන් මේසය අස්කරන්නට යැයි පැවසීය. මේසය පිළිවෙලකට අස්කළ යසෝමා තම දරුවාත් රැගෙන නිවසට ගියේ අඬමින් සිටින තම දරුවාට කිසිවක් හෝ උයා දීමේ බලාපොරොත්තුවෙන්ය. ඇතැම් අවස්ථාවල ආහාර උයා දරුවාගේ කුසගින්න පමණක් නිවා තමා කුසගින්නේ සිටින දින උදා වී නැතිව නොවේ. දුෂ්කර ජීවිතයක් ගත කරන මොවුන් මකුළුවෙකු දැල වියන්නාක් මෙන් දිනෙන් දින ජිවිකාව රැකගන්නේ සමාජයෙන් ලැබෙන නින්දා අපහාස ද විදදරා ගනිමින්ය.

       තම මවට උදවු කරන අපේක්ෂා, පුංචි බේබිගේ නිවසේ වැඩවලට ද දායකත්වය සපයයි. පාසල් යන වයසේ දරුවෙකු වුවත් ඇයට පාසල් යෑමට නොහැකි වන්නේ ද සමාජයෙන් ලැබෙන ගැරහුම් හේතුවෙනි.
දිනක් පුංචි බේබි තම මවගේ ළගට විත් විමසුවේ, 

“අම්මා ඇයි අපේක්ෂා ඉස්කොලේ යන්නේ නැත්තේ.” 
“එයාලට ඉස්කෝලේ යන්න සල්ලි නැහැ පුතා....”
                        තම පරම්පරා තත්ත්වය හිස උදුම්මා ගනිමින් ලොකු නෝනා පැවසීය. 

"එහෙනන් මං එයාට පාඩම් කියලා දෙන්නද." යනුවෙන් පවසද්දී රූපවාහිනියට මුහුණ ඔබාගෙන සිටි ලොකු නෝනා එක්වරම ඇස් රතු කරමින් පුංචි බේබිට රවන්නට වූහ.

“මං හැමදාම කියනවා උන් ගැන කතා කරන්න එපා කියලා  ” 

         පුංචි බේබි කිසිවක් නොඅසා තම කාමරයේ ඇදට දුවගොස් අඬන්නට පටන් ගත්තේය. ලොකු නෝනා ද එය නොඇසෙන්නාක් මෙන් යළිත් රූපවාහිනිය නරඔන්නට වූහ.

“පුතා ඇයි අඬන්නේ. ”

           කාර්යාලයේ වැඩ නිම වී නිවසට පැමිණි ලොකුහාමු තම දරුවා දෙඅතින් තුරුළු කරන් අසන්නට විය.

“ඔයාගේ හුරතලේ නිසා තමයි දරුවව හදාගන්න බැරි.” 

       කියමින් ලොකු නෝනා කාමරයට ඇදී ගියේ රූපවාහිනියද නිවා දමමිනි. සාලේ මේසය කොනක තිබූ රිමෝඩය බිම ඇද වැටුණේ විශාල ශබ්දයක් නගමිනි. ලොකුහාමුගේ තුරුලේ සිටි පුංචි බේබි එයට තිගැස්සී කාමරයට දිවගොස් ඇදට වැටුණේය. 

       නිවාඩු දිනයක්  වු එදින යසෝමා හා ඇගේ දරුවා වැඩ කිරීමට ලොකුහාමුගේ නිවසට පැමිණියේ  ය. පැමිණීමට මදක් ප්‍රමාද වු බැවින් ලොකු නෝනා කේන්තියෙන් ඒ මෙ අත බලමින් ඇවිදින්නට විය.

“දුවට සනීප මදි ලොකු නෝනා ඒකයි පරක්කු වුනේ ” කියමින් යසෝමා ගෞරවයෙන් පැවසීය.

“ඇයි බෙහෙත් ගත්තෙ නැද්ද..? පුංචි බේබි බඩගින්නේ ඉන්නේ ඉක්මනට උයන්න”

           අපේක්ෂාගේ නළලට අත තබා බැලූ යසෝමා කෑම පිළියෙල කිරිමට සැරසුණේ ය.

        හාන්සි පුටුවක හිද තම දරුවාට පාඩම් වැඩ කියා දෙමින් සිටි ලොකු නෝනා එක්වරම කුස්සිය දෙසට කන් යොමු කළේ ය. මිදුලේ පොල් ගසක වියළි පොල් ඉත්තක් බිම ඇද වැටිමත් සමඟ එහි ශබ්දය මුළු ගේ පුරාම පැතිරි ගියේ ය. එයත් සමඟම මවගේ ග්‍රහණයෙන් මිදී පුංචි බේබි ඉවතට පැන දිව්වේය.

“යසෝමා කවුද බෙරිහන් දෙන්නේ.....”
“අම්මෝ....රිදෙනවා”
                           කුස්සිය දෙසින් ආ කෑ ගෑසීම තව තවත් වැඩිවත්ම කේන්තියට පත් ලොකු නෝනා එක්වරම පුටුවෙන් නැගිටින්නට විය. හාන්සි පුටුවේ සෙලවිල්ලට බියට පත් කුරුල්ලන්ද ඒ මේ අත ඉගිලෙන්නට වුහ.

“අපේක්ෂට බඩෙි කැක්කුමයි කියනවා ලොකු නෝනා.”
“ඔය තරමට බෙරිහන් දෙන්නේ නැතිව ඉන්න කියනවා ගමේ උන් හිනාවෙන්න බලන්නේ ඉන්නේ. ”

         කාර්යාලයේ වැඩක නියැලි සිටි ලොකුහාමු ශබ්දය ඇසී  සාලයට ආවේය.

“බලන් ඉදලා හරියනවද දොස්තර කෙනෙක් ළගටවත් අරන් ගියානන් හරිනේ...” ලොකුහාමු යෝජනා කලේය.

“ඕන නැ ලොකුහාමු ”
“ඕක දොස්තරවරු හොයාගෙන යන්න ඕනි එකක්ය. ඔය මොනවාහරි හදලා දුන්නම ඇතිනේ.” කියමින් ලොකු නෝනා කීය.

“කමක් නැ ලොකු හාමු තව ටිකකින් ඇරිලා යයි.”

     වේදනාව ඉවසාගත නොහැකිව අපේක්ෂා විලාප තබන්නට විය. ලොකුහාමුද කිසිවක් නොකියාම හාන්සි පුටුවට ඇල වි කල්පනා කරන්නට විය.

“අනේ මන්දා ළමයා ළතෝනි දෙනකොට බලන් ඉන්නේ කොහොම ද?” 
යසෝමාට ද කිසිවක් කරකියා ගැනීමට නොහැකිව අපේක්ෂාගේ හිත සැනසවිමට කතා පවසන්නටවත්ම හාන්සි පුටුවේ වුන් හාමු පුටුවෙන් නැගිට,

“යසෝමා...,ලෑස්ති වෙයන් ඉස්පිරිතාලෙට යන්න.”

          යනුවෙන් කියු හාමු කාමරය වෙතට ගොස් කමිසයක් දමාගෙන දරුවා ද රැගෙන රෝහලට ගියේ ය.

නිකටේ අතක් තබාගත් ලොකු නෝනා “වෙන දෙයක් බලනව ඇරෙන්න මොනවා කරන්න ද?” යනුවෙන් පැවසිය.

        යසෝමාගේ තත්ත්වය හෙළා දකිමින් තම සංස්කෘතිය හා පරම්පරාවෙන් හිස උදුම්මවා ගෙන ජිවත්වනවා මිසක කිසිවිටෙකත් ලොකු නෝනා ඔවුන්ගේ සියලූ දේ කර දෙන්නේ යසෝමා බව නොදැනෙන්නේ මන් ද? ඒ හණ මිටි සංස්කෘතික බැදීම් වලින් හිස පුරවාගත් නිසාද?


ස්තුතිය- නිසංසලා නිරෝෂනි




රිෂිත ජනිත් නානායක්කාර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය 
කැලණිය විශ්වවිද්‍යාලය 


"සිංහල අකුරු" කෙටිකතාව

සිංහල අකුරු


               ළා හිරු රැස් තුරු අතරින් එබී බලමින් වටපිටාවේ මනරම් රටා මවද්දී දමයන්ති නිදිමත හැර දමා නැගී සිටියාය. තමා අවදි වීමටත් පෙර කිරි තේ කෝප්පයක් සාදා ඇඳ අසල ඇති ටීපෝව මත ගෙනත් තැබීමට අද බිංදුමති නොසිටියාය. ඒ වෙනදා මෙන් ඇගේ තනියට නොසිට බිංදුමති අත්‍යවශ්‍ය වැඩක් ඇතැයි පවසමින් ඇගේ නිවසට ගිය නිසාවෙනි.

               තම එකම පුතු හංසක අකීකරු කමට විවාහයක් කරගත් දා සිට, දමයන්තිගේම වචනයෙන් කියනවා නම් නොගැළපෙන තැනකට පෑහුණු දා සිට ඔහුට මහගෙදර තහනම් විය. එදා සිට දමයන්තිගේ තනි නොතනියට සිටියේ අසල්වැසි ද්‍රවිඩ කාන්තාවක් වු බිංදුමතිය.

               තුරු ලතා වල පවා වෙනදා නොමැති සුන්දරත්වයක් ඇතැයි දමයන්තිට සිතිනි. අද ඇයට සුවිශේෂි දිනයක් විය. ඒ තම එකම මුණුපුරාට අකුරු කියවන දිනය අද වූ බැවිනි. ඇගේ සිත දෙවනත් කරමින් ලැගුම්ගෙන තිබූ අමනාපය මේ වන විට කාලයාගේ වැලි තලාවෙන් තරමක් දුරට හෝ  වැසීයමින් තිබුණි. මුණුපුරාගේ අකුරු කියවීමේ මංගල්‍යයටද දමයන්ති යාමට සැරසුනේ ඒ බව මනාවට පසක් කරමිනි. කල්වේලා ඇතිව ගෙන්වා ගත් මුණුපුරාගේ කේන්ද්‍රපත්‍රය බලවා නැකත් සෑදවුයේ ද දමයන්තිගේ වුවමනාවටය. හංසකගේ බිරිඳ වූ චාතුර්්‍යා එයට සමච්චලයට සිනාසුනේ “ග්‍රහයෝ දන්නා අකුරු” කියමිනි. ක්‍රිස්තු භක්තික කාන්තාවක් වු ඇය නිතරම තම සැමියාගේ මව හෙළාදකිමින් කතා කිරීමට පුරුදුව සිටියාය.

               විශ්‍රාමික සිංහල ගුරුවරියක වූ දමයන්ති ඔසරිය ගත දවටා ගත්තේ වසර කිහිපයකට පසුව වූ නිසා තරමක නුහුරු බවක් ඇයට දැනෙන්නට විය. නමුත් මෙම ඔසරිය තම ගුරු දිවියේ අභිමානය ගොලු බසින් මුමුණන්නාක් මෙන් යැයි ඇයට සිතිණි.

“නෝනා අද උදෙන්ම ලේස්ති වේලා වගේ”
 
               ඇගේ සිතුවිළි දැහන බිඳ වැටුනේ බිංදුමතිගේ හඬින්ය.

“ආ....ඔව්, නැකත් වේලාවට කලින් යන්න ඕනනේ.......”
“බිංදු කොයි වෙලේද ආවේ...”
“දැන් නෝනා, මං මේ ඊයේ මුරුක්කු ටිකක් හැදුවා නෝනට දෙන්න ඕනේ කියලා..”

               ඇය විශේෂ වැඩක් ඇති බව පවසා ඇගේ නිවසට ගිය කාරණය දමයන්තිට වැටහුනේ එවිටය.

“ආ.... ඒක හොඳයි මං ගෙනියන්නම්.”

               ඇය පැවසුවේ තමා ගෙනියන කැවුම් කොකිස් වලට තවත් කැවිලි වර්ගයක් එකතු වූ බව සිතමිනි. දින දෙකක් පුරාවට මහන්සි වී සෑදු කැවිලි හා වෙනත් අඩුම කුඩුම අතරේ බුදු රුවක් හා ගණදෙවි පිළිමයක් මෙන්ම සිංහල හෝඩිපොතද අසුරා ගැනීමට ඈ අමතක නොකලේ හෙළ චාරිත්‍ර අනුකූලව මුණුපුරාට අකුරු කියවීමේ අරමුණ සිතැතිවය.

               “මං උඹලගෙ ගෙවල් වල පස් පාගන්නෙ නෑ.....” කියූ දමයන්ති මෙලෙස සිය පුතු බැලීමට යාම විටෙක ඇයටම පුදුමයට කරුණක් විය. නමුත් ඒ තම එකම මුණුපුරාගේ සිනහවක් හෝ තමන් මිය යාමට පෙර දැක ගැනිමට ඇය තුළ ඇති වූ ආශාව නිසා මිස තම ලේලියට සමාව දුන් නිසා නොවන බව ඈ තම සිතටම පවසා ගත්තේ හෘද සාක්ෂිය හදවතට අනිනා සියුම් කටුතුඩක් සේ ඇයට වරින් වර රිදුම් දුන් නිසාවෙනි. තම පුතු වෙනත් ආගමක කාන්තාවක් විවාහා කර නොගත්තා නම් අද තමා කෙතරම් සතුටින් දැයි ඇය තව දුරටත් සිතුවාය.

               දමයන්ති උදෑසනම තම නිවසින් පිටවූයේ නැකත් වේලාවට කලින් තම පුතුගේ නිවසට යෑමේ අපේක්ෂාවෙනි. තමා අතින්ම මුණුපුරාට අකුරු කියවීමට දමයන්තිට අවශ්‍යව තිබිණි. නමුත් චාතුර්්‍යාට අවශ්‍ය වී තිබුණේ තම පුතුට ඉංග්‍රිසි භාෂාව පමණක් ඉගැන්වීමට ය. දමයන්ති වෘත්තියෙන් සිංහල ගුරුවරියක් වී සිටීමත්, තදින් කා වැදී තිබුණු පාරම්පරික අදහස් නිසාත් තම මුණුපුරාට අකුරු කියවීම තමා අතින්ම සිදු විය යුතුයැයි සිතුවාය. නමුත් චාතුර්්‍යාට නම් එය තවත් එක් සරදමක් පමණක් විය.

“පුතාට කොකොමත් ෑබටකසිය ඵැාසමප නේ අපි උගන්වන්නේ. සිංහල අකුරු කියාදීලා වැඩක් නෑ.”

               චාතුර්්‍යා නිතර කියු වදනක් විය. මේ සියල්ලෙන්ම හංසකගේ හදවත රිදුම් කෑවේය. එක් පසෙක තම මව වූ අතර අනෙක් පස වූයේ තම පවුල්  ජීවිතයයි. පියාගේ වියෝවෙන් පසු ඔහුද නොමැතිව තමාව උගතෙකු කිරීමට දමයන්ති නොගත් උත්සාහයක් නොමැති බව හංසක දැන සිටියේය. කලකට පසු තම මව නිවසට පැමිණීම හංසකට මහත් සතුටට කරුණක් වූයේ එහෙයිනි. නමුත් තම බිරිඳ අමනාපයක් නොපෙන්නුවද ඒ හැටි මනාපයක් ද නැතිබව හංසක හොඳින්ම දැන සිටියේය.

               මව රැගෙන ඒමට හංසක බස් නැවතුම් පොළට ගියේ චාතුර්්‍යාටත් නොදන්වාමය. බසයෙන් බැස ආ දමයන්ති තරමක් සිනාවී මෝටර් රථයේ පසුපස අසුනට බර වුවද නිවසට යන තෙක්ම නිහඬතාවය මකා දැමීමට තරම් ආත්ම ශක්තියක්  හංසකට නොමැති වූයේ කුඩා කළ සිටම මවට දැක්වූ අසීමිත ගෞරවය නිසා හා තමා වරදක් කලා යැයි ඇති වූ හැඟීම නිසාය.

               මනාව සකස් කරන ලද කැවිලි පිරුණු මේසය සිංහල අවුරුදු කෑම මේසය සිහිකරවන්නක් විය. බුදුරුව අබියස දැල්වූ පහන්සිල සාලයට අමුතු සිරියාවක් ගෙන එන්නේ යැයි හංසකට සිතිණි. නාස්පුඩු සිපගනිමින් එන කැවුම් කොකිස් සුවඳ හංසකගේ මතකය අතීතයට ගෙන යාමට සමත් විය. තමාට අකුරු කිය වූ දිනයේ මතකයන්, බොඳ වූ රූප පෙළක් සේ ඔහු අබියස පෙනී නොපෙනී යන්නට විය.

               බුදුරුව හා ගණදෙවි රූපය අසල ගාථා කියමින් වැඳ ආශිර්වාද කල දමයන්ති සිංහල හෝඩිපොත පෙරළා සිඟිති පුතු ඇකයේ හිඳවා ගත්තේ මහත් සොම්නසිනි. නැකත් වේලාව එන තෙක් බලා සිටි ඇය පුතුට සිංහල අකුරු කියා දීමට සැරසුන ද, පුතුට ඉංග්‍රිසි අධ්‍යාපනය පමණක් ලබා දීමට බලා සිටි චාතුර්්‍යාට නම් එය තවදුරටත් ඉවසන්නට හැකිවූයේ නැත.

“එන්න පුතා, අපි ඉංග්‍රිසි අකුරු කියවමු. ඕවා ඕනේ නැ..”

               ඉංග්‍රිසි බසින්ම කෙරුණු විධානය හමුවේ පුතු චාතුර්්‍යාට වෙනදා මෙන් අවනත වන බවක් පෙනෙන්නට නොතිබිණි.

“නෑ, අම්මි මං ආච්චි අම්මාගෙන් සිංහල අකුරු ඉගෙන ගන්නවා. එන්න අම්මත් ආච්චිගෙන් සිංහල අකුරු අහගමු.”

               සුරතල් බසින් එසේ පැවසූ පුතු චාතුර්්‍යාව මේසය අසලට රැගෙන ඒමට සැරසුනද ඇය කලේ කෝපයෙන් හඬා වැටීම පමණි. ඒ දුකට නොව ඇගේ අරමුණ ඉටුනොවූ කේන්තියට බව හංසක හොඳින්ම දැන සිටියේය. ගැහැණියකගේ කඳුලු පිරිමියෙකුගේ කේන්තිය අවුලුවාලන ඉන්ධන වුවද මව් සෙනෙහස මේ සියල්ල නිවා සනහන සිසිල් පැන් පොදක් බඳු වූ හෙයින්, කැවුමක රස බලමින්, සිංහල හෝඩිපොතේ පිටු පෙරළන තම පුතු දෙස හංසක නිහඬවම බලා සිටියේය.


නිමි.

ස්තුතිය- සදුනි නුවන්තිකා 


රිෂිත ජනිත් නානායක්කාර 
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

2020 ජනපති සොයාන පාවෙන තරුණ ඡන්ද

  2020 ජනපති සොයාන පාවෙන තරුණ ඡන්ද රට ජනාධිපතිවරණ උණුසුමකින් පෙළෙන මේ සමයේ සියලුම අපේක්ෂකයින් ජනතාවගේ සුව දුක් විමසීමට යුහුසුළු වෙති. ඔ...